සුද්දියන්ගේ හැඩ බලන්න ආ කළු සුද්දන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්


චීන සංචාරකයන් නැතිව  හුදකලාවූ මීගමු වෙරළ  

 

දියවැලකට අහුවුණොත් ගැලවෙන හැටි  

 

මීගමුව වෙරළේ සුව විඳින සුදු කතක්

වෙරළේ අසිරිය විඳින සංචාරකයින්

 

 

මීගමුව සංචාරක කලාපය තුළ අද වනවිට හෝටල් අවන්හල් හා සංචාරක නිවාස ප්‍රමාණය එක්දහස් පන්සියය ඉක්මවා තිබුණද එදා එහි තිබුණේ මීගමුව තානායම ඇතුළු හෝටල් කිහිපයක් පමණි.   


අායුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ඒ වනවිට මීගමුවේ නොතිබුණු අතර එවැනි අවශ්‍යතාවන් සඳහා සංචාරකයින් යොමු කෙරුණේ දඹුල්ල, හබරණ හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පිහිටි ආයුර්වේද සම්බාහන ආයතන වෙතය. එහි අනුමැතිය ලත් ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ සම්බාහන කටයුතු සිදුවිය.  


එහෙත් අදවනවිට මීගමුව පුරා ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පිහිටා තිබේ. ඒවායේ සංචාරකයින් පිනවීමට ඇත්තේ වෙනම ක්‍රියාවලියකි. මීගමුවේ ඇති සුන්දරත්වය වෙරළේ අසිරිය හා මීගමුවටම ආවේණික වූ මුහුදු මාළු කෑම වේලක රසය අලෙවි කිරීම වෙනුවට සම්බාහනයට මුල්තැන්දීම මෙහි සංචාරක ව්‍යාපාරය කඩාවැටීමට හේතුවක්ව පවතින බව බොහෝ දෙනාගේ අදහසය.  

 

 වෙරළේ තාවකාලික වෙළෙඳ කුටියක්

 


සංචාරක ව්‍යාපාරයට අතගසා ඇති මීගමුවේ බොහෝදෙනා පවසන තවත් කාරණයක් වන්නේ සංචාරකයින් සඳහා වෙරළ තුළ පවතින සීමිත නිදහස ව්‍යාපාරයට බලවත් පහරක් වී ඇති බවය.  


හෝටලයේම රැඳී නොසිටින විදේශීය සංචාරකයින් නිතරම කල්ගත කිරීමට කැමැත්ත දක්වන්නේ වෙරළ තුළය. එහෙත් හෝටලය අසල වැල්ලේ රැඳී සිටින විවිධ වෙළෙඳුන් සංචාරකයා වැල්ලට පා තබනවාත් සමගම මග රැකසිට ඔහු පසුපසින් එයි. කුමක් හෝ අලෙවි කරගන්නට ඔවුන් දරන උත්සාහය සුද්දන්ට, සුද්දියන්ට දැඩි කන්කරච්චලයක් වී තිබේ.  

 

සුද්දන්ට කන්කරච්චලයක් වන වෙළෙන්දෝ   

 

මීගමුව වෙරළ

 


බොහෝ විදේශ සංචාරක යුවළ වෙරළේ ගත කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකම ඔවුන් වටා වෙළෙඳුන් හා සේවා සපයන්නන් හතරපස් දෙනෙකු වටවී සිටීම මීගමුවේ සංචාරකයින්ගේ නිදහස බරපතළ ලෙස සීමා කිරීමකි.  


මීගමුවේ වෙරළේ අව් රශ්මිය විඳීමට බිකිණිය සහ තනපට පමණක් හැඳ වෙරළට පැමිණෙන සුද්දියන්ගේ රුව බලාගන්නට බොහෝ දුරකතර ගෙවා මීගමු වෙරළට පැමිණෙන පුද්ගලයෝද මීගමුවේ සිටිති. ඔවුන් පැමිණෙන්නේ වාහනවලිනි. සුරූපී සුද්දියන්ගේ රුව විකෘති ලෙස වින්දනය කරන ඔවුන් සිදුකරන අසම්මත ක්‍රියාවන් නිසාත්, මීගමුව සංචාරක ව්‍යාපාරයට තදබල පහරක් එල්ල වී ඇති බව හෝටල් හිමියෝ ප්‍රකාශ කරති.  


