පහළොස් වසරකට පෙර කල්මුණේ භීෂණය පැතිරූ ජිහාඩ් කල්ලිය


 සයින්දමරුදු වෙරළ වසර 15කට පෙර (අන්තර්ජාලය)

 

 

උතුරේ යුද්ධය අවසන් මොහොතට එළඹෙද්දී නැගෙනහිර ජනතාව යම් අස්වැසිල්ලකින් පසුවීමට පටන් ගත්තා පමණි. වෙනදා තිබූ පීඩනයෙන් මිදී නිදහසේ රාත්‍රිය ගත කරන්නට පුරුදු වූ වැසියෝ රැය පහන්වන තුරු නිවසේත් එළියේත් විදුලි පහනක් හෝ දල්වන්නට පුරුදු වූහ. වෙනදා රාත්‍රියේ සැරිසරන ගිනිඅවි අත දරා සිටි ත්‍රස්තවාදී කල්ලිවල බියවැද්දීම්, කප්පම් ගැනීම් නිසා තිබූ භීතිය අවසන්වෙමින් තිබුණි. එනිසා රාත්‍රිය සැහැල්ලුවෙන් ගත කරන්න කල්මුණ ප්‍රදේශයේ වැසියන්ටද හැකියාවක් ලැබී තිබුණි. 


කොටි ත්‍රස්තයන්ගෙන් මුස්ලිම් ප්‍රජාව බේරාගන්නට අනූව දශකයේ ජිහාඩ් නම් සංවිධානයක් බෙල්ලයාම් නම් මුස්ලිම් ජාතිකයාගේ නායකත්වයෙන් බිහිවිය. නැගෙනහිර පළාතේ සයින්දමරුදු, කල්මුණේ, කාත්තන්කුඩි ආදී මුස්ලිම් ප්‍රජාව බහුල ප්‍රදේශවල මේ සංවිධානය ව්‍යාප්තව තිබුණි. එහි උපනායකයා වූයේ සලීම් නමැත්තාය. නමින් ජිහාඩ් වුවත් මැදපෙරදිග සහ අරාබිකරයේ ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානයේ ආධාර ඊට ලැබෙන බවට තොරතුරු නොවීය. 


එකල පැවති රජයන්ගේ ද සහාය මත මුස්ලිම් දේශපාලන නායකත්වයේ ද අනුදැනුම මත කොටින්ගෙන් මුස්ලිම් ප්‍රජාව බේරා ගන්නට මේ ජිහාඩ් සංවිධානය ස්ථාපිත වන්නට ඇතැයි විශ්වාස කෙරුණි. මුස්ලිම් ප්‍රජාවගේ ගැටලු ප්‍රශ්න විසඳුවේ මේ ජිහාඩ් කල්ලියයි. ඒ ගැටලු පොලීසියට නොගියේය. ඉඩම් ආරවුල් පවා විසඳුණු අතර කාලයක් ගතවෙද්දී ජිහාඩ් නායක බෙල්ලයාම් සහ උපනායක සලීම් අතර මත ගැටුමක් ඇතිවිය. ගැටුම උග්‍ර වෙද්දී සලීම් අතින් බෙල්ලයාම් ඝාතනයට ලක්විය. 


මීට වසර පහළොවකට පෙර නැගෙනහිරින් මුස්ලිම් අන්තවාදය දලු ලා වැඩෙන්නට වූයේ මේ ආකාරයටය. නැගෙනහිරින් කොටි ත්‍රස්තයන් පලවා හරිද්දී නැගෙනහිර මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ආ භීෂණය කොටි ත්‍රස්තවාදයට වඩා දරුණු එකක් බවට පරිවර්තනය වෙමින් ආවේ ය. 


සුනාමියෙන් පසු 2005 වසරේදී කල්මුණේ මුස්ලිම් වැසියන් වැඩිපුර ම පදිංචිව සිටින කල්මුණකුඩි ප්‍රදේශයේ වෙඩිතැබීම්, මංකොල්ලකෑම්, බියවැද්දීම් ඇතුළු අපරාධ ගණනාවක්ම දිනෙන් දින වාර්තා වන්නට විය. දෙමළ ත්‍රස්තවාදය මර්දනය වෙද්දී ප්‍රදේශයේ අන්තවාදී මුස්ලිම් කල්ලි වර්ධනය වී ඇතැයි සමහරු කීහ. එහි ජනජීවිතය දිනෙන් දින අඩාළ වන්නට විය. එහෙත් අපරාධ කරන්නේ කවුද යන්න පොලිසියට පවා සොයාගත නොහැකි විය. 


