පෞද්ගලික බස් සේවකයන් විසිදාහක් මතට ඇබ්බැහි වෙලා


බස් සංගම් සභාපති ගැමුණු විජේරත්න

(මහින්ද නිශ්ශංක)  

පෞද්ගලික බස්රථ රියදුරු කොන්දොස්තරවරුන් ගෙන් 20,000ක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට සංගමයට තොරතුරු ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.  

පෞද්ගලික බස් සේවකයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම පිළිබඳව සංගමය මගින් පොලිස්පතිවරයාටත්, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්ට සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාට ද ලිඛිතව දැනම් දී ඇතැයි ගැමුණු මහතා කීය.  


දැනට රට පුරා පෞද්ගලික බස් සේවකයන් 45,000ක් පමණ සිටින බව ද වාර්තා වේ.


විශේෂයෙන් අයිස් නමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින්වලට වර්තමානයේ බස් සේවකයන් බහුලව ඇබ්බැහි වී ඇති අතර ගංජා භාවිතයට ද යොමු වූ සේවකයන් ද අපමණ බවත් පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය බස් නැවතුම්පලවලට ගෙනවිත් බෙදාහරින ජාවාරම්කරුවන් ද සිටින බව පැවසීය.  


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස් සේවකයන් නිසා පෞද්ගලික බස් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්වී ඇතැයි පවසන සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නිසි ලෙස සකස් වූ බස් නැවතුම් නොතිබීම, විධිමත් කාලසටහන් නොමැතිවීමෙන් නැවතුම්පලවල බොහෝ වේලාවක් බස්රථ නවතාගෙන සිටීම ඇතුළු කරුණු කීපයක් බස් සේවකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට බලපා ඇතැයි ද පැවසීය.