• බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත්වීමට පෙර උඩරට රජවරුන් රටේ අපරාධකරුවන්ට ලබාදුන්නේ මරණ දඬුවමයි

 

රාජ උදහසට ලක්වන අය දෙතිස් වද දී මරා දමන ලදී. ඇතුන් ලවා පෑගවීම, උල තැබීම, කටු බෙරයක තබා කන්දක් උඩ සිට පහළට පෙරළීම, ප්‍රසිද්ධියේ උල තැබීම, හිස කඳෙන් වෙන් කිරීම ආදිය ඉන් කිහිපයකි.   


ඒ ආකාරයෙන් රජ දවස මරණ දඬුවම ලබා දුන් ස්ථානයක් ලෙස සෙංකඩගල පුරවරයේ “බහිරව කන්ද” නමැති ස්ථානය සඳහන් කළ හැකිය. මහනුවර නගරයට බටහිර දෙසින් දළදා මාලිගාවට හා උඩවත්ත කැලේට හරි කෙළින් ඉහළින් බහිරව කන්ද පිහිටා ඇත. එහි අද විශාල සමාධි පිළිම වහන්සේ නමක් ස්ථාපනය කර තිබේ. මෙය ලංකාවේ ඕනෑම මුද්‍රාවකින් දෙවැනියට තිබෙන විශාලතම පිළිම වහන්සේ ය. අඩි 88ක් උසය. 1993 නිරාවරණය කරන ලද්දකි. කන්ද උඩරට විශාලතම බුද්ධ ප්‍රතිමාව ද මෙය ය.   
ඊට අමතරව මෙහි වසර 60ක් පමණ පැරැණි බෝධි වෘක්ෂයක් ද දක්නට ලැබේ. එය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි. මෙම බෝධි වෘක්ෂය රෝපණය පිටුපස ද ඓතිහාසික කතාවක් ඇත. එනම් ශ්‍රී ලංකාවාසීන්ගේ ආදරයට පත්, මහනුවර දළදා පෙරහරේ කරඬුව වඩම්මන ලද රාජා ඇතා පිට, රැගෙන විත් සිටුවා ඇති බෝ පැළයක් වන නිසා ය. රාජා ඇතා, බෝ පැළයක් රැගෙන ගොස් කිසියම් තැනක සිටුවා ඇත්නම් ඒ බහිරව කන්දේ පමණකි. ඒ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කරන ලද්දකි. 


මෙහි ඓතිහාසික සිද්ධීන් ද ගහනය. බහිරව දේවතාවාගේ අභය භූමිය වූ බැවින් මෙයට “බහිරව කන්ද” යැයි ව්‍යවහාර කෙරේ. පළමුව ඒ ගැන කෙටියෙන් හෝ විස්තරයක් දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැති වනු නිසැකය. 


සෙංකඩගල පුරවරය පාලනය කළ එක් රජතුමකුට උඩවත්ත කැලේ ඇති නිධානයක් ගැනීමට අවශ්‍ය විය. බහිරව දෙවතාවා විසින් ආරක්ෂා කරනු ලබන එම නිධානය, බහිරව බන්ධනය කළ හැකි මන්ත්‍රකරුවෙකු රජු විසින් මාලිගාවට කැඳවන ලදී. මන්ත්‍රකරුගේ ප්‍රමාදයකින් බහිරව පූජාවට අවශ්‍ය වූ දොළ පිදවිල්ලක් අඩුපාඩු විය. එම අඩුපාඩුව නිසා බිලි කැප නොගත් බහිරව දේවතාවා බන්ධනයට අසු නොවී මන්ත්‍රකරු ජීවිතක්ෂයට පත් කර භයංකර හූ හඬක් නගමින් බහිරව කන්දට පැන ගැලවුණි. 

 

 


එදවස සෙංකඩගල පුරවරයට උදා වෙමින් පැවැතියේ නරක කාලයකි. දරුණු නියං කාලයක් ඇති වුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. ඇළ, දොළ, ළිං, පොකුණු ජලය සිඳී ගියේ ය. ගස්, වැල්, තණකොළ ද වියළී ගිය බැවින් ගවයන් ඇතුළු සත්තු මරණයට පත් වූහ. අවසානයේ මහා දුර්භික්ෂයකට පත්ව වසංගත තත්ත්වයක් ඇති වී නගරවාසීහු ද මරණයට පත් වූහ. 