මෙසේ භීෂණය පැතිරෙද්දී කල්මුණ තාහිදු පාරේදී උදුමා ලෙබ්බෙ මීරා සාහිදු නමැති අයට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධව තොරතුරක් කල්මුණේ පොලිසියට වාර්තා විය. ඒ මීට වසර පහළොවකට පමණ ඉහතදීය. පොලිසිය පරීක්‍ෂණ ඇරඹුවත් සැකකරුවන් පිළිබඳ තොරතුරක් නොවීය. ඒ සිද්ධියට දින කිහිපයකට පසු කල්මුණ තාහිදු පාරේදීම සැලුන් එකකට වෙඩිතබා අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය. ඊට දින කිහිපයකට පසු ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය නොවන සංවිධානයකින් රුපියල් පන්ලක්‍ෂ විසිපන් දහස් අටසියයක් වටිනා පරිගණක ඇතුළු දේපළ සහ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන්ද වාර්තා විය. 


මෙම සිදුවීම්වලින් දින කිහිපයකට පසුව කල්මුණ ප්‍රදේශයේ පිහිටි රජයේ බඩු ගබඩාවක ආරක්‍ෂාවට සිටි පොලිස් කොස්තාපල් 31549 ලලිත් කුමාර යන අයට වෙඩිතබා මරා දමා ඔහු සමග රාජකාරී කළ පොලිස් සහායක වීරසේන බණ්ඩාර යන අයට තුවාල සිදුකර ඔවුන් අත තිබූ ටී 56 ගිනිඅවි දෙක පැහැර ගැනීමේ සිදුවීමක්ද වාර්තා විය. මෙම සිදුවීමත් සමගම ප්‍රදේශයේ ජනතාවගේ බිය වැඩි වන්නට විය. අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන පොලිසියටද ඇඟිල්ල දිගුවන්නට විය. 


කල්මුණ පොලිසියේ එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්‍ෂක ඒ.එල්.එම්. ජෙමීල් මහතායි. මේ වනවිට ඔහු හැටන් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ලෙස කටයුතු කරයි. ඔහුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්‍ෂණ අංශයේ නිලධාරීහු සිය පෞද්ගලික ඔත්තුකරුවන් සහ වෙනත් අංශ ඔස්සේ අපරාධකරුවන් ගැන තොරතුරු රැස්කරමින් පසුවූහ. 

 

සයින්දමරුදු වෙරළ පාරේ දී වසර පහළොවකට පෙර පිහිටවු ආගමික ඇදහුම් ස්ථානයක් (අන්ර්ජාලය)

 

 


ජිහාඩ් සංවිධානයේ නායකයා වූ බෙල්ලයාම් ඝාතනය කළ උපනායක සලීම් ජාත්‍යන්තර මුජහිදීන් සංවිධානය නම් සංවිධානයක් පිහිටුවා එහි නායකත්වය ගෙන මෙම අපරාධ සිදුකරන බවට පොලීසිය මෙන්ම රහස් ඔත්තු සේවා ද ඒ වනවිට අනාවරණය කරගෙන තිබුණි. 


එසේ පසුවෙද්දී කල්මුණකුඩි 09, පල්ලිය පටුමගේ පදිංචිව සිටි පාසල් ගුරුවරයෙක් වූ මොහොමඩ් මුස්තාපා පරීඩ් යන අයගේ නිවස කොල්ලකෑමට අපරාධකරුවන් පිරිසක් පැමිණ නිවැසියන්ට වෙඩිතබා පලාගිය සිද්ධියක් පොලිස් මූලස්ථානයේ හදිසි ඇමතුම් ඒකකය විසින් කල්මුණේ පොලීසියට දැනුම් දෙනු ලැබීය. 


දිනෙන් දින ඉහළ යන අපරාධ ගොන්නට තවත් අපරාධයක් එක්වූ නිසා විමර්ශන පැවරුණේ කල්මුණ පොලිසියේ අපරාධ අංශයටය. එවකට අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ජෙමීල් මහතාට ලැබුණ තොරතුරේ සඳහන් ලිපිනය සොයා පොලිස් කණ්ඩායමක් සමග වහාම පිටත් විය. නමුත් එකී ලිපිනය වැරදි බව පොලිස් නිලධාරින්ට වැටහිනි. මේ කියන වකවානුවේ කොටි ත්‍රස්තවාදය නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබුණ ද ඉහත කී මුස්ලිම් ප්‍රජාව පදිංචි ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ යම් අඩුවක් තිබුණි. ඒ නිසා පොලිසීය ද ක්‍රියාත්මක විය. 


පොලිසිය අවට සෝදිසි කරද්දී සිද්ධිය වූ නිවස සොයාගත හැකි විය. නිවසේ සිටි අඹුසැමි යුවළ දැඩි සේ බියට පත්ව සිටියහ. කාන්තාවගේ මුහුණ තරමක් ඉදිමී තිබූ අතර ඇය පසුවූයේ කතා කරගත නොහැකි තත්ත්වයක බව පොලිස් නිලධාරින්ට වැටහිණි. 


පොලිස් නිලධාරින් පැමිණ ටික වේලාවකට පසු නිවැසියන්ගේ බිය පහ වී ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සිදුවූ දෙය ඔවුන්ගෙන් දැනගැනීමට පොලිසියට හැකිවිය. එය ඉදිරි පරීක්‍ෂණ සඳහා පොලිසියට වැදගත්ය. 


“අපි නිද‌ාගෙන හිටියේ. හොඳට නින්ද ගිහින් තිබුණා. එකවරම මගේ කටට අතක් තියලා මුහුණ තද කරනවා දැනිලා තිගැස්සී අවදිවුණා. අඳුරු පාට ඇඳුම් ඇඳගත්ත කෙනෙක් ආයුධයක් කරේ එල්ලාගෙන මගේ මුහුණ තදකරගෙන හිටියා. ඇස් ඇරලා බලන කොට තව කිහිප දෙනෙක් එහා මෙහා යන එනවා ඇහුණා, දැනුණා. මගේ කටින් ශබ්දයක් පිටවෙන්නේ නෑ. සැමියා කොහේද කියලා දැක්කේ නෑ. මට හිතුණා කොල්ල කාරයෝ කියලා. මම දඟලන කොට මගේ කට වහගෙන හිටපු එකාගේ අත යන්තම් බුරුල් වුණා. මම හයියෙන් කෑ ගැහුවා.” 


“එතකොට තව එකෙක් එතනට ඇවිත් මගේ මුහුණට තුවක්කුවක් එල්ලකරලා කට වහපිය කියලා බය කළා. ඒ එක්කම මගේ හිස ඉද්දරින් වෙඩිල්ලක් පත්තුවුණා. මගේ කට වහගෙන හිටපු එකා උගේ කකුලක් අල්ලගෙන මහ හයියෙන් කෑගැහුවා. මමත් කෑගැහුවා. පස්සේ ආපු එව්වෝ ඒ කකුල අල්ලාගෙන හිටිය එකා අරගෙන යන්න ගියා. ගේ හැම තැනම ලේ ගලාගෙන ගිහින් තිබුණා.” 


“අපි ගෙදර හොඳට දොරවල් වහලා තිබුණේ. ඉතින් මේ කොල්ලකාරයෝ ආවේ කොහොමද කියලා අපිට හිතාගන්න බැරුව ගියා. පස්සේ බලද්දී වහලෙන් කඹ දාලා බැහැලා තිබුණේ.” ගෙහිමි කාන්තාව සිද්ධිය පොලිසියට හෙළි කළාය. 


රාත්‍රියේම පොලීසිය පරීක්‍ෂණ ඇරඹීය. පොලිස් පරීක්‍ෂක ජෙමීල් මහතා නිලධාරින් පිරිසක් සමග අපරාධකරුවන් සම්බන්ධව හෝඩුවාවක් ඇද්දැයි සෙවීමට වටපිට නිරීක්‍ෂණය කළේය. ලේ සලකුණු දැකගත හැකිවිය. එම ලේ සලකුණු පාර දිගට තිබූ නිසා පොලිසිය එම හෝඩුවාව ඔස්සේ ඉදිරියට ගියේය. සුනාමිය නිසා හානියට පත් වූ නිවාස පිහිටි ප්‍රදේශයක් දෙසට එම ලේ පාර වැටී තිබූ අතර එහිදී අපරාධකරුවකු ඇඳසිටි කමිසයක් එහි දමා නිවසක රෙදි වැලක තිබූ කමිසයක් ඇඳගෙන ගිය සලකුණු හමුවිය. 
පරීක්‍ෂණවල සහායට පොලිස් නිල සුනඛයන් ගෙන්වීය. අපරාධකරුවන්ගේ කමිසයේ ඉව ඔස්සේ ඉදිරියට ගිය නිල සුනඛයා එක්තරා මංසන්ධියක නතර විය. එතැන ත්‍රීරෝද රථයක් හැරවූ සලකුණු විය. එතැනින් එහාට නිල සුනඛයා යන්නේ නැත. සැකකරුවන් එතැන් සිට වාහනයකින් යන්නට ඇති බවට පොලිසිය සැක කළේය. පොලීසිය වහාම අවට රෝහල්වලට පණිවිඩ යවා වෙඩිවැදුණු තුවාලකරුවෙකු ප්‍රතිකාර ගැනීමට පැමිණියේද යන්න සෙවිල්ලෙන් පසුවිය. නමුත් පැය ගණනාවක් ගතවුවත් තොරතුරක් සොයාගත නොහැකි විය. 


මෙසේ පොලිසිය විමර්ශනවල පසුවෙද්දී මහජනතාව මෙන්ම පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන්ද විවිධ තොරතුරු ගලා එන්නට විය. නාගරික ප්‍රදේශයෙන් ඈත අඩිපාරකින් යනවිට හමුවන පාළු නිවසක කිසියම් පිරිසක් රැඳී සිටින බවට පොලිසියට තොරතුරක් ලැබුණි. විමර්ශන නිලධාරීහු හොර රහසේම එතැන වැටලූහ. පොලිසියේ වැටලීම හමුවේ කිසිවෙකුටත් පලා යා නොහැකි විය. සැකකරුවෝ දස දෙනෙක් කොටුවූහ. එහෙත් ඒවනවිට සලීම් ප්‍රදේශයෙන් අතුරුදන්ව තිබුණි. ඒ සැකකරුවන් අතර සලීම් නොවීය. 
ඒ වනවිට එම කල්ලියේ කල්ලි නායකයා වූයේ මොහොමඩ් බුහාරි මොහොමඩ් හස්මින් නමැති විසිහත් හැවිරිදි තැනැත්තෙකි. ඔහු රාජ්‍ය නොවන සංවිධානයක් හරහා තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීම ගැන හොඳ දැනුමක් ලැබ සිටි අයෙකු විය. පොලිසිය වැටලීම කරන අවස්ථාවේ වෙඩිවැදුණු සැකකරු වූ මොහොමඞ් සරුෆාන් යන අයට ප්‍රතිකාර කර තිබුණේ ඔහුය. සේලයින් සහ එන්නත් පවා ඔහු ලබා දී තිබුණි. සැකකරුවන් පොලිසියට රැගෙන ආ අතර තුවාල ලත් සැකකරු රෝහල් ගතකෙරිණි. 


මේ වනවිට කල්මුණේ පොලීසියේ අපරාධ අංශය මෙකී අන්තවාදී කල්ලියට බලවත් හිසරදයක් බවට පත්ව අවසන්ය. පොලිස් පරීක්‍ෂක මොහොමඩ් ජෙමීල් මහතා අන්තවාදී කල්ලි නායක සලීම්ගේ පරම සතුරා විය. ජෙමීල් මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට සලීම් මරණ වරෙන්තු නිකුත් කළේය. 


මේ කාලය වනවිට කොටි ත්‍රස්තවාදය මැඩලීමට ආරක්‍ෂක අංශ වැඩි අවධානයක් යොමු කර සිටිද්දී රාජ්‍ය බුද්ධි අංශ රටේ මතුවන වෙනත් අන්තවාදී කල්ලි, ත්‍රස්ත සංවිධාන, විවිධ වේශයන්ගෙන් රාජ්‍ය නොවන විදෙස් සංවිධානවල ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලීම්වල නිරත වෙමින් සිටියහ. 

