බන්ධනාගාර නිලධාරින් කෝටිපතියන් වෙලා


(ජයන්ත සමරකෝන්)  

බන්ධනාගාර නිලධාරින් ගණනාවක් මේ වන විට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.  


එසේ වුවද සහකාර බන්ධනාගාර අධිකාරිවරුන්ගේ සිට ඉහළට සෑම නිලධාරියකුම වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වුවත් සැබෑ වත්කම් අනාවරණය නොකරන බව සඳහන් වේ.  

මෙම නිලධාරින්ගෙන් වැඩි දෙනා බන්ධනාගාර රැකියාවට පැමිණි පසු හිටි හැටියේ කෝටිපතියන් බවට පත්ව ඇති අතර යානවාහන, ඉඩකඩම්, වතුපිටි ඇතුළු දේපොළ හිමිකරුවන් බවට පත්ව ඇතත් වත්කම් බැරකම් ප්‍රකාශනවලට ඒ කිසිවක් ඇතුළත් නොවන බව ද දැනගන්නට තිබේ.  


මෙම සියලුම දේපළ වත්කම් බිරියගේ සහ වෙනත් පුද්ගලයන්ගේ නමින් පැවතීම මීට හේතු වී ඇතැයි ද කියයි.  


දැනටමත් රාජකාරි කරන ඇතැම් නිලධාරින් සිරගත මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් උපයන බවද එවන් එක් නිලධාරියෙක් මෑතක දී කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතෙන් ද තවත් නිලධාරියෙක් ගම්පහ ප්‍රදේශයෙන් ද ඉඩකඩම් මිලයට ගෙන ඇතැයි ද සඳහන් වේ.