IMG-LOGO

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් එල්ලුම් ගහට නියමවෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)   

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත‍්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයකු වන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.  


සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ට මෙසේ මරණ දඬුවම් නියම විය.   
රත්නපුර අංක දෙක මහාධිකරණයේදී මෙම දඬුවම නියම කිරීම සිදුවිය. 31දා පෙරවරුවේ අධිකරණයේ සාමාන්‍ය නඩු විමසීමෙන් අනතුරුව තීන්දුව දීම සඳහා නඩුව කැඳවනු ලැබීය. අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් තීන්දුව දැන ගැනීම සඳහා රැස්ව සිටියහ. පොලීසිය විශේෂ ආරක්‍ෂාවද යොදා තිබුණි. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අධිකරණ භූමියට මහජනයා ඇතුළු කරනු ලැබීය. විත්තිකරුවෝ තිදෙනාම අධිකරණය හමුවේ පෙනීසිටියහ.   
එහිදී තින්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි. ඒ නිසා විත්තිකරුවන් තිදෙනාට මරණ දණ්ඩනය නියම කරන බවද පැවසුවේය.   
ඊට අමතරව, ඝාතනයට ලක්වු දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතීන්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් රුපියල් ලක්‍ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදී තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්ෆාම් යන දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ තුනක වන්දි ගෙවන ලෙසද නියම කරනු ලැබීය. මෙම වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 24 බැගින් වූ බරපතළ සිරදඬුවම් ද නියම කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.   


රත්නපුර මහාධිකරණ බලසීමාවට අයත් කහවත්ත නගරයේදී වර්ෂ 2015 ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරීම අරමුණු කරගෙන නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් එම ක්‍රියාකලාපයේදීම වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්ෆාම් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, එකී ක්‍රියාකලාපයේදීම දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම යන චෝදනා ඇතුළුව අධි චෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 සැප්තැම්බර් 13 දින අධිචෝදනා ගොනුකරනු ලැබීය.   


රත්නපුර මහාධිකරණ විනිසුරු යූ.එච්.බී. කරලියැද්ද මහතා හමුවේ අධි චෝදනා බාරදුන් අවස්ථාවේ විත්තිකරුවන් සියලු දෙනාම නිවැරදිකරුවන් බව කියා සිටියහ.   


ඉන් පසුව 2017 වර්ෂයේ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ මෙම නඩුවේ සාක්කි විභාගය ආරම්භ විය. වසර දෙකක කාලයක් මූලික සාක්කි විමසීමකින් පසු එම විත්තිකරුවන් අතරින් පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන සිව් දෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනාට පමණක් එරෙහිව නඩු විභාගය පැවැත්විණි.   


විත්තිකරුවන්ට විරුද්ධව සාක්කි පනස් නවයක් සහ නඩු භාණ්ඩ 16ක් පැමිණිල්ල විසින් නම් කර තිබුණි. එසේම 1995 අංක 14 දරණ සාක්කි විධිවිධාන පනතේ 7(1) වගන්තිය අනුව මෙම විමර්ශනවලදී විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව යොදාගත්, සිද්ධිය වූ ස්ථානය අවට පිහිටි වෙළෙඳසල් තුනකින් සිද්ධිය වූ දින අලුයම 01.00ත් 01.30 අතර කාලයේ දර්ශන ඇතුළත්ව ලබාගත් සීසීටීවී කැමරා තුනක දර්ශන ඇති ප්‍රතිඋත්පාදන තැටි සහ ඩයලොග් සහ මොබිටෙල් ජංගම දුරකතන වාර්තා ද නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.   


එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ ප්‍රේමලාල් ජයසේකර මහතා 2018 ජනවාරි 14 දා පැල්මඩුල්ල නගරයේ පැවති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවූ රැලියක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. 2020 මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහු තරග වදී. 2017 සිට පාර්ලිමේන්තුව පැවති දින 252 තුළ ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට හැකිව තිබුණේ දින 39ක් පමණි. දින 213ක් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට නොහැකිවී තිබුණි.   


මරණ දඬුවම නියම වූ සබරගමු හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි මහතා සබරගමු පළාත් සභාව යටතේ පවතින කර්මාන්ත අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 

 



අදහස් (0)

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් එල්ලුම් ගහට නියමවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site