 

දෙමළ දේශපාලනඥයෙකු වූ අස්රෆ් මහතාගේ නමින් එකල ගොඩනැගූ විද්‍යාලයක් (අන්තර් ජාලය) 

 

 


කොටි ත්‍රස්තවාදය නැගෙනහිරින් පසුබසිද්දී මුස්ලිම් අන්තවාදී කල්ලි නැගෙනහිර ස්ථාපිතවීමේ අවදානමක් ගැන ද එකල සමාජයේ කතා බහට ලක්විය. ඒ වකවානුවේ රාජ්‍ය බුද්ධි අංශ සහ පොලීසිය ත්‍රිවිධ හමුදාව අතර ඔවුන්ගේ තොරතුරු හුවමාරුවක් තිබූ බැවින් කොටි ත්‍රස්තවාදය නැවත හිස එසවීමට නොහැකි ලෙස නැගෙනහිරින් මර්දනය වීමට හේතුවක් ද වී තිබුණි. 


මේ අතර ඉන්ටර් නැෂනල් මුජහිදීන් ඇෂෝසිඒෂන් නම් අන්තවාදී කල්ලියක් ගැන එකල තොරතුරු වාර්තා විය. බහුතරයක් වූ සුන්නතුල් ජමාදි මුස්ලිම්වරුන්ට ද අභියෝගයක් වෙමින් මතුව ආ මේ ඉන්ටර් නැෂනල් මුජහිදීන් ඇෂෝසියේෂන් සංවිධානය දැඩි අන්තවාදී සංවිධානයක් බවට තොරතුරු හෙළිවෙමින් පැවතුණි. පොලිස් නිලධාරීන්ට ද මරණ තර්ජන එල්ලකරමින් සැඟව සිටි නැෂනල් මුජහිදීන් ඇෂෝසිඒෂන් සංවිධානයේ නායක සලීම් මේ අතර කොළඹ මරදානේදී වෙඩි වැදී මිය ගියේය. ඔහුට වෙඩි තැබුවේ කවුරුන්දැයි අදටත් රහසකි. 


කල්මුණේ දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරිණි. ඔවුන් අන්තවාදී කල්ලියක සාමාජිකයන් ද යන්න දැන ගැනීමට පොලිසියට අවශ්‍ය විය. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු අපරාධ රැසක තොරතුරුත් සොරාගන්නා ලද භාණ්ඩ සහ ගිනි අවිත් සොයාගනු ලැබිණි. ඉන් පසුව කල්මුණේ වෙළාගෙන තිබූ භීෂණයද පහව ගියේය. 
එහෙත් මේ අන්තවාදී කල්ලි මර්දනය ගැන එකල ආණ්ඩුවේ නැගෙනහිර පළාත නියෝජනය කළ මුස්ලිම් දේශපාලනඥයෙකුගේ නොසතුටට හේතුවක් විය. ඔහුගේ මැදිහත්වීම මත කල්මුණ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති මොහොමඩ් ජමීල් මහතාට ස්ථාන මාරුවක් ද ලැබිණි. නැවත ඔහු කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ලෙස උසස්විමක් ලැබ ආවේය. සාමාන්‍ය මුස්ලිම් ජනතාව ඔහුගේ පැමිණීම ගැන සතුටු වුවත් අන්තවාදී කල්ලි සහ ඔවුන්ට සහාය දෙන මුස්ලිම් දේශපාලනඥයෝ නම් සතුටු නොවූහ. ඒ නිසා ඔහුට සමන්තුරේ, මන්නාරම, අක්කරපත්තුව පොලිස්ථානවලට ස්ථානමාරු ලැබීමට එකී පාර්ශ්වයන්ගේ බලපෑම ද හේතුවක් විය. 


නමුත් පොලීසිය ඒවනවිටත් නීතිය ක්‍රියාත්මක කර තිබුණි. දේශපාලනඥයින්ට නීතිය නවන්නට නොහැකි වන ලෙස අපරාධ නඩු කිහිපයක් සැකකරුවන්ට එරෙහිව කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කල්මුණ මහාධිකරණය හමුවේ ගොනු විය. රිමාන්ඩ් භාරයට පත්වූ සැකකරුවන්ට මාස කිහිපයකට පසු ඇප ලැබිණි. ඇප ලබාගත් පසු අපරාධ කල්ලි නායකයා වූ මොහොමඩ් බුහාරි මොහොමඩ් හස්මින් රටින් පලාගියේය. සැකකරු නොමැතිව මහාධිකරණයේ එක් නඩුවක් විභාග විය. 2010 ඔක්තෝබර් 15ද‌ා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය. ඒ අනුව මොහොමඩ් බුහාරි මොහොමඩ් හස්මින් යන අපරාධ කල්ලි නායකයා ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. 
ආගමන හා විගමන දෙපාර්තම්න්තුවට සැකකරු සම්බන්‍ධව තොරතුරු ඉදිරිපත් කෙරිණි. විදෙස් රටකට පලා ගිය සැකකරු යළි ලංකාවට පැමිණ කොළඹදී නඩුවේ තීන්දුව ආරංචිව යළිත් රටින් පලාගොස් තිබුණි. 


පලාගිය සැකකරු වීසා අවසන් වූ පසු යළි මෙරටට පැමිණෙන බව පොලිසිය හොඳින් දැනසිටියේය. සැකකරු කෙරෙහි පොලිසිය අවධානයෙන් සිටිද්දී මාස කිහිපයකට පසු ඔහු යළි රටට පැමිණ කටුනායක ගුවන් තොටුපළින් එද්දී අල්ලා ගැනීිමට ආගමන හා විගමන නිලධාරීහු සමත්වූහ. අල්ලාගත් සැකකරු පොලිසියට බාරකෙරිණි. පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අධිකරණ නියෝග අනුව මේ වනවිට ඔහු ජීවිතාන්තය දක්වා වූ දඬුවමට යටත්කර සිරදඬුවම් විඳිමින් සිටී. 

 

 එකල ඔවුන්ගේ පෝස්ටර් (අන්තර් ජාලය)

 

 


ඒ අන්තවාදී සංවිධානය විනාශ කළ ද, යුද්ධය නිමවීමෙන් පසු මුස්ලිම්වරුන්ගේ ඇදහිලි මධ්‍යස්ථාන ද වැඩිවෙන්නට විය. නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් බහුල ප්‍රදේශවල අලුත් ආගමික ස්ථාන බිහිවෙන්නට ද පටන් ගත්තේය. 


ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයන් වන මුස්ලිම් පල්ලි ‘මස්ජිද්’ යන නමින් ද හැඳින්වෙයි. මේ ‘මස්ජිදය’ නැමදුම් ස්ථානයකි. මුස්ලිම් ප්‍රජාව දිනෙන් දින වර්ධනයවීමත් සමග මුස්ලිම් දේශපාලනඥයින්ද සිය ඡන්දදායකයන්ගේ අවධානය දිනා ගැනීමට වග බලාගත්හ. 


මුස්ලිම්වරයෙකුට දිනකට සිය ආගම ඇදහීම හෙවත් ‘සලාතය’ පස් වතාවක් ඉටුකිරීම අනිවාර්යය. මෙම සලාතය සමූහයක් සමග ඉටු කිරීම විසිහත් වාරයක් කුසල් අත්වන ක්‍රියාවක් බව ඉස්ලාමීය ඉගැන්වීමයි. මෙම සලාත පහ අතරින් අලුයම 04.30ට ඉටුකරන ‘ෆර්ජ්’ සලාතය සහ රාත්‍රී 08.00ට පමණ ඉටුකරන ‘ඉෂා’ සලාතය සාමුහිකව ඉටු කරන්නට නම් ‘ මස්ජිද’ හෙවත් පල්ලියක් ළඟ තිබිය යුතුය. ඒ අනුව ජනාවාස ආසන්නයෙන් පල්ලි බිහි වන්නට පටන් ගත්තේය. 


මේ අතර නබිනායක තුමාගේ සහ කුරානයේ ඉගැන්වීම් විකෘති කරමින් කරන අන්තවාදී කල්ලි බිහිවීමට පටන් ගත්තේය. මුලින්ම තව්හිද් ජමාද් නමින් ඒ සංවිධාන බිහිවූ අතර මේ ආගමික ඉගැන්වීම් සිදුකරන නිකායන් වෙත ඇදී ගියේ උගත් තරුණ කණ්ඩායම්ය. සමහර මුස්ලිම් ආගමික නායකයෝ මේ අලුත් ආගමික සංවිධානවලට ඍජුවම චෝදනා නොකිරීමට වග බලාගත්තෝය. 