ලුවිස් පෙදෙසේ වෙරළ තුළදී එසේ සුද්දියන් නරඹමින් සිටි මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුට ප්‍රදේශයේ කාන්තාවක් විසින් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඔහු යථා තත්ත්වයට පැමිණ ඇත්තේ මුහුදට පැන ස්නානය කිරීමෙන් අනතුරුවය.  


මීගමුව වෙරළ දිනෙන් දිනම දැඩි ලෙස අපවිත්‍ර වීමත්, නගර සභාව හෝ රජයේ කිසිදු ආයතනයක් මගින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සිදු නොකිරීමත් නිසා වෙරළට එන සංචාරකයින් ප්‍රමාණයද අඩුවෙමින් පවතින බව දක්නට ලැබේ.  


නගරයේ පිහිටි සමහර කානු පද්ධති වැල්ල හරහා මුහුදට සම්බන්ධ කර ඇති තැන්ද දක්නට ලැබේ. එම කානු දිගේ ගලාඑන අපද්‍රව්‍ය සහිත ජලය වැල්ලේ ජලපොකුණු නිර්මාණය වී තිබේ. හෝටල් හිමියන් ප්‍රකාශ කරන්නේ වෙරළ පවිත්‍ර කිරීම් දිනපතා නගර සභාව මගින් සිදුකරනවා නම් තමන් ඒ සඳහා මුදලක් ගෙවීමට සූදානම් බවය. එවැනි හෝ වැඩපිළිවෙළක් වගකිව යුතු අංශවලින් සිදුනොවන්නේ නම් මීගමුව වෙරළ සංචාරකයින්ගෙන් තොර කලාපයක් බවට පත්වීම වැඩිදුරක නොවන බවද ඔවුහු ප්‍රකාශ කරති.  
මීගමුව - ලුවිස් පෙදෙසේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන අයිවන් මාකස් පීරිස් මහතා මීගමුවේ සංචාරක ව්‍යාපාරයේ නිසි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වැඩි වෙහෙසක් දරන ව්‍යාපාරිකයෙකි. ඔහු පවසන්නේ මෙහි රැඳී සිට යළි සියරට බලා යන සංචාරකයින් තම ෆේස්බුක් ගිණුම් ඔස්සේ මීගමුව හා ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් අප්‍රසාදය පළකර ඇත්තේ වෙරළේ ඇති අපවිත්‍රතාව පිළිබඳව බවයි.  


මීගමුව වෙරළේ සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අනතුරුවලට මුහුණ පෑ අවස්ථාද බොහෝය. බොහෝදෙනෙකුට තම ජීවිතය පවා පූජා කරන්නට සිදුවූ අවස්ථාද එමටය. මුහුදේ ගිලී අනතුරට පත්වූ බොහෝදෙනෙකුගේ ජීවිත ගලවා ගත් පුද්ගලයෙක්ද අදටත් මීගමුව ලුවිස් පෙදෙසේ සිටියි. ඔහු එල්රන් ප්‍රනාන්දුය.  


දැනට 70 හැවිරිදි වියේ පසුවන එල්රන් මහතා වසර දශක ගණනක් ධීවරයෙකු ලෙස මුහුදේ ගතකළ අයෙකි. මුහුදේ පිහිනීම හා එහි ඇතිවන මාරාන්තික දියවැල් සමග සටන්කර ජයගැනීමට ඔහු සමත්ය. ඔහු බේරාගත් ජීවිත ගණන විශාලය. එහෙත් ඔහු දැඩි සටනක් කළත් බේරාගැනීමට නොහැකි වූ ජීවිතයක් පිළිබඳව ඔහු අදත් දුක්වෙයි.  


මම හිතන විදිහට ඒ අය ස්වීඩනය වගේ රටකින් පැමිණි පිරිසක්. තාත්තයි, අම්මයි දුවයි තමා ලංකාවට ඇවිත් හිටියේ. මුහුද ඉතා සැර වාරකන් කාලෙක සුද්දා මුහුදට බැස ඉන්නකොට දියවැලක් ඇවිත් සුද්දව ඇදගෙන ගිහින් තිබුණා. සුද්දටත් පීනන්න පුළුවන්. ඒත් දියවැලකට හසුවුණාම කොච්චර පීනන්න පුළුවන් කෙනෙකුට වුණත්, මොකුත් කරගන්න බැරිවෙනවා.  


මම ගෙදර හිටියේ සුද්දියි, එයාගේ කුඩා දියණියයි කෑගහගෙන මගේ ගේ පැත්තට දිව්වා ඔවුන් උදව් ඉල්ලා කෑගැසුවා. මම ඉක්මනට කලිසමක් ඇඳගෙන මුහුද පැත්තට දුවලා බැලුවම සුද්දා ගොඩට පීනන්න වෑයම් කරනවා. මම ඉක්මනට සුද්දා ළඟට ගියා ඔහුගේ මුහුණේ තිබුණේ අසරණ බැල්මක්. කෙළින්ම ඔහු ඉදිරියට නොගිහින් මම පැත්තකින් ගිහින් සුද්දගෙ කෙස්වලින් අල්ලාගත්තා. දියවැලට මාවත් අහුවුණා නම් දෙන්නම ඉවරයි.  


මම කොහොම හරි සුද්දව ගොඩට අරගෙන ඇවිත් වෙරළට දමා කෘත්‍රිම ස්වසනය දී රෝහලට රැගෙන ගියා. ඒත් ඔහු මියගියා. අර දරුව වෙනුවෙන් තාත්තගේ ජීවිතේ බේරාදෙන්න නොහැකිවුණා යැයි එල්රන් මහතා හැඟීම්බරව කියයි.  


වාරකන් හෙවත් මුහුද දැඩි ප්‍රචණ්ඩ කාලයේදී මුහුදට නොබසින ලෙස දන්වා වෙරළ කලාපයේ රතු කොඩි පවා රඳවා තිබෙනු දක්නට ලැබේ. එහෙත් ඒ බව තැකීමක් නොකර මුහුදට බසින්නන්ගේ ඉරණම ඛේදවාචකයක් සේ ලියවීමට ඇති ඉඩකඩ වැඩිය.  


මුහුදේ ඇතිවන මේ මාරාන්තික දියවැල්වලින් තමන්ගේ ඉණවටා තෙක් ගැඹුරට මුහුදට බැහැලා ඉන්න කෙනාව වුණත් මුහුදට ඇදලා ගන්න පුළුවන්. බොහෝදෙනෙක් දියවැලකට අහුවුණාම කරන්නේ දියවැලට එරෙහිව වෙරළ පැත්තට පිහිනීමට උත්සාහ කිරීම. ඒත් කළ යුත්තේ එය නොවෙයි. දියවැල සමගම මුහුද පැත්තට ඇදෙන ගමන් උත්සාහ කළ යුත්තේ දියවැල පවතින සීමාවෙන් එළියට පැනගන්න එක.  


දියවැලට ලොකු පළලක් නැහැ. ඒකෙන් එළියට පැනගත්තහම රැල්ල ගහන්නේ වෙරළ පැත්තට එතකොට ගිලෙන්නේ නැතිව වෙරළට ගසාගෙන එනවා. දියවැල් හා මුහුද සම්බන්ධව දීර්ඝ අත්දැකීම් ඇති එල්රන් මහතා පවසයි. ඔහු මේ වනවිට වයෝවෘද්ධ තත්ත්වයට පත්වෙමින් සිටියත්, ඔහු කළ මෙම සද්කාර්ය ඔහුගේ පුත්‍රයා සිදුකරමින් සිටියි. වාරකන් කාලයේදී මුහුදට බහින්නේ නැතුව වලාල කාලයේදී විතරක් මුහුදට බහින්න කියලත් ලියන්නැයි එල්රන් මහතා අපෙන් ඉල්ලා සිටියේය.  


එල්රන් මහතාගෙන් සමුගෙන වෙරළ තීරයේ දිගේ ගමන් කරන විට අපට මුණගැසුණේ වෙරළේ තාවකාලික සෙවණක් තනාගෙන සුද්දන්ට තැඹිලි විකුණන කාන්තාවකි. සුද්දන්ට සුද්දියන්ට විකුණන්නට තබා ඇති ඇඳුම් කිහිපයක්ද ප්‍රදර්ශනයට තබා තිබේ. ඇය සුද්දන්ට තැඹිලි ගෙඩියක් විකුණන්නේ රුපියල් එකසිය පනහකටය. දේශීය සංචාරකයෙකුට රුපියල් සියයකි.  


නම හෙළිකිරීමටත්, ඇගේ ඡායාරූප ගැනීමටත් විරෝධය පෑ ඇය වෙරළ තුළ තමන්ට අත්වන අසාධාරණය කීවාය. මගේ මහත්තයත් මැරුණා. මම ළමයි ජීවත් කරවන්නේ තැඹිලි විකුණලා. වෙරළේ අව්වේ ඉන්නට බෑ අපි තාවකාලිකව මේ සෙවණක් හදාගෙන ඉන්නේ. ඒත් නිතරම ඇවිත් මේවා ඉවත් කරන්න කියනවා.  
ලොකු අය වෙරළේ වැලියි, සිමෙන්තියි දාලා ලොකු ගොඩනැගිලි හදාගෙන විදුලියත් අරන් තියෙනවා. ඒ අයට මොනවත්ම නෑ. දුප්පත් අපිට තමා හැම නීතියක්ම. වෙරළේ තියෙන්නේ අමුතුම නීතියකි. රටේ නීතියත් එහෙමයි කියනවනේ. ඒත් දුප්පතාට එක නීතියකුයි, පොහොසතාට එක නීතියකුයි තියෙන ප්‍රධානම තැන තමයි වෙරළ. වෙරළ රකින්න මොන ආයතන තිබුනත් මීගමුවෙ නීතියක් ඇත්තෙම නෑ. ඕව කවුරුවත් ලියන්නෙත් නෑ කාන්තාව අපටද චෝදනා කළාය.  

 

 


එම කාන්තාව කී දේ පමණටත් වඩා සත්‍යයක් බව දකින්නට මීගමුව වෙරළේ සංචාරය කළ යුතුමය. අතීතයේදී අඩි සියයක් දෙසීයක් තිබූ වෙරළ තීරය අද අඩි පනහකට පමණ සීමාවූ ප්‍රදේශ බහුලය. සමහර ව්‍යාපාරිකයෝ අනූනව වසරකට වෙරළ බදුගෙන ව්‍යාපාර කරති. ඒ ස්ථිර ඉදිකිරීම්ද සහිතවය.  


තවත් හෝටල් හිමියන් වෙරළ තුළ පොල්ගස් සිටුවා සීමා මායිම මුහුද දෙසට රැගෙන විත් තිබේ. වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍යනය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර් තුන්සීයක (300) සහ මධ්‍යනය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර් දෙකක සීමාවක් ඇතුළත ප්‍රදේශය ලෙස 1981 අංක 57 පනතින් අර්ථ දක්වා තිබුණද, මීගමුවේ වෙරළ තීරය මෙම අර්ථ දැක්වීමට අනුව පවතීදැයි අප කියන්නට අවශ්‍ය නොවන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අතළොස්ස අතුරින් මීගමුවේද එකක් පිහිටි බැවිනි. රටේ සුන්දරම වෙරළ තීරයට අද වනවිට අත්වී ඇති ඉරණම පිළිබඳව තක්සේරුවකට එන්නට අපි ඔවුන්ටම භාරකරමු.  


(ලබන සතියේ තව කොටසක්)  


සටහන - ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම



Recommended Articles