කපුටන් සමග කතාබහ කරන සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ


අමුතු 
  ගති ඇති 
මිනිස්සු

 

සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ මීට වසර විසි තිස් ගණනකට පෙර වැලිගම ප්‍රදේශයේ විසූ විශ්‍රාම ලත් පාසල් ගුරුවරියකි. වසර හතළිහකට ආසන්න කාලයක් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් කීපයකම සේවය කළ ඇය සේවයෙන් විශ්‍රාම ලබනවිට නියෝජ්‍ය විදුහල්පතිනියක වශයෙන් කටයුතු කළාය. 


සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ ඉතා කරුණාවන්ත හා දක්ෂ ගුරුවරියක බව ඇගෙන් ඉගෙනුම ලැබූ ගෝලබාලයන් වැඩි පිරිසකගේ ඒකමතික පිළිගැනීම විය. 
‘‘මම හදපු ගෝලබාලයන් අද රටේ නොයෙකුත් උසස් තනතුරු දරන එක මගේ හිතටත් ලොකු සතුටක්’’ යි කියමින් ඒ ගැන ඉතා සතුටින් කතාකරන ඇය ගැන ගම්මුන් අතර තිබුණේද බලවත් ගෞරවාදරයකි. ඇය ලැබූ එම ගෞරවාදරයට මුල් වූ තවත් එක් හේතුවක් වූයේ තමන් හා කතාබහ කරන ඕනෑම කෙනෙකුට ඇගෙන් ලැබෙන මහඟු ගුරුහරුකම්ය. 


‘‘ළමයෝ අපි මේ ලෝකෙ ඉන්නෙ ඉතාමත් ටික කාලයයි. ඒ සුළු කාලය ඇතුළත අපි පුළුවන් තරමින් නොදන්නා දේවල් ඉගෙන ගන්න ඕනෑ...’’ යි නිරතුරුව කී සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ එය හුදෙක් වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ද දැක්වීමට උනන්දු වූවාය.
ඇයගේ එවැනි එක් අධ්‍යයන ක්‍රියාවලියක් වූයේ සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු කපුටු බස පිළිබඳව හැදෑරීමට පටන්ගැනීමයි. සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ එලෙස කපුටු බස හැදෑරීමට උනන්දු වූයේ උදෑසන තම ගෙවත්තට පැමිණෙන කපුටන්ට ආහාරදීමට පටන්ගැනීමෙන් පසුවය. 
මුලින් මුලින් අපේ වත්තට කපුටන් එකා දෙන්න ආවේ මම දාන කෑම කන්න විතරයි. ඒත් පස්සෙන් පහු උන්ට මම ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා. ඊට පස්සෙ තමයි උන් මට නොයෙකුත් ආරංචි කියන්න පටන් ගත්තේ.... 
ඇය තම නිවසට පැමිණෙන නෑදෑ හිතවතුන් සමග එසේ කියන්නේ කපුටන් තමා සමග හිතවත්වූ ආකාරය ගැනත් උන්ගේ බස ගැන තමන්ට යම් අවබෝධයක් ලැබුණු අන්දම ගැනත් විස්තර කරමිනි. 


‘‘ඉතින් ඉස්කෝලෙ හාමිනේ කියන දේවල් උන්ටත් තේරෙනවද?’’ 
යමෙකු නොදන්නාකමට එසේ විමසනු ලැබුවහොත් ඇය මුලින්ම කරන්නේ හඬනගා සිනාසීමය. ඒ අර පුද්ගලයාගේ නොතේරුම්කමටය. 
‘‘මම මොනව හරි කියන කොටම උන් දන්නවා ඒ කිව්වෙ මොකක්ද කියලා. හැබැයි කපුටන්ගෙ බස ගැන වැටහීමක් ඇතිකරගන්න නං මට ටික කාලයක් ගතවුණා.’’ යි කියමින් තම මිදුලට පැමිණි කපුටෙකුට පාන් කැබැල්ලක් දෙන ඇය, ‘‘අද තියෙන්නේ ඔය ටික විතරයි පුතේ. උඹ ඉතින් ආවෙ පරක්කු වෙලානේ’’ යි කීවිට අර කපුටා එම පාන් කෑල්ලද රැගෙන ඈතට පියාඹා යන්නේ පුරුද්දටය. 
එහෙත් ඇය කියන්නේ එම කපුටා තමන්ට පින් දෙමින් තම අඹුදරුවන් සමග බෙදාහදාගෙන කෑම සඳහා එම පාන් කැබැල්ල රැගෙන ගිය බවය. 
සුමනාවතී ඉස්කෝලෙ හාමිනේලාගේ වත්ත පහළ ඇති පේර ගස වෙත පැමිණෙන කපුටන් සමග නොයෙකුත් දෑ දොඩන ඇය දිනපතාම පාහේ උදෑසන කාලයේ අනිවාර්යෙන්ම දකින්නට ලැබේ. 


‘‘අැත්තද ඉස්කෝලෙ හාමිනේ කපුටන් සාත්තර කියනවයි කියන්නේ?’’ 
‘‘අනේ දරුවො ඒකනං මම දන්නෙ නැහැ.... හැබැයි උන් එදිනෙදා තමන් දැකපු කියපු දේවල් ගැන නං මට කියනවා.’’ 
ඇය එසේ කියන්නේ තමන්ගෙන් ඒ ගැන විමසූ අයගේ සැකසංකා පවා දුරු වී යන ලෙස උදාහරණ කීපයක් පවා පෙන්වා දෙමිනි. 
‘‘වැඩිය ඕන නෑ. ප්‍රභාකරන්ට වෙඩි වැදිල මැරුණ එක ගැනත් මට කිවවෙ කපුටු යාළුවෙක්. ඒක අහල මම ඒ ගැන අපේ ළමයින්ට කිව්වම ඒ ගොල්ලන් මට හිනාවුණා. ඊට පස්සෙන්දද කොහෙද තමයි ඒ ගැන රේඩියෝ එකෙන් ප්‍රචාරය කෙරුවෙත්.’’ 
ඇය ඒ ගැන කියන අන්දමට එම කපුටා තමන්ට ආරංචිය කියා ඇත්තේ නන්දිකඩාල් කළපුවේ වෙඩි වැදී මැරී සිටි කොටි නායකයාගේ මළ සිරුර තම දෑසින් දුටු වෙනත් කපුටෙකුගෙන් අසාදැනගත් තොරතුරක් අනුවය. තමන්ට එම ආරංචිය ලබාදුන් කපුටාට තමන් ඒ මොහොතේ කමින් සිටි ආප්පයෙන් හරි අඩක්ම දුන් බව ඇය කියන්නේ සිනාසෙමිනි. 


ප්‍රදේශයේ කපුටන් තමන්ට කොතරම් ඇඟලුම්කමක් දක්වන්නේදැයි කිවහොත් ඔවුන් තමන්ට නොයෙකුත් අත්බේත් ගැන පවා කියාදෙන බව ඇය පවසයි. 
දැන් කාලයක් තිස්සේ මගේ කකුලෙ තුවාලයක් තිබුණා. කොයිතරං බේත්හේත් කරලත් ඒක හොඳ නොවී තියෙන කොට මට කපුටු හාමි කෙනෙක් තමයි කිව්වේ කහ ටිකක් ඇල්දියෙන් අඹරලා තුවාලෙට බඳින්න කියලා. අපේ ළමයි එපාම කියද්දියි මම තුවාලෙට කහ තියල බැන්දෙ. මෙන්න දවස් තුනෙන් තුවාලෙ වේළිලාම ගියා. 
සුමනාවතී ඉස්කෝලෙ හාමිනේගේ ලොකු පුතා සේවය කරන්නේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මිනුම්දෝරුවකු වශයෙනි. එය බොහෝ දුරබැහැර පළාතක් බැවින් මාස දෙක තුනකට වරක් ගමට පැමිණීමට හෙතෙම පුරුදු වී සිටියි. දෙනිපිටියේ පාලම අසලින් බසයෙන් බැස ගුරුපාර ඔස්සේ පා ගමනින් පැමිණෙන ඔහු ගැන ඉස්කෝලෙ හාමිනේ කල්තියා දැනගන්නේද කපුටන් ගෙනි. 


පුතා බස් එකෙන් බහින කොටමයි මම දැනගත්තේ පුතා දැන් එනවයි කියල. 
ඇය සඳහන් කරන අන්දමට තමන්ගේ හිතවත් කපුටුහාමිලාට තම දූපුතුන් ගැනද හොඳ අවබෝධයක් තිබේ. තවත් වතාවක තම මෝටර් බයිසිකලයේ නැගී වැලිගම නගරයට ගිය ඇයගේ දියණියගේ සැමියා ආපසු එමින් සිටියදී සුළු අනතුරකට මුහුණ පෑවේය. ඔහු එ් ගැන තම නිවසට දැනුම්දීමටත් පෙර කපුටෙකුගෙන් එම සිද්ධිය අසා දැනගත් සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ බියට පත්ව ලොකු කලබලයක් කර තිබුණේ අනේ දුවේ විගහට ගිහින් බලපන්, පියරත්න ළමයට කරදරයක්ලු යි කියමිනි. 
‘‘සමහර කපුටුහාමිලා ඒ අයගෙ පවුල්වල තොරතුරුත් මාත් එක්ක කියනවා. මේ ඊයෙත් එක කපුටෙක් මාත් එක්ක කිව්වා එයාගෙ පැටියා කූඩුව අතඅැරල ගියයි කියලා. ඒ සැරේ මම එයාගෙ හිත සැනසුවා ළමයි හැමදාම තමන්ගේ ළඟ තියාගන්න බැරි බව වටහාදීලා.’’ 
සෑම සෙනසුරාදා දිනකම කපුටන්ට එළඟිතෙල් පාන්තිර දීම සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ කාලයක සිටම කරගෙන ආ සිරිතකි. ඇය කියන්නේ එය ඉමහත් ආනිසංස ගෙනදෙන මහඟු පුණ්‍යකර්මයක් බවය. ඇයට ඒ සඳහා මසකට රුපියල් දහස් ගණනක් වැය කිරීමට සිදුවන්නේ පිරිසිදු එළඟිතෙල් බෝතලයක මිල ඉතා ඉහළ බැවිනි. 
‘‘කීය ගියත් මොකෝ ළමයෝ ඒක ලොකු පිනක්නේ.’’ යි කියන ඇය තමන්ගේ විශ්‍රාම වැටුපෙන් අඩකටත් වඩා වැය කරන්නේ තමන් සමග හිතවත්කම් පාන කපුටුහාමිලාට සංග්‍රහ කිරීමටය. 


‘‘අනේ ළමයිනේ මම නැති දවසටත් මේ කපුටුහාමිලාට දෙන ආහාරය නං ජීවිතේටවත් වරද්දන්න එපා.’’ 
ඇය එසේ කියන්නේ තමන් මියගිය පසු තම දූදරුවන් කපුටුහාමිලාට දක්වන සැලකිල්ල අඩුකරතැයි යන සැකයෙනි. සුමනාවතී ඉස්කෝලෙ හාමිනේ තමන් නිදන පබලියන් ඇඳේ පැත්තක ලොකු මැටි කළයකට දවස්පතා රුපියල් පහ බැගින් දැමීමට පුරුදුව සිටියාය. තමන් මියගිය දාක කපුටුහාමිලාට කරන සංග්‍රහ නොනවත්වා කරගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයක් වශයෙන් තමන් එසේ කරන බව තමාගේ දුක සැප බැලීමට පැමිණෙන සමීප නෑදෑ හිතවතුන් සමග අනන්තවත් කියා තිබුණාය. 
එහෙත් එම නිවසේ අයට පවා අදහාගත නොහැකි කරුණක් වූයේ වයස අවුරුදු අසූවකටත් වැඩි කාලයක් ජීවත් වී මියගිය සුමනාවතී ඉස්කෝලෙ හාමිනේගේ මළගමදා කපුටන් සිය ගණනක් එම නිවස අසලට පැමිණ බොහෝ වේලාවක් ගතවන තුරු කරව් කිරීමය. 
අන්තිමේදී කපුටු කරච්චලය ඉවසාගත නොහැකිවූ ඇගේ ලොකු පුතා සෙස්සන් එපා කියද්දීම තුන්හුළස් රතිඤ්ඤා කරල් කීපයක් දල්වා එම කපුටන් රැළ පලවා හැර තිබුණේය. 

 


නිහාල් ජගත් චන්ද්‍ර



Recommended Articles