ලංකාවේ වනපෙතේ ඉපැරණි වෘක්ෂලතා


බුද්ධිමත් ජනතාව වෙසෙන රටවලට නව තාක්ෂණය හා සංවර්ධනය දිව මතුරකි; දේව ආශිර්වාදයකි. 1948 සිටම රටට සාපයක් වූ දේශපාලනඥයන් හා ආගන්තුක විජාතික ව්‍යාපාරවල බහුවිධ සුහුරු කොන්ත්‍රාත්කරුවන්ගේ සංකලනය, නව තාක්ෂණය හා සංවර්ධනය හරහා කළේ මුළු මහත් දිවයිනම කාබාසිනියා කිරීමකි. සමස්ත ජාතික පරිසර පද්ධතියටම ඉන් බැහැරව සිටිය නොහැකි විය.   


පාරිසරික සාහිත්‍ය ශ්‍රී ලංකාවට ආගන්තුක ලේඛන සම්ප්‍රදායක් නොවේ. යක්කඩුවේ ප්‍රඥාරාම, මායා රන්ජන් වැනි කෘතහස්ත ලේඛකයින් විසින් වන ප්‍රවාහය, දිගාමඩුල්ලේ ආශ්චර්යය වැනි කෘතීන් මඟින් වුවත් පාඨක සිත්සතන් මෝහනය කර ගැනිමට එදා සමත් විය. නමුත්, මෑත අතීතයේ වුවත් පරිසර සාහිත්‍ය ලේඛකයින් ක්‍රමයෙන් වඳවී යන්නට පටන් ගත් සෙයක් පෙනිණි. නූතන තාක්‍ෂණය යටතේ නිර්මාණාත්මක ලේඛනය අබලන් වී, රෝගාතුර වී, අඩපණ වු බව ද දැනුණි. එම නිසා ගවේෂණ හා විමර්ශන කටයුතු විධිමත්ව හා උත්කර්ෂවත් විලස ප්‍රගමනය වූවත්, එකී සම්පත් යන්ත්‍රානුසාරී වී තිබිණි. 

 
යාන්ත්‍රික - විකාර රූපී විලාශය මූලාශ්‍ර සමඟම ඔත්පළ විය. එයින් ගොඩ එන්නට ප්‍රතිජීවක ද නොවීය. ඇතැම් විට අහම්බෙන් සිදුවන උත්සාහයන් තුළ පමණක්ම ජීවනය ලැබීය.   
1977 - කඩිනම් මහවැලි ව්‍යාපාරය සමඟ පිබිඳුණු ලේඛක පරපුර විසින් යම් තරමකට මේ ඇදවැටුණු නිම්නය යළි ප්‍රතිසංස්කරණය කරන්නට සුළු පටු නමුත්, ගුණාත්මක ප්‍රයත්නයක් දැරීය. ඔවුන්ට යම් ආශිර්වාදයක් වී තිබුණේ කල්පනා, ඉසුර, පෙරමග, දෙසතිය වැනි රාජ්‍ය අංශයෙන් එළිදැක්වුණු මුද්‍රිත මාසික වාර ප්‍රකාශනයන්ය. එම ප්‍රකාශනවල උත්තේජයෙන් ඇවිස්සුණු ශ්‍රී ලංකාවේ වනගත සාහිත්‍ය කලාව කෙටි කලකට යළිත් ජීවය ලැබීය. එම වකවානුවේ සිංහරාජයේ නිධන්ගත ආවේණික පෞරාණික වන ගහනය හා වනජීවීන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නට යාමෙන්, අරණ්‍යබද වනාන්තරය පිළිබඳ ‘වනගත රජදහන’ කෙටුම්පත් කෙරුණි.   
පසුව එහි අන්තර්ගතය කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සරත් කොටගම සූරීන්ගේ මැදිහත්වීමෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සවිත්‍රි ගුණතිලක මැතිනියගේ දායකත්වයෙන් ශාස්ත්‍රීය ලෙස පිරිපහදු විණ. ලේඛකයා විසින්, ටෲමන් කැපොටේගේ නව පුවත්පත් කලාවේ (New Journalism) සාරධර්ම හරහා කැටයම් කරන ලදුව මෙම කෘතිය නිම කරන ලද්දේ මීට වසර තිහකට පෙරාතුවය.   
රජය විසින් පරිසරය පිළිබඳව ජනාධිපති සම්මාන උළෙලක් අභිෂේක ගන්වන ලද මෙම මාසයේ දී (ඔක්තෝබර් 23), ඊට උපහාරයක් හා අගය කිරීමක් වශයෙන් ලක්වැසි ‘පරිසර සාහිත්‍යය’ පිළිබඳ අභිරුචියක් දක්වන නැණවත් පාඨකයන්ගේ රසවින්දනය සඳහා මෙසේ ඉදිරිපත් කරමු. මෙහි අන්තර්ගත වන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තරගත ඉපැරැණි වෘක්ෂලතාදිය පිළිබඳව ඉතා නිවැරැදි විද්‍යාත්මක තොරතුරු, සිංහල සාහිත්‍යය හරහා ප්‍රභන්ධමය අයුරින් වාර්තාගත කිරීමට ගත් කුලුඳුල් ප්‍රයත්නයකි.   
ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්ෂලතා, සතුන් හා ක්‍ෂුද්‍රජීවීන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන්ට මෙන්ම සොබාදහමට ඇලුම් කරන ඕනෑම කෙනකුට, ශ්‍රී ලංකාවේ වනාන්තර ස්වාභාවික විද්‍යාගාරයකි. මේ නිසාම 1978 දී සිංහරාජ වනාන්තරය ඇතුළු ඝර්ම කලාපීය වනාන්තර ‘ජාත්‍යන්තර මිනිසා හා ජෛවගෝලීය රක්‍ෂිතයක්’ වශයෙන් යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.   


මුළු මහත් කැලෑව තුළ අඩංගු වූ සම්පත් සමූහය වනජීවීන් හැරුණුකොට මල්, ගස්, ඖෂධ පැළ, කටු, වැල් ආදී වශයෙන් වෙන් කළ හැකි වුවත්, ඇතැම් අවස්ථාවලදී මේ වර්ගීකරණය ද ඉක්මවා යන අවස්ථාවන් තිබේ. ඒ විශේෂයෙන් අමුතු ගතිගුණ හා ජනප්‍රවාදවලට යටත් වූ ජීව නිදර්ශන හමුවන නිසාය. මෙවැනි ඇතැම් ශාක වර්ග, අපේ සුන්දර දිවයිනේ ඈත අතීතය පිළිබඳව කරන විග්‍රහයකට මූලාශ්‍ර ලෙස ද සැලකිය හැකිය.   
ඵෙතිහාසික වැදගත්කම මෙන්ම එදිනෙදා දිවියේ මිනිසාට අවශ්‍ය කායික මානසික නිවහල් භාවයත්, හරි දැක්මත් ලැබී යන ආකාරයෙන් කැලෑවේ ශාක ප්‍රජාව පොදු මිනිසාගේ ජීවන රටාව සැලසුම් කර ඇත.   
දිනකට රත්‍රන් මංචාඩියක ආදායමක් ලැබීමට හැකිවනු පිණිස මස්මෝරු නමැති ගසේ දැවවලින් නිවසක් තැනිය යුතු යැයි පෙර පටන් පැවැත එන කටකතාවක් සිංහරාජයේ වැසියන් තුළ තවමත් පවතී. මස්මෝරු යනු, සැබැවින්ම ආශ්චර්යවත් ගසකි. ඔළිඳ ඇටයට තරමක් සමාන, එහෙත් එක් පැත්තක කළු පැල්ලමක් ඇති සවිමත්, දීප්තිමත් ඇට සම්බන්ධයෙන් මස්මෝරු ගස කුඩා ළමුන් අතර ඉතා ප්‍රසිද්ධය. මෙවැනි ගසක කඳ, පොතු-පොතු ස්වභාවයෙන් යුක්තය. එමෙන්ම ලීය ඉතා තදය. එබැවින් මස්මෝරු ගසකින් නිවහනක් තැනීමට ජයගැනීමට ඉතා අසීරු අභියෝගයකි. පෙරවරුවේ කැලෑවේ ඇවිදින්නකුට රතුම-රතු දලුවලින් දිළිසෙන මස්මෝරු ගසක් දුර සිටම හඳුනාගත හැකිය.   
මිනිසාගේ එදිනෙදා කටයුතුවලට ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය රැසක් සපයන ‘පර’ නමැති ගස් වර්ගය ද සිංහරාජයේ දක්නට ලැබෙන තවත් වටිනා සම්පතකි. පර වර්ග තුනක් ඇත. ඒවා නම් වම්පර, දියපර හා ගොඩපරය. වම්පරවල කොළය අඩි 1 1/2ක් පමණ දිග පෙනුමෙන් බේරු කොළයක් හා සමානය. වම්පර ගෙඩිය (ලෙලි ගැසූ) ‘හොයපු’ පොල් ගෙඩියක තරමට ඇත. මේ ගෙඩිවල පතුරු, කෝප්ප ලෙස ඉවත් කිරීමට පුළුවන. ඒවා මිනිසුන් විසින් විවිධ අවස්ථාවලදී පොල්තෙල් පහන් දැල්වීමට යොදාගනු ලැබේ. මදය හා ලෙල්ල කැඬුම්-බිඳුම් වෙදකමේ ඇට මොලොක් කිරීමට ප්‍රයෝජනවත් වේ.   


