මහසොහොන් බළකාය හැදුවේ බොදුබල සේනාවෙන් කැඩී ආ පිරිසක්


 

තෙල්දෙණිය ප්‍රදේශයේ ඉන්ධන හලකදී දෙදරු පියෙකුට පහරදී ඝාතනය කිරීමත් සමඟම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජාතිවාදයේ ගිනි දැල් අැවිළීමට පටන්ගත්තේ මුළු රටම රත්කරවමින්ය.   


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සහ රහස් පොලිසියේ විශේෂ කණ්ඩායම් දෙකක් මෙන්ම මහනුවර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ කළේ ජාතිවාදී ගිනි දැල් ඇවිළීමට නායකත්වය දුන් හා ඒ සඳහා හවුල් වූවන් පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් අය සොයාය.   


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මුලින්ම සිදුකළේ ​ෙෆ්ස්බුක් හා සමාජ ජාලා බෙඩ් අඩවි පරීක්ෂාවට ලක් කිරීමය.   


මහසොහොන් බළකාය නමැති සංවිධානයකට සම්බන්ධ යැයි කියන පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටින බවට තොරතුරු අනාවරණය වූයේ ඒ පරීක්ෂා කර බැලීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.   


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම තවදුරටත් පුළුල් විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී අැත්තේ තෙල්දෙණියේ දෙදරු පියා ඝාතනය කිරීමට අදාළව අසත්‍ය තොරතුරු රැසක් ෆේස්බුක් හා සමාජ ජාලා ඔස්සේ පතුරුවා යැයි කියාය.   


තෙල්දෙණියේ දෙදරු පියාගේ මේ ඝාතනය ජාතිවාදී ගැටුමක් දක්වා උග්‍රවීමට මහසොහොන් බළකායේ මේ ප්‍රචාරයන් මහත් සේ පිටුවහලක් වී තිබෙන බව ද ත්‍රස්තවාදී විමර්ශන ​කොට්ඨාසයේ නිලධාරීන්ට පැහැදිලිවම පෙනී ගොස් ඇත.   


දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ බවට සැලකෙන අයගේ ඡායාරූප ගණනාවක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සොයාගෙන ඒ ඔස්සේ ද විමර්ශන ආරම්භ කළේ ඔවුන් කොටුකර ගැනීමටය.   


ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවීමට පිටස්තර ප්‍රදේශවලින් ද පිරිස් තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවලට කැඳවා ඇත්තේ මහසොහොන් බළකායේ සමහරුන් විසින් බවට කරුණු කාරණා ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හෙළිකර ගත්තේ ද වැඩිදුර පරීක්ෂණවලින්ය.   


මහසොහොන් බළකායේ ප්‍රධානියා ගැන ද තොරතුරු හෙළිකරමින් ත්‍රස්තවාදී විමර්ශන කණ්ඩායමක් මහනුවර බලා පිටත්ව ගියේ ඔහු අත්අඩංගුවට ගැනීමටය.   


මහසොහොන් බළකායේ නායකයා බව කියන කෙංගල්ලේ පදිංචි විදාන පතිරණගේ අමිත් ජීවන් වීරසිංහ කියන තැනැත්තා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.   


මහසොහොන් බළකායේ ප්‍රධානියාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තවත් 09 දෙනෙක් ද අවසානයේ අත්අඩංගුවට ගත්තේ මහනුවර, තෙල්දෙණිය හා දිගන යන ප්‍රදේශවලදීය.   


ඒ අතර තරුණ භික්ෂූන් වහන්සේ නමක් ද සිටිති.   


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළ ආකාරයට පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් ඒ 10 දෙනා වනුයේ මහසොහොන් බළකායේ නායකයා බව පැවසෙන අමිත් වීරසිංහ, ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස සැලකෙන නස්තාරං පට්ටියගේ සුරේද සුරවීර (ගම්පහ - යක්කල), සම්පත් අනුර ශ්‍රී කුමාරසිංහ, (දඹුල්ල වෑවලවැව), ආරච්චි කුඹුරේ සෝභිත හිමි (හලාවත - බංගදෙණිය), ආසිරි චතුරංග (හලාවත - කුරුඳුවත්ත), රශ්මිත බණ්ඩාර මහවත්ත (හලාවත), ඉසුරු ප්‍රියංකර කුමාර (රජවැල්ල), අසංග ප්‍රදීප් වීරසිංහ (මහනුවර කෙංගල්ල), ජයනාත් ඇන්ටන් ගුණරත්න (මුරුතලාව) හා සුමිත් චමින්ද (බලංගොඩ) යන අයයි.   


මහසොහොන් බළකායේ ප්‍රධානියා ඇතුළු 10 දෙනා මහනුවර සිට කොළඹ ත්‍රස්තවාදී කොට්ඨාසය වෙත රැගෙන ආවේ දැඩි රැකවල් මැද්දේය.  


ජාතීන් අතර අසමගිය ඇති කරමින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම, සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් අසත්‍ය තොරතුරු මුදා හැරීම, සමාජ ශාලා භාවිතා කරමින් කතා පවත්වා කුමන්ත්‍රණය කිරීම යන කරුණු අනුව මෙම 10 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙයි.  


රැඳවුම් නි​යෝග යටතේ මේ 10 දෙනා රඳවා තබාගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයුම් යටතේය.   


හලාවත තරුණයන් දෙදෙනා මහනුවර ප්‍රදේශයට ගොස් තිබුණේ භික්ෂූන් වහන්සේ සමඟය.  


මොකක්ද මේ මහසොහොන් බළකාය කියන්නේ? ඒ බළකාය කරන්නේ මොනවාද කියන එක ගැන පොලිස් බුද්ධි අංශ සොයා බලන්නට පටන් ගත්තේ එය ආරම්භ කළ දවසේ පටන්ය.  


මේ මහසොහොන් බළකායේ ඉතිහාස කතාවයි.  


බොදුබල සේනාවෙන් කැඩී ආ කණ්ඩායමක් මහසොහොන් බළකාය යන නමින් මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ 2016 වසරේදී මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකදීය.  


ආරම්භක රැස්වීමට 250කට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර ඒ අතර භික්ෂූන්වහන්සේලා 10 නමක් ද සහභාගි වී ඇත.  


මහසොහොන් බළකායේ නායකයා ලෙස එදා ආරම්භක රැස්වීමේදී පත්වෙන්නේ අමිත් වීරසිංහ නමැත්තාය.   


ආරම්භක රැස්වීම පැවැත්වුණු විහාරස්ථාන භූමියේ ප්‍රදර්ශනය කර තිබූ සමහර බැනර්වල එදා සඳහන්ව තිබී ඇත්තේ ‘බොදු බණ අසා හිලෑවුණු යක්කු’ කියාය.  


රටේ මහ ජාතියට සුළු ජාතීන්ගෙන් වෙන යම් යම් බලපෑම්වලට එරෙහිව නැගී සිට මහ ජාතියට අභිමානයකින් යුතුව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දීමට කැප වී ක්‍රියා කිරීම මහසොහොන් බළකායේ ප්‍රධානතම අරමුණ වී ඇති බව එදා කියවී ඇත.  


පක්ෂයක් පාටක් නොමැතිව සිංහල ලේ ඇති ජනතාවගේ අයිතිවාසිකම් මහ ජාති​ෙය් උරුමයන් රැකගැනීමට සෑම අවස්ථාවකම කැපවී ක්‍රියාකරන බව ද ආරම්භක ​රැස්වීමේදී තවදුරටත් ප්‍රකාශ වී තිබේ.  


පොලිස් බුද්ධි අංශ පෙන්වා දෙන ආකාරයට විශේෂයෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව මහසොහොන් බළකාය මුල සිටම ක්‍රියාත්මක වී ඇත.  


මහසොහොන් බළකාය ආරම්භ කළ දවසේම එම බළකා​ෙය් ඉදිරි පැවැත්ම සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති අය වෙනුවෙන් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක ගිණුමක් ද ආරම්භ කර තිබේ.   


බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇති ආකාරයට මහසොහොන් බළකායේ රැස්වීම් හා සාකච්ඡා බොහෝ විට පවත්වා ​ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි සමහර විහාරස්ථානවලය.  


​ෙෆ්ස්බුක් හරහා මෙම බළකායට 150,000කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිට ඇතැයි ද බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇතැයි පැවසේ.  


උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම් හා වන විනාශයන් කිරීමට එරෙහිව ද මහසොහොන් බළකායේ ක්‍රියාකාරීන් පෙනී සිට ඇත්තේ ඒ සම්බන්ධයෙන් ​ෙෆ්ස්බුක් හරහා පමණක් නොව ඒ ඒ ප්‍රදේශවලට ගොස් රැස්වීම් සාකච්ඡා හා සම්මන්ත්‍රණ පවත්වමිනි. 

 
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පෙන්වා දුන් ආකාරයට මහසොහොන් බළකාය මුස්ලිම් අන්තවාදයට එරෙහිව විශේෂයෙන් පෙනී සිට අැත.  


මහසොහොන් බළකායේ රැස්වීම්වලට ලෙහෙසියෙන් පිටස්තර අයට සහභාගීවීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරීමට එම බළකායේ සංවිධායකයන් නිතරම වගබලාගෙන තිබේ.  


ඒ තරමට ඔවුන් පරිස්සම් වී ඇතැයි කියන්නේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් ගන්නා ඇතැම් තීන්දු තීරණ පිටතට යාම වළක්වා ගැනීමේ පියරවක් වශයෙනි.   


විශේෂයෙන්ම ​ෙපාලිස් බුද්ධි අංශ අතට එ්වා පත්වීමට තිබෙන ඉඩකඩ ඇහිරීමටය.  


එහෙත් බුද්ධි අංශ ඔවුන්ගේ කනෙන් රිංගා මේ රැස්වීවලට ගොස් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට තරම් දක්ෂ වී ඇත.  


සමහර උසස් පොලිිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් මහසොහොන් බළකායේ සමහරුන් සමඟ උපක්‍රමශීලී ලෙස සමීප සම්බන්ධතා පවත්වා ඇත්තේ වෙන මොකක්වත් නිසා නොව ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටය.  


මහසොහොන් බළකායේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත්තේ 2017 වසරේදීය.   


ප්‍රධාන කාර්යාලය පිහිටුවනු ලැබුවේ කුණ්ඩසාලේ නත්තරම්පොත ප්‍රදේශයේය.  


මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මහල් තුනකින් සමන්විත නිවසක උඩුමහලේය.  


මේ සම්බන්ධව තොරතුරු අනාවරණය කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු කී ආකාරයට පොලිස් වාර්තාවල සටහන් වී ඇති ආකාරයට මෙම නිවසේ අයිතිකරු ආර්.ආර්. සමරකෝන් නමැත්තෙකි.  


මොහු විදේශගත රැකියාවක නිතරව සිටින බවත් මේ නිවස වෙනුවෙන් මාසිකව රුපියල් 60,000ක පමණ කුලියක් ගෙවන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පෙන්වා දුන්නේය.  


මහසොහොන් බළකායේ අරමුදලට මෙරට සිටින සමහරුන්ගෙන් පමණක් නොව විදෙස්ගත රැකියාවල නිතරව සිටින සමහර ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් පරිත්‍යාග ලැබෙන බවට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇත්තේ ඒ කාලයේ සිටය.  


කොන්ත්‍රාත්කරුවෙකු ලෙස වෘත්තිය ජීවිතය ගෙන යන අමිත් වීරසිංහ නමැත්තා උඵ කොන්ත්‍රාත්කාරයෙක් ලෙස කොළඹ  - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද හවුල් වී ඇති අයෙකි.  


මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ නමැත්තාගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් ද කළේ තම සැමියා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමිනි.  


තම සැමියා පල්ලි, කඩවල් ගිනි තැබීමට කිසිසේත් අණ නොකළ බවත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවත් පොලිසිය නඟන චෝදනා බොරු බවත් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.  


මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සැමියාව බොරු ගොතා මේවාට පැටලූ බවත් ඇය තවදුරටත් මාධ්‍යවේදීන් සමඟ කීවාය.  


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අමිත් වීරසිංහ නමැත්තා කැටිව කුණ්ඩසාලේ නත්තරන්පොත බලා පිටත්ව ගියේ මහහොසොන් බළකා ප්‍රධාන කාර්යාලය සෝදිසි කිරීමටය.  


ඒ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.  


අසමගිය, වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා බෙදා හැරීමට සූදානම් කර තිබූ අත්පත්‍රිකා, පෝස්ටර්, බැනර් තොගයක් මහසොහොන් බළකා ප්‍රධාන කාර්යාලය පරීක්ෂා කර බලා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.  


මේවාට අමතරව මොවුන් පුවත්පත් සාකච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කළ මහසොහොන් බළකායේ ලංඡනය සහිත මයික්‍රෆෝනයක්, ජාතීන් අතර අසමගිය වෛරය ඇති වන ආකාරයේ වැකි සහිත අත්පළඳනා, බැංකු පොත්, මුදල් ලැබුණු රිසිට්පත් රැසක් හා වාහන බලපත්‍ර ඇතුළු ලියකියවිලි මෙන්ම පරිගණක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ද (සී.පී.යූ.) සොයාගත් බව පොලිස් අධිකාරීවරයා කීය.  


ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 280 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින බවත් ඒ අතර සිංහල හා මුස්ලිම් ජාතිකයන් ද සිටින බවත් පොලිස් අධිකාරීවරයා කියයි.   


මේ අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා වෙබ් අඩවියක් මඟින් තොරතුරු ප්‍රචාරය කළ බව කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන පාසල් සිසුන් දෙදෙනෙක් ද රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.  

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය