මුල් කොටස පසුගිය සතියේ පළවිය....

මුල් කොටස

 

 

ලංකාපුරයේ වීථි හා අතුරු වීථි ක්‍රමානුකුලව වූ බව හනුමා පවසා තිබේ. විශාල ධාන්‍යාගාර, විශාල මන්දිර කොත්වලින් සමන්විත වූ බවද ඔහු විස්තර සඳහන් කර ඇත. ඒ නම් ඒ මෙසේය “රන්වන් ගිගිරි (ගෙජ්ජි) මද සුළඟට නාද විය. මැණික් එබ්බ වූ මන්දිර හා රනින් ආලේපිත කොත්කැරලි ද එහි විය” යයි ද දීර්ඝ ලෙස විස්තර කර ඔහු මෙය කියා තිබේ.   


රාමායණයට අනුව ලංකාපුරය නිර්මාණය කළේ රාවණගේ මාමණ්ඩිය වන “මය’’ නොහොත් විශ්වකර්ම විසින් බව කියැවේ. එනම් ඒ දේවයානිගේ පුතුන් තිදෙනාගෙන් බාලයා වූ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරු සඳහාය. වැඩිමහලා වූ තාරක නොහොත් මාලීට කළුතර වේලාපුර තිබූ අතර දෙවැනියා සුමාලි නොහොත් සූරපද්මට (කතරගම) නොහොත් මහින්ද පුරය තිබුණි. බාලයා වූ සිංහමුඛ නොහොත් මාල්‍යවන්තට පුරයක් නොවීය. එම නිසා “මය” විසින් ඔහුට ලංකාපුරය සහ පුෂ්පක යානය (දඬුමොනරය) සදා දුණි.   

 

 


එසේම ලංකාපුරය මහින්දපුරයට (කතරගමට) කිට්ටු බවද වේලාපුරය (කළුතරට) ඈත බවද කියයි. මේ අනුව ලංකාපුරය ත්‍රිකුණාමලයේ (ත්‍රීකුටමළය) නොව කුඹුක්කන් ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ පැවැතියා විය යුතුය. මැණික් ගඟබඩ එහි මෝය ද ආශ්‍රිතව මහින්දපුරය (කතරගම) පිහිටියේ ය. ලංකාවේ ශක්ති කලාපය අදත් මේ ගංගා දෙක අතර ඇත. එය වෙල්ලස්ස ලෙස ඕලන්ද සිතියම්වල (1751) සඳහන් වේ. කුඹුක්කන් ඔයේ “ගල් අමුණ” (කුඹුක්කන් කුමරු සෑදූ) මඟින් වෙල්ලස්සට ජලය සැපයිණි. මෙය ලංකාවේ වැව් ශිෂ්ටාචාරය ඇති වීමට පළමුව රාවණ යුගයේ දී සිදු කළ ජල සැපයුමක් බව කිව යුතුය.   


ගරුඬ පුරාණය පවසන පරිදි සුමාලී (තෛතසීගේ පියා) රකුස් රජු ඉන්ද්‍ර දේශයට (බංජාබයට) ගුවනින් ගොස් බෝම්බ දමා (අහසින් ගොස් බෝම්බ දැමීමට තම දරුවන් තිදෙනා පුහුණු කළේ ඔවුන්ගේ මව වූ දේවයානී නොහොත් මන්ද්‍රතය) ඉන්ද්‍ර දේශයේ රජුට පහර දී ඔහුගේ පුත් ජයන්ත කුමරු පැහැරගෙන මහින්දපුරයට (වැඩහිටිකන්ද) වෙත ගෙන ආවේය. එවිට ඉන්ද්‍ර රජු (ලංකාවෙන් ගිය අයෙකි) විශාල දේව සේනාවක් (දේව යනු අසුර පාලක පන්තියි) ලබා දී කතිර කුමරු ලංකාවට එවීය. ඔහු ලංකාවට පැමිණ තම මූලික කඳවුර (Base Camp) ඇති කළ තැන කතිරගම විය. එනම් ඒ වත්මන් කතරගමයි. මෙහිදී සුමාලී රජ මරා දමා ජයන්ත කුමරු බේරාගෙන ඔහුව ඉන්ද්‍ර දේශයට පිටත් කර කතිර කුමරු කතරගම රැඳුණේ ඔහු ද ලංකාවෙන් ඉන්ද්‍ර දේශයට ගිය හෙළයකු වූ බැවිනි. පසුව ඔහු මහසෙන් නමින් දේවත්වයට පත් කරන ලදී. ගරුඬ පුරාණයේ සේම රාමායණයෙත් මේ පිළිබඳව විස්තර පවතී.   


මේ තොරතුරු දැනගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා මැණික් ගඟ හි කුඹුක්කන් ඔය අතර ඇති ශක්ති කලාපයෙන් 1819 දී මිනිසුන් ඉවත් කළ එම ප්‍රදේශය වනාන්තරයට යට වීමට හැර ඌවේ සිටි සතුන් ඊට පන්නා එය අභය භූමියක් බවට (යාල) පත් කළේය. නමුත් නිවැරදි යාල යනු කිරිඳිඔය හා මැණික් ගඟ අතර තැනිතලාවයි. (1751 ඕලන්ද මිලිටරි සිතියම)   
කතිර කුමරු පළමුව සුමාලි රජු මරා දමා මහින්දපුරය අත්පත් කරගත් අතර වේලාපුරයේ (කළුතර) සිටි තාරක හා සටනට ගියේය. තාරක සටනින් පැරදී පාතාල දේශයට (දකුණු ඇමෙරිකාවේ පීරු රටට) පලා ගියේය. අනතුරුව සිංහමුඛ (මාල්‍යවන්ත) හා සටනට ගියවිට ඔහු යුද්ධය නවත්වා පලාගිය අතර හිස් වූ ලංකාපුරය කුවේර විසින් අත්පත් කරගත් අතර පුෂ්පක රථයද කුවේර තමන් සතුකර ගත්තේය.   


කුවේර යනු විශ්‍රවස්ගේ යක් බිරිඳකගේ දරුවෙකු වන අතර ලංකාපුරය පාලනය කිරීම සඳහා ඔහුට උරුමයක් ද නොවීය. ටික දිනකින් රාවණ විසින් දිඹුලාගල (දුම්රක්පව්වේ) දුම්රක්ගේ ද සහාය ඇතිව තම උරුමය සහිත ලංකාපුරය හා පුෂ්පක රථය ලබා ගැනීම සඳහා කටයුතු කළ ආකාරය රාමායණය මඟින් විස්තර කරයි. ලංකාපුරයෙන් සීගිරියට උපාය මාර්ගිකව පළවා හරින ලද විශ්‍රවස් මුණිවරයා පසුව ටිබෙටයට අයත් කෛලාසකූටය වෙත යෑවීය. අනවතත්ත විල ද ඒ කඳුවැටිය පාමුල ඇති අතර අද වන විට කෛලාසය හා අනවතත්තවිල ජනප්‍රිය සංචාරක පුරවරයක් ද වේ.   


සීතා දේවීය නුවරඑළිය අසල විසූ බව කියමින් ලංකාපුරය ඒ අසල විය යුතු යැයි කීම මිත්‍යාවකි. 1838 සිට 1880 වනතුරු කෝපි වගාව වැදගත් වූයේ මධ්‍යම කඳුකරයේ බටහිර වර්ෂාධික කඳු පාවුල්වලය. ඒ කාලයේ සීතා දේවියක් ලංකාවේ නොවීය. 1880න් පසු කඳුකරයේ නැගෙනහිර වියළි නුවරඑළිය ප්‍රදේශයේ තේ වගාව ව්‍යාප්ත වන්නට වූ අතර කෝපි වගාවට වඩා කම්කරුවන් ඒ සඳහා අවශ්‍ය විය. මේ සමඟම කම්කරුවන් සමඟ පූසාරින් ද කෝවිල් වෙත ආවේය.  


මේ ප්‍රදේශයේ ශීත ඇල්ල, ශීත ගුහාව, ශීත කපොල්ල ආදී නම් ඇති නිසා රාමායනය ගැන දැන සිටි පූසාරීහු මේ රාවණ විසින් රැගෙන ආ සීතාගේ වාසයට සම්බන්ධ ස්ථාන බවට ඔවුහු කතා ගෙතූහ. මෙම කතා පුවත් අප්‍රේල් සීසන් සමයේ වතුවල විනෝද වීම සඳහා එහි යන වතු අධිකාරීන්ට, සිවිල් නිලධාරීන්ට ද මේ ගැන කීහ. එසේම කේම්බ්‍රිජ් උපාධිධාරීහු මෙම සීතා කතා පුවත මේ රට ඇති ජනප්‍රවාදයක් ලෙස රාජකීය අාසියාතික සංගමයේ ලේඛනවලට ද ඇතුළත් කළහ.   


2016 අප්‍රේල් 29 සහ 30 යන දිනවල වැලිමඩ කැප්පිටිපොළ විහාරයේ බෝධිය කපා ලෑලි ඉරූ විහාරාධිපති හිමියන් එසේ කළේ මෙම එහි ඇති දිවුරුම් බෝධිය වරදවා විස්තර කිරීමෙනි. 1833 දී මේජර් ෆෝබ්ස් මේ ප්‍රදේශය ගවේෂණය කළ අතර උසාවිවල සුළු වරදවල් සඳහා නඩු පැවැරුණු විත්තිකරුවන් තමන් නිදොස් බවට දිව්රුම් කළහොත් නිදහස් කරන ලදී. ඉහත සඳහන් කළ අවුරුදු 1300ක් පමණ පැරණි 3 වැනි අග්බෝ රජු සමයෙහි ඉහත බෝධිය (අදාළ සෙල්ලිපියට අනුව) එහිදී දිවුරුම් ගස ලෙස සලකා ඇත.  
විත්තිකරුවන් දිවුරුම් දුන් බෝධිය පසු කාලයකදී පූසාරින් විසින් හැඳීන්වූයේ සීතා කුමරිය ගින්නට පැන තම පතිවත ඔප්පු කළ ස්ථානයේ ඇති දිවුරුම් ගස ලෙසය. හිටපු සංස්කෘතික ඇමැති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ද මේ බව සනාථ කරමින් මෙම විහාරස්ථාන භූමියේ සීතා දේවියගේ අග්නි පූජාවෙන් පරිශුද්ධත්නයට පත් වූ ස්ථානය ලෙස හඳුන්වා ඵලකයක් ද විවෘත කර තිබේ.   


ප්ලේටෝ ඇසූ ලංකාපුර ගුවන් යානා ප්‍රවෘත්තිය හනුමා විසින් එයට ප්‍රථමව ද සනාථ කර තිබේ. රාවණගේ නිල රථය හෙවත් පුෂ්පක යානය ආසන සියයකින් පමණ යුක්ත බවත් එහි රනින් කළ අසුනක් හා රිදියෙන් කළ අසුන් දෙකක් වූ බවත් ඔහු කියයි. එසේම එම යානයේ වැසිකිළියක්, ආහාර සැකසීම සඳහා මුළුතැන් ගෙයක් ද තිබී ඇත. එසේම රාවණගේ සිරියහන් ගබඩාව දුටු හනුමා එහි තිබූ සිසිල් වායුව කුටිය පුරා විහිදුවන යන්ත්‍රයක් ද (විදුලි පංකාවක්) ද දැක තිබේ.   


රාවණගේ කාලය වනතුරු හෙළ අසුර අධිරාජ්‍යය වනාහි සංස්කෘතික සමානත්වයෙන් යුක්ත වූ නිවර්තනික කලාපයකි. අවුරුද්ද පුරා අව්වැසි ලැබෙන අතර එම නිසාම ශීත සෘතුවකින් තොරව අවුරුද්ද පුරා ගහ කොළ වැඩෙන එළිමහනේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන නිසා සමානත්වය ඇති විය. එම නිසා වර්තමානයේ අප එළඹෙමින් සිටින්නේ මතයක නොව යථාර්ථවාදී සොයා ගැනීමකටය. එනම් “ලෙ මුරියා“ ලෙස හුදු විශ්වාසයෙන් යුතුව සිටි එසේම ලංකාපුරය හා අත්ලන්තිස්පුරය ලෙස හඳුනාගත් ආසියාවේ දකුණෙහි පිහිටියා වූ මුහුදුට ගිලිනු එම ගොඩබිම් ස්කන්ධය ගවේෂණය කිරීමයි. මන්දයත් 2009 දී සොයා ගත් එර්ෂියාවට සිංහලයින් හිමිකම් නොකීවොත් පිටස්තර ජාතියක් විසින් එයට හිමකම් කීමට ද පුළුවන.   


හෙළයින්ගේ එම සංස්කෘතික අධිරාජ්‍යයේ නිසල පැවැත්මට බාධා වී අවසානයේ රාවණයන්ගේ යුගයේ දී මුහුදේ ගිලීමට පවා ලක් වූ හේතුවක් ඇත. එනම් සමාන පැවැතුම් ඇතිව විසීම වෙනුවට එකෙකුගේ මධ්‍යයේ කේන්ද්‍රයන් අන් අය සිටින හාත්පස හා පරිධිය පාලනය කර හැසීරවීමට උත්සහා ගැනීමය. විෂ්ණු පැමිණ උපායෙන් මහ බලී රජු පරදවා පැහැරගෙන යාමට අප ක්‍රියාකිරීමට අපොහොසත් වීම මත ශක්‍රයාගේ දුව වූ දේවයානී තම පුතුන්ට අහසින් ගොස් බෝම්බ දමා රටවලට පහර දී යටත්කර ගැනීම ඇරඹීය. විශ්‍රවස් ද එයම කළේය. අති දක්ෂකයකු වූ රාවණගේ තණ්හාව නිසා උපන් යසස්කාමය කෙළවරක් නොමැති වූ යුද්ධවලට මඟපදා ගත්තේය.   


තමාගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ගැන දන්නා රාවණ සෘෂි පාලකයනට බල තණ්හාව ඇති විය. ලංකාපුරය හා පුෂ්පක රථය නොවන්නට දේවයානීගේ දරුවන්ට බලකාමය සහ ආධිපත්‍යවාදය ඇති නොවන්නට ඉඩ තිබුණි. කුවේර අතින් රාවණ අතට පත් වූ ලංකාපුරයේ සිට රාවණ විසින් පාලනමය ලෙස අසුර අධිරාජ්‍යය අසුරවන්නට විය. මේ නිසා සතුරන් ඇති වූ අතර දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුකරයේ හිරු රැසින් වැඩගත් ඉන්කා දේශය තමාට අවනත භාවයක් නොදැක් වූ හෙයින් සුපර්ණකගේ සැමියා වූ විද්‍යුත්ජීව යටතේ හමුදාව ඉන්කා දේශය වෙත යැවීය. ඔහුගේ යුධ ශිල්පයන් විදුලි කොටන්නාක් මෙන් වේගවත් වූ බව සඳහන් වේ. හිට්ලර් විසින් ටිබෙටයෙන් ලබා ගත් “බ්ලිට්ස්ක්‍රීග්“ නම් (අකුණු පහර) ක්‍රමය ද විද්‍යුත්ජීවගේ සටන් ක්‍රමයක් සේ සලකයි. නමුත් එහිදී විද්‍යුත්ජීව පරාජයට වී මරණයට පත් විය.   


 රාම-රාවණා මහ සටනින් රාවණ මිය ගිය බව රාමායණය පවසයි. මහාවංශයේ සඳහන් වන ආකාරයට ගොළු මුහුද ලෙස හඳුන්වන්නේ තිස්සමහාරාමය අසල මහාරාවණ කොටුව ඇති ප්‍රදේශයයි. රළු නැති ගොළු මුහුදක් බවට එය පත් වූයේ