පොලිසිය වසර 2 කදී සරසවි සිසුන් 420කට තඩි බා තුවාල කරලා


(දයාසීලි ලියනගේ)  
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය වසර දෙකක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරවලට එල්ල කළ පොලිස් පහරදීම්වලින් සිසුන් 420කට අධික පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ගෙන ඇති බව වාර්තාවේ.  

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදීමේ සිද්ධිය නිසා මේ වනවිට සිසුහු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියෝද වෙති.  


අමාත්‍යංශයේ සීසීටීවී කැමරා මගින් විරෝධතාවට සහභාගිවූ සිසුන් හඳුනාගෙන ඇති පොලිසිය විශ්වවිද්‍යාලවලින් එම සිසුන්ගේ ලිපින ලබාගෙන ඇත. එසේ තොරතුරු ලබාගන්නා ලද සිසුන් 150 ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.  
පොලිස් පහරදීම්වලින් තුවාල ලැබූ සිසුන් සංඛ්‍යාව පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ එවැනි සංඛ්‍යා ලේඛන තමන් සතුව නොමැති බවයි.


සිසුන්ගේ නීති විරෝධී කටයුතුවලින් පොලිස් නිලධාරීන් ගණනාවක් තුවාල ලැබූ බවද ඔහු කීය.


මෑතකදී සයිටම් වි​ෙරා්ධී උද්ඝෝෂණ ව්‍යාපාර 20ක් කොළඹදී පවත්වා ඇති අතර ඒ සියල්ලටම පාහේ පොලිස් පහරදීම් කර ඇත.  
බැටන් ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, ජල ප්‍රවාහ හා එලව එලවා පහරදීම්වලින් සිසු සිසුවියන් තුවාල ලැබ තිබිණි.