ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය. ඒ ලිපියට පාදක වී තිබුණේ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ෆීලික්ස් ෆ්‍රනෑන්ඩෝ මහතා හෙළිකළ කරුණු සමූහයකි.

අපනයන වෙළෙඳ පොළ සීමා සහිතවීම ඇඟලුම් කර්මාන්තය මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් බව ෆ්‍රනෑන්ඩෝ මහතා එහිදී කදිමට පෙන්වා දී තිබිණි.

මෙරට සමස්ත ඇඟලුම් අපනයනවලින් සියයට 87ක් පමණම යවන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයටය. එයින් සියයට 45ක් ඇමෙරිකාවටය. අනෙක් සියයට 42 යුරෝපයටය. ලොව අනෙක් රටවලට යවන්නේ සමස්ත ඇඟලුම් අපනයනවලින් සියයට 13කි. ප්‍රතිශතයක් ලෙස එය සොච්චමකි.

ලොව වැඩිම ජනගහනයක් සිටින්නේ චීනයේ සහ ඉන්දියාවේය. ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය විශේෂඥයන්ගේ අනාවරණ හා තක්සේරු කිරීම් අනුව ලෝකයේ වේගයෙන් දියුණු වන ආර්ථික ඇත්තේ ඒ දෙරටේය. ඒ දෙරටට පහළින් ඇත්තේ රුසියාව හා බ්‍රසීලයයි. ලෝක ආර්ථික හා මූල්‍ය විශේ‍ෂඥයන් මේ රටවල් හතර හඳුන්වන්නේ “බ්‍රික් කන්ට්‍රි” (Bric Country) නමිනි. Bric යන ඉංග්‍රීසි අකුරු හතරෙන් හඳුන්වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් හතරය. ඒ විශේෂඥයන් කියන හැටියට ඉදිරි අනාගතයේදී වේගයෙන් දියුණු වන්නේ ඒ රටවල්ය.

එසේ නම් අඩු ආදායම් ලබන, ආර්ථික වශයෙන් නොදියුණු, විදේශ වත්කම් අතින් හිඟන, දෙස් විදෙස් ණය බරින් පරිපීඩිත ලංකාව ඒ රටවල වෙළෙඳපොළ දෙස නොහැරී යන ගමනෙහි තේරුමක් තිබේදැයි මළපොතේ අකුරක් නොදන්නා අයකුගේ වුවද සිහියට නැ​ෙඟන්නේ නිරායාසයෙනි. අපට ඒ රටවල වෙළෙඳපොළට පිවිසීමට නම් ඒ රටවල් සමග වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුත්තේය. එය රටේ සාමාන්‍ය පුරවැසියන්ට හෝ ඇඟලුම් අපනයනකරුවන්ට කළ හැකි කටයුත්තක් නොවේ.

එය කළයුත්තෝ ආණ්ඩු කරන්නෝ සහ ඔවුන්ගේ පහනින් එළිය බලන ඒ රටවල සිටින මෙරට නියෝජනය කරන මහ කොමසාරිස්වරු හා තානාපතිවරුය. එහෙත් ඒ සියල්ලන් රටේ ජනතාව මත පටවා තිබෙන බදු, දඩ සහ ණය බරින් විඳින සැපට සාපේක්ෂව රටේ සහ එහි ජනතාවගේ අභිවෘද්ධි හා උන්නතිය වෙනුවෙන් කරන කැපකිරීම් හා මෙහෙවර පිළිබඳව මෙරට දැනුවත් හා දැන උගත් පුරවැසියන් අතර තිබෙන්නේ බරපතළ කලකිරීමකි. රටේ තරුණ පරම්පරාව රට හැර යාමට පෙළඹී සිටින්නේ මේ තත්ත්වයන් බව කොළඹ විශ්‍වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් අනාවරණය කළේ ඉතා ඈතක නොවේ.

එය අතුරු කතාවකි. එහෙත් ප්‍රබලව අවධානයට ගත යුත්තකි. අපි යළි අපේ ප්‍රධාන මාතෘකාව දෙසට හැරෙමු. ඉන්දියාව සමඟ  අපට දැනටත් ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමක් තිබේ. ඒ ගිවිසුම යටතේ අපට අවුරුද්දකට ඉන්දියාවට යැවිය හැක්කේ ශ්‍රී ලංකා රුපියල් බිලියන අටක් (08) වටිනා භාණ්ඩ පමණකි. 2018 දී ඇඟලුම් අපනයනයෙන් පමණක් ලංකාව උපයාගෙන තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1408කි. එසේ නම් දැනට තිබෙන ඉන්දු ලංකා ගිවිසුම යටතේ ලංකාවට ලැබී තිබෙන ප්‍රතිලාභ ගැන කළ යුත්තේ කවර කතා ද? මෙය පැහැදිලිවම යල් පැන ගිය ගිවිසුමකි. එහි වැඩි වාසි ඇත්තේ ඉන්දියාවටය.
ඉන්දීය වෙළෙඳ පොළ සුවිශාලය. ලංකාවේ අපනයන නිෂ්‍පාදන ප්‍රමාණය ඉතා අවමය. ඉන්දියාව දැනට බංග්ලාදේශයෙන් ගෙන්වා ගන්නා ඇඟලුම්වලට සතයකවත් බද්දක් අය නොකරයි. එහෙත් ලංකාවෙන් ගෙන්වා ගන්නා ඇඟලුම්වලට බදු අය කරයි. එය එසේ වූ විට ඉන්දියානුවන්ට බංග්ලාදේශයේ නිෂ්පාදනවලට වඩා ලංකාවේ නිෂ්‍පාදනවලට වැඩි මිලක් ගෙවීමට සිදු වෙයි. ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට ඉන්දීය වෙළෙඳ පොළට පිවිසීමට නොහැකිව තිබෙන්නේ ඉන්දියාවේ මේ අසමාන බදු ප්‍රතිපත්තිය නිසාය. ඉදින් මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරගැනීම ඇඟලුම් අපනයනකරුවන්ට කළ හැකි දෙයක් හෝ කාර්යයක් නොවේ. එය කළ යුත්තෝ ආණ්ඩු කරන්නෝය. ඔවුන්ගේ පහනින් එළිය බලන මහකොමසාරිස් ඇතුළු නිලබලධරයෝය. ඒ මේ බොහෝ දෙනා නිතර නිතර ඉන්දියාවට යති එති. එහෙත් ඒ දේවාල වැඳීමට හා ගතු කීමට මිස රටට ආර්ථික වාසි වැඩියෙන් ලබාගැනීමට නොවන බව දැනුවත්, දැන උගත් ලාංකිකයන්ට අවබෝධ වී දැන් බොහෝ කල්ය.

දැන් අපි චීනය දෙසට හැරෙමු. චීනය වියට්නාමයෙන් ගෙන්වා ගන්නා භාණ්ඩවලින් බදු අය නොකරයි. එහෙත් ලංකාවෙන් ගෙන්වා ගන්නා භාණ්‍ඩවලින් බදු අය කරයි. ඒ නිසා චීන වෙළෙඳ පොළේ වියට්නාමය සමඟ තරග කිරීමට ලංකාවට නොහැකිය. එය එසේ වී තිබෙන්නේද චීන බදු ප්‍රතිපත්තිය නිසාය. ඉන් අනාවරණය වන්නේ චීනය වියට්නාමයට පෙම්කරන තරමට ලංකාවට ප්‍රේම නොකරන බවය. එහෙත් නූතන ලංකාවේ ප්‍රමුඛ හා දැවැන්ත විදේශ ආයෝජකයා චීනයයි. ලංකාව අද ගෙවා ගැනීමට නොහැකි තරම් දැවැන්ත ණය උගුලක සිරවී සිටින්නේ චීන පොලී ණය ව්‍යාපෘති නිසාය. එවැනි ණය ව්‍යාපෘති ලංකාවට වඩා බෙහෙවින් දියුණු මැලේසියාවටවත් දරාගත නොහැකි නිසා මැලේසියන් අගමැති මහතීර් මොහොමඩ් ඒ චීන ව්‍යාපෘති නවතා දැම්මේ ඉතා මෑතකය. මෙරට පාලකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් දැන් ලංකාව හඳුන්වන්නේ ඉන්දියන් සාගරයේ චීන මුතු ඇටය ලෙසිනි. එය මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තර අහසේ බැඳුණු කළු වලාවකි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන බව ජනප්‍රිය කියමනකි. ඒ රිදී රේඛාව මතු කරගත යුත්තෝ ද ආණ්‍ඩු කරන්නෝ සහ චීනයේ ලංකා තානාපති සමඟ මෙරට විදේශ අමාත්‍යාංශයේ නිලබලධරයෝය. අප මේ කියන්නේ ඇඟලුම් අපනයනකරුවන්ගේ ඉල්ලීම වන චීන - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැනය. එය ලංකාවට වාසි සහගත විය යුත්තකි. එය ඉන්දු - ලංකා වෙළෙඳ ගිවිසුම සේ වැඩි වාසි එරටට හිමිවන ගිවිසුමක් නොවිය යුතුය. ඇඟලුම් අපනයනකරුවන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කළහොත් ඔවුන් රටට අද්දන විදේශ විනිමය ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යන බව අපට නිසැකය.