
2020 නව වසර උදාවිය. දොරින් දොරට සතුටු සිනා මතුවිය. දරු පැටවුන් තුරුලු කරගෙන අලුත් අවුරුද්ද සැමරීම මාපියන්ගේ කැමැත්තය. මහා මන්දිරයේ සිට පැල්පත දක්වා එම සෙනෙහසේ වෙනසක් නොවන්නේය.
ළමයින්ටද නව වසර ප්‍රීතිමත් එකකි. සමහරු අලුත් ඇඳුම් අඳිති. දෙමාපියන් සමග පූජනීය ස්ථානයන්ට ගොස් වැඳුම් පිදුම් කරති. තවත් සමහරු අලුත් අවුරුද්දේ පාසල් යාමට ලක ලෑස්තිවෙති.   
එහෙත් හාලිඇළ කඳු මුදුනක පිහිටි නුගසෙවණ ගම අසල්වැසි කුඩා ගෙවල් දෙකක දියණියෝ දෙදෙනෙක් අලුත් අවුරුද්දේ සුදු පාට ළමා සාරිවලින් සැරසී සිටියහ. එක් කළ දෑත් මත මල් කලඹකි. පැලඳ වූ මුතුඇට මාලයකි.   
පවුලේ අය පමණක් නොව නෑ හිතවතුන් ද ඇසූ දුටූ අයද හඬවමින් ඔවුන් දෙදෙනා සදා නොඑනා නින්දේය. ඔවුන් සයනය කළ මිනී පෙට්ටි මතට කඩා වැටුණේ අම්මලාගේ කඳුළුය.   
යුරේකා සජීවනී (11) සහ දිලිනි රත්නායක (13) මේ දැරියන් දෙදෙනාය.   
යුරේකා ඉගෙන ගත්තේ බදුල්ල සිරිසුමන විද්‍යාලයේ 7 වන ශේණියේය. දිලිනි ඉගෙන ගත්තේ හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ 8 වන ශ්‍රේණියේය.   
යුරේකාගේ ගෙදරට පහළින් දිළිනිගේ ගෙදර පිහිටා තිබුණේය.   
යුරේකාගේ මව සහ පියා කම්කරු වෘත්තීන් හි යෙදී සිටිති. අම්මා වැඩට ගිය පසු නංගී රැක බලාගැනීම පැවරුණේ අක්කා වන අනුෂාටය.   
‘අක්කේ මං කළු මාමා එක්ක බදුලු ඔයේ නාන්න යනවා’ යුරේකා අක්කාට කියද්දී අක්කා එය අනුමත කළේ නැත.   
‘අනේ අක්කේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මට අායේ බදුලු ඔයේ නාන්න යන්න බැරිවෙයි. සුදු අක්කනේ, මං යන්නම්’ නංගි පැරැත්ත කළාය.   
යුරේකා ඒ වනවිටත් පහළ නිවසේ සිටින තම මවගේ මල්ලී වන කේ.පී. සිරිපාල හෙවත් කළු මාමාට අක්කාගේ ජංගම දුරකථනයෙන් කතාකරගෙන තිබුණි. ඒ කළු මාමාගේ දුව වන දිළිණි ද දිළිණිගේ අයියා වන තරංග ද කළු මාමා ද සමග නාන්න යාමටය.   

‘නංගී එහෙනම් කඩේට ගිහින් දවල්ට උයන්න සෝයා පැකට් එකක් අරන් එන්න’ අක්කා කීවාය. යුරේකා වහා කඩේට දිවගොස් සෝයා පැකට් එකක් ගෙනැත් දී කළු මාමාගේ නිවසට යාම සඳහා අඩි පාරට බැස්සාය.  
‘නංගී මම කෑම හදල තියන්නම් ඉක්මනට එන්න’ යැයි අක්කා කීවේ නංගී තමාගේ කීමට අවනත නොවූ තැනය.   
යුරේකාගේ බාහිර ක්‍රියකාරකම් අතර නර්තනයට හපනියකි. ගමේ කෝවිලේ ගිනි පාගද්දී මුලින්ම ගිනි ගොඩ උඩින් යන්නේ ඇයයි.   
ඇය කාවාඩි නැටීමටද රුසියෙකු බව ගම්මු දැනගෙන සිටියහ. සිනා සිසී කළු මාමාගේ ගෙදරට යනවිට කළු මාමා, දිළිණි අක්කා සහ තරංග අයියා නාන ගමනට සූදානම්ව සිටියහ.   
මේ යන්නේ දිය නෑමට නොව දිය රකුසාට බිලිවීමට බව කිසිවෙක් නොදත්හ.   
කි.මී. 2ක් පමණ පල්ලම් බැස අතුරු පාරක් ඔස්සේ බදුලු ඔයට යනවිට තවත් පිරිසක් දිය නාමින් සිටියහ.   
දිය නාන මහවළ නමැති ස්ථානයට නුදුරින් වැලි තොටුපළක් ද පිහිටියේය. එනිසා ඔයේ ගැඹුරද දැන් වැඩිය.   
කෙසේ නමුත් කළු මාමා සහ තරංග අයියා දියට බැස්සත් යුරේකා දියට නොබැස ගල් පොත්තේ වාඩිවී දිලිනි අක්කා සමඟ කතා කරමින් දෙපා වතුරට දමමින් සිනාසෙමින් සිටියාය.   
කළු මාමා දියේ එබි එබී දිය නෑවේය. තරංග අයියා ද එසේම දිය නෑවේය. කළු මාමා දියට එබී උඩට එද්දී දියණියන් දෙදෙනා දක්නට නොවීය.   
‘තරංග පුතේ, නංගිලා නැහැ.’ කළු මාමා කෑ ගැසුවේය.   
දෙදෙනාම වට පිට බලා යුරේකා හා දිලිනි සොයන්නට ගැඹුරු දියට යනවිට ඔවුන් දෙදෙනාද සැඩ දිය පහරට හසුවී ගිලෙන්නට ගිය නමුත් ඉතා අසීරුවෙන් දියෙන් ගොඩවූයේ කෑගසමිනි.   
ඒ හඬ ඇසී ගමේ අය සහ පහළින් දිය නෑ අය දුවගෙන ආ නමුත් සැණින් දියට බැසීමට බියවූහ.   
ඩී.එම්. කුමාර ඒ වනවිට හිටියේ හාලිඇළ නගරයේය. ඔහුට මේ බව ආරංචි වී දුවගෙන ආවේය. වහා ඔයට පැන මේ දැරියන් දෙදෙනා හොයන්නට පටන් ගත්තේය. කුමාරටද හොඳින්ම පීනන්නට බැරි නිසා ඔහු ද සැඩ දිය පහරට හසුවුවත් ඔහු දිවිපරදුවට තබා ඉදිරියට ගොස් කිමිදී දැරියන් දෙදෙනා ගොඩගෙන ආවේය. තවත් තරුණයෝ පිරිසක් ද සහායට ඉදිරිපත් වූහ.   
වහාම ඔවුහු දැරියන් දෙදෙනා බදුල්ල මහ රෝහලට රැගෙන ගියහ. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සහ තවත් වෛද්‍යවරු කීපදෙනෙක් හෙද හෙදියන්ගේ ද සහාය ඇතිව දැරියන් දෙදෙනාට පණ දෙන්නට දැඩි උත්සාහයක නිරතවූහ.   
එහෙත් මියගිය කෙනෙකුට පණ දෙන්නට තරම් ශක්තියක් වෛද්‍ය විද්‍යාවට නොමැති බැවින් දැඩි සංවේගයකින් යුතුව නිහඬ වීම මිස වෙන කළහැකි දෙයක් නොවීය. ඔවුන්ගේ දෑස් කඳුළින් තෙත්විය.   
වැඩට ගොස් සිටි දිළිනිගේ අම්මා සහ යුරේකාගේ අම්මා බදුල්ල මහ රෝහලට පැමිණෙන විටත් දියණියන් දෙදෙනා සදහටම මෙලොවින් සමුගෙන තිබිණ. අම්මාවරුන්ගේ මර ළතෝනිය බදුලු මහ රෝහල තුළ ගිගුම් දුන්නේය.   
 කළු මාමා හඬ නඟා හඬා වැටුණේ ‘මට වැඩක් තියෙනවා අද නාන්න යන්න බැහැ දුව කියද්දි යුරේකා දුව කීපසැරයක් කතා කළ නිසා මට දුක හිතුණා. ඒ නිසයි ගියේ...... අනේ දෙයියනේ මට මගේ දුවයි, අක්කාගේ දුවයි දෙන්නම නැති වුණා’ යැයි කළු මාමා හඬා වැටුණේය.
කළු මාමා හඬ නඟා හඬා වැටුණේ ‘මට වැඩක් තියෙනවා අද නාන්න යන්න බැහැ දුව කියද්දි යුරේකා දුව කීපසැරයක් කතා කළ නිසා මට දුක හිතුණා. ඒ නිසයි ගියේ...... අනේ දෙයියනේ මට මගේ දුවයි, අක්කාගේ දුවයි දෙන්නම නැති වුණා’ යැයි කළු මාමා හඬා වැටුණේය.   
දිළිනිගේ අයියා වන තරංග සම්පත් හාලිඇළ කොබ්බෑකඩුව විදුහලේ 10 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි. ඔහු නංගිලා දෙන්නාගේ සීතල සිරුරු අතගාමින් කෑගසා හැඬුවේය.   
බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලදී.   
ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙම මරණ දෙකම දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බව බදුල්ල අතිරේක හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. ලීලාරත්න මහතා තීන්දු කළේය.   
දැරියන් දෙදෙනා දියට වැටුණු අයුරු කිසිවෙක් දැක නැතත් ඉඳගෙන සිටි ගල ලිස්සා යාමෙන් හෝ ඔයේ සැඩ දිය පහරක් නිසා ඔවුන් දෙදෙනා ඔයට වැටුණේ යැයි සැක පහළ වී තිබේ.   
බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට කුඩා නිවෙස් දෙක වෙත මෘත දේහයන් රැගෙන ගියහ.   
අලුත් අවුරුද්ද උදාවෙද්දි මේ සමනලියන් දෙදෙනා ගමේ පොදු සුසාන භූමියේ එකම ළඟින් කපන ලද වළක මිහිදන් වූයේ මුළු ගම්මානයම හඬවමිනි.   
දරු පැටවුන් පිළිබඳව අසන්නට ලැබෙන ඛේදවාචකයන්ට පසුගිය කාලයේ විරාමයක් නොවීය. මේ දුක්ගිනි නිවෙන්නටත් කලින් වැලිමඩ බෝගහකුඹුර නැදුන්ගමුවේ වූ ගොන්බැඳි වැවේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවෙක් දිය රකුසාට බිලිවිය.   
තරිඳු සම්පත් නමැති එම දරුවා ද නැදුන්ගමුව කරගහවිල ගම්මානය හඬවා නව වසර උදාවේ අවසන් ගමන ගියේය.   
සටහන හා ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ

 
																	 
																	 
																	 
																	 
																	 
																	