මුස්ලිම් අන්තවාදය කාතන්කුඩියෙන් උපන් හැටි


 

 

‘මුස්ලිම්’ අන්තවාදී ආගමික න්‍යාය මුල් කොටගත් ‘ජිහාඩ්වාදය’ පිළිගත් හා ඊට නැඹුරුවූ ඇතැම් මුස්ලිම් තරුණයින් මුල් වතාවට බිහිවූයේ නැගෙනහිර පළාතේ ‘කාතන්කුඩි’ ප්‍රදේශයෙනි. 21/4 සිදුවූ කොළඹ ප්‍රහාරයට වගකිවයුතු ලෙස දැනට හඳුනාගෙන ඇති ජාතික තව්හිඩ් ජමාත්’ හෙවත් ‘එන්ටීජේ’ කල්ලියේ නායකයා වන ‘මොහොමඩ් සහරාන් හෂ්මි’ ඇතුළු සාමාජිකයින් කිහිපදෙනා කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි අයවලුන්ය. මෙකී ප්‍රදේශයෙන් එවැන්නක් බිහිවීමට යම් පසුබිමක් තිබේද යන්න මුලින්ම විමසා බැලීම වටී. ‘කාතන්කුඩිය’ සැබැවින්ම ශ්‍රී ලංකවේ මුස්ලිම් ජනයා බහුලව ජීවත්වන ප්‍රදේශයන් අතුරින් වැඩි ජන ඝනත්වයකින් යුත් නගරයක් මෙන්ම ප්‍රදේශයකි.   


1990 වර්ෂයේ දී එල්ටීටීඊ සාකච්ඡා අතහැර නැවත වරක් ප්‍රචණ්ඩත්වයට යොමු වූ විටදී ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ මුස්ලිම් ප්‍රජාවය. ප්‍රහාරයන් එල්ලකර නැගෙනහිර ප්‍රදේශයෙන් මුස්ලිම් ජනයා පලවා හැරීම එල්ටීටීඊයේ සමස්ත උපායශීලී අරමුණ විය. එරාවුර්, පොළොන්නරුව, අලිංචිපතන, පල්ලියගොඩැල්ල, අහමඩ්පුර යනාදි ගම්මානයන් මේ අනුව එල්ටීටීඊයේ ප්‍රහාරයන්ට ලක්විය. කාතන්කුඩිය සෙසු මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් වෙසෙන ප්‍රදේශයන්ගෙන් වෙන්වී තිබීම හා දෙමළ ගම්මානයන්ගෙන් වටවී හුදකලා වීම නිසා මෙහි විසු ප්‍රජාව සෙසු ප්‍රදේශයන්ට වඩා දැඩි ලෙස ත්‍රස්තවාදී තර්ජනවලට ලක්විය. මේ හේතුව නිසා යුද හමුදා කඳවුරක් කාතන්කුඩි නගරයේ පාසල් ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.   


පල්ලියට ප්‍රහාරය   


ඒ 1990 අගෝස්තු මස 03 වැනිදාය. 1930 පැයට ආසන්නය. සුපුරුදු පරිදි පිරිස් ‘කාතන්කුඩි’ පල්ලියට පැමිණ තම ​යාච්ඤාවන් සිදු කරති. ඒ අතරතුර ඉතා රහසිගතව ‘නවකුඩා’ දමිළ ගම්මානය හරහා ඇතුළු වූ ‘එල්ටීටීඊ’ කණ්ඩායමක් ක්ෂණිකව කාතන්කුඩිය පල්ලිය තුළට කඩා වදී. ඔවුහු අත්බෝම්බ හා ස්වයක්‍රීය ගිනි අවි භාවිතයෙන් විස්මිත ප්‍රහාරයක් එල්ල කරති. ප්‍රහාරයෙන් 103 දෙනෙකු මියගොස් තවත් 70 දෙනෙකු තුවාල වේ. එල්ටීටීඊ කණ්ඩායම දමිළ ගම්මානයට පැන යයි.   


දිනය 1992 වර්ෂයේ ජූලි 15 දිනයි. කාතන්කුඩි, කලවන්චිකුඩි හා කල්මුනේ මාර්ගයේ ‘කිරාන්කුලම්’ හිදී බස් රථයකට පහරදී එල්ටීටීඊය කාතන්කුඩි වැසියන් 19 දෙනෙකු ඝාතනය කරයි. පවතින තර්ජනය පාලනය කරනු පිණිස යුද හමුදාව මෙහෙයුම් කිහිපයක් සිදුකර කාතන්කුඩි නගරයේ සිට කලවන්චිකුඩි දක්වා මාර්ගය අවට ප්‍රදේශයද එල්ටීටීඊයේ ප්‍රධාන තිප්පොලක් වූ කොක්කඩිචෝල ප්‍රදේශයද හමුදා පාලනය යටතට ගනී.   


උතුරු නැගෙනහිර බෙදුම්වාදී සන්නද්ධ ගැටුමේදී ලැබූ අත්දැකීම් ද ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවූ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ද ජාත්‍යන්තර වශයෙන් බිහිවූ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය ද ශ්‍රී ලංකාවේ ජිහාඩ් අරගලයක් නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන් කාතන්කුඩි ග්‍රාමයේ බිහිවීමට හේතුවූ ලෙස පෙනේ. මැද පෙරදිග මුස්ලිම් රාජ්‍යයන් සමග කිට්ටු සබඳතාවන් පවත්වා ගනිමින්, දේශපාලනික හා ආර්ථික වශයෙන් අන් ප්‍රදේශයන්හි වෙසෙන මුස්ලිම්වරුන්ට වඩා වැඩි බලපුළුවන්කාරකමක් ඇති පිරිස් වෙසෙන ප්‍රදේශයක් ලෙස කාතන්කුඩි එදා සිට අද දක්වා පිළිගැනේ.   


1990 දශකයේ මුල් භාගයේදී ලෝකයේ එතෙක් පැවතෙමින් තිබූ එක් තත්ත්වයක් වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් හා සෝවියට් සංගමය අතර තිබූ දේශපාලන ආරක්ෂක හා ආර්ථික වශයෙන් සිදුවූ ‘සීතල යුද්ධයේ’ අවසාන අදියරයයි. ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කිසිදු ක්‍රියාකාරකමක් මෙම වකවානුවේදී වාර්තා නොවිණි. කෙසේ වුවද ඉස්ලාම් අන්තවාදය හුදෙක් ඉබේ පහළ වූවක් නොවේ. ඇමෙරිකානු සී අයි ඒ සංවිධානයේ දේශපාලන හා ආර්ථික කුමන්ත්‍රණයට හසුවීමෙන් සෝවියට් දේශය බිඳ වැටුණි. ඒ සමග ඊට අදාළ රටවල් කැඩීයාම ආරම්භ විණි. යුගෝස්ලාවියාව එහි එක් ප්‍රතිඵලයකි. ඉන් ඇතිවූ සිවිල් යුද්ධයේදී ක්‍රිස්තියානි සර්බියානුවන් මුස්ලිම් බොස්නියන්වරුන් සමුලඝාතනය කළහ. එය මුස්ලිම් අන්තවාදය ආරම්භවීමට පාදක වූ එක් ප්‍රධාන සිදුවීමක් විය.   

 


මෙම අප්‍රේල් 21දා කොළඹ ප්‍රහාරයේ දී සිදුකළ පිපිරවීම් සියල්ලම ඉතා දැඩි ලෙස අලාභහානි ගෙන දී ඇති බව පැහැදිලිය. මෙය එල්ටීටීඊය මෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වන ආර්.ඩී.එක්ස්/ ටීඑන්ටී භාවිතයෙන් සිදුකර ඇති බවත් එල්ටීටීඊය ඇති කළ විනාශයට වඩා අධික විනාශයක් සිදුකර ඇති බව පෙනේ. එය මෑතකදී ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට සමාන අයුරින් සිදුවූ බව කීම නිවැරදිය. ඒ අනුව මෙකී පිපිරවීම්වලට යොදාගත් තාක්ෂණය කුමක්දැයි සෙවීමට බෝම්බ පිළිබඳ විශේෂඥයින් යොදා අධ්‍යයනය කිරීම වටී. ගල්ෆ් යුද්ධයෙන් පසු කාලයේදී බෝම්බ ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ඇමෙරිකානු සන්නද්ධ රථයක් වූ ‘හම්වී’ රථය ඉරාකයේදී ප්‍රහාරයකට ලක්ව අලාභහානි විය. පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී හෙළිවූයේ එකී බෝම්බයේ හැඩය (ෂේප් චාර්ජර්) වෙනස් අයුරකින් එහි බලය ප්‍රගුණ වනසේ නිර්මාණය කර පුපුරුවා හැර ඇති බවය. ඒ අනුව මෙම ත්‍රස්තවාදී කල්ලිය විසින් භාවිතයට ගනු ලැබූ බෝම්බද ඇතැම් විට එලෙස නිර්මාණය කර තිබෙන්නට ඇත.   