නා මලකට තරමක් කුඩා මලක් ඇති දියපරවල මල්, එක ඉත්තේ රැසක් පිපෙන්නේය. මෙහි ගෙඩි හැදෙන්නේ නැත. දිග නටුවක් ඇති කොළය හොර ගසේ කොළයට සමානය. ගොඩපර ද බොහෝ ගති ලක්‍ෂණ අතින් දියපර හා සමාන නමුත්, ගෙඩි පුවක් ගෙඩි තරම් පුංචිය. මේ ගෙඩිවල ඇති ඇඹුල්, සෙවල සහිත නානු, බඩේ අජීර්ණ වැනි රෝගවලට ගනු ලැබේ.   
වලසුන්ට කිසි ලෙසකින්වත් අමතක නොවන ගසක් වන කහට ගස, වැඩිපුර උස යන ගසක් නොවේ. එය අතු-පතර යන ස්වභාවය ඇතැම් මණ්ඩිවල දක්නට ලැබෙන කැලෑවේ ඒකාකාරී ස්වභාවයට මඳ අස්වැසිල්ලකි. මෙහි කොළ බොහෝ විට කරවිල ඇටයට සමාන හැඩයක් ගනී. දොඩම් මෙන් රවුම් කහට ගෙඩිවල ඇට, ගෙඩි අභ්‍යන්තරයේම පිහිටා ඇත. ගැමියෝ බොහෝ විට ළාමක කහට ගෙඩිවලින් බත මාළුවට වෑංජන පිළියෙල කරති.   
සුවඳ දෙන මල් අතුරින් ඉතාම ඉහළ සුගන්ධයක් දෙන මල් වර්ගය දොඩම්පනා වෙයි. මෙය, වෙසක් මල් සුවඳ මිශ්‍රව එන ගැඹුරු සුවඳකි. දැන් වෙසක් මල් ද ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ මලක් වී ඇති නිසා, දොඩම්පනා මල් නම් කොහෙත්ම දැකගැනීම දුෂ්කරය. ඉන් එක ගසක් සිංහරාජයේ නෙළුව සීමාවට නුදුරින් අපට හමුවීය. ගල්කූර නමැති ගසට සමාන ඉතාම තද ලීයකින් සමන්විත වන මේ ගසේ ලීය බොහෝ විට ඇදය. මල් ඉතාම පුංචිය. මේවායින් බුදුන්ට මල්-පූජාවක් කිරීමට අවස්ථාවක් ලැබීම උතුම් කුසල ධර්මයක් ලෙස ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා සලකති.   


ගුළුමොර ගස ද ඉතා ශක්තිමත් කඳක් ඇති වෘක්ෂයකි. ගසේ කඳ වටේටම මල් ඇතිවේ. මේ ගසක දරදඬුභාවය කොතෙක් ද යත් එය ගැමියන් හරක් අඟකට සමාන කරති.   
කුඩා හැඩයා සහ මහ හැඩයා වශයෙන් හැඳින්වෙන පිළිල දෙවර්ගයක්, දිය කඩිති ආශ්‍රිත රුක් දෙබලවල දක්නට ලැබේ. මේවා හරියට කිතුල් රෑන් වෑස්සෙන්නා සේ දිස්වේ. වැලක් ලෙස පෙනී යන්නේ වුව ද එහි නාරටියකුත්, පත්‍රත් පැහැදිලිව වෙන්ව පිහිටා තිබේ. නමුත් ඒ සියල්ල ඉතා ඝන කියුටිනීය වැස්මකින් ආවරණය වී ඇති බැවින් අතට දැනෙන්නේ ඉතා රළු ස්පර්ශයකි. කුඩා හැඩයාවලින් තෙල් වර්ග ද සිඳිනු ලැබේ.   
මඟ තොටේදී හෝ වැස්සකට මුවා වන අවස්ථාවකදී ගල් බිලිංවල කොළ අමුවෙන් කෑමට ගෑනුන්, ළමා-ළපැටියනුත් දක්වන්නේ පුදුම ආශාවකි. ගල්බිලිං බොහෝ විට හැදෙන්නේ ගල්වලය. කොළ ඇඹුල් රසයකින් යුක්තය. ඒවායින් බඩේ අජීර්ණවලට මිරිස් හොදි ද සාදනු ලැබේ.   
බැමි ලෙස කපා මට්ටම් කරගත හැකි අන්දමේ පැළෑටි වර්ගයක් වන දඟවැරැල්ල පඳුරුවලට නගරබද ඇතැම් අය වලස් ඇඳිරිය යැයි වරදවා නම් දී තිබුණි. නමුත්, නියම වලස් ඇඳිරිය ඇත්තේ කැලෑවලය. බොහෝ විට එය දිරා ගිය කඳන්වල හැදේ. වලස් ඇඳිරිය යනු කෙස් ගහක් මෙන් කළුවට ඇදෙන නමුත්, කෙස් ගසකට වඩා බෙහෝ සේ දික්ව යන පැළෑටියකි. මේවා ඖෂධීය වැඩවලට මෙන්ම කොඩිවිනවලටත් ගනු ලැබේ.   


පර වර්ග තුනක් අපට කලින් හමුවුණාක් මෙන් රාජ වර්ග තුනක් ද ධූලි-ඇල්ල නමැති දිය ඇල්ලට සමීප වන වදුලේ තිබී හමුවිය. වම්පර, දියපර හා ගොඩපර මෙන් විශාල රුක් නොවන රාජ වර්ගයේ ගස් කුඩා පැළෑටි ලෙස හැඳින්විය යුතුය. ඒවා කිසිවක් අඟල් හයකට-හතකට වැඩියෙන් උස නොයයි.   
දුටු පමණින්ම වුවත් වශීකෘත වන අන්දමේ රේඛා රටාවක් වැටී ඇති ඉරරාජ වර්ගයේ කොළය නයි පෙනයකට සමානය. වෙනසකට ඇත්තේ කොළය පුරා රතු පාට කළු පාට රේඛා ජාලයක් වැටී තිබීමය. කොළ දෙකකට හෝ හතරකට වැඩියෙන් ඇත්තේ ද නැත. සීතල වනාන්තරවල වැවෙන අනෙක් වර්ගය නම් සඳරාජය. මෙහි හැඩය ද ඉරරාජවලටම අනුරූප වුවත් පත්‍රය මත වැටී ඇත්තේ කහ පාටට මුල්තැන දුන් රේඛා ජාලයකි. මෙහි එන මල සිංහයාගේ කටට සමාන දර්ශනයක් දෙයි. හෙණරාජ නමැති තෙල් වර්ගය සිඳීමට ද ගනු ලැබේ. කොළ පාට පසුබිමක සුදුපාට ඉරක් වැටුණු අනෙක් වර්ගය නම් කරන්නේ වනරාජ නමිනි. මේ වර්ගය නම් ඉරරාජ හා සඳරාජ දෙවර්ගයටම වඩා තරමක් උස යයි. ලංකාවේ අතිවිශේෂ දුර්ලභ වන ඖෂධ පැළෑටි තුන් වර්ගයක් වන මේවා සොයාගෙන යෑමේ අරමුණින් කැලෑවට පිවිසුණහොත් සොයාගෙන යෑමට නොහැකි තරමට දුර්ලභය. හමුවීම අහම්බෙන්ම සිදුවේ. එසේ හමුවුණත්, පෙර මෙන් නොව එය සිංහරාජ අඩවියෙන් පිටතට ගෙනයෑමට නොහැකි තරමට දුර්ලභය. හමුවීම අහම්බෙන් සිදුවේ. එසේ හමු වුණත්, පෙර මෙන් නොව එය සිංහරාජ අඩවියෙන් පිටතට ගෙන යෑමට ඉඩක් ද නොලැබේ. (මෙම පැළ ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගනු ලැබුවහොත්, වාහනය පවා රාජසන්තක කරනු ලබන්නේ යැයි ගැමියන් තුළ භීතියක් ඇත.)  


ගැමි නිවහනේ මුළුතැන්ගෙයි නොවරදවාම කතාවෙන බෙරලිය දියුණු නගරවල නවලිය නොදැක ඇති අපූරු ගෙඩි වර්ගයකි. වෘක්ෂයක් වශයෙන් සැලකුවත් බෙරලිය යනු නා මලට සමාන මල් පිපෙන ගසකි. දියවැඩියාව රෝගයට බෙරලිය ගෙඩි කුඩුවලින් ඖෂධ තනා දෙන වෙදුන් මේ ගම්වල සිටිති. එම ගෙඩි දියේ බැඳ තිත් හැර ගැනීමෙන් පසු පිට්ටු, කැවුම් වැනි අතුරුපස සාදාගත හැකිය. දැන් දැන් එදිනෙදා ජීවිතයේ බෙරලියවලින් අතුරුපස පිසීම ‘කරදකාරී’ වැඩක් වී ඇතත්, පාරම්පරික සිංහල කුල ගෙවල්වල තවමත් වරින් වර බෙරලියවලින් කැවුම් පිසීම සිදු කෙරේ. විශේෂයෙන් දාන මාන කටයුතුවලට ඒවා බෙහෙවින් ඉස්තරම් යැයි පිළිගැනීමක් ද ඇත. සැබැවින්ම බෙරලිය බර ආහාරයක් ද වන අතර, කූඩු සේ තනාගත් විට බඩේ අමාරු වැනි රෝගවලට කෝපි ලෙස ද පානය කළ හැකිය.   


හොර මල් ගසෙන් වැටෙන විට, ඒවා බඹර මෙන් කැරැකෙමින් වැටීමේ දර්ශනය දැකීම ගම්බද කුඩා ළමුන්ට පමණක් නොව, නගරබද වැඩිහිටියන්ට වුව ද විනෝදය ගෙන දේ. හොර මල් ඉතා උස ‘හොර’ ගස්වල මුදුන්වලම හැදෙන දෙයක් නිසා, හොර මලක් ළඟින් බලා ගැනීමට නම්, එය බිමට වැටෙන තුරුම සිටිය යුතුය. හොර මල පුංචි කාලයේදී (රතු පාට පුංචි පෙති ඇති මලෙන්) සිවුරු පඬු ගසාගත හැකිය. බොහෝ විට දුම්රිය දෙපාර්තමේන්තුවට වුවමනා සිල්පර කොට හැදීමට ද හැකි නිසා, ‘හොර’ ගස් රජය විසින්ම කපනු ලැබේ.   
දඩ මස් රසට උයා කෑමට ගිජු ආශාවක් දක්වන ගැමියෝ සිංහරාජය අවට කොයි ගමෙහිත් වාසය කරති. හේන් ගොවිතැනෙන් ජීවිතය ගෙන යන ගොයියන්ට වඳුරා ද මාන, ඉලුක්, පඹ ගාල්වල ඉන්නා ඉත්තෑවා ද වල් ඌරා ද බොහෝ හානි පමුණුවන බැවින් උන් ගොයියන්ගේ හතුරන් බවට පත්වී ඇත්තේ අද ඊයේ සිටක නොවේ. එම සතුන්ගෙන් වගා පාළුවීම වළක්වා ගැනීමට අටවන උගුල්වලට බලාපොරොත්තු නොවන සතුන් ද බිලිවෙන නිසා, එම සතුන් ‘කැලේ ගසන්නට’ තරම් ගැමියා මෝඩයකු නොවේ. එපමණකින් නොනවතින ඔහු දවාලේ කැලෑ ගිනි තබා ඉත්තෑවන් දඩයම් කරන්නටත්, වල් හාවුන් විද මරන්නටත්, වෙඩි බෙහෙත් තුවක්කුවක් ඇත්නම් වඳුරු මාල්ලෙකුට වුවත් ගිනි පිඹින්නටත් ඉදිරිපත් වන්නේ ඒවා හපන්කම් යැයි සිතා සිටින නිසාය.   


ඒ එසේ වුව ද ටින් කළ මස් කෑම කන සමාජයකට වඩා ඔහු හදවතින් කුලුනුබර හැඟීම් ඇත්තෙකි. විශේෂයෙන් සතර පෝයටම ගමේ පන්සලේ හෝ වනයේ ආරණ්‍යයකට පවුල පිටින් යන ඔහු එහි දාන මාන කටයුතුවලට ද සහභාගී වන්නේ අජරාමර නිවන් පතාගෙන නොව, සමාජයේ හිතවතකු වශයෙනි.   
මෙවැනි පූජ්‍ය ස්ථානවලදී සවස ගිලන්පස බුද්ධ පූජාවට බෙහෙවින් යොදා ගැනෙන්නේ තේ, කෝපි, ‘ලැමනේඩ්’ වැනි පන්සල් ක්‍රමයට පුරුදු වූ ලෙහෙසි ‘ගිලන්පසක්’ නොව, වෙරළු පානයක්, අඹ හෝ මිදි පානයකිනි. වෙරළු පානයක් පිළියෙල කරගන්නේ හොඳින් ඉදුණු වෙරළු ගෙඩි අතින් මිරිකා ඇට අස්කොට ඊට සීනිත්, වතුරත් එක්කොට කලතා පෙරා ගැනීමෙනි. මෙය ඉතා තද සීතල පානයක් බැවින් වැඩියෙන් වැළඳුවහොත් (සිල්වන්ත වුවත්) භික්ෂූන්වහන්සේලාට වුවත් හිසරදය සෑදේ. මිදි පානය සාදා ගැනීමට හරියන දේශීය මිදි විශේෂයක් සිංහරාජයේ ගස්වල දක්නට ලැබේ. ගැමියන් මේවා හඳුන්වන්නේ වල් මිදි නමිනි. ගසේ අතු පතර පොකුරු වශයෙන් හටගන්නා වල් මිදි මිනිසුන්ට ද සතුන්ට ද එක සේ රසවත් පලතුරකි.   


ඇත්දෙමට, ගල්දෙමට වශයෙන් දෙමට වර්ග දෙකක් ද සිංහරාජයේ ඇත. කහ පාටින් ද පොඩි ප්‍රමාණයෙන් ද යුත් ඇත් දෙමට මල් කෑමට ගැනේ. කොළත් පොතුත් බෙහෙතකට ගැනේ. ඇත්දෙමට ගස්වල කටු බොහෝ දිගය. නෙල්ලි වැනි ගෙඩි ද විශාල වශයෙන් හැදේ. බොහෝවිට සශ්‍රීකව දකින්නට ලැබුණු ඇත්දෙමට ගස් තිබුණේ ගල් ආශ්‍රිත ස්ථානවලය. ගල්දෙමට ගස්වල පමණක් රතු පාට දණ්ඩක එන කහ පාට පුෂ්පයන් තරමක් දුරට නිදිකුම්බා මල් මෙනි.   
පතොක් ගස් බොහෝ විට ඇත්තේ වියළි කලාපයේය. ඊට සමාන පත්‍රයක් ද පත්‍රය දිගේ කටු ඇති ගෝනී ගස් ද සිංහරාජයේ බහුලව තිබේ.   
තේක්ක කොළ වැනි විශාල කොළ ඇති නිසා, ඇතැම් අය අහු ගසට තේක්ක ගස යැයි රැවැටේ. අහු ගසේ ද පුවක් වැනි ගෙඩි හටගනී.   
කූඩළු දෙහි හා යකි නාරං නමැති පැඟිරි අඩංගු පලතුරු දෙවර්ගය ද පිට කැලේ ඇති විල් තෙර දකින්නට තිබුණි. යකි නාරං ද කොළයෙනුත්, ගෙඩියෙනුත් සාමාන්‍ය දෙහි ගෙඩියකට සමානය.   


කරපිංච කොළවලටත් වඩා පුංචි කොළ ඇති හුරි නමැති කළු පැහැයෙන් යුත් ගස් අතර, පඳුරු වශයෙන් පෙනෙන්නට තිබෙන කූඩළු දෙහි කිසිම සතෙකු විසින්වත් කෑමට නොගනී. එහෙත් එය සියලුම සර්ප විෂ වෙදකම් සඳහා වුවමනා වන ප්‍රබල ප්‍රතිකාරයකි. කූඩළු දෙහි ද ඇඹුල් දොඩම් මෙනි.   


හූරි වෙනිම වූ තවත් කළු පාට කඳක් ඇති කලව් ගස්වල දඬුලේන්නු බොහෝ විට උන්ගේ වාසභවනය තනා ගනිති. උන් කූඩු තනා ඇත්තේ කපුටු කූඩු ප්ලෑන කොපි කිරීමෙනි. එළිවෙන ජාමයට බඩගිනි ඉවසා ගත නොහැකි රිලව්, කරව් (කලව්) ගස්වල කිරි බහුල දලු කෑමට එන්නේ මෙලෝ සිහියක් නැතිවය.   
දඬුලේනා ඒ වනවිටත් පින්නට තෙමී වකුටු වී අලස සුවය විඳිමින් සිටින නිසා, වඳුරාට උගෙන් පංගු පේරුවක් සිදු නොවේ. රිළවා කන්නේ කරව් දලු පමණක් නොවේ. ඉන්පසු ඌ ඇහැටු ගෙඩි ද කති. හිරු යන්තම් නැග එනවිට පන්සලේ හීල් දානය ද කති. ඉන්පසු ඇළකින්, දොළකින් වතුර ද බොති. ගස්වලින් ගල්වලින් දුව පනිති. දබර කර ගනිති. යළි සවස් වූ විට පොරොන්දු වූ පුරුදු ගස්වලම ලගිති. සසර පුරුද්දට ඌ කැලේ ගසක ජීවත් වෙනවා මිසක, ඌත් නගරයේ කන්තෝරු වන්දනාවේ යන රජයේ සේවකයාත් එක වාගේම පව් කළ සතුන්ය.   
බූව සහිත ගස් අතරින් කහඹිලියා, වඳුරුවැල් යනාදියට වඩා රත්තණ, බූමෑ, වැටහිර ගාල්වල ඇති වඳුරුකුද, මිනිසාගේ සිහිය මුර්ඡා කරන බලයක් ඇති ශාකයකි. වකුටු කරලක් ඇති මේ වැලේ කොළය මෑ කරල් කොළය මෙනි.   


කහට ඇති ගස්වලින් ද සිංහරාජ වනාන්තරයට අඩුවක් නැත. ගෙඩි ද පොතු ද බහුලව ඇති විශාල ගස් කහට ගස් ද කැඬුම් බිඳුම් වෙදකමටත්, කහටවලින්ම පෙඟුණු පොත්තක් ඇති කෑල ගසත්, පොඩි ගසක් වුවත් පට්ටයෙන් පහුරු නොහොත් ලණු ඇඹරිය හැකි ලිනිය ගසත් වන චාරිකාවේ යන අයට නිතර දෙවේලේ හමුවේ.   
රන්කැටේ දොළ, කළුකැන්දාව දොළ, කුකුළු ගඟ, රඹුක ගඟ, දෙල්වල ගඟ වැනි දොළ ගංගා හැත්තෑ එකකින් ආවරණය වූ සිංහරාජ වනාන්තරය තුළ, තද ඉඩෝර කාලයේදී වුවත් නොසිඳෙන ධූලි ඇල්ල පුදුමාකාර නිර්මාණයකි. වර්ෂා ජලයෙන් පෝෂණය වන කාලයේදී අඩි තුන්සියයක් පමණ උස මේ දියඇල්ලේ මහිමයෙන් ඒ අවට පළාතම කුඩා ජල බිඳිතිවලින් මීදුමක් බවට පරිවර්තනය වේ.   
දියඇලි, දොළදිය පාර යනාදියෙන් ඈත් වූ කැකිල්ල ගාල්වලින් වැසී ගිය ස්ථානවල බොහෝ විට ඇත්තේ නිසරු පෙනුමකි. මේ තැන් අවට ජීවත් වන උරග, පක්ෂි, වන සිව්පාවන්ට දිය පිපාසය නිවා ගන්නට සිදුවන්නේ කුඩා දිය කඩිතිවලිනි. මේ කුඩා දිය වළවල් ද වර්ෂය පුරාම නොසිඳී පවතින්නේ තවත් කුඩා දිය උල්පත් රාශියක පිහිටෙනි. බොහෝ විට ජලය පිරුණු මෙවැනි තැන්වල පිල නමැති දිය ශාකය රහසේ වැවේ. ඒ ස්ථාන වනයේ සැරිසරන කාටත් තර්ජනයක් බව නොරහසකි. ඒවා තුළ මාළුන් මිරිදිය කකුළුවන්ට වඩා වැඩිපුර සිටින්නේ පොළොඟුන්ය. එබැවින් නුහුරු නුපුරුදු තැන්වල හුරු පුරුදු විදියට ඇති දියකඩිතිවලින් පණ බේරා ගැනීමට නම් පිල පැළවලින් ඇඟ බේරාගෙන පැන යා යුතුය.   
ගිනිසැරය අඩු නිසා ආරිද්ද ගස ගැමියාට වැඩි අගයක් නැතත්, කඳන් කුරුල්ලාට එහි විශේෂ ප්‍රයෝජනයක් ඇත. ජලයට ඔරොත්තු දෙන වියළුණු විට බර අඩු මේ ගසේ පොතු අතර දිවිමකුළුවෝ සිටිති. පස්සෙන් පස්සට යන කඳන් කුරුල්ලා දිවිමකුළු දඩයමට එන්නේ මේ ගස්වලටය. සුදු පාටට කඳක් ඇතිව විශාලව වැඩුණත්, අරටුවක් නැති නිසා මේ ගසින් ප්‍රයෝජනයක් ඇත්තේ ඔරුවක් තනා ගැනීමට පමණි. පොල් කොළයට සමාන කොළ ඇති ආරිද්ද ගස් හඳුනා ගැනීමට පහසුය. 

 
ඇඳට යන ලීයක් ඇති, සවිමත් අතු රැගත් කෙකටිය ගස්වල රසවත් ගෙඩි ද හටගනී. කඳෙහි ඇති පුල්ලි නිසා අඩ අඳුරේදී කෙකටිය ගස විශාල සර්පයෙකු සිහි කරවයි.   
කැලෑ රඹුටන්වල පිටපොත්ත වටේ රේණු නැතත් ජනප්‍රිය රඹුටන් වැනි ගෙඩි දෙන හැඩවක වර්ග තුනක් මූකලානේ සරුවට වැවේ. මේ සුදු හැඩවක, ගල් හැඩවක හා පත් හැඩවක නමි. ඇතැම් වර්ගවල ගෙඩිවල රේණුවලට අමතරව කටු ද පිහිටයි.   
පත් හැඩවක ගසේ “අවුල් කීර” නැති නිසා, දරට පැලීම ඉතා පහසුය. ලීය තෙල් සහිත නිසා නොවේලාම වුවත් ගින්නට දැමිය හැකිය. නමුත් ඇතුළාන්තය රතු පැහැයෙන් යුත් ගල් හැඩවක පැලීම තරමක් දුෂ්කරය.   
කිරි සහිත ගස්වලින් උග්‍රම විෂ සහිත කිරි අඩංගු බදුල්ල ගස් වන සිව්පාවන්ගෙන් පවා ඈත්ව හුදෙකලාව පවතී. බාහිර පෙනුමෙන් වුවත් බදුල්ල ගස් කඨෝර, රළු, අප්‍රසන්න, මුඩු අඳුරු පිට ස්වභාවයකින් යුක්තය. කොළය හීනි හීන් බදුල්ල ගස්වලින් කිසි ප්‍රයෝජනයක් නැතත්, කබර බදුල්ල උග්‍ර විෂ සහිත ගස් වර්ගයකි. දුඹුරු හා සුදු පුල්ලි සහිත කඳකින් යුක්තව ද පළල් විශාල පත්‍ර ඇති මේ ගස් අනෙකුත් බදුල්ල ගස්වලට වඩා කැපී පෙනේ. කිරි වැගිරෙන්නේ තාර මෙනි. ඇතැම් බදුල්ල ගස්වල කිරි උරමින් ජීවත් වන අරුම පුදුම ගස් කඩැල්ලන් ද දක්නට ලැබේ. කොහොල්ලෑ ලාවුළු ගෙඩිවලට සමාන පෙනුමැති ගෙඩියක් ද හටගන්නා මේ ගස්වල රෝස පැහැති මල් හටගනී.   

 

 


ඉතිරි ලබන සතියට...

 

 

රවි ප්‍රසාද් හේරත් විසිනි   
colomboletters@gmail.com