මේ ආකාරයෙන් නගරවාසීන් මැරී යනු දුටු රජතුමා ශෝකයට පත් ව, කපුවකු ගෙන්වා ඊට හේතුව විමසා සිටියේ ය. 


බහිරව දේවතාවාගේ උදහස නිසා, මේ ආකාරයේ විපත් සිදු වෙන බවත්, ඉන් මිදිය හැක්කේ අවුරුදු පතා නගරයේ ම සිටින උසස්, කුලවත් රූප සුන්දරියකු බහිරව කන්දට රැගෙන ගොස් බිලි පිණිස පුද කිරීමෙන් පමණක් බවත්, එසේ නොකළ හොත් රජතුමා ඇතුළු මුළු නගරවාසීන්ට මරණයට පත් වීමට සිදු වෙන බවත්, ඔහු දේවාරූඩයෙන් පැවැසී ය. 
ධනයට තිබූ ආශාව නිසා මෙවන් විපතක් සිදු වූ බව වටහා ගත් රජතුමා, අදාළ දිනට බිල්ලක් ලබා දෙන බවට භාර විය. ඉන්පසු වර්ෂාව ඇති වී ක්‍රමයෙන් වසංගත තත්ත්වයෙන් රට දුරු විය. බිලි පූජාවේ දිනය ආසන්න වෙත් ම නගරයේ උසස් රූප සුන්දරියක් තෝරා ගෙන බහිරව කන්දට රැගෙන ගොස් පූජාව ඉටු කළේ ය. මේ ආකාරයෙන් වසර කිහිපයක් ගත විය. 


ලක්දිවට දළදා වහන්සේ වැඩම කරගෙන ආ, දන්ත කුමාර සහ හේමමාලා පරපුරෙන් පැවැත එන කීරවැල්ලේ රදල ප්‍රභූවරයෙක් මේ කාලයේ මහනුවර පදිංචිව සිටියේ ය. ඔවුන්ට පුත් කුමාරයෙක් සිටි අතර, ඔහු රදල පෙළපතකට අයත් කුමාරියකු හා සම්බන්ධතාව පවත්වාගෙන ගියේ මව්පියවරුන් ගේ අනුමැතිය ඇතිවය. එහෙත් කීරවැල්ලේ ගේ ප්‍රේමවන්තියට ද බහිරව පූජාවෙන් ගැළවීමට හැකියාවක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ ඇය උසස් කුලවත් රූමත් තැනැත්තියකු වූ බැවිනි. 
රාජ අණට අනුව ඇය බහිරව පූජාවට සූදානම් කෙරිණි. බිලි දීමට නියමිත දිනය උදා විය. කුමාරිය මල් මාලා පලඳවා, පෙරහරකින් රාත්‍රී දහයේ පැයට බහිරව කන්දේ බිලි පූජාසනයට ගෙන ගොස් එහි වූ කණුවක, ලණුවකින් ගැට ගසන ලදී. අනතුරුව ඇය රැගෙන ගිය ජනතාව ආපසු නගරයට පැමිණියේ වෙනත් කිසිවක් කිරීමට ඉතිරිව නොතිබූ බැවිනි. 


මධ්‍යම රාත්‍රිය එළඹියේ ය. ඈතින් භයානක හූ හඬක් ඇසිණි. දෙවැනි හූ හඬ ද ඒ සමග ම ඇසිණි. තුන්වැනි හූ හඬ සමග ම, පිට ට නෙරා ගිය දළ යුවළකින් හා ඇස් සඟලකින් යුත් මහත් කාළ වර්ණ දේහයකින් යුත් බහිරව අවතාරය කුමරිය ඉදිරියට පැන්නේ ය. ඒ සමග ම එතැනට කඩා පැන්න තුන්වැන්නකු ගේ කඩු පහරින් බහිරව අවතාරයේ හිස වෙන් විය. ඒ තුන්වැන්නා වෙනින් කවුරුවත් නොව කීරවැල්ලේ කුමාරයා ය. 


පසු දිනට එළිය වැටුණි. බහිරවයා බිලිගත් කුමරියගේ මෘත දේහය රැගෙන ඒම සඳහා ගිය පිරිසට දැක ගත හැකි වූයේ බහිරවයාගේ මළකඳ එහි තිබෙන බවය. බිලි දුන් කුමරියගේ මළකඳ දක්නට නොලැබිණි. 


පසුව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, මිය ගොස් සිටියේ, බහිරව බිලි පිණිස රූප සුන්දරියන් ඉල්ලා සිටි කපුවා බවය. ඔහු නගරයේ දුෂ්ට සොරෙකු බවත් දැන ගැනීමට ලැබුණි. කපුවාගේ මෘත ශරීරය සතරකට කපා, නගරයේ සතර පොළක එල්ලන ලදී. බලු කපුටන්ට එය ආහාරයක් විය. එතැන් පටන් වසරක් පාසා කෙරුණ බහිරව බිලි පූජාව නතර විය. 
ඒ අනුව මෙරට ඈත අතීතයේ දී, පරිපාලන අධිකාරියේ ප්‍රධාන වගකීම් භාරය උසුලන්නා ලෙස රජුට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. පිළිවෙළින් රජ, මහාධිකරණ හා ප්‍රාදේශීය අධිකරණ, විහාරස්ථ අධිකරණ සංවිධාන, සභාව, රාජකීය නිලධාරීහු ආදී වශයෙන් වර්ග කර තිබුණි. 


මහනුවර රාජධානියට පෙර පැවැති රාජධානිවල රජවරුන් විසින් දඬුවම් පමුණුවා ඇති ආකාරය පිළිබඳව ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවලින් හෙළිවන මානව අයිතිවාසිකම් නමැති කෘතියේ මෙසේ සඳහන් කර ඇත. 


“ලාංකේය ජනතාව ජීවත් වීමේ අයිතියට නීත්‍යනුකූල ව හිමිකම් ලැබූ අයුරු වේවැල්කැටිය, දොරබාවිල, කළුදිය පොකුණ ආදී සෙල්ලිපි හා වෙල්මිල්ල ටැම් ලිපිය, අනුරාධපුර V වැනි කසුබ් රජු ගේ පුවරු ලිපියෙන් සනාථ වෙයි. කිසියම් පුද්ගලයකු තවත් පුරවැසියකුගේ ජීවිතය අහිමි කළ හොත් ඒ සඳහා දිය යුතු දඬුවම් පිළිබඳව පනවා ඇති නීති රීති තුළින් පෙනෙනුයේ එදා පාලන තන්ත්‍රය පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගත් ආකාරය යි. යම් පුරවැසියකු තවත් කෙනකු ගේ ජීවිතය අහිමි කළ හොත්, ඔහුට ද මරණීය දණ්ඩනය දිය යුතු යැයි දහවැනි සියවසට අයත් වේවැල්කැටිය සෙල්ලිපියෙන් නියම කෙරිණි.” යනුවෙනි. 


මහනුවර රාජධානිය පාලනය කළ දෙවැනි රාජසිංහ රජතුමා ගැන විස්තරයක් රොබට් නොක්ස් ගේ ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් කර තිබේ. ඒ මෙසේය. 


“මෙතුමා ස්වභාවයෙන් ම කෘෘරයකු බව නිකරුණේ ම බොහෝ ලේ වැගිර වීමෙන් පෙනේ. දරුණු වධකොට මැර වීමෙන් හා එක් කෙනකු කළ වරදට මුළු පවුලට දඬුවම් කරවීමෙන් ද ඒ බව වැඩියෙන් පැහැදිලි වේ. හෙතෙමේ වරදකරුවකු එක විටම මරන්නට නියම නො කරයි. පළමු කොට නොයෙක් වද කරවයි. වරදකරුගේ ඇඟ මස් අඬුවෙන් ඇද කඩා ලවයි. ගිනියම් කළ යවටින් ඇඟ දවමින් වරද ගිවිස්වයි. මෙසේ වරද විවරණ විට ඇතැම් අය වධයෙන් සහනයක් ලබනු පිණිස තමන් දන්නවාටත්, දැක්කාටත් වඩා ප්‍රකාශ කෙරෙති. ඔවුන් වරද ප්‍රකාශ කළ ඉනික්බිති ඇතැම් විට ඔවුන්ගේ දෙඅත් ගෙල එල්වා ඔවුන්ගේම මස් කවන්න අණ කරයි. 

