පොල්වත්තේ මළ සිරුර හෙළි කළ රහස


මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ පණිවුඩයකින් කියැවුණේ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොල් වත්තක තිබෙන බවය. ඇමතුම දුන් තැනැත්තා පැවැසූ පරිදි එම පොල් වත්ත නගරයට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි පාළු ප්‍රදේශයකි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ලැබී තිබුණ තොරතුරු සහ මග සලකුණු අනුව එහි ළඟා වූහ. 


 මිය ගිය අයගේ කලිසමේ සාක්කුව පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට එහි තිබූ මුදල් පසුම්බිය හමුවිය. ඒ අනුව ඔහු සිරුර වැටී තිබූ ස්ථානයට මීටර පන්සියයක් පමණ දුරින් විසූ පිටගම්කාරයෙකි. 


 දෙදරු පියකු වූ මෙම පුද්ගලයා රජයේ ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නෙකි. ඔහුගේ වයස අවුරුදු පනස් දෙකකි. හැඳුනුම්පතේ සඳහන් වන පරිදි ඔහු දුෂ්මන්ත සෙනරත් බණ්ඩාරය. 


 සිරුර පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණ තුවාල අනුව මෙය කිසියම් ආයුධයකින් ඇනීමෙන් සිදුකළ ඝාතනයක් බව පැහැදිලි විය. ඒ අනුව පොලිසිය වහාම මහේස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ගෙන්වා ගනු ලැබිණ. අධිකරණ වෛද්‍යවරයා ද බැලූ බැල්මටම මෙය පිහි ඇනුමකින් සිදුකළ ඝාතනයක් බව නිගමනය කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර දිසා රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස හේ පොලිසියට නියෝග කළේය. 


 සිරුර මතුපිටින් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයාට පපුවේ එක් තුවාලයකුත් පිටෙහි තුවාල දෙකකුත් ලෙස ඇනුම් තුවාල තුනක් දක්නට ලැබුණි. ඊට අමතරව දකුණු අතෙහි ද ඇනුම් තුවාලයක් දක්නට ලැබිණ. 


 පපුවේ ඇනුම් තුවාලය සම එකතු කර පරීක්ෂා කර බලද්දී එය සෙන්ටිමීටර 2.3ක පමණ තුවාලයක් බව දැකිය හැකි විය. එසේම එහි ඉහළ කෙළවරේත් පහළ කෙළවරේත් තියුණු කැපුමක ස්වභාවයක් දැකිය හැකි විය. ඒ අනුව මෙය දෙපැත්ත කැපෙන ආයුධයකින් සිදුකළ අැනීමක් යැයි නිගමනය කළ හැකි විය. එසේම මේ තුවාලයට සෙන්ටිමීටර් දෙකක් පමණ පහළින් සීරීම් ලකුණක් ද දක්නට ලැබිණ. එය කෙසේ වූවා ද යන්න ඒ අවස්ථාවේ නිශ්චය කළ නොහැකි විය. 


 පිට පැත්තේ තිබූ තුවාල දෙකේ ද ඈත්වුණ සම එකට එකතු කර පරීක්ෂා කර බලන විට එය පපුවේ තිබු තුවාලයට වඩා යම් වෙනසක් පෙන්නුම් කරනු ලැබිණ. එනම් තුවාල දෙකේම දිග සෙන්ටිමීටර් හතරක් පමණ වන බව දැකිය හැකිවිය. එසේම තුවාල දෙකේම ඉහළ කෙළවර තියුණු කැපුමක් සේ දක්නට ලැබුණ ද පහළ කෙළවර තැල්මක් සේ දැකිය හැකි විය. ඒ අනුව මෙය එක් පැත්තක් හොඳට කැපෙන අනෙක් පැත්ත මොටව පවතින ආයුධයකින් කළ ඇනීමක් බව සිතිය හැකිය. 


 අැනීමක් හා කැපීමක් අතර වෙනසක් තිබේ. තියුණු ආයුධයකින් කරන පහරදීමක දී සම මතුපිට කැපුමේ දිග හා එය සිරුර තුළට කිඳාබැස ඇති ගැඹුර අතර වෙනස්කම් අනුව එය නිගමනය කළ හැකිය. සම මතුපිට කැපුමේ දිග කැපුමේ ගැඹුරට වඩා වැඩි නම් එය කැපුමකි. කැපුමේ ගැඹුර මතුපිට තුවාලයේ දිගට වඩා වැඩි නම් එය ඇනුමකි. එසේම කැපුමේදීත් ඇනීමේදිත් සිදුව තිබෙන තුවාලයේ දාරවල පැහැදිලි බව අනුව එය තියුණු ආයුධයකින් කළ පහරදීමක් බව නිගමනය කළ හැකිය. 
තුවාලය තැල්මක් සේ දැකිය හැකි නම් එහිදී සමේ තුවාලයේ දාර අක්‍රමවත් නම් එය මොට ආයුධයකින් කළ පහරදීමක් බව නිගමනය කළ හැකිය. එසේම මොට ආයුධයකින් කළ පහරදීමකදී රුධිරය සම මතුපිටට ගලා එනවා වෙනුවට සම යටට සෛල අතරට ගමන් කර රත් පැහැ පැල්ලමක් සේ දක්නට ලැබේ. 


 ඒ අනුව මෙම පහරදීම සිදුකර තිබෙන්නේ තියුණු ආයුධ දෙකකින් බව නිගමනය කළ හැකි විය. එසේම එකම පුද්ගලයා ආයුධ දෙකකින් සිරුරේ දෙපැත්තටම පහර දුන්නා යැයි සිතනවාට වඩා මෙය පුද්ගලයින් දෙන්නෙකු විසින් ආයුධ දෙකකින් එකවර කරන ලද පහරදීමක් විය හැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ මූලික අදහස විය. 
 දකුණු අතේ තුවාලය එතරම් බරපතළ තුවාලයක් නොවූ අතර එය පහරදීමේදී එයින් බේරෙන්නට කළ ආවරණයේදී සිදුවූ තුවාලයක් බව දැකිය හැකි විය. එහි ද සම මතුපිට කැපුම සෙන්ටීමීටර හතරක් පමණ විය.

 
 අනතුරුව සිරුර කපා පරීක්ෂා කිරීම ආරම්භ කෙරිණ. ඒ මරණයට හේතුව නිශ්චිත කිරීම අධිකරණ වෛද්‍යවරයාගේ කාර්යභාරය වන නිසා එය කෙසේ සිදුවී තිබේ දැයි සොයා දැන ගැනීමටය. 


 මුලින්ම පපු කුහරය විවෘත කර පරීක්ෂා කළේය. එහිදී පපුවෙන් ඇතුළු වූ ආයුධය පපුවේ වම් පැත්තේ ඉහළ ඇට දෙකක් අතරින් ගමන් කර හෘදය වස්තුවේ වම් හා දකුණු කෝෂිකා දෙකම අතරින් ගමන් කර කොඳු ඇට පෙළේ නව වන උරස් කශේරුකාව දක්වා ගමන් කර තිබෙනු දැකිය හැකි විය. එයින් නව වන උරස් කශේරුකාවේ කැපුම් තුවාලයක් ද දැකිය හැකි වූ අතර එය සෙන්ටීමීටර් 0.5ක් පමණ ගැඹුරට විය. මේ අනුව ආයුධය සිරුර තුළ සෙන්ටිමීටර 16ක දුරක් ගමන් කර ඇති බව පැහැදිලි විය. 
 ඒ අනුව ඇනුමට භාවිත කළ එක් ආයුධයක් දෙපැත්ත කැපෙන සෙන්ටීමීටර් 16ක් හෝ එයට වඩා තරමක් වැඩි ආයුධයක් බවට නිගමනය කළ හැකි විය. 
 පිටෙහි පැවැති ඇනුම් තුවාල සිරුර තුළට එතරම් තදින් කිඳාබැස තිබුණේ නැත. එයින් එක ඉළ ඇටයකට හානි වී තිබුණත් කිසිම ඉන්ද්‍රියකට හානි කරන්නට සමත්ව තිබුණේ නැත. 


 ඒ අනුව මරණයට හේතුව හෘදය වස්තුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය පිටවීම බව නිගමනය කරනු ලැබිණ. 
 මේ අතර පොලිසිය පොලිස් සුනඛයකු යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී පොලිස් සුනඛයා තමන් ලබාගත් ඉව අනුව පොල් වත්තේ කෙළවරක වූ කෙසෙල් පඳුරක් අසල නැවැතුණි. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ලේ තැවැරුණ කිණිස්සක් හා පිහියක් සොයාගත හැකි විය. 


 කිණිස්ස දෙපැත්ත කැපෙන ආයුධයක් නිසා මළ සිරුරේ පපුවේ තුවාලය සිදුකර තිබෙන්නේ එම කිණිස්සෙන් බවට සැක කළ හැකි විය. එහි තලයේ දිග ද සෙන්ටිමීටර 16ක් පමණ විය. එහි තලයත් මිටත් අතර ආවරණයක් විය. එම ආවරණයේ පළල සෙන්ටීමීටර දෙකකි. පපුවේ ඇනුම් තුවාලයට තරමක් පහළින් තිබූ සිරුම සහිත තැල්ම කිණිස්ස සම්පූර්ණයෙන් සිරුර තුළට කිඳා බැස්ස පසු මෙම ආවරණය සිරුරට තද වීමෙන් වූ තුවාලයක් බවට ද සැක කළ හැකි විය. ආයුධය මේ ඝාතනයට භාවිත කළ ආයුධයම දැයි සැක හැර දැන ගැනීමට එහි තැවරී තිබූ රුධිරය හා මිය ගිය අයගේ රුධිරය ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක් කළ යුතුය. 


 එම ස්ථානයේ තිබී සොයාගත් පිහියේ එක් පැත්තක් තියුණු අතර අනෙක් පැත්ත මොටය. සාමාන්‍යයෙන් පිහියක ස්වභාවය එසේය. පිහියේ තලය සෙන්ටිමීටර් හතරක් පමණ වූ අතර එය මිය ගිය අයගේ පිටෙහි වූ තුවාලයේ දිග සමග සැසඳිය හැකිය. ඒ අනුව පිහියේ තැවරී තිබූ රුධිරය ද මිය ගිය අයගේ රුධිරය සමග සසඳනු ලැබීය. 
 රුධිර සාම්පල් සැසැඳිණ. ඒ අනුව ඝාතනයට භාවිත කළ ආයුධ මොනවා ද යන්න නිශ්චිතය. දැන් තිබෙන්නේ ඝාතකයා සොයා ගැනීමය. එහිදී පිහියේ හා කිණිස්සේ තිබූ ඇඟිලි සලකුණු විශාල පිටිවහලක් ලබාදුන්නේය. එම ආයුධ දෙකේ වූ ඇඟිලි සලකුණු දෙදෙනකුගේ බවට නිගමනය කළ හැකි විය. ඒ අනුව තුවාල පරීක්ෂාවෙන් අධිකරණ වෛද්‍යවරයා මුලින් ඇති කරගත් සැකය එනම් මෙය දෙදෙනෙකු විසින් කළ පහරදීමක් බවට ඇති කරගත් සැකය තහවුරු වීමය.

 
 සැකකරු සොයා ගැනීමේදී මිය ගිය අයගේ හැඳුනුම්පත ඔස්සේ ගොස් පවුලේ අය සොයාගෙන ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ, ඔහුගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශ හා අසල්වැසියන්ගෙන් ලබාගත් ප්‍රකාශ වැදගත් සාක්ෂි සපයනු ලැබීය. 


 මිය ගිය පුද්ගලයා අනියම් පෙමක පැටලී සිට ඇත. කලක් තිස්සේ පැවැති මේ සබඳතාව අනියම් බිරිඳගේ සැමියාට සැලවීමෙන් ගැටුම හටගෙන තිබේ. ඔහු කළ අවවාද ද නොතකා සබඳතාව පවත්වාගෙන යන ලද නිසාවෙන් උරණ වූ අනියම් බිරිඳගේ නීත්‍යනුකූල සැමියා තමන්ගේ හිතවතකු ද සමග එක්ව මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කර තිබෙන බවට සැක කළ හැකි විය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළි වූ අතර ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව දෙවැනි සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. 

 


(මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.) 


හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ
මුදිතා දයානන්ද