ඉස්ලාම් විරෝධී ඊශ්‍රායල් ආණ්ඩුවේ ‘මොෂාඩ් රහස් ඔත්තු සංවිධානය’ සමග ඔවුන් රහසිගත සබඳතා පවත්වා ගනිමින් ඉස්ලාම් දහම විකෘති කරන බවට චෝදනා කරන්නට විය. කෙසේ නමුත් මේ චෝදනා අතරේ විවිධ නම්වලින් ‘තව්හිද් ජමාද්’ ආගමික සංවිධාන බිහිවන්නට විය. 


බෞද්ධ විහාරස්ථානයක් පිහිටවන්නේ නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. බොහෝ වෙලාවට ‘බෞද්ධ විහාර හා දේවාලගම් පනතට’ අනුව ඒ කටයුතු සිදු කෙරෙයි. 


මුස්ලිම් පල්ලි සහ පුණ්‍යාභාර 1956 අංක 51 දරණ මුස්ලිම් පල්ලි සහ පුණ්‍යභාර හෝ වක්ෆ් පනත අනුව ලියාපදිංචි කළ යුතුය. 1962 අංක 21 සහ 1982 අංක 33 දරණ පනත් මගින් ඊට සංශෝධන ද එක් කර තිබේ. ‘වක්ෆ් මණ්ඩලය’ පත් කරන්නේ රජය මගිනි. 


ඉස්ලාමීය ඉගැන්වීම අනුව ‘මස්ජිදයක්’ නිර්මාණය කිරීමට දායකවීම ස්වර්ගයේදී මාළිගාවක් ලැබීමේ භාග්‍ය අත්පත් කරගත හැකි ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. මුස්ලිම් අන්තවාදීන් මේ ආකාරයට තැනින් තැන ‘මස්ජිද්’ හෙවත් ඉස්ලාම් පල්ලි ඉදිකරමින් සිය අනුගාමිකයන්ට පහසුකම් ලබාදෙන්නේ මෙකී කුසල් අත්පත් කරගන්නටය. 


මේ අන්තවාදී ඉස්ලාම් ආගමික සංවිධාන බිහිවීම මුස්ලිම් දේශපාලනඥයින්ට ඉතා වාසිදායක එකක් විය. බොහෝ අවස්ථාවල ඉඩම් නොමැති මුස්ලිම් ප්‍රජාවට ඉඩම් ලබාදීමට යැයි පවසමින් රජයේ ඉඩම් අක්කර සිය ගණනින් අත්පත් කරගැනීමට ඔවුන් කටයුතු කළහ. 


විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවාවන්ට යැයි කියමින් මෙලෙස ඉඩම් අත්පත් කරගත් අතර ඒවායේ භුක්තීන් ලබාගත් ජනතාව අතරට පිවිසි අන්තවාදී කණ්ඩායම් සිය දහම ප්‍රචාරය කිරීමට ඒ තැන් භාවිතා කරන්නට ද විය. රජයේ ඉඩම් අල්ලාගෙන ජනපද පිහිටුවා ඒ මුස්ලිම් ජනපද වැසියන්ට ‘සලාතය’ ඉටුකිරීමේ පහසුව තකා ‘මස්ජිද්’ පිහිටුවීම පිටුපස මුස්ලිම් දේශපාලනඥයින් මෙන්ම මුස්ලිම් රාජ්‍ය සේවකයන් කටයුතු කළහ. තමන්ගේ නමින් පොදු ස්ථාන මේ මුස්ලිම් දේශපාලනඥයෝ රජයේ මුදල් වැයකර ඉදිකළහ. 


කල්මුණේ, කාත්තන්කුඩි, සයින්දමරුදු වැනි මුස්ලිම් ප්‍රජාව වැඩිපුර ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව මේ ආකාරයට හුදකලාව තිබූ රජයේ ඉඩම්වල ‘මස්ජිද්’ බිහිවුවත් ඒවා රජයේ ලියාපදිංචි වූ ඒවා නොවීය. 

 

 


ඉතිරි කොටස ලබන සතියට... 
සටහන ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය