විදෙස් සංචාරකයින් මාර්ගය අයිනේ සිටින වන අලින් දෙස බලා සිටින අයුරු

සංචාරකයින් විසින් වන අලින්ට ආහාර ලබාදෙන අයුරු  

 

 

 

“දඬු වැටට කොට අදින අලි ඇත්තු නසලා පෙරහරට දළ දිගට අලි ඇත්තු සොයන” අරුම පුදුම රටක අලි ගැන කතා බොහොමයකි. මේ කතාවත් අලි ගැන කියැවෙන අලි ප්‍රශ්නයකි. 
ඉර උදාවත් එක්ක උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයේ විදුලි වැට ආසන්නයට එන අලි ආයේ සවස 6ට පමණ කැලෑ වදිති. මිනිසුන්ටත් වඩා වනජීවී වාහන හොඳින් හඳුනන අලි වනජීවී වාහන එද්දී ඒවා මඟහැර වනාන්තරයට මාරු වෙන්නට කියා දිය යුතු නැත. ඊට පස්සේ ටික වේලාවකින් විදුලි වැට ආසන්නයට එති. හෙමින් හෙමින් පාර අයිනේ ඇති කඩ ළඟ නවතින්නේ දවස ගෙවා ගැනීමට බොහෝ බලාපොරොත්තු ඇතිව විය හැකිය. කඩහිමියන් අලි බලන්න එන සංචාරකයන්ව පොලඹවන්නේ අලින්ට කෑම දීමටයි. ඒ මන්ද යත් එයින් අලි පවුලත් දරු පවුලත් රැකෙන නිසාය. උඩවලව වනෝද්‍යාන සීමාවේ ඇත්තේ අලින්ට පලතුරු දෙන්නම අටවා ගත් වෙළෙඳ සල්ය. එම කඩවල විකිණීමට ඇති පලතුරුවල මිල ගණන් වෙනත් කඩවලට සාපේක්ෂව වැඩි බව දැන දැනත් මිනිසුන් එම කඩවලින් පලතුරු ගෙන අලි රංචුවට කන්නට දෙන්නේ සත්ව කරුණාව මුල්කරගෙන බව අමුතුවෙන් කිව යුතු නැත. අන්නාසි, දිවුල්, කෙසෙල්, පැණිකොමඩු, සීනි කැකිරි ආදී පලතුරු බොහොමයක් මෙම වෙළෙඳ සල්වල දකින්නට පුළුවන. අලින්ට ආහාරදීමට විදේශිකයන් පුරුදු කරවන්නෝ ශ්‍රී ලාංකිකයෝත් වෙළෙඳ සල් හිමියෝත් වෙති. කලකට ඉහත බ්‍රිතාන්‍යයන්ගේ විනෝද ක්‍රීඩාව ලෙස යොදාගත් අලිම මේ වනවිට මිනිසුන්ව විනෝදයකට ගෙන ඇති බව උඩවලව වන උද්‍යානයෙන් ඇසෙයි. මේ එම කතාවයි. 


උඩවලව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක රසික රණතුංග මහතා පැවසුවේ මෙවන් අදහසකි. 


උඩවලව කියන්නේ වල් අලි සිටින ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ ජාතික වනෝද්‍යානය. ලංකාවේ ඉන්න බොහෝ දෙනකුට සත්ත්ව කරුණාව තියෙනවා. සංචාරකයන්ගේ පැමිණීමත් එක්ක අපි දැකපු දෙයක් තමයි ඒ අය වල් අලින්ට ආහාර ලබාදෙන්න පෙළඹී සිටීම. මිනිස්සුන්ගේ කරුණාවත් එක්කම නීතිමය ගැටලු_ තිබුණත් බොහෝ දෙනකු වල් අලින්ට ආහාර දෙන්නට පුරුදු වී සිටිනවා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස අප දකින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගය අයිනේ ඉන්න අලි. අලින්ට ආහාර දෙන්න සංචාරකයන්ව පුරුදු කරලා තියෙන්නේ ගම්වාසීන්. එයට හේතුව ඒ අය එයින් ආර්ථික වශයෙන් යම් ලාභයක් උපයා ගන්නවා. නමුත් මෙම ස්ථානයේ සතෙකුට ආහාර ලබාදීම ගැටලුවක් ලෙසයි අප දකින්නේ. 


මෙහි භයානක ප්‍රතිඵල තියෙනවා. මෙම සත්තුන්ට විවිධ විෂබීජ ශරීරගත වෙන්න පුළුවන්. සංචාරකයන්ට විවිධ හානි සිදුවීමේ හැකියාවක් තිබෙනවා. මෙවැනි ගැටලු විසඳාගත හැකි වන්නේ ජනතාවගේ සහභාගිත්වයෙන්මයි. ඒ අයගේ උදව් උපකාර එක්ක අප එකතු වී වැඩ කළොත් විතරයි. අප දැනටමත් විවිධ උපක්‍රම භාවිත කර තිබෙනවා. අලි වැට දිගට විශාල ලෙස ඉස්සර අලි හිටියා. නමුත් දැන් සීමා වී තියෙනවා. ඔවුන් පලවා හරින්නත් අප විශේෂ ක්‍රම ක්‍රියාත්මක කරනවා. ජනතාවත් දැනුම්වත් කරනවා. වන අලින් පලවා හරින්නට විශේෂ මුර සංචාර ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. අලි ප්‍රධාන මාර්ගයට පැමිණීම වැළැක්වීමට විදුලි වැට දෙකක් භාවිත කර තිබෙනවා. සත්ත්වයන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පුළුවන් වේවි යැයි අප සිතනවා. 


මිනිස්සු මත්පැන් පානයට ඇබ්බැහි වෙන තරමටම කාලයක සිට මේ අලි මිනිසුන් දෙන ආහාරවලට ඇබ්බැහි වී සිටිනවා. ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීමයි අපි දැන් කළ යුතු වන්නේ. ඒ ආකාරයට ඇබ්බැහි වූ සතෙක් එක්වරම එයින් මුදවා ගන්නට බැහැ. එලෙස ඉක්මනින් පුනරුත්ථාපනය කළ හැකි පිරිසකුත් ඉන්නවා. නමුත් දැන් ඉතුරු වී සිටින්නේ ඒ ආකාරයෙන් පුනරුත්තාපනය කළ නොහැකි පිරිසයි. ඒ අයට යම් කාලයක් ගතවෙනවා. අලින්ට අමතරව මෙහි ඇතෙකුත් පුරුදු වී සිටියා ප්‍රධාන මාර්ගයට එන්න. අලි එනවාට වඩා ඇතා ප්‍රධාන මාර්ගයට පැමිණීම භයානකයි. අපි ඒ ගැන සොයා බැලුවා. ඒ සත්ත්වයා බොහොම ලැජ්ජාශීලි සත්වයෙක්. ඔහු ඇත් අතුරු සෙවණේ හැදී වැඩී ඉන් මුදා හළ සතෙක්. ඔහු ඉතා ඉක්මනින් පළවා හරින්නට අපිට හැකියාව ලැබුණා. 


මේ සත්ත්වයන් විදුලි වැටට බයයි. එසේ නොමැතිනම් ආහාර දෙනතුරු ඔවුන්ට බලා ඉන්නට අවශ්‍ය නැහැ. ඔවුන් ඉදිරියේ තිබෙන වෙළෙඳ සලකට ඇතුළු වුණා නම් මුළු වෙළෙඳ සලේම පලතුරු කන්න පුළුවන්. 


අපිට මේ වන සත්ත්වයන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවට පුරුදු කරන්නට අවශ්‍යම දෙය තමයි ජනතාවගේ උපකාරය. ප්‍රජාවයි වන අලින්ට ආහාර ලබාදීම සිදුකරන්නේ. ඒ අය අපිට උදවු කරනවා නම් වන අලින්ට ආහාර ලබාදීම නැවැත්වීම තුළින් අපිටත් හැකියාව තිබෙනවා මාර්ගය දෙපස සිටින වන අලි කැලයට හරවා යවන්න. එම සතුන්ගේ සුපුරුදු ජීවන රටාවට යොමු කරන්නට නැවතත් හැකියාව ලැබෙනවා. 


වෙළෙඳ සල් හිමියන් පුරුදු වී තියෙන්නේ අලින්ට කන්න පලතුරු ලබාදීමට අලෙවි කිරීම. එය ඔවුන්ට ඉතා පහසුවෙන් කළ හැකි ජීවන වෘත්තියක්. වෙළෙඳ සල්කරුවන් පුරුදු වී සිටිනවා පාන්දරම උක් කෑලි කිහිපයක් අරගෙන කොහෙද අලින් ඉන්නේ කියලා හොයන්න. අලියෙක් හමුවුණාම උක් කෑල්ල කෑල්ල විසි කරකර තමන්ගේ කඩය ඉදිරිපිටට අලියා රැගෙන එනවා. එහෙම ගෙන්නවා ගත් අලියා මුළු දවසේම ඒ වෙළෙන්දාගේ වෙළෙඳ සල ඉදිරිපිට තමයි කාලය ගත කරන්නේ. අලියා ඉන්න නිසා සංචාරකයන් එතැන නවතිනවා. ඡායාරූප ගන්නවා. එහිදී වෙළෙඳ සල් හිමියා සංචාරකයන්ව පොළඹවනවා සත්ත්වයාට ආහාර ලබා දෙන්නට. උඩවලව මාර්ගයේ තිබෙන පලතුරු වෙළෙඳ සල්වලින් සියයට අනූවක්ම පලතුරු වැය වන්නේ අලින්ට. මිනිස්සු පලතුරු මිලදී ගන්නේ ඒ අයට කන්නට නෙවෙයි. අලින්ට දෙන්නයි. වෙළෙඳ සල් හිමියන් සාදාගත් උපාය මාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. 


සාමාන්‍යයෙන් පලතුරු ආහාරයට ගන්නා අලි උදෑසන හය පමණ වෙද්දී ප්‍රධාන මාර්ගය අයිනට එනවා. පස්වරු හය පමණ වෙද්දී යළිත් වනාන්තරයට යනවා. 
වෙළෙඳ සල් හිමියන්ගේ ජීවන වෘත්තිය අපට එක්වරම නතර කරන්න බැහැ. ඒ අය ජීවත් වෙන්නේ ඒ රැකියාවෙන් නිසා. අපි නීති තද කළොත් විදුලි වැටේ කම්බි කපන තත්ත්වයටම මිනිසුන් පෙළඹිය හැකියි. මේ නිසා අපි එක්වරම මෙය පාලනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. 


අප දැනට විදුලි වැට සම්බන්ධයෙන් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ප්‍රධාන විදුලි වැටට අමතරව වක්‍රාකාරව තවත් කුඩා විදුලි වැටක් වෙළෙඳ සල් ආශ්‍රිතව ස්ථානගත කර තිබෙනවා. අලින්ට කෙළින්ම වෙළෙඳ සල් ආසන්නයට පැමිණිය නොහැකි ආකාරයට ඇතැම් ස්ථානවල එය ස්ථානගත කර තිබෙනවා. අලියාට විදුලි වැට කඩා මාර්ගයට පැමිණීම එතරම් අමාරු කාර්යයක් නොවෙයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන් අවහිර කරන්නේ නැහැ. එසේ කළහොත් ඔහු පෙලඹිය හැකියි විදුලි වැට කඩන තත්ත්වයට පත්වීමට. වන අලියාට වෙළෙඳ සලට තරමක් දුරින් ළඟා විය හැකි වන පරිදියි දෙවැනි විදුලි වැට ස්ථානගත කර තිබෙන්නේ. එවිට බොහෝ දෙනකු පෙලඹෙන්නේ නැහැ යම් දුරක් ඇවිදගෙන ගොස් අලියට ආහාර ලබාදීමට. එවිට අපි ලොකු සීමාවක් ආවරණය කරගෙන තිබෙන්නේ. ආහාර ටික ටික ලැබුණාට අලියා සිටින්නේ කුසගින්නේ. මේ හේතුව නිසා අලියා පුරුදුවෙනවා පලතුරුවලට අමතරව වනාන්තරයෙන් ආහාර සොයා ගැනීමටත්. 

 

උඩවලව මාර්ගයේ පිහිටා ඇති පලතුරු වෙළෙඳ සල්  

 

සංචාරකයින් විසින් වන අලින්ට ආහාර ලබාදෙන අයුරු  

 

 

 


මෑත කාලයේදී ඇතෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා මේ සිද්ධි හේතුවෙන්. අපි මෙය වැළැක්විය යුතුයි. 


වෙළෙඳ සල් හිමියන්ගේ ක්‍රියා හේතුවෙන් යම් අවස්ථාවකදී අලි, අලි වැට කඩාගෙන ආවොත් ඉන් වැරැදිකරුවන් වන්නේ වනජීවී නිලධාරීන්. මිනිසුන්ට හෝ වන අලින්ට යම් හානියක් සිදුවුවහොත් අප වගකිව යුතුවෙනවා. 


අපි යතුරුපැදියක් සූදානම් කර තිබෙනවා මාර්ග අයිනේ සිටින වන අලින් පලවා හැරීමට. කිලෝමීටර පහළොවක සීමාව මොවුන් ආවරණය කරනවා. ආහාර ලබාදෙන සංචාරකයන් දැනුම්වත් කිරීම, ආහාර ලබාදීමට සංචාරකයන්ව පොළඹවන වෙළෙඳ සල් හිමියන්ව දැනුම්වත් කිරීම සහ මාර්ගය අයිනට පැමිණ සිටින වන අලින්ට අලි වෙඩි දමා පලවා හැරීම මොවුන්ගේ රාජකාරිය වෙනවා. මිනිසුන් දැනුම්වත් කිරීමට පුවරු සවි කිරීමටත් අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඉන් අනතුරුවත් නීතිය කඩකරන අයවලුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නත් අපි කටයුතු කරනවා. එයට අමතරව කැමරා සවි කරන්නත් සැලසුම් සකස් කර තිබෙනවා. 


වෙළෙඳ සල් හිමියන් සම්බන්ධයෙනුත් අප යමක් කළ යුතුයි. ඔවුන්ට ස්වයං රැකියාවක් කිරීමට අතහිත දිය යුතුයි. අප බලාපොරොත්තු වෙනවා ඔවුන්ට යම් පුහුණුවක් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට. එවිට සංචාරකයන්ටත් භාණ්ඩ අලෙවි කළ හැකියි. අනතුරුදායක නොමැති ආදායම් මාර්ගයක් ඔවුන්ට කළ හැකියි. 
දැනට උඩවලව ජාතික වනෝද්‍යානයේ සාමාන්‍යයෙන් වසරකට දහසක පමණ වන අලි සැරිසරනවා. අලි එකසිය පනහක් පමණ ස්ථිරවම රැඳී සිටිනවා. උඩවලව ජාතික වනෝද්‍යානය වටේම තිබෙන්නේ ගම්මාන. ගම්මාන පනස්තුනක් තියෙනවා. මේ එක් ගම්මානයකින් දිනකට එක් වන අලියෙක් ඇතුළු වුවහොත් දිනකට වන අලින් පනස්තුන් දෙනකු වනෝද්‍යානයට ඇතුළුවෙනවා. මෙය විශාල ප්‍රමාණයක්. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි යැයි ඔහු පැවසීය. 
වනජීවී නිලධාරීන් පවසන ආකාරයට අලින්ට කෑමදීමට සංචාරකයන් පොළඹවන්නේ වෙළෙඳ සල් හිමියන්ය. 


 වන නිලධාරීන් කියන දේ ඇත්ත නැත්ත දැනගැනීමට අප කළ විමසීමකදී වෙළෙඳ සල් හිමියන් පැවසූ දේ මෙසේය. 


වන අලින් කිහිපදෙනකු පුරුදු වී ඉන්නවා මාර්ගය අයිනට ඇවිත් ආහාර ගන්න. කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන් පලතුරු අරගෙන ඇවිත් අලින්ට දෙනවා. අපේ කඩවල් ළඟට ආවාමත් මිනිස්සු පලතුරු මිලදීගෙන අලින්ට දෙනවා. වන අලින්ට අමතරව තව ඇතෙකුත් එනවා. 


වනජීවී නිලධාරීන් ඇවිත් අලි එළවනවා. ඒත් මිනිසුන්ගෙන් කාලා පුරුදු වුණ අය කන්න එනවා. විනාඩි විස්සෙන් විස්සට වගේ වනජීවී නිලධාරීන් ඇවිත් අලි වෙඩි ගහලා අලි එලවනවා. සමහර දවසට අලි පාරටත් එනවා. අපි රෑට කඩේ ඉන්නේ. කඩේට අලි පැන්නාම අපි කෑ ගහලා එලවගන්නවා. ඒත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැහැ යැයි ඔවුහු පවසති. 


උඩවලව එකමුතුගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.කේ. කුමුදුනි මහත්මිය මෙසේ පැවසුවාය. 


අපි උක් වගාකර තියෙන්නේ. හැමදාම අලි එනවා. සතුන්ට කන්න දෙයක් නැති නිසා වැටෙන් පනිනවා කියලයි අපි හිතන්නේ. අලි ඈතට යන්න කලින් වනජීවී දෙපාර්තමේන්තුවේ වාහනවලින් අලි එළවනවා. උක් වගාව තමයි මේ ප්‍රදේශයේ වැඩිපුරම තියෙන්නේ. එයට අමතරව ගස්ලබු වගේ පලතුරුත් අලි විනාශ කරනවා. බොහෝ විට රාත්‍රී කාලයේදී තමයි අලි එන්නේ. පලතුරු කඩවලින් පලතුරු අලෙවි කරන්න පුරුදුවෙලා ඉන්නවා අලින්ට දෙන්න. අපි නම් කියන්නේ එය නොකළ යුතු දෙයක්. සංචාරකයන්ට පලතුරු අලෙවි කරන නිසා ඒ අය සතුන්ට පලතුරු දෙනවා. ඒ නිසා අලි හැමදාම පාර අයිනට එනවා යැයි ඇය පැවසුවාය. 

 


සටහන සහ ඡායාරූප
සිටිනාමළුව අනීෂා මානගේ