රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා  

 

(දයාසීලි ලියනගේ)  

දැනට හඳුනාගත් කොවිඩ් - 19​ රෝගීන් 100 ආශ්‍රයෙන් මෙතෙක් හඳුනා නොගත් කොරෝනා රෝගීන් 500 ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කීය.  


මෙම රෝගීන් 100 ඇසුරු කිරීම මත නිරෝධායනය කරමින් සිටින 18000 ක පිරිස අතරත් මේ අය සිටිය හැකි බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  

 

එක් රෝගියකුට තවත් රෝගීන් 406 ක ප්‍රමාණයක් බිහි කළ හැකි වෙන අතර සමාජ ගැටීම් සියයට 75 කින් අඩු නොකළහොත් මේ තත්ත්වය වර්ධනය වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


රෝගය බෝවී ඇති අයෙක් සමාජයෙන් ඈත්වී නිවසේ සිටියහොත් රෝගය බෝවීම සිදුවන්නේ සියයට 2.5 කට පමණක් බව අනාවරණයවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.  
එක් රෝගියකුගෙන් තවත් 406 කට රෝගය බෝවෙන්නේ නම්, අපේ රටේ සමාජගතවී සිටින රෝගීන් සංඛ්‍යාව අනුමාන කළ නොහැකි බව ප්‍රකාශ කළ වෛද්‍ය සොයිසා මහතා අප රට පසුවන්නේ අවදානම් සීමාවේ බවද කීය.  


හඳුනාගත් රෝගීන් 100 න් 35 ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 65 නිසා තවත් 500ක 600ක පමණ පිරිසක් නිරෝධායනය විය යුතු බවට සැක කරනු ලබන බව ද කීය.  


මෙම වසංගත රෝගී තත්ත්වය පියවර 4 කින් යුක්තවෙන අතර පළමුවැන්න කිසිම රෝගියකු නොවීමයි. දෙවැන්න අහඹු ලෙස රෝගීන් සිටීමයි. තුන්වැන්න රෝගීන් සමූහයක් වශයෙන් සිටීමයි. සිව්වැන්න සමාජගත ව්‍යාප්තියයි. අප සිටින්නේ තුන්වැනි පියවරේ ‘බී’ කොටසේය. මේ වෙනවිට පවුලෙන් එළියට රෝගය ව්‍යාප්තවී ඇති බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  


මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය සොයිසා මහතා මෙසේද කීය.  


හදිසි තත්ත්වයක් යටතේ රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත නොහැකිවනු ඇත. මේ හඳුනාගත් රෝගීන් 100 න් 18000 ක් ගැන අවධානය යොමුකර ඇත. සමාජගත රෝගී විය හැකි පිරිස ගැන පැහැදිලිව කිව නොහැක.  


මේ පිරිස් ගැටෙන එක අවම කළ යුතුව ඇත. වැඩි රෝගීන් පිරිසක් සිටින්නේ කොළඹය. කළුතර ගම්පහ අනෙක් ප්‍රදේශයි. මේ අය අතර පළාතෙන් බැහැරට ගිය අය සිටිනු ඇත. ඉන්දියාව දින 21 ක් සියල්ල නතර කර ඇත. සියයට 75 කට වඩා රටේ සංචරණය නතර කර ඇත. ඒ අය සඳහා ජන ජීවිතය ගෙන යාමට තීන්දු තීරණ ගත යුතුව ඇත. ද්‍රව්‍ය නිවාසවලට ගෙනගොස්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. රෝගය ප්‍රබල වූ පසු ප්‍රතිකාර කිරීමට අපට ඇති අවස්ථාවන් සීමා සහිතය.  


කොතලාවල වෛද්‍ය පීඨයට අදාළ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය යොදා ගැනීමට පියවර ගෙන ඇත. ඇඳන් 80 ක් 100 ක් අතර ප්‍රමාණයක් එහි සැකසිය හැකි වෙයි. ඉදිරියේදී තදබදයක් ඇතිවුවහොත් එයට සූදානම් විය යුතුව ඇත. රෝගය බරපතළ වුවහොත් තදබදයක් ඇති නොවනසේ පියවර ගැනීමට සූදානමක් තිබිය යුතුව ඇත. හදිසි ප්‍රතිකාර, විශේෂයෙන් නිර්වින්දන වෛද්‍යවරු මේ ගැන සාකච්ඡා කර තිබේ.  


මේ තාක්ෂණය යොදා ගත හැකි අවස්ථාවකි. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබාදීමේදී තාක්ෂණය දියුණු කළ යුතුව ඇත. මේ වෙනවිටත් වෛද්‍යවරු 10 ක් පමණ නිරෝධායනයට යෙදවීමට සිදුවී ඇත. වෛද්‍යවරු යෙදවීමට නොහැකි වුවහොත් එය බරපතළ ප්‍රශ්නයකි. වෙනත් රටවල වෛද්‍යවරු බොහොමයක් සේවයෙන් ඉවත්වී ඇත.  


මේ තත්ත්වයන් මත අප්‍රේල් 1 සිට 7 වැනිදා වෙනතුරුවත් උච්චම අවස්ථා ලෙස සැලකිය යුතුය. සමාජ දුරස්ථතාවය දෙවැනි පියවර යටතේ තිබිය යුතුය. දැනට තිබෙන දත්ත අනුව පසුගිය 23 හා 24 දිනවල කරන ලද ක්‍රියාකාරකම් සමග එතැන සිට සති දෙකක් බැලිය යුතුය. ගිය 13 වැනිදා සිට 27 වැනිදා දක්වා එක් අවස්ථාවක්ද, දෙවැනි අවදානම අප්‍රේල් මුල් සතියේද විය යුතුයි. ඒ අනුව මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා ඉතා අවදානම් කාලයක් ලෙස සලකා ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට වහා පියවර ගතයුතු බවද හෙතෙම අවධාරණය කළේය.