පොහොට්ටුවට ගිය සභා 160 ක විපක්ෂ බලය වැඩියි


(දයාසීලි ලියනගේ)  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති පළාත් පාලන ආයතන 160 ක විපක්ෂ සභික සංඛ්‍යාව වැඩිවීම නිසා ඒවායේ සභාපති තනතුරු ලබා ගැනීම එම පක්ෂයට ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව වාර්තා වේ.  

මෙම ආයතනවල පොදුජන පෙරමුණට වැඩි සභික සංඛ්‍යවක් හිමිවී තිබුණත් විරුද්ධ පක්ෂ සියල්ලටම ඊට වඩා වැඩි සභික පිරිසක් පත්වී සිටීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි කියති.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ ගම් මට්ටමේ ඇති සුහදතාව මත ඕනෑම පක්ෂයකින් සහාය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.  


මූලස්ථාන වශයෙන් ගිවිස ගත් එකඟතාවයන් නැතත්, ගම් මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් ගණනාවක් දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට එකඟතාව දක්වා තිබෙන බවද ඒ මහතා කීය.  


පළාත් පාලන ආයතන 242 ක බහුතර බලය පොදුජන පෙරමුණට ලැබී ඇති අතර එයින් විපක්ෂයට වැඩි සභික සංඛ්‍යාවක් ඇති ආයතන 160 පිළිබඳව කොන්දේසි සහිත කිසිදු ගිවිසුමක් ඇතිකර ගෙන නැතැයිද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.