රටේ ආදායම පිල්ලි ගැසූ චිලී රටේ දේශපාලකයෝ


වළපල්ලට ගිය රටවල්

 

 

අද ලෝකයේ බොහෝ දිළිඳු රටවල බලයට පත් වී සිටින්නේ රට, ජාතිය, ආගම බේරා ගන්නා බවට ජනතාවට පොරොන්දු වී බලය ධනය දේපොළ කොල්ල කන දේශපාලන හොරුය. පොදු ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන දේශපාලුවන්ය. ඔවුහු වීරත්වය, කථිකත්වය හා බොරුව ආරූඨ කරගෙන සිදු කරන්නේ පවුලේ ඥාතීන් සමග ඒ ඒ රටවල් සූරා කෑමයි. ඔවුහු රටක විනාශය හමුවේ නිරත වෙන්නේ අසික්කිත දේශපාලනයකයි. ඔවුහු රටට හෙන ගැසුවාට සත පහකට ගණන් ගන්නේ නැත. ඔවුන් සිදු කරන්නේ වාග් සංඥාව පවත්වා​ ඡන්ද කුට්ටි වැඩි කර ගැනීමේ සෙල්ලමකි.


ඡන්ද කුටිටිවලට ගිජු වී ජනතා ජීවිත බිලි දෙන පාලකයින්ගෙන් රටකට වැඩක් ති​ෙබ්ද? මෙවැනි පාලකයින් ඕනෑම මරාලයක් තම වාසියට හරවා ගැනීමට අති දක්ෂය. ලංකාවෙත් මෙහෙමය. ලෝකයේ ඇති රටවල් සංඛ්‍යාව 195 කි. මේ වෙන විට ලොව පුරා ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 210කට වැඩිය. ලෝකයේ වත්මන් තත්ත්වය විදහා දැක්වීමට මෙය හොඳම උදාහරණයකි. ලොව බොහෝ රටවල් වළපල්ලට ගොස් ඇත්තේ පාලකයින්ගේ වරද සහ ත්‍රස්තවාදය නිසාය. අද හඳුන්වා දෙන්නේ එවැනි හේතූන් නිසා අගාධයට ඇද වැටුණු තවත් ලතින් ඇමෙරිකානු රටකි.


ජනපතිවරු 79 දෙනෙක් වැනසූ චිලී රට


මේ රට චිලී (Chile) දේශයයි. නැතහොත් චිලි ජන රජයයි (Republic Of Chile). පේරු, බොලිවියාව, ආර්ජන්ටිනාව යන රාජය්‍යන්ට මැදිව පැසිපික් සාගරයට මුහුණලා පිහිටි මේ රට අද අස්ථාවරත්වයට පත් ආරාජික දේශයකි. ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගෙන වසර 201 කි. ජනාධිපතිවරුන් 79 දෙනකු පාලනය කළ රටකි. මොවුන්ගෙන් බහුතරය මේ රටේ ද ගෙන ගියේ ඒකාධිපති පවුල් පාලනයකි. මොවුහු බලය ලබා​ෙගන රත්රන්, තඹ, රිදී, යකඩ විකුණා ලබා ගත් ආදායම පිල්ලි ගැසූ අයුරු ප්‍රකටය. සන්තියාගෝ (Santiago) අගනුවර සුරපුරක් බඳුය. එහෙත් එහි ඇතුල් පැත්ත අපායකි.


මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල කල්ලි මෙහෙය වන අපරාධ, කාන්තාවන්ට ලිංගික අතවර කිරීම් ආදිය බහුලව සිදුවන චිලි රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඬූ තවත් අවාසනාවන්ත රටකි. විශාලත්වය ව.කි.මී. 7,56,096ක් හෙවත්. ව.සැ. 2,91,930 කි. ජනගහණය 17,574,003 කි. වත්මන් ජනපති සෙබස්තියන් පිනෙරා (Sebastian Pinera) ය. මෙහි බලයට පත් හැම පාලකයෙකුම පාහේ උත්සාහ කළේ තිබෙන බලය රැක ගැනීමටය. නැති වූ බලය යළි ලබා ගැනීමටය. විරුද්ධවාදීන් සුනු විසුණු කිරීමටය. රාජ්‍ය දේපොළ පවුලේ ඥාතීන් අතර බෙදා හදා ගැනීමටය. ධුර කාලය විවිධ උප්පරවැට්ටි යොදවා දීර්ඝ කර ගැනීමටය. ඔවුන් එසේ කරන්නේ නම් රටක් ඉදිරියට යන්නේ කෙසේද?


මා මේ කියන චිලි රටේ ද සිටින්නේ ජනතා සල්ලි කෝටි ගණනින් කොල්ලකමින් ලජ්ජාවක් නැතිව ජනතාවට විරිත්තන දේශපාලකයින්ය. මේ රටේ ද පගා මරුවන් එළියට එන විට ඔවුන් තොරන් ගසා පිළිගන්නා ආඥාන ජනතාවක් ජීවත් වන බව කිව යුතුය. මෙහි පාලකයෝ ද තම පවුලේ ඥාතීන් සමග සොරකම් කර ඉන් ආශ්වාදයක් ලබා ගනී. ඔවුහු උසාවියටත් රටටත් ජනතාවටත් තම කෙරුවාව හංගන නරුමයින්ය. තක්කඩි එළියට එන විට ඔවුන් පිළිගන්නා ජනතාවත් මේ රටේ පරිහානියේ කොටස්කරුවන්ය. වසර 70 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදු වූයේ ද මෙය නොවන්නේද?


75,000 පමණ වූ ළමයින් සංඛ්‍යාවක් පාසල් යාමට නොහැකිව විවිධ අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පෙළඹී සිටීම කොතරම් අභාග්‍ය සම්පන්නද? මුළු ජනගහණයෙන් සියයට 30ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළේ. කැම්පමෙන්ටෝ (Campomento) පළාත අවීචි මහා නරකාදියකි. එය රටේ වැඩිම ජනගහණයකින් සමන්විත පළාතයි. එහි වෙසෙන ජනතාවගෙන් සියයට 65ක් පමණ එදා වේල පිරිමසා ගන්නේ ඉමහත් ජීවන සටනක නිරත වෙමින්ය. විදුලිය, ගමනාගමන, සෞඛ්‍ය, ජලය, අධ්‍යාපන පහසුකම් නැති ගම්මාන රාශියකි.

 

 


ජනතාවට කොකා පෙන් වූ චිලී පාලකයෝ


රාජ්‍ය දේපොළ කුණුකොල්ලයට විකිණීම හේතු කොට ගෙන මේ රට ප්‍රපාතයට ඇද වැටුණේය. දූෂිත පාලකයින් සිටින රටවල් අතරේ 24 වැනි ස්ථානය හිමි වී ඇත්තේ චිලී රාජ්‍යයටය. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90කට අඩුය. 2010 පෙබරවාරි 27 දා මේ රටේ සිදු වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව දහස් ගණනකි. රට ආපස්සට යාම වඩාත් වේගයෙන් සිදු වූයේ මේ ස්වභාවික විපතෙනි. මෙහි කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ලිංගික අතවරවලට ලක් වෙති. කාන්තා හිංසනය දැවැන්ත අයුරින් සිදු වෙන රාජය්‍යයකි. ලෙඩ රෝග සෑදී මිය යන අයගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙමින් පවතී.


​සෞඛ්‍ය පහසුකම් නොමැති වීම ඊට ප්‍රධාන හේතුවයි.


2010 භූමි කම්පාව සිදු වූ විට ජාත්‍යන්තර සංවිධානවලින් ලබා දුන් ආධාර එවකට සිටි පාලකයින් විසින් ගසාකනු ලැබුවේ ජනතාව මරහඬ දෙමින් පණ පිටින් මිහිතලයේ පස් තට්ටු යට මිහිදන් වෙද්දීය. සහනාධාරවලින් පවා ගසා කනු ලැබූ මෙහි පාලකයින් හිතක් පපුවක් ඇති මිනිසුන්ද? රත්රන්, තඹ, රිදී, යකඩ ආකර විශාල සංඛ්‍යාවක් රට පුරා ඇත. මේවායින් රාශියක්ම විදේශ සමාගම්වලට විකුණා අවසන්ය. මේවා විකුණා ඇත්තේ දේශපාලකයින්ට කොමිස් ගැනීමට බව ප්‍රකටය. මෙම රන්, රිදී, තඹ අාකර රාශියක්ම අයත් වන්නේ පාලකයින්ගේ පවුල්වල ඥාතීන්ටය.


චිලී වයින් (Chile Wine) ලෝක ප්‍රසිද්ධය. වයින් නිෂ්පාදනයෙන් ද අතීතයේ රටට විශාල ආදායමක් ලැබිණි. දැන් එම වයින් නිෂ්පාදනාගාර වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ දේශපාලකයින්ය. තම රටේ නිපදවන වයින් ටිකක්වත් බීමට චිලියේ ජනතාව වරම් නැත. චිලියට ආදායම් ගෙන එන ප්‍රධාන මාර්ගයකි එහි නිපදවන ඇපල් සහ මිදි පිටරටවලට අලෙවි කිරීම. පාලකයින් මැදිහත් වී එම නිෂ්පාදනයට ද කොකා පෙන්වා ඇත.


චිලියේ පිනෝචේ රට කෑ හැටි


මේ රට විනාශ මුඛයට පත් වූයේ විටින් විට බලයට පත් පාලකයින්ගේ අන්තනෝමතික ක්‍රියා නිසාය. විශේෂයෙන්ම 1973 සැප්. 11 දා හිටපු ජනාධිපති ඇලන්ඩේ නෙරපා හැර යුද හමුදා ජනරාල් අගෝස්තෝ පිනෝචේ (Augusto Pinochet) රටේ පාලනය සියතට ගැනීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි විය. පිනෝචේ බිරිඳ හා ළමයින් පස්දෙනා සමග රටේ ගෙන ගියේ ඒකාධිපති පාලනයකි. ලතින් ඇමෙරිකානු රටවල් අතර මෙතෙක් බලයට පත් වූ දරුණුම ඒකාධිපතියා පිනෝචේය.


දිවි නසා ගත් ජනපති


ජනරාල් පිනෝචේ චිලියේ මුල් පුටුව ලබා ගත්තේ කුමන්ත්‍රණයකිනි. 1973 දී මොහු චිලී රටේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේය. හමුදාව සමග එක් වී ජනාධිපති මන්දිරයට බෝම්බ ගසා එය විනාශ කළේය. ඒ වෙනවිට ජනපති පදවිය දැරූ ඇලන්ඩේ (Allande) ජනපති මැදුරු තුළදීම හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. ඇලන්ඩේ ද රට කා දැමූ පාලකයෙකි. ඔහු පවුලේ උදවිය සමග සොරකම් කළ මුදල් ඩොලර් මිලියන 20ක් පමණ විදේශ බැංකුවල තැන්පත් කර තිබුණි. ඔහු දිවි නසා ගත් පසු බලයට පත් ජනරාල් පිනෝචේ ද මුල් තැන දුන්නේ දූෂණයටයි. මුදල් විශුද්ධිකරණයටයි.


පිනෝචේ මෙහෙය වූ කුමන්ත්‍රණයෙන් මියගිය සංඛ්‍යාව 2115කට වැඩිය. ඔහුගේ ආරක්ෂක අංශ මගින් පුද්ගලයින් 27,265 දෙනකුට අමානුෂික වද වේදනා දුන්හ. සිර භාරයට ගත් සංඛ්‍යාව 400,018 කි. වද හිංසා පමුණුවා අතුරුදන් කළ අයගේ සංඛ්‍යාව 700කට අධිකය. ඔහු වසර 16ක් ඒකාධිපති හස්තයකින් රට පාලනය කළේය. පොදු ජනතාවගේ ජීවිත තුට්ටුවක් තරම්වත් ගණන් ගත්තේ නැත. ඔහුගේ හමුදා මගින් මරා දමනු ලැබූ අයගේ සිරුරු මිහිදන් කළේ සන්තියාගෝහි ප්‍රසිද්ධ ක්‍රීඩාංගණ භූමියේය.


චිලියේ අඳුරුම කාලපරිච්ඡේදය


චිලියේ පොළෝ තලය ජනතාවගේ රුධිරයෙන් තෙත් වෙද්දි පිනෝචේ තම බිරිඳ සහ ළමයින් 5 දෙනා සමග රට පාලනය කරන්නට පටන් ගත්තේය. වද දී මරා දමනු ලැබූ දහස් සංඛ්‍යාව පිරිසගේ මළ කඳන් අතරේ එවකට ලතින් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු වූ වික්ටර් ජාරා (Victor Jara) ගේ මළ සිරුර ද විය. පසුව එම මහජන ක්‍රීඩාංගණයට වික්ටර් ජාරාගේ නම යොදවනු ලැබීය. චිලී රටේ අඳුරුම කාලපරිච්ඡේදය වෙන්නේ 1973 සිට 1990 දක්වාය. ජනපති පිනෝචේ වසර 16ක්ම රට පාලනය කරමින් උපයා ගත් ධනය ඩොලර් මිලියන 28කට වැඩිය. ඔහුට එරෙහි මහජන උද්ඝෝෂණය තීව්‍ර වෙද්දි පිනෝචේ ලන්ඩනයට පළා ගියේය.


පවුල් බලය තර කර ගත් ඒකාධිපතියා


ලන්ඩනයෙන් සුඛෝපභෝගී නිවාස හා දේපොළ මිලට ගෙන තම පවුල සමග එහි ජීවත් වූයේය. 1998 ඔක්. 10 දා ඔහු ලන්ඩනයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. රෝද පුටුවකින් චිලී රටට ඔහු ගෙන එන ලදී. ඔහුට එරෙහි නඩු විභාගය චිලී ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විභාග වෙමින් පවතිද්දි 2006 දෙසැ. 10 දා ඔහු හෘදයාබාදයකින් මිය ගියේය. ඔහු විදේශ බැංකුවල තැන්පත් කළ මුදල් පිළිබඳ දත්තයන් තවමත් සොයා ගැනීමට හැකි වී නැත. පවුල් බලය තර කර ගත් ඒකාධිපතියෙකුට සිදු වූ සිද්ධිය පිළිබඳ කෙටි විස්තරයකි මේ.


යුද අපරාධ සිදු කරමින් දහස් ගණනින් පුරවැසියන් ඝාතනය කරනු ලැබූ පිනෝචේගේ අනුගාමිකයින් (ආරක්ෂකයින්) 106 දෙනකුට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කළේ චිලියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගර්නන් ක්‍රිස්ටෝස් ය. පිනෝචේට එරෙහි නඩු විභාගයේ තීන්දුව දීමටත් පෙර හෘදයාබාදයකින් ඔහු මිය ගියේ කළ පව් පළ දීමක් වශයෙනි. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. චිලී රට වඩාත් අගාදයට ඇද වැටුණේ මේ ඒකාධිපතියාගේ දූෂිත පවුල් පාලනය නිසාය.


මා මේ සඳහන් කළේ චිලී රට පරිහානියට පත් වූ ප්‍රධාන හේතුවකි.


චිලිය වැනසූ ජනපති බෑනා සහ දුව


පිනෝචේගේ බෑනා නැතහොත් දියණියගේ සැමියා ජුලියෝ පොන්ස් ය. රත්රන්, රිදී, තඹ ආකර රාශියක් රාජ්‍ය අනුග්‍රහයෙන් කුණුකොල්ලයට මිලට ගන්නේ මේ ජනපති බෑනාය. ඔහු එවකට මාමන්ඩිගේ රජයේ ඉහළ තනතුරු දැරුවේය. පිනෝචේගේ දුව ද මෙම දූෂිත කාර්යයන්ට හවුල් වූවාය. ජනපති බෑනා සහ දුව රටේ සම්පත් කොල්ල කෑ අයුරු ඉතා නින්දා සහගතය. පිනෝචේ ඔවුන්ට සහය දුන්නේය.


චිලියේ හිටපු ජනපතිනියකි මිචෙල් බැචලට් (Michelle Bachelet). ඇයගේ පුතා වූ සෙබස්තියන් දවලෝස් තම බිරිඳ සමග එක් වී සිදු කළ සොරකම් එකින් එක අනාවරණය වෙමින් පවතී.


මෙහි මා සඳහන් කළේ චිලී රට වළපල්ලට ගිය උදාහරණ කීපයක් පමණකි. පවුල් පාලනයක් පවතින්නේ කුමන රටේ ද ඒ රට ගොඩනැගීම අපහසුය.

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්​ෙයා්ර්ක් නුවර සිට ලියයි