මාතලේ උමං ගඟේ මුල්ම ජල බුබුළු දෙක


දන්න දේ  සහ නොදන්නා දේ   

 

 

රට මැද කඳුකරයේ සිට මුහුදු වෙරළ දෙසට භූ පැළුම් 25,000 පමණ ඇත. ඒවා ගුවන් ඡායාරූප වලින් පැහැදිලිව දිස්වෙයි. ඉන් සමහරක් පියවි ඇසටද කුඩා අගල් හෝ කාණු ලෙස පෙනෙයි. එවැනි එක් භූ පැල්මක් තෙල්දෙණියේ වික්ටෝරියා ජලාශය අසල සිට දිගන වත්තේගම හරහා මාතලේ දෙසට විහිදෙයි. මේ භූපැළුම ප්‍රදේශයේ පොළොව යට පැතිර ඇති දිරාගිය හුනුගල් තට්ටු ආශ්‍රිතව පැතිරෙයි. වර්ෂා කාලයේ පොළොවට වැටෙන වර්ෂා ජලය මේ භූ පැළුම් ඔස්සේ භූ පැල්මට කාන්දු වෙයි.  


ඒ අවට ඇති ජල උල්පත් ද ඒ දෙසට ගලයි. මෙසේ එකතු වන ජලනිධි භූ පැල්ම යටින් තැන්පත් වී මාතලේ උමං ගඟ නිර්මාණය කරයි. මාතලේ උමං ගඟ ආරම්භය පැති දෙකකින් සිදුවෙයි. වත්තේගම - යටවර - උකුවෙල පළමු ජල දහරයි. දෙවැනි ජල දහර කබරගල - පන්විල - ඇල්කඩුව දෙසින් ගලා යයි. වත්තේගම දෙසින් ඇරැඹෙන උමං ගඟේ පළමු පියවි ඇසට පෙනෙන දර්ශනය ඊරියගස්තැන්න නුදුරුව ඇති ජල බුබුළු දෙකයි.  
වත්තේගම සිට පන්විල දෙසට විහිදෙන පාරේ කිලෝමීටරයක් පමණ දුර ගිය විට හුන්නස්ගිරි කන්දෙන් ගලා එන රවන් ඔයෙන් වැටෙන රාස්සැල්ල දියඇල්ල හමුවෙයි. පාර අද්දර ඇති රාස්සැල්ල දියඇල්ලට හරි කෙළින් මීටර් පන්සියයක් පමණ පහළින් මාතලේ උමං ගඟේ පළමු ජල බුබුළු දෙක එක ළඟ පිහිටයි. ඒ අයත් ග්‍රාම සේවක වසම ඊරියගස්තැන්නයි.  


පොළොව යට සිට උමං ගඟෙන් අතක් පමණ මහතට විශාල ජල බුබුළු දෙකක් මතුවෙයි. ගල්තලාවක් අද්දරින් එකිනෙකට මීටර් තුනක් පමණ දුරින් උමං ගඟේ සිට ගල්තලාවේ මැදින් මේ ජල උල්පත් දෙක උඩට මතුවෙයි.  
උමං ගඟක් ඇති බවට දිස්වන පළමු සාධකය මේ ජල බුබුළු දෙකයි. ඒවා කිවුල් දිය උල්පත්ය. එහෙත් මේ ජල උල්පත් දෙක යොදාගෙන අවට නිවාස රැසකට ‘නිල් දිය දහර’ නමින් ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. පොළොවෙන් මතුවන උල්පත් දෙකේ වැඩි ජලය ගල්තලාව දිගේ ගලා ගෙන ගොස් ඒ අසළින් ගලා යන රවන් ඔයට එකතු වෙයි.  


ඊරියගස්තැන්න සිට රවන්ඔය පහළට ගලන විට යටවර සිට උකුවෙල දක්වාම මෙවැනි ජල බුබුළු රැසක් උමං ගඟෙන් මතුවෙයි. ඉන් සමහරක් උල්පත් අවට සිමෙන්තියෙන් බැඳ ළිං වශයෙන් භාවිතා වෙයි. උකුවෙල මහවැලි උමඟ කපන විට උමං ගඟේ විශාල ජල කඳක් අසු වී දින ගණනාවක්ම ඒ ප්‍රදේශය පුරා ජලය ගලා ගියේය.  

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන!

 

 

 



Recommended Articles