මහින්දාගමනයෙන් පසු ලාංකේය ශිෂ්ටාචාරය බුද්ධ දර්ශනයෙන් පෝෂණය වීමත් සමග පුරාණ ගමෙහි වූ ප්‍රමුඛතම ස්ථානය බවට පත්වූයේ විහාරයයි. මෙම හේතුව නිසාවෙන්ම මෙරට හර පද්ධතිය තුළ “ගමයි පන්සලයි” “වැවයි දාගැබයි” ආදී වූ සංකල්ප ගොඩනැගුණු අතර ඒ යටතේ සෑම ගම්මානයකටම කෘෂිකර්මාන්තය උදෙසා වැවක් අවශ්‍ය වූවා සේම ආගමික අවශ්‍යතාව උදෙසා විහාරයක්ද ගොඩනගා ගන්නා ලදී.   


ගමක් ලෙස ඒකරාශි වූ ජනයා ගමේ ආර්ථිකය නංවන කෙත්යාය අස්වැද්දීම සඳහා ජලය ලබාගැනීමට ගම්මානයේ කඳුයාය පාමුල වැවක් හාරා එම පස් උපයෝගී කරගෙනම එම වැවට නුදුරින් දාගැබක් සමග විහාරයක්ද ගොඩනගාගත් බව ජනප්‍රවාදිත මතය වේ. ඒ අනුව මෙරට සෑම පැරැණි වැවකටම නුදුරින්ම විහාරයක අවශේෂ දක්නට ලැබීම සුලභ දසුනක් විය. එහෙත් වැවකට නුදුරින් නොව වැවක් පතුලේ විහාරයක් ඇතැයි කිවහොත් එය බොහෝදෙනෙකුට නුහුරු අත්දැකීමක් වනු ඇත. එය සත්‍යයකි. ඒ වනාහි කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ සෑදූ කොත්මලේ ජලාශය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරයයි. 

 
පුරාණ ලක්දිව රුහුණු රට, මායා රට හා පිහිටි රට වශයෙන් ප්‍රධාන පරිපාලන කොටස් තුනකට බෙදී තිබූ අතර එහිදී මායා රටේ වූ කොත්මලේ ප්‍රදේශයට හිමිවූයේ විශේෂ තැනකි. අනුරාධපුර කේන්ද්‍ර කරගෙන බලය ව්‍යාප්ත කළ පරදේශක්කාර එළාර රජුට විරුද්ධව යුධ නොවැදී තම පියාට ස්ත්‍රී වස්ත්‍රාභරණ යැවූ නිසාවෙන් ඇතිවූ රාජ උදහසෙන් බේරීම සඳහා පලාගිය ගැමුණු කුමරු සැඟවී සිටියේ ඓතිහාසික කොත්මලේ ප්‍රදේශයේ බව ජනප්‍රවාදයේ පවතී. එකල කන්ද උඩ කෝට්ටේ ප්‍රදේශයේ ඌරුපැලැස්ස ගමෙහි ප්‍රධානියාගේ නිවසේ සැඟවී සිටි ගැමුණු කුමරු ගම් ප්‍රධානියාගේ රූබර දියණිය වූ රන් එතනා සමග පෙමින් බැඳී ඇත්තේද මෙම භූමිය කරණ කොටගෙනය.   


නූතනයේ එම ප්‍රදේශය කොටගේපිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රාජ කුමාරයෙකුගේ ස්වරූපය අත්හැර ගොපල්ලෙකුගේ වෙස්ගත් ගැමුණු කුමරු කෙත්වතුද අස්වද්දා ඇති අතර මාවෙල ලෙස ප්‍රචලිත එම කෙත්යාය අදටත් මෙම ප්‍රදේශයේ දැකගත හැකිය. එළාර රජුගෙන් රට මුදවා ගැනීමට උපක්‍රමශීලීව සේනා සංවිධානය කළ ගැමුණු කුමරු මොණරාගල කන්දේ සැඟව සිටි බවටද ජනප්‍රවාදයේ පවතී. කොත්මලේ ජලාශය පිහිටා ඇත්තේ මොණරාගල කන්දට නුදුරිනි.   


දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙරට කෘෂිකර්මය හා විදුලි උත්පාදනය වෙනුවෙන් ඇරැඹි දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පෙන්වාදිය හැකිය. සමගි පෙරමුණු රජයෙන් යෝජනා වූ මෙම දීර්ඝකාලීන ව්‍යාපෘතිය කෙටිකලකින් අවසන් කිරීමට බලයට පැමිණි නව රජය පිඹුරු පත් සකස්කරන්නට විය. එම හදිසි කටයුත්තේදී නිර්මාණය වන්නාවූ මහා ජලාශයන්ට යටවන ප්‍රදේශයන්හි පිහිටි ස්වාභාවික නිර්මාණයන් හා ඓතිහාසික මෙන්ම සමකාලීන මානව නිර්මාණයන් පිළිබඳව හානි ඇගයුමක් කිරීමට කාලයක් ඉතිරි නොවීය.   


මහවැලි ගංගාවට උල්පතක් වෙමින් ගලාගිය කොත්මලේ ඔය ජාතික සංවර්ධනයට යොදාගැනීමේ පියවරක් වශයෙන් කොත්මලේ ජලාශය පිහිටුවීමට තීන්දු තීරණ ගන්නා ලද අතර මෙහිදී ඓතිහාසික කඩදොර ගම්මානයේදී කොත්මලේ ඔය හරහා වේල්ලක් ඉදිකර අක්කර අඩි 331000ක් වූ මෙම දැවැන්ත ජලාශය ඉදිකරන ලදී. මෙම ජලාශයට අක්කර 2360ක ප්‍රදේශයක් යටවූ අතර දහතුන් දහසක් ජනයා ජීවත්වූ නිවාස තුන්දහසක්ද, කුඹුරු හා ගෙවතුද ජලයෙන් යටවිය. එසේම මෙම ප්‍රදේශයේ තිබූ විහාරස්ථාන 16ක්ද මහා ජල තලයෙන් යටවුණ අතර ඒ අතර මොරපේ සුභද්‍රාරාමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්ඛාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුභද්‍රාරාමය ආදී විහාරද මොරපේ දේවාලය හා හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලයද පෙන්වාදිය හැකිය. 

 
මෙම ආගමික සිද්ධස්ථාන අතරින් ඓතිහාසික කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරම විහාරයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මහා ජල තලයෙන් යට වී දශක කිහිපයක් ගෙවුණද එම විහාරයේ ප්‍රතිමා ගෘහයේ වූ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුත් බුද්ධ ප්‍රතිමාව තවමත් නිසලව සිටින අයුරු වියළි කාලයේදී කොත්මලේ ජලාශය සිඳීයන විට අදටත් දැකගත හැකිය. ගැමුණු කුමරු හා වේළුසුමන යෝධයා නිතර මුණගැසුණු ස්ථානය ලෙසට මෙම විහාරය ජනප්‍රවාද ගතව ඇත. විහාරයේ ඓතිහාසික ඉදිකිරීම් සියල්ලම හඳුනාගත නොහැකි තරමටම අද විනාශ වී ඇති අතර විස්මය දනවන කරුණ වන්නේ බුද්ධ ප්‍රතිමාව සහිත ප්‍රතිමා ගෘහයේ නටඹුන් තවමත් ශේෂව පැවතීමයි.   
මෙසේ නිල්දිය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරය ඇතුළු ආගමික සිද්ධස්ථාන සිහිකිරීමේ අරමුණින් 1983 මැයි 20 වන දින කොත්මලය ජලාශය අසබඩ මහවැලි මහා සෑයේ ඉදිකිරීම් අරඹන ලදී. මෙරට පෞරාණික උරුමයට ළැදියාවක් දක්වන්නාවූ පිරිස් වෙත දැකගනු පිණිස ඓතිහාසික කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමාව තවත් කාලයක් නිරුපද්‍රිතව පවතීවායි යන්න අපගේ බලාපොරොත්තුව වේ.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර