පුවත්පතකින් තේරූ පංචකල්‍යාණියෝ


 1955 ‘ලංකාදීප’ පංච කල්‍යාණි මේරි බ්‍රියට්‍රිස් පෙරේරා (මැද) තමා හා තරග කළ රූමතියන් පස්දෙන සමග

 

  • ලංකාදීප පත්‍රය පුරාණ නාරි ලක්‍ෂණ පහට යළි පණ දෙයි.
  • 1953 ‘‘මිස් ලංකා’’ තරගයෙන් මානෙල් ඉලංගකෝන්ට විශේෂ තැනක්
  • මානෙල්ගේ උස, මනා සුන්දරත්වය, මුව මඩල, කළු වරලස තරගයේ කැපී පෙනී ඇත.
  • මොරීන් හින්ගර්ට් 1955 ජගත් රූමතියන් අතර තුන් වැනියා වී හොලිවුඩ් චිත්‍රපටවල රඟපායි.
  • ලංකාවට පැමිණි මොරින්ට අගමැති සර් ජෝන් ගෙන් සංග්‍රහයක්.
  • 1955 ලංකාදීප පංචකල්‍යාණිය වූයේ මේරි බියට්‍රිස්ය.
  • 1956 පංචකල්‍යාණිය කාන්ති ගුණතුංග සිනමාව කාන්තිමත් කරයි.
  • පංච කල්‍යාණියන් ගැන භද්‍රා ගුණතිලකගෙන් ‘‘ලංකාදීප රසවාහිනිය’’ට අපූරු ලිපියක්.
  • එදා මානෙල්, බ්‍රියට්‍රිස්, කාන්ති, මේරි රූ රැජිනියන් වුණේ මෙහෙමයි.

 

 

රූපයෙහි යහපත් බව පංච කල්‍යාණියන් ගෙන් එකක් ලෙස ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග ලියු මහා සිංහල ශබ්දකෝෂයේ සඳහන් වෙයි. රූප රැජිනියන් පංචකල්‍යාණියන් ගැන විස්තර පෙර හෙළ සාහිත්‍යයේ සඳහන් වෙයි.


‘‘ළඳකගේ පංචකල්‍යාණ්‍ය මිනුම් කොට ගෙන ජනපද කල්‍යාණියන් හෙවත් රූ රැජිනන් තේරීම පෙරදිග ඉතා පුරාණයේ සිට පැවත ආ සිරිතකි. මෑතක දී මෙය බටහිර රටවලට ද පුරුදු වී ඇතත් පෙරදිග පංචකල්‍යාණ ලක්‍ෂණය එහි දී නොසැලකෙන සේය. ලංකාදීප පුවත්පත 1956 මුළු සිරිලක සිටි රූමතියන් අතරින් පංචකල්‍යාණියක තෝරා පුරාණ නාරි ලක්‍ෂණ පහට යළිත් පණ දීම විශේෂයෙන් සඳහන් කළ යුත්තෙකි.
පෙර කුල කතුන් රැකි උසස් සිරිත් දැන් භාවිතයෙහි නැති බැවින් ඒ ගැන කිසිම තැකීමක් නැතිව බටහිර නවීන පන්නයට ළඳුන් හැඩ ගැනීම බෝවෙන රෝගයක් මෙන් පැතිරෙන මෙකල යළිදු පංච කල්‍යාණියන් ඇති කිරීමට දැරූ මේ තැක නිසා හෙළ ළඳුන් සිය රූ සපුව පෙර දිග සිරිතට රැක ගැනීමට යළිඳු සිතට ගෙන ඇති බව පෙනේ.


ලංකාදීප පංච කල්‍යාණිය තේරීමේ තරගය පැවැත් වෙන කාලේ ‘‘ලංකාදීප’’ පත්‍රය නිකුත් කළ ‘‘රසවාහිනි විශේෂ සඟරාවට පෙර හෙළ ළඳුන් පංචකල්‍යාණියන් වූ සැටි’’ නම් ලිපියක් ලියු ප්‍රවීණ ලේඛිකා භද්‍රා ගුණතිලක විසින් ලියූ ලිපියකින් මේ කරුණු හෙළි විය. මේ අගනා ලංකාදීප බුද්ධ ජයන්ති රසවාහිනි දුර්ලභ සඟරාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ​සෝමසිරි කස්තුරිආරච්චි මට පරිත්‍යාග කිරීමට තරම් කරුණික විය.
භද්‍රා ගුණතිලක මේ ලිපියෙන් ගැහැනිය ගේ අලංකාරයෙන් ඔප් නොනැඟූණු තැන් ලෝක සාහිත්‍යයේ විරල බවත් ඈත අතීතයේ සිට කවියෝ ගැහැනියගේ අමරණීය සෞන්දර්යයෙන් වශීව ගී ගැයූ හැටිත් බඹුන් විසින් ගැහැනිය මැවීමේ ඒ රසවත් පුවත ආදී කල්පිත කවියා මැවූ හැටිද විස්තර කරන්නීය.
බ්‍රහ්ම තෙමේ ජගන්හුගේ තද දෙසින් මිනිහා මවා අත පුරුදු වූවාට පසු යැ ගැහැනිය මැවුයේ.
ලෝකයේ මට සිලිටි, මුදු මොළොක්, නැමෙන සුදු හැම දෙයම අනා එකට කලතා ඔහු ගැහැනිය රසවත් කොට මැවුයේ මෙසේය.


මහ බඹු තම අසපුව අසබඩ, රන් ලිය දෙස බලා ගැහැනියට එහි නම්න බවත් සැහැල්ලු බවත් ලීලොපෙත බවත් දිණි සිසිහුගේ මට බව සලකා ගැහැනියගේ පියවුරු කළ බඹු සොරා ගත්තේ වසන්තයේ ළා දළුවල සැහැල්ලු බව හා පැහැයය.


ගැහැනියගේ මුදු මොළොක් අත්වලට ඇත් හොඩයේ හැඩය දුන් බමු එහි එල්ලා වැටෙන ගතිය මල්දමින් ගැහැනියගේ අත්වල බහා ලූයේය.


අන්තිමේදී තමා මැවූ ගැහැනියගේ සිරුරට නිම හම් කළ දුන් බමු. තණ පත්වල සිනිඳු බවත්, ගඟ බඩ බට පැලවල සිහින් බවත් අමතක නොකළේය.


මී පැණියේ මිහිරත්, චෝරු මලේ මල් සුවඳත් එකට කැවුණු වතුරෙහි නහවා ගත් ගැහැනිය ගේ දෙතොලැ අමා රස කවා මහ බඹු ගැහැනිය නිම කළේය.


එකල රටේ පංචකල්‍යාණියන් නගර සොභනියන් කළ බවත්, බෞද්ධ සාහිත්‍ය එන සිරිමා, එවනි නගර සෝභිනියක් බවත් ඒ අතර සුලසා අම්බපාලි බුදු සමයත් අයත් අසිරිමත් රූ සපුවෙන් හෙබි කාන්තා වන් සිටි බවද එම ලේඛිකාව පවසා තිබුණාය.
මෙවැනි රූමතියන් රටකින් හෝ පළාතකින් තෝරා රූ රැජිනන් සේ සැලකීම දැන් මෙන්ම එකලද කැරුණු සමාජ චාරිත්‍රයකි. රජුන් අනුදත් මෙවැනි සිරිත් රුවට කරුණු උපහාරයක් බදුයයි. කියන මේ ලේඛිකාව තේරුණ පංච කල්‍යාණියන් කැඳවාගෙන ඒම පංචකල්‍යාණියන් තේරීමේ පෙළපාළි පංචකල්‍යාණියක් මහ උළෙලින් රාජ සභාවට ගෙනෙන පැරණි චිත්‍ර ද මේ ලිපියට තිබුණි. ඉන් එක් චිත්‍රයක් මෙහි පළවේ.
ශ්‍රී ලංකාවේ පැවත් වූ රූප සුන්දරියන්ගේ තරඟ ඉතිහාසයට දිගු ඉතිහාසයක් ඇතත්. මීට වසර 68 කට පෙර පැවති 1953 වසරේ ‘‘ මිස් ලංකා’’ තරගයට ඉදිරිපත් වූ මානෙල් ඉලංගකෝන් විශේෂ තැනක් ගත්තාය. Times of Ceylon පත්‍රයට ආ ඉල්ලුම්පත් අතරින් මුල් තැනට තේරී ලන්ඩනයේ පැවැත් වූ Miss World තරගයට ලංකාව නියෝජන කර ඇත්තේ මානෙල් ඉලංගකෝන්ය. ලන්ඩනයේ Lyceym Theatre ‌Bollroom හි පැවති ලෝකයේ සිටින වඩාත් රූමත් රූප රැජිනියන් 20 දෙනා අතරින් හතර වැනි ස්ථානය දිනා ගත්තේ ඇයයි. අැයට බ්‍රිතාන්‍ය පවුම් 100 ක් හිමි වී ඇත.


කවුද මේ මානෙල් ඉලංගකෝන්?


(ඇය හිටපු ගම්පොළ පාර්ලිමෙන්තු මන්ත්‍රී පසුව පාර්ලිමෙන්තුවේ කතානායක) ආර්.ඇස්. පැල්පොල මහතා සහ මහත්මියගේ දියණියෙකි. ඇයට සහෝදරයන් අට දෙනකු ද සහෝදරියන් පස්දෙනෙක් ද වූහ.
මානෙල් ව අනික් තරඟ කාරියන් අතර කැපී පෙනී ඇත්තේ කෙසේ දැයි 1953 The Times Of Ceylon Anuval සංග්‍රහයේ මෙසේ දක්වා තිබුණි.


‘‘උස සහ මනා සුන්දරත්වය ඇගේ දෙවිසි හැවිරිදි වියේ දී ලංකාවේ සෞන්දර්යය සැබැවින් නියෝජනය කළාය.
ගජමුතු මෙන් සියුමැලි මුව මඩල සහ කළු වරලස ආදරණීය බව ලුහුබඳින වත හැම විටම කැපී පෙනිණි.
ඇස් වලින් අානන්ද ජනක හැගීම් පළ කරන ආකාරය ද අනිත් අයට ප්‍රිය උපදවා ඇත.
මානේල්ගේ සංඛ්‍යාත්මක දත්ත අනුව උස අඩි 5 යි අඟල් 5 කි. ශරීරයේ උඩ කොටස (පපුව) අගල් 35 කි. ඉඟටිය අගල් 24 1/2 කි. උකුළ (ඉඟටිය) අඟල් 35 කි.


1955 වසරේ පත්වන ලද ජගත් මහා රූ රැජින තරගයට ලංකා රූ රැජින වන මොරින් නීලියා හින්ගර්ට් (Maureen Neliya Hingert) ඒ මහා තරගයෙන් තුන් වැනි ස්ථානය දිනා ගත්තාය.
1937 ජනවාරි 09 වෙනිදා කොළඹ දී උපන් මොරීන් පියා වූ ලයනල් හින්ගර්ට් (Lionel Hingert) මහතා ලංකා බැංකු​වේ සභාපතිවරයකුව සිටියේය. ඇගේ මව වූයේ මාබෙල් ඩෙල්රුන්ය.
(Mabel del run) ය.’’

මොරීන්  හින්ගර්ට් ජයග්‍රහණය ලබා ලංකාවට පැමිණි පසු අගමැති සර් ජෝන් කොතලාවල මහතා සමග කඳවල වත්තට ගිය අයුරු

 

1956 ‘ලංකාදීප’ පංචකල්‍යාණිය වූ කාන්ති ගුණතුංග ලංකාදීප ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාල මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාව

 

 

තම ජයග්‍රහණය ගැන මොරින් විදෙස් මාධ්‍යවේදීන්ට මෙසේ කියා තිබුණාය.
‘‘මගේ රට පොඩි දිවයිනක්. නමුත් ඒ දිවයින පැරණි සභ්‍යත්වයක් හා සංස්කෘතියකින් පොහොසත් රටක්. මා පැමිණ සිටින්නේ සමගියෙන් හා සාමයෙන් දිවි පෙවෙත ගත කරන ජනතාවක් ඇති රටක සිටයි’’.
කැලිපෝනියාවේ ලේක් හවුස් වාර්තාකරු ‘‘ඔබ්සවර්’’ පත්‍රයට ලියා තිබුණේ (1955 ජුලි 14) මෙසේය.
‘‘මේ ජගත් රූ රැජින නැරඹීමට ලෝකයේ නන් දෙසින් තුන් දහකට අධික පිරිසක් රැස්ව සිටියහ. මදක් රතු සහිත සිල්ක් සාරියකින් හා චාම් ආභරණ වලින් සැරසී සිටි ලංකා රූ රැජින කාගේත් සිත් ගත්තාය. ජගත් රූ රැජින පවුම් 250 බැගින් මාස හයක චිත්‍රපට නිළියක ලෙස හොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමට ගිවිසුමක් තැබූ අතර ඇයට වටිනා රන් ආභරණ රැසක් ද පිරිනැමුණි.


1955 ජගත් රූ රැජින ප්‍රතිඵල මෙසේ වීය.


(1) හෙලවි රොමිබීන් (ස්වීඩනය) (2) මැරිබැල් අරිඩ්ලා (එල් සැල්ලවඩෝර්) (3) මොරීන් හින්ගර්ට් (ලංකාව), (4) මාගිට් නන්කි (ජර්මනිය) (5) කිකෝ තකාෂි (ජපන්).


මොරීන් හින්ගර්ට් ලංකාවට ජගත් කීර්තියක් හා ප්‍රසිද්ධියක් ලබා දීම ගැන ලංකා අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා තම සතුට පළ කොට කේබල් විදුලි පුවතක් යවා ඇත.


ලංකා රූ රැජිනගේ වසය 19 ක් බවත්, උස අඩි පහමාරක් බවත්, බර 116 ක් බවත් 1955 ජුලි 24 වෙනිදා ‘‘සිළුමිණ’’ පත්‍රයේ පළ වී තිබුණි. මොරීන් ජගත් රූ තරගයට තෝරා ඇත්තේ ‘‘ඔබ්සවර්’’ පත්‍රය මගිනි.
‘‘මගෙ ලොකුම ආසාව තිබුණේ ඇමෙරිකාවට යාමට. මේ තරගයට සහභාගි වීමෙන් මට මගේ මව්රට ලොවට හඳුන්වා දීමට හැකිවීම මට ලොකු සතුටක්, තරගයෙන් පසු මට ඇමරිකාවේ නොයෙක් ප්‍රාන්ත කිහිපයක ඇවිදින්න ලැබුණා. මේ ගමන්වලදී මාව හරසරින් පිළිගත්තා.


මට පුවත්පත්වල හා රූපවාහිනිවල ප්‍රසිද්ධිය ලැබුණු නිසයි ඒ.


රූ රැජින තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයට පුවත් පත් කලාවේදීයෙක්, රූ රැජිනක්, ජනප්‍රිය ගායකයෙක් ලෝ ප්‍රකට විකට චිත්‍ර ශිල්පියෙක්, වේශ නිරූපණ විශේෂඥයෙක්, ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක්, රූමතියන් ගැන මනා විශේෂඥ දැනුමක් ඇති දෙදෙනෙකු හිටියා. මොරින් පුවත් පත්වලට කියා තිබුණි’’.
මොරින් හින්ගර්ට් ලංකා රූ රැජිනගේ ජයග්‍රහණය ගැන ඇගේ දෙමාපියන් දැනගෙන ඇත්තේ සිළුමිණ මාධ්‍යවේදියා ගෙනි. මේ ආරංචිය දැන ගත් ඔවුන් සතුටු කඳුළු වගුරුවා ඇත. ඇගේ මව ළඟම ඇති ටෙලිෆෝනයක් අසළට ගොස් කේබල් පණිවුඩයක් තම දියණියට යවා ඇත.


දුව ඔබේ ජයග්‍රහණය අපට මෙන්ම අපේ රටටම ආඩම්බරයක්. අපේ ප්‍රීතිය පිළිගන්න.
ඇගේ මව මාධ්‍යවේදියාට කියා ඇත්තේ මගේ දුව තරඟයට යාමට පෙර කියා ඇත්තේ අඩුම තරමින් තුන්වැනියාවත් වන බව ‘‘ඔබ්සර්වර්’’ මාධ්‍ය​වේදියාට කියා තිබුණි.


මොරීන් ලංකාවට පැමිණි පසු රත්මලානේ ගුවන් තොටුපළේ දී පිළිගත් අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා ඇය හා දෙමාපියන් සඳහා කඳවල වත්තේ තේ පැන් සංග්‍රහයකට සහභාගී කරගෙන ඇත. මොරින් අගමැති නිලරියේ සර් ජෝන් සමඟ ගමන් කර අැත.


ස්කොට්ලන්ත ජනප්‍රිය නළුවෙකු වූ Mario Armond zamparelli හා විවාහවූ (1958- 1970) මොරීන්ට Gina zamparelli ඇතුළු දියණියන් තිදෙනෙකු වූහ.


1970 ඇය William Ballard සමග විවාහ වී ලොස් ඇන්ජලීස් නගරයට ගියාය. 20th century fox සමාගම සමඟ එක් වූ ඇය Ramor of the jungle රූපවාහිනි චිත්‍රපටයේ කැලෑවේ රැජිනක් ලෙස රඟ පෑවාය. එතැන් සිට ඇය හොලිවුඩ් චිත්‍රපට හා රූපවාහිනි චිත්‍රපට කිහිපයක රඟපෑමෙන් කීර්තියට පත් විය.


ඇය Gun fever චිත්‍රපටයේ Mark steven සමග රඟපා ඇත.


‘‘ලංකාදීප පංචකල්‍යාණී තරගය’’ ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ ‘‘ලංකාදීප’’ කතුවර ඩී.බී. ධනපාල මහතාටය.


1955 වසරේ තේරුණ පංචකල්‍යාණිය වූයේ මේරි බියට්‍රිස් පෙරේරාය. ඇය සමඟ තරග කළ රූමතියන් පස් දෙනාගේ ඡායාරූපයක් ‘‘ලංකාදීප’’ පත්‍රයේ පළ වී තිබුණි.


‘‘ලංකාදීප’’ පංචකල්‍යාණිය ලෙස 1956 පැවැති එම තරගයෙන් අම්බලන්ගොඩ, පොල්වත්තේ දහනව හැවිරිදි කාන්ති ගුණතුංග පංචකල්‍යණිය ලෙස තෝරා ගනු ලැබූ බව 1956 ඔක්තෝබර් 07 වැනිදා ‘‘ඉරිදා ලංකාදීප’’ පත්‍රයෙන් අනාවරණය වුහ. පංචකල්‍යාණි විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය කිරිඇල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි (කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිය) ජයග්‍රාහිකාවට මල් මාලාවක් පැලඳවීමෙන් පසු ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර ඇත.


පළමු තැන තේරුණ කාන්ති ගුණතුංග සුප්‍රකට නිළියකව සුරංගණී, දොස්තර, සන්දේශය, වන මෝහිනි චිත්‍රපටවල රඟපෑ අතර තරගයෙන් ජයගත් රූමතියන් පස් දෙනා ගෙන් විවාහ වී සිටියේ 3 වන ස්ථානයට පත් වූ සුජාතා පරම නාදන්ය. විවාහ වීමට පෙර ඇගේ නම සුජාතා චන්ද්‍රදාස. ඇය පසුව සැඩ සුළං, රන්සළු, ඇතුළු චිත්‍රපට කිහිපයක රඟ පෑවාය.


තරග විනිශ්චයට අනුව 2 ස්ථානයට සුසිලා ස්වර්ණලතා ද හතරවැනි ස්ථානයට අමරා වික්‍රමසිංහ ද, ලිලියන් කමලා පස් වැනි ස්ථානයටද පත් වුහ.


පංචකල්‍යාණි විනිශ්චය මණ්ඩලයට​ කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කුසුමා ගුණවර්ධන, තමරා කුමාරි ඉලංගරත්න, කාමන් වීරකෝන්, සෝමා උඩබාගේ, රුක්මණි බෙලිගම්මන, මහත්මීන් ඇතුළත් වූහ. රිය පෙරහැරකින් ගමන් කළ පංචකල්‍යාණියෝ අරලිය ගහ මැදුරේ දී අගමැති බිරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් තෑගි ලබා අනතුරුව රජ ගෙදරට ගොස් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් පංච කල්‍යාණියන් පිළිගෙන ඇත. පසුව කොටුවේ ටයිම්ස් ගොඩනැගිල්ලට පැමිණි ජයග්‍රාහිකාව ‘‘ලංකාදීප’’ කර්තෘ ඩී.බී. ධනපාල මහතා අතින් කුසලානය ලබා ගත්තාය.


කාන්ති ගුණතුංග නම් 1956 පංචකල්‍යාණියගේ වයස අවුරුදු 19 කි. උස අඩි 5 අඟල් 4 කි. කෙස් කළඹ අගල් 28 කි. පපුව අගල් 36 කි. ඉඟ අඟල් 37 1/2 කි. මේ තොරතුරු ඉරිදා ලංකාදීපයේ මුල් පිටුවේ කළයත් ඇතැතිව රෙද්දකින් හා හැට්ටයකින් සැරසි සිටින ඡායාරූපයක් සමග පළ වී තිබුණි.


එදා මෙදා පෙර හෙළ ළඳුන් පංචකල්‍යාණියන් හා රූප රැජිනියන් වූ ඉතිහාසය ඒ අතර ලංකාවේ රූමතියෝද වෙති. එය එක ලිපියකින් ලිවිය හැකි දෙයක් නොවේ. කාන්ති ගුණතුංග ගෙන් පසු රූප රැජිනියන් හා ඒ සඳහා නියෝජනය කළ රූමතියන්, ජයග්‍රාහකියන් ගැන මතු ලිපිය කදිම මාතෘකාවකි.


වේද යුගයේ සිට ඉන්දීය කතුන්ට ලස්සන වීමේ උපක්‍රම දුන් පොතක් ගැන භද්‍රා ගුණතිලක ලේඛිකාව සඳහන් කර තිබුණාය.


හිස කෙළින් කොට අත් දෙක නිදහසේ වනා. සැහැල්ලු ලෙස යන්න පුරුදු වන ඔබ ඔබේ පාර අලංකාරය මැදින් වැටී ඇති මාවත යැයි සලකන්න කියා ‘‘හට් යෝගය’’ පොතක සඳහන්ව ඇති බව කියා ලේඛිකාව කාන්තාවන් අලංකාර වුණු සැටිත්, ස්වභාවික සුන්දරත්වය වැඩිකර ගැනීමට යෙදූ උපක්‍රමත් කාව්‍යශේඛරය, සැලළිහිණි සන්දේශය, ගුත්තිලය යන කෘතිවලින් හෙළිවන බවද පවසා තිබුණා.

 

ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්

 



Recommended Articles