පසුගියදා කොළඹ ප්‍රහාරය එල්ටීටීඊය විසින් කොළඹ නගරයේ සිදු කරනු ලැබූ සියලු ප්‍රහාරයන්ට වඩා ප්‍රබල එකකි. 1986 සිට ඔවුන් සිදු කළ ප්‍රහාරයන් අතුරෙන් 1987 අප්‍රේල් මස 21 දින කොළඹ කොටුවේදී පුපුරුවා හරින බෝම්බයෙන් 110 ක් මියගොස් 298ක් තුවාල වූ අතර 1996 ජනවාරි 31 දින සිදුකළ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් 91ක් මියගොස් 1200ක් තුවාල විය. එසේම එල්ටීටීඊය විසින් සිදු කළ සියලු බෝම්බ ප්‍රහාරයන් එකකට සීමාවූ අතර ප්‍රහාර ගණනාවක් එකවර කිරීමේ ක්‍රමෝපායකට යොමු නොවීය. එල්ටීටීඊය සිදුකළ බෝම්බ ප්‍රහාරයන්හි අරමුණ හා එන්ටීජේ සිදුකළ බෝම්බ ප්‍රහාරයන්හි අරමුණ එකිනෙකාට වෙනස්ය. එල්ටීටීඊයේ අරමුණ වූ​ෙය් දේශීය වශයෙන් භූමිය ඉලක්කකොට ගෙනය. එහෙත් එන්ටීජේ හි ඉලක්කය දේශීය මෙන්ම ජාත්‍යන්තරය ද වන අතර එය මතවාදී යුද්ධයකි. (අයිඩියොලොජිකල් වෝර්) සියලු යුද්ධයන්ට වඩා එය ස්වභාවයෙන් දරුණු හා කෲර ය.   


ප්‍රධාන හෝටල් ඉලක්ක කර සිදුකරනු ලැබූ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අදටනින් සිදු කරන ලද්දක් ලෙස බාහිරෙන් දැකීමට පුළුවන. එහෙත් ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ අරමුණ එය නොවේ. යුරෝපීය බටහිර ජාතීන් වැඩි වශයෙන් ගැවසෙන්නේ හෝටල් පරිශ්‍රයන්හිය. ඔවුන් විනාශ කිරීම එක් අරමුණකි. එසේ නම් මෙලෙස බටහිර ජාතීන් ඉලක්කගත කිරීමට හේතුව කුමක්විය හැකිද? සැබැවින්ම මෙය බටහිර ශිෂ්ටාචාරය හා ඉස්ලාම් ශිෂ්ටාචාරය අතර පවතින ගැටුමකි. ඉස්ලාම් මූලධර්මවාදීන් බටහිර සංස්කෘතිය තම ඉස්ලාම් සංස්කෘතියට එරෙහිව ගොඩනැගෙන සතුරෙක් ලෙස දැකීම ඊට හේතුවයි.   


ත්‍රස්තවාදය කුමන කණ්ඩායමක් විසින් යොදා ගත්තද එහි ප්‍රධාන අරමුණ වන්නේ සිවිල් ප්‍රජාව තුළ මානසික භීතියක් ඇතිකර ඉන් තම අභිප්‍රායයන් ඉටුකර ගැනීමය. ලෝක අවධානය යොමු කරවා ගැනීම එහි දෙවන අරමුණයි. මෙකී ද්විත්ව අරමුණු ඉටුකර ගැනීමට හැකි ඕනෑම ඉලක්කයක් කරා ඔවුන්ට යා හැක.   


දේව සංකල්පය මත පදනම් වූ ඉස්ලාම් ආගම හා කිතුනු ආගම බැලූ බැල්මට එකම ධර්මයකි. එහෙත් එකිනෙකට වෙනස් ආගමික වතාවත් මෙකී ආගම් දෙකම අනුගමනය කරයි. ඉස්ලාම් දහමට අනුව පිළිම වන්දනා කිරීම වරදකි. එහෙත් කිතුනුවන් පිළිම වන්දනාවේ යෙදෙති. ඉස්ලාම් මූලධර්මවාදීන් එය තමන් අදහන දෙවියන්ට කරනු ලබන නිග්‍රහයක් ලෙස සලකති. ඒ අනුව කිතුනු දහම ඔවුනට සතුරෙකි. ක්‍රිස්තියානි දේවස්ථාන ප්‍රහාරයන්ට ලක්වීමට හේතුව මෙයයි.   


ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයේ ප්‍රහාරක ලැයිස්තුවට ඇතුළත් වන තවත් ඉලක්කයක් ඇත. එය අන් කවරෙකු හෝ නොව ඊශ්‍රායලය හා යුදෙව්වන්ය. එයට කදිම නිදසුනක් ලබා දෙන්නේ 2008 වසරේ පාකිස්තානු ‘ලෂ්කර් ඊ තයිබ’ කල්ලිය විසින් මුම්බායේදී සිදුකළ ප්‍රහාරයෙනි. ස්ථාන 6ක් ඉලක්ක කොටගත් ප්‍රහාරයන් අතුරෙන් එක් ප්‍රහාරයක් එල්ල කෙරුණේ නරිමන් හවුස් ලෙස හැඳින්වූ යුදෙව් ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලැබූ අවන්හලක් ඇතුළු ගොඩනැගිල්ලකටය. ඒ අනුව මෙම 21 වැනිදා කොළඹ ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන් තම ඉලක්කයන්​ තෝරා ගත්තේ කුමන හේතු මතද යන්න අධ්‍යයනය කිරීම වටී. අන් සියලු ප්‍රහාරයන් කොළඹ හා අවට ප්‍රදේශයේ සිදුවූ විට කොළඹින් ඉතා දුරස්ථ ස්ථානයක් වූ මඩකළපුවේ zion දේවස්ථානය මේ සඳහා ඉලක්ක ගත වූයේ ඇයිද යන්න විමසිය යුතුය. z සයින් යන්නෙන් අර්ථ දෙකක් දැක්වේ. මින් පළමුවැන්න එය ඊශ්‍රායලයේ උස් භූමියක නමකි. සයිනිස්මි යනු යුදෙව්වන්ගේ පැවැත්ම සඳහා සිදුකරන අරගලයකි. මින් දෙවැන්න බයිබලයේ සඳහන් කින්ඩම් ඔෆ් ගෝඩ් හෙවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. ඒ අනුව දේවස්ථානයට සිදුකළ මෙම ප්‍රහාරය මුම්බායි ප්‍රහාරය මෙන් යම් ඊශ්‍රායල් නාමයක් ඉන් කියැවෙන හෙයින් සිදුකළා ද එසේ නැතහොත් වෙනත් කරුණක් නිසාද යන්න විමසීම වටී.   


කෙසේ හෝ ප්‍රහාරකයන් කතෝලික හා ක්‍රිස්තියානි යන දේවස්ථාන දෙවර්ගයම ඉලක්ක කර ඇත. එසේම කොළඹ පිහිටි අන් දේවස්ථාන වෙත බොහෝ විට පැමිණෙන්නේ තම සාමාජික බැතිමතුන් වීමත් ඔවුන් එක්තරා සමාජ පංතියකට අයිති අයවලුන් වීමත් නිසා බෝම්බකරුවන් හට දේවස්ථානයට ඇතුළුවීම තරමක් අනතුරුදායකය. එබැවින් අදාළ දේවස්ථානයන් තම ඉලක්කයන් ලෙස තෝරාගෙන නොමැති බව පෙනේ. මඩකළපුව දේවස්ථානයට ගිය බෝම්බකරුට ඇතුළුවීමට නොහැකිව පිටතදී බෝම්බය පුපුරුවා ගැනීමෙන් එය මනාව පැහැදිලි වේ.   


කොළඹ ප්‍රහාරයේ වගකීම අයිසිස් භාරගත් බවට විදේශ මාධ්‍ය හරහා ප්‍රකාශ විණි. එහෙත් එහි සත්‍යතාව තහවුරු කළ නොහැක. 2015 ඔක්තෝබර් 31 වැනි දින ඊජිප්තුවේ සිනායි කාන්තාරයට ඉහළින් මගීන් 224 ක් රැගෙන පියාසර කරමින් තිබූ රුසියානු මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටිණි. එය ‘අයිසීස්’ විසින් කරනු ලැබූවක් ලෙස ඔවුන් ප්‍රකාශ කළද එය රුසියාව ප්‍රතික​්ෂේප කළේය. පසුව කරන ලද විමර්ශනයේදී හෙළිවූයේ නඩත්තුවේදී ඇතිවූ අතපසුවීමක් නිසා යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය කඩා වැටුණු බවය. ඒ අනුව මෙලෙස වගකීම් පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඔවුන්මද යන්න කිසිවිටකත් ස්ථිරවම තහවුරු කළ නොහැක.