 

 


ඇතැම් විට වරදකරුවෝ, අන්තිමේදී නුවර වීථියෙහි වධස්ථානය කරා ගෙන යති. ඒ දුටු සුනඛයෝ ඔවුන් කනු පිණිස ලුහුබැඳ යති. සුනඛයෝ මීට බොහෝ සෙයින් පුරුදුව සිටිත්. ඔහු සිරකරුවකු ගෙන යනු දුටොත් පසු පස්සෙන් ම යති. වධකස්ථානයෙහි ඇතැ​ෙමකු උල හිඳුවති. ඇතැ​ෙමකුගේ අත්පා ගස්හි බැඳ කපා හරිති. ඇතැ​ෙමකු අලින් ලවා පාගවති. මේ වධස්ථාන බොහෝ සෙයින් උස් තැනකය. එය සියල්ලන්ටම දැක්ක හැක. එය සෙස්සන්ට ආදර්ශයකි.” 


ඉහත සඳහන් විස්තරයට අනුව, එදා රජ දවස සෙංකඩගල පුරවරයේ පිහිටි එක් උස් තැනක් වන්නේ බහිරව කන්දයි. එහි වධක ස්ථානයක් පිහිටා තිබූ බව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරයේ, විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ පැවැසූහ. 


“කන්ද උඩරට පාලනය කළ රජවරු වැරැදි කරන, මිනිසුන් මරණ පුද්ගලයන්ට දෙතිස් වද දී තිබෙනවා. එම දෙතිස් වදවලින් එකක් වන්නේ, කටු සහිත බෙරය ඇතුළට වරදකරු දමා, කඳු මුදුනක සිට පහළට පෙරළීමයි. එම ඝාතනය සිදු කිරීම ආරම්භ කරන්නේ මේ ස්ථානයෙන්. ඒ කටු බෙරය තිබී ඇත්තේ මෙතැනයි. ඊට අමතරව උල තබා මරණයට පත් කර ද තිබෙනවා.”


සෙංකඩගල පුරවරයේ මරණ දඬුවම ලබාදුන් ස්ථාන කිහිපයක් ගැන සඳහන් වේ. බහිවරකන්ද, කැප්පෙටිපොළ විශ්‍රාම ශාලාව පිහිටි භූමිය, සතර වාහල්කඩ, බෝගම්බර පිට්ටනියට උඩින් ඇති කුඩා කඳු ගැටය ඉන් විශේෂිතය. කැප්පෙටිපොළ නිලමේතුමා ගේ හිස ගසාදමා ඇති ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ විශාල බෝ ගසකි. ඒ අසළ කැප්පෙටිපොළ විශ්‍රාමශාලාව ඉඳිකර තිබේ. සැරදියෙල් එල්ලා මරා ඇත්තේ මහනුවර නගරයට ආසන්න කුඩා කඳු ගැටයකදීය. එය පිහිටා ඇත්තේ බෝගම්බර පිට්ටනියට තරමක් උඩිනි. ගැටඹේතොට අසළදී ද, වරදකරුවෝ එල්ලා මරා තිබේ. ඊට අමතරව සතර වාහල්කඩ වලද, සිරුරු හෝ සිරුරේ කොටස් එල්ලා ඇත.  


ඒ ගැන ලබන සතියේ දී දැනගනිමු. 


ස්තුතිය - බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද, විහාරාධිකාරී, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති මක්කානිගම බුද්ධදත්ත, ආචාර්ය ශාස්ත්‍රපති මඩාටුගම සෝරත යන ස්වාමීන් වහන්සේලාට සහ දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ, පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට. 

 

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර