IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇද්දෙන පැද්දෙන ව්‍යවස්ථා වෙනස

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතට නවාංග කිහිපයක්ම එකතු කර එය යාවත්කාලීන කිරීම සිදුව ඇතත් ගැටලුව ඇත්තේ එම නවාංග සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීම සඳහා දේශපාලන පක්ෂ කොපමණ කාලයක් ගනු ඇති ද යන්න අරභයාය.

එම පක්ෂ අතරින් ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් එක් පක්ෂයක් අදහස් දක්වන තෙක් අනෙක් පක්ෂය ඉන් වැළකී සිටීමේ න්‍යායයක් දෙපාර්ශවයම අනුගමනය කරමින් සිටිනු පැහැදිලිය. අතුරු වාර්තාවක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ඉදිරිපත් කැරුණු ව්‍යවස්ථා කෙටුම්පත ගෙවුණු මැයි මස දී යාවත්කාල කැරුණේ ප්‍රථම වතාවටය. ව්‍යවස්ථා කවුන්සිලයේ මෙහෙයුම් කමිටුව එම කටයුතු මෙහෙයවී ය.

මෙම නව කෙටුම්පතෙහි යෝජනා සම්බන්ධයෙන් පසුගිය මස දී පැවැත්වුණු පළමු වටයේ සාකච්ඡා වාද විවාද මධ්‍යයේ එකඟතාවකට පැමිණීමෙන් තොරවම අවසන් විය. ශ්‍රී ලංකා ජනරජය “එකීය රාජ්‍යයක්” යැයි ව්‍යවස්ථාවේ වූ සඳහන එලෙස පැවැතිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨළී චම්පික රණවක මහතා අවධාරණය කළ අතර, “ව්‍යවස්ථාවට සිදුකැරෙන ඕනෑම ආකාරයක සංශෝධනයක්, අවලංගු කිරීමක් සහ ප්‍රතිස්ථාපනය කිරීමක්, ව්‍යවස්ථාවෙන් අවස්ථාව සලසා දී තිබෙන ආකාරයටම පාර්ලිමේන්තුව සහ ජනතාව හරහා සිදුවිය යුතු බවට” වගන්තියක් නව ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීමට ද ඔවුනට අවැසි විය.

එහෙත් පක්ෂ හතරක් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම්), දෙමළ ප්‍රගමනවාදී සන්ධානය (මනෝ ගනේෂන්), සිලෝන් ජනතා පක්ෂය (රිෂාඞ් බදියුදීන්), ඊළාම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඩග්ලස් දේවානන්දා) - වෙනත් සංශෝධනයක් ඉදිරිපත් කර ඇත.ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව හඳුන්වාදිය යුත්තේ “ශ්‍රී ලංකා එක්සත් ජනරජය” ලෙස බව ඔවුන්ගේ යෝජනාවයි. දෙමළ භාෂාවෙන් එය “එයික්කාය ඉලන්කායි කුදියාරසු” ය. එකීය යන වචනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙන් බලය බෙදීම සම්බන්ධයෙන් වන නව පිළිවෙත්වලට එය බාධකයක් වනු ඇති බව මෙම ඇතැම් පක්ෂ සාමාජිකයන්ගේ අදහසයි.

විදෙස්ගතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවයිනට පැමිණි පසු, ඔහු සභාපතීත්වය දරන මෙහෙයුම් කමිටුවේ තවත් රැස්වීමක් සදහා දින වෙන්කරනු ඇතැයි අපෙක්ෂා කැරේ. එම අවස්ථාවේ සිට යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි ආරම්භක පරිච්ඡේදයන් අතර වන, රාජ්‍යයේ ස්වභාවය, ස්වෛරීභාවය සහ ආගම, ඉඩම් නීති සහ පළාත් සභා ලැයිස්තුගත විෂයයන් සම්බන්ධයෙන් වන බලය බෙදීමේ ප්‍රතිපත්තීන්, භූමිය, දෙවන මන්ත්‍රණ සභාව, මැතිවරණ ක්‍රමය, විධායකය, ව්‍යවස්ථා කවුන්සිලය සහ නීතිය හා සාමය යන ක්ෂේත්‍ර ද ඇතුළු ක්ෂේත්‍ර 9ක් සම්බන්ධයෙන් වන වගන්ති එකින් එක සලකා බැලීමට සැලසුම් කර ඇත. ව්‍යවස්ථාව තවමත් ඇත්තේ කෙටුම්පතක ස්වරූපයෙන් වන නිසා වැඩිදුර සංශෝධන සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ඊට අවස්ථාව ද තිබේ.

එහෙත් දේශපාලන පක්ෂවල විවිධ අදහස් දැක්වීම්වලට තුඩු දී තිබෙන, ව්‍යවස්ථාවේ ඇතැම් ලක්ෂණ සම්බන්ධයෙන් මේ දක්වාම අවසන් තීරණයකට එළැඹීමක් සිදුව නොමැත. කෙටුම්පත් සටහන්වල විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සියලුම පක්ෂවල පොදු එකඟතාවක් පැවැති බවත්, නිශ්චිත ධූර කාලයක් සදහා ජනපතිවරයකු තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුව බවත්, සඳහන් වුවත්, මෙවන් පොදු එකගතාවක් ඇතිවූයේ කෙසේදැයි යන්න, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් දරමින් සිටින මතය සැලකිල්ලට ගත්විට, සැබෑ ගැටලුවකි.

2017 ජනවාරි 3 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 14 දෙනකුගේ කණ්ඩායමක් විධායක ජනපති ධූරය එලෙසම පැවැතිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළෝ ය.එතැනිදු නොනැවතුණු ඔවුහු 2020 ජනපතිවරණය සදහා පක්ෂය නියෝජනය කළ යුත්තේ ජනපති සිරිසේනම බව කියා සිටියෝ ය. මෙම යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂයේ මහලේකම් වන දුමින්ද දිසානායක මහතාය.

ව්‍යවස්ථාවට සිදුකළ යුතු සංශෝධන සියල්ල ජනමත විචාරණයක් අවශ්‍ය නොවන මට්ටමේ සංශෝධන විය යුතු බව ඔවුන්ගේ මතය විය.මෙම හමුව පිළිබද සවිස්තර වාර්තාවක් ජනවාරි 15 වැනිදා පළවිය. එයින් පසු නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප කමිටුවේ සාමාජිකයෝ සමස්ත ලංකා බෞද්ධ කොංග්‍රසයේ නායකයන් හමුවී පක්ෂයේ ස්ථාවරය පිළිබදව ඔවුන් දැනුම්වත් කිරීමට කටයුතු කළෝ ය. ඒ පිළිබදව ජනවාරි 22 වැනිදා දේශපාලන තීරුවෙන් සැකවින් විස්තර කැරිණ.

එහෙත් එකඟතාවකට පැමිණීමෙන් තොරව පසුගිය මස අවසන් වූ මෙහෙයුම් කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපකමිටු සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් තම පක්ෂය දරන මතය පිළිබද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවය. ජනමත විචාරණයක් අවශ්‍ය වන සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් නොකළ යුතු බවට ඔවුන් පෙර අවස්ථාවේ දරමින් සිටින මතය, මෙම වාර්තාවෙන් නැවත වරක් ඉස්මතු කිරීමක් මිස එහි වෙනසක් සිදුවනු ඇති බව සිතිය නොහැකිය.

“අපි සියලුම වගන්ති සලකා බලලා අපගේ ස්ථාවරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙනවා. අනතුරුව එම තීරණයට අනුමැතිය ලබාදෙන්නය කියලා පක්ෂයේ මධ්‍යමකාරක සභාවෙන් ඉල්ලා සිටින්නට අපට සිදුවනවා.” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙක් පැවසුවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර මැතිවරණමය වශයෙන් එකගතාවක් ඇතිවේයැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි වත්මන් වාතාවරණයේ ව්‍යවස්ථා සංශෝධනයන් අරභයා විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තුන්කොන් සටහන නියැළී සිටිනු හදුනාගත හැකිය. මේ සියල්ල මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂය සිටින්නේ එහි අපේක්ෂකයා වන රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සැලසුම් සකස් කරමිනි.

ව්‍යවස්ථා කෙටුම්පතේ නව අංගයක් වන්නේ අගමැතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවය. එම යෝජනා පහත දැක්වේ.


අ. අගමැතිවරයා සෘජුවම තෝරාපත්කර ගැනීම
ආ. අගමැතිවරයා බවට පත්වන පුද්ගලයා කල්තියාම නම් කිරීම
ඇ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කිරීම (දැනට භාවිතයේ ඇත්තේ මෙම ක්‍රමවේදයයි)
මේ සම්බන්ධයෙන් කෙටුම්පතෙහි ඇත්තේ මෙවන් විස්තරයකි.

“අගමැතිවරයා බවට පත්වන පුද්ගලයා කල්තියාම නම් කිරීමේ යෝජනාවට මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ වැඩි කැමැත්ත හිමිවිය. මේ සදහා,“

1. මැතිවරණයක දී, අගමැති ධූරය සදහා තරග වදින බව සදහන් කර වෙනම අපේක්ෂකයකු නම් කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට හැකියාව ඇත.
2. වෙනත් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අගමැති අපේක්ෂකයා තම පක්ෂය වෙනුවෙන් ද යෝජනා කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට හැකියාව ඇත.
3. අගමැති අපේක්ෂකයකු නම් නොකර සිටීමට ද ඕනෑම දේශපාලන පක්ෂයකට හැකියාව ඇත.

පාර්ලිමේන්තු අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් දේශපාලන පක්ෂයක් හරහා නාම යෝජනා ලබාගන්නා පුද්ගලයන් සහ එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා අතර පැවැතිය යුතු සම්බන්ධතාව ද කෙටුම්පතෙහි විස්තර කර ඇත.

“පාර්ලිමේන්තුවට පත්වීම සඳහා දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලබාදෙන සියලුම පුද්ගලයන්, ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හෝ වේවා, සමානුපාතික නියෝජන ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තු සභිකයකු ලෙස පත්වන පුද්ගලයකු හෝ වේවා, එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කර ඇති පුද්ගලයාට උපකාර කිරීමට බැදී සිටී.“

ස්වාධීනව සහ ස්වාධීන කණ්ඩායම් ලෙස මැතිවරණ සදහා තරග වදින පුද්ගලයන්ට ද අගමැති අපේක්ෂකයකු නම් කර එම තැනැත්තා වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ඇත.

මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව අගමැති අපේක්ෂකයකු ලෙස නම් කර ඇති පුද්ගලයකුට, අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත හිමි ද යන්න මැතිවරණ කොමිසම විමසා බලනු ඇත. එසේ බහුතර කැමැත්ත හිමිවන අපේක්ෂකයා අගමැතිවරයා ලෙස නම් කැරෙණු ඇත. එහෙත් අගමැති අපේක්ෂකයන් ලෙස නම් කර ඇති පුද්ගලයන් කිසිවකුට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතර කැමැත්ත හිමිනොවන අවස්ථාවක අගමැතිවරයා තෝරාගැනීම සිදුවනු ඇත්තේ ඒ වෙනුවෙන්ම වන විශේෂ පාර්ලිමේන්තු සැසියක් මාර්ගයෙන්ය. අගමැතිවරයා තෝරාගැනීම සදහා වෙස්ට්මිනිස්ටර් මොඩලය භාවිතයට ගැනීමට තීරණය වුව ද, මෙම ක්‍රමවේදය එම මොඩලය යටතේ මේ අයුරින්ම ක්‍රියාත්මක කැරෙණු ඇත.

අගමැතිවරයා, මහ මැතිවරණයෙන් තෝරා ගැනුණ ද, ප්‍රතිඵල අවිනිශ්චිත අවස්ථාවක පාර්ලිමේන්තුව මාර්ගයෙන් තෝරා ගැනුණ ද

1. රජය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සාමාජික පිරිසක සහය හිමිවන ඡන්ද විමසීමක ප්‍රතිඵලයක් ලෙස හෝ,
2. අවස්ථා තුනම භාවිතයට ගැනීමෙන් හෝ අයවැයක් සම්මත කරගැනීමට රජයක් අපොහොසත් වන අවස්ථාවක, හැර
අගමැති ධූරයට පත්ව වසර දෙකක් ගතවන තෙක් ඔහු හෝ ඇය තනතුරින් ඉවත් කිරීමට නොහැකිය.

පළාත් යනු බලය බෙදීමේ යාන්ත්‍රණයේ ප්‍රාථමික ඒකකය බව මෙහෙයුම් කමිටුව පිළිගෙන ඇතැයි කෙටුම්පත් වාර්තාවල දැක්වේ. එම පළාත්හි භූගෝලීය පිහිටීම පිළිබද ව්‍යවස්ථාවෙන් අවධානය යොමුවිය යුතු බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන් වන අතර, ඇතැම් පක්ෂ ඉදිරිපත් කර ඇති පළාත් දෙකක් ඒකාබද්ධ කිරීමේ යෝජනා මෙහෙයුම් කමිටුවේ වැඩිදුර අවධානයට යොමුවිය යුතු බවද දැක්වේ. උතුරු හා නැගෙනහිර පළාත් එක් පළාතක් ලෙස සැලකිල්ලට ගත යුතුය යැයි දෙමළ ජාතික සන්ධානයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම යෝජනාවට දැඩි විරෝධය දක්වා තිබේ. අනෙක් පසින් කෙටුම්පත් වාර්තාවල සදහන් වන පරිදි, ජාතික හෙළ උරුමය යෝජනා කර ඇත්තේ බලය බෙදීම, දිස්ත්‍රික් පදනම් වන ක්‍රමවේදයක් යටතේ සිදුකළ හැකි බවය.

බෙදුම්වාදයට ඇති අවස්ථා ව්‍යර්ථ කරනු වස් නව ව්‍යවස්ථාවට වගන්තියක් හෝ වගන්ති ඇතුළත් විය යුතුවම තිබෙන බවට මෙහෙයුම් කමිටුව නිර්දේශ කර තිබේ. එහි සදහන් වන ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍යය “නොබෙදුණු හා නොබිදෙන“ රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත්විය යුතුය.“ කිසිදු පළාත් සභාවකට හෝ අධිකාරියකට හෝ ශ්‍රී ලංකාවේ කිසිදු කොටසක් වෙනම පාලන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එවැනි පාලන ප්‍රදේශයක් ඇති කිරීම සදහා වන කටයුතුවල යෙදීමට හෝ බලපෑම් කිරීමට හෝ හැකියාවක් නොමැත.“ යැයි එහි වැඩිදුරටත් සදහන් වේ.

උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුකර ඇති මෙහෙයුම් කමිටු වාර්තාවට අනුව, දැනට භාවිතයේ ඇති ව්‍යවස්ථාවෙන්ම පළාත් දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එක්කර තනි පාලන ප්‍රදේශයක් බවට පත්කර ගැනීම සදහා ලබා දී තිබෙන අවසරය, එලෙසින්ම පැවැතිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවිය යුත්තේ අදාළ පළාත්වල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විය යුතු ජනමත විචාරණයකින් පසුව යන්න මෙහෙයුම් කමිටු වාර්තාවෙන් අවධාරණය කර ඇත.

කෙටුම්පතට අනුව සියලුම රජයේ ඉඩම්වල හිමිකාරීත්වය ඇත්තේ රජයටය. රජය හා සාකච්ජා පැවැත්වීමෙන් පළාත් සභා ලැයිස්තුවල සදහන් වන විෂයයන්ට සහ ක්‍රියාමාර්ගවලට එම ඉඩම් නිදහස් කිරීමට පළාත්බද පරිපාලනමය ව්‍යුහයකට හැකිය. මෙම වැඩපිළිවෙළ හා එකග නොවන පළාත් සභාවක් වේ නම්, අගමැතිවරයා නම් කරන සාමාජිකයකු, පළාත් සභා ඇමැතිවරයා නම් කරන සාමාජිකයකු සහ මෙම නම් කරන සාමාජිකයන් දෙදෙන තෝරාගන්නා සභාපතිවරයකුගෙන් සමන්විත වන විනිශ්චය සභාවක අවධානයට ජනපතිවරයා එය යොමුකරනු ඇත. එවන් විනිශ්චය සභාවකින් ලබාදෙන තීන්දුව මාර්ගයෙන් මධ්‍යම රජය සහ අදාළ පළාත් සභාව එකිනෙක හා සම්බන්ධවනු ඇති අතර, එම තීන්දුව සම්බන්ධයෙන් ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අභියාචනා ඉදිරිපත් කිරීමට රජයට හා පළාත් සභාවට අවශ්‍ය අවසරය ද ලබාදෙනු ඇත.එවන් තීරණයක් පිළිබදව විමර්ශනය කිරීමට, නියෝග ලබාදීමට හෝ කිසිදු ආකාරයකින් ප්‍රශ්න කිරීමකට ලක්කිරීමට, කිසිදු අධිකරණයකට හෝ විනිශ්චය මණ්ඩලයකට හෝ හැකියාවක් නැත.

කෙටුම්පතෙහි දැක්වෙන ආකාරයට දෙවන මන්ත්‍රණ සභාවකි පිහිටුවීමට සාමාජිකයන් පොදු එකගතාවක් පළකර ඇත. එවන් මන්ත්‍රණ සභාවක සාමාජිකයන් බහුතරය පළාත් සභා මට්ටම නියෝජනය කරනු ඇති අතර, කෙටුම්පතෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය වන්නේ පළාත් සභා මට්ටමින් සාමාජිකයන් 45ක් ද, පාර්ලිමේන්තුවෙන් සාමාජිකයන් 10ක් ද බැගින්, මුළු සාමාජික සංඛ්‍යාව 55ක් වන සේ මෙම මන්ත්‍රණ සභාව පිහිටුවිය යුතුව තිබෙන බවය. පාර්ලිමේන්තුවෙන් තෝරාගැනෙන සාමාජිකයන් පස් දෙන පිළිබදව විශේෂ සදහනක් කර ඇති කෙටුම්පතට අනුව ඔවුන්, “ ජනතාව අතර මෙන්ම තම පෞද්ගලික ජීවිතයේ ද ගෞරවාන්විතව කටයුතු කරන බවට සියල්ලෝ පිළිගන්නා, ගෞරවාන්විත පුද්ගලයන් “ විය යුතුය.

ව්‍යවස්ථා කෙටුම්පතට අනුව මෙම මන්ත්‍රණ සභාවට දැනට භාවිතයේ ඇති සාමාන්‍ය නීති නැවත අධීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තුවට යොමු කිරීමේ නිශේධ බලයක් හිමි නොමැත. සාකච්ඡාවට ගැනීම සදහා පාර්ලිමෙන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන පනත් සම්බන්ධයෙන් වෙනත් අදහස් තිබේදැයි යන්න දැනගැනීම සදහා ඒවායේ දෙවැනි පාර්ලිමේන්තු කියැවීමට ප්‍රථමයෙන්, මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කැරෙනු ඇත.පනතක්, නීතියක් ලෙස සම්මත කැරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රණ සභාව යන ද්විත්වයෙන්ම තුනෙන් දෙකක බහුතරයක් ඊට හිමිවුවහොත් පමණකි.

ගෙවුණු සමයේ ඉදිරිපත් කැරුණු සහ වර්තමානයේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙන මැතිවරණ ක්‍රමයන් අරභයා ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවලින් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගනිමින්, මිශ්‍ර සාමාජික සමානුපාත ඡන්ද ක්‍රමයක් ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර තිබේ. අවසන් ප්‍රතිඵලය සහ (මුළු ආසන සංඛ්‍යාව) සෘජුව දිනාගත් ආසන සංඛ්‍යාව සමානුපාත කිරීම මෙම ක්‍රමයේ පිළිවෙතයි.

 කෙටුම්පතෙහි සදහන් වන ආකාරයට දිවයින පුරා වැඩිම ආසන සංඛ්‍යාවකට හිමිකම් කියන පක්ෂයට නිශ්චිත ප්‍රමාණයක බෝනස් ආසන ප්‍රමාණයක් ද හිමිවේ.

දිනා ගැනීම සදහා ආසන 233ක් දේශපාලන පක්ෂ අතර බෙදාහැරේ. එයින් ආසන 140ක් (සියයට 60ක ප්‍රමාණයක්) කේවල ක්‍රමය යටතේ ද, 93ක් (සියයට 40ක ප්‍රමාණයක්) සහන ආසන ලෙස ද බෙදා හැරීමට නියමිතය.“ අවසන් ප්‍රතිඵලයෙන් සමානුපාත නියෝජනයක් නිරූපණය වන බව සහතික කිරීම“ , මෙවන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට හේතුව ලෙස කෙටුම්පතෙහි සදහන් කර ඇත. නිශ්චිත ප්‍රමාණයක අමතර ආසන සංඛ්‍යාවක්, එක් නිශ්චිත කාලසීමාවකට උතුරු පළාත වෙනුවෙන් වෙන් කැරෙන බව ද, පුද්ගලයන් අවතැන්වීම නිසා උද්ගතව තිබෙන ගැටලුකාරී තත්ත්වයට පිළියමක් ලෙස මෙවැනි පියවරක් පිළිපැදෙන බව ද, කෙටුම්පතෙහි දැක්වේ. කේවල ක්‍රමය යටතේ වන ආසන පුරප්පාඩු පිරැවෙන්නේ තනි ආසන නියෝජනය ඇති ඡන්ද කොට්ඨාසවලින් සහ ද්විත්ව ආසන නියෝජනය ඇති ඡන්ද කොට්ඨාසවලිනි. ඡන්ද දායකයකුට ඡන්ද දෙකක් හිමිය. එන් එකක් අපේක්ෂකයා වෙනුවෙනි. අනෙක පක්ෂය වෙනුවෙනි.

නීතිය හා සාමය පිළිබද කෙටුම්පතෙහි ඇති සදහනට අනුව ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අවසරය පරිදි මධ්‍යම රජය සහ පළාත් සභා කටයුතු කළ යුතුව ඇත. එය සිදුවිය යුත්තේ

1. ශ්‍රී ලංකා ජාතික පොලිසිය
2. ශ්‍රී ලංකා පළාත් පොලිසිය හරහාය.

සියලුම පළාත්බද පොලිස් සේවාවලට අවශ්‍ය වන අවි, උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් උපාංගවල ස්වභාවය, වර්ගය, සහ ප්‍රමාණය, අදාළ පළාත් සභා පොලිස් කොමිසම් හා සාකච්ඡා කිරීමෙන් පසුව, ජාතික පොලිස් කොමිසම තීරණය කරනු ඇත.

කෙසේවුවත් ජාතික හෙළ උරුමයේ අදහස වන්නේ නීතිය හා සාමය මධ්‍යම රජය යටතේම පැවැතිය යුතු බවය.
ඉතිහාසයේ ප්‍රථම වතාව ලෙස සැලකිය හැකි පරිදි, නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සතුව තිබූ “ අපරාධ විමර්ශන කටයුත්තකට හෝ අත්අඩංගුවට ගැනීමකට හෝ එම අවස්ථාවට අදාළව උපදෙස් ලබාදීමට සදහා“ ලබාදී තිබූ බලතල නව කෙටුම්පතෙන් ඉවත් කර ඇත.“ පළාත්බද පොලිස් සේවාවලට අදාළව බදවාගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම, යනාදී සියලුම වගකීම්“ පළාත් පොලිස් කොමිසමට පැවරෙන බව කෙටුම්පතෙහි සදහන්ය. පළාත් පොලිස් කොමිසමට මෙම බලතල ක්‍රියාත්මක කළ හැක්කේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලයෙන් පහළ තනතුරු සදහා බලපැවැත්වෙන පරිදි පමණක් බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පවත්නා නීති ව්‍යුහය පදනමේ සිට, පළාත් පාලන ආයතනයන් මත බලපැවැත්වෙන පරිදි මැතිවරණ පැවැත්වීම, ව්‍යුහයන් සකස් කිරීම සහ බලයන් බෙදා හැරීමේ අවසරය මධ්‍යම රජයට හිමිවිය යුතු බව මෙහෙයුම් කමිටුවෙන් නිර්දේශ කර ඇත. පළාත් සභා සතු බලතල සීමාවේ සිට මෙම කටයුතු සිදුවිය යුතුව තිබෙන බවද කමිටුව පෙන්වා දී තිබේ.

රවීට ලොතරැයි දිනුමක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මැදිහත්ව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දී ඇත.

සිකුරාදා ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයකින් මෙම ආයතන ද්විත්වය, විදේශ අමාත්‍යාංශය යටතේ ඇති තවත් ආයතන තුනක් යටතට ඇතුළත් කර තිබේ. එම ආයතන තුන වන්නේ, විදේශයන්හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා තානාපති කාර්යාල, අන්තර්ජාතික සබදතා සහ මුලෝපායික අධ්‍යයනයන් පිළිබද ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ ජාතික සමුද්‍ර කටයුතු පිළිබද ලේකම් කමිටුවය.

මැයි 22 වැනිදා තමන් එතෙක් දරමින් සිටි මුදල් ඇමති ධූරයෙන් සමුගෙන විදේශ කටයුතු අමාත්‍යංශය භාරගත් දිනයේ සිටම කරුණානායක, තමන් යටතට පත්කරන ලෙස ඉල්ලා සිටි ආයතන කිහිපය අතර මෙම ආයතන ද්විත්වය ද තිබිණ. තනතුරු බාරගෙන දින 19කට පසු එම ආයතන ද්විත්වය කරුණානායකට පවරා දීමට ජනපති සිරිසේන කටයුතු කිරීමත් සමග, රවීට වුවමනා අමතර ආයතන ඔහුට ලබාදීමට ජනපතිවරයා කටයුතු කරනු ඇතිදැයි රට පුරා පැවැති ආන්දෝලනය නිමාවට පත්විය. විදේශ කටයුතු අමාත්‍යංශය යටතට මෙසේ දිවයිනේ ඇති ලොතරැයි ආයතන ද්විත්වය පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

● විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ මින් පෙර ලයිස්තු ගත කර නොතිබූ ක්‍රියාකාරීත්වයන් කිහිපයක්ම දැන් එය යටතට ඇතුළත් කර ඇත. ඒවා වන්නේ,
ශ්‍රී ලංකා විදේශ සේවයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවයට අනුයුක්තව සිටින පුද්ගලයන්ගේ පරිපාලන සහ වෘත්තිමය කුසලතා සංවර්ධනය කිරීම.
● ගෝලීය - දේශපාලනික ප්‍රවණතා පිළිබද අධ්‍යනයක් සිදුකිරීම මගින් ශ්‍රී ලංකාවට වාසි සහගත වන අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගැනීම සදහා අනුගමනය කළයුතු මූලෝපායික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට අවශ්‍ය උපදෙස් ලබාදීම.

විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධන වෙනුවෙන් වහාම අවශ්‍ය පියවර ගැනීම.
ජාතික ගැටලුව විසදීම සදහා වැදගත් වන යාන්ත්‍රණයන් සාර්ථකව ක්‍රියාත්මක කරවීම අරභයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු අන්තර්ජාතික ප්‍රජාව සමග අත්වැල් බැදගැනීම.

ජාතික ප්‍රතිපත්තිවලට අදාළ වන ආර්ථික කටයුතු හා බැදුණු ඉලක්කයන් සපුරාගැනීම සදහා ආධාර කිරීම සහ අවශ්‍ය සම්බන්ධීකරණය පවත්වාගැනීම.

සංවර්ධන ඇගයීම් අමාත්‍ය තිලක් මාරපන මහතා යටතට නව ආයතන කිහිපයක් පවරා ඇත. ඒවා වන්නේ ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ සහ නියාමනය කිරීමේ දෙපාර්තමෙන්තුව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, සහ මුල්‍ය සේවා ඇකඩමිය යන ආයතනයයි. ඔහුට හිමි වගකීම් සහ ක්‍රියාකාරීත්වයන් වන්නේ,

ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ව්‍යාපෘති සම්බන්ධීකරණය, මෙහෙයවීම, නියාමනය සහ ඇගයීම සිදු කිරීම.

සංවර්ධන පදනම් වූ ව්‍යාපෘති සහ වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සදහා අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම.

සංවර්ධන ව්‍යාපෘතීන් අරභයා ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව සමග සම්බන්ධතා පවත්වා ගැනීම.

ජාතික ප්‍රතිපත්ති නියාමන සහ ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයාට සහය වීම.

පසුගිය මාසයේ දිවුරුම් දුන් අනෙක් අමාත්‍යවරුන් සියලුමදෙනාට හිමිවූයේ ඒ දක්වා සිටි විෂය භාර අමාත්‍යවරයා වෙනත් තනතුරකට මාරු කිරීම හමුවේ පුරප්පාඩු වූ තනතුරුය.

මංගල සමරවීර අමාත්‍යවරයා සැලකීමේ දී, මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස අමාත්‍යාංශ ද්විත්වයක් නියෝජනය කිරීමට ඔහුට සිදුවුව ද, දැන් එම අමාත්‍යංශ දෙක එක්කොට තනි අමාත්‍යාංශයක් පිහිටුවා ඇත.

 

සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි
පරිවර්තනය කෝවිද ගුණසේකර



අදහස් (0)

ඇද්දෙන පැද්දෙන ව්‍යවස්ථා වෙනස

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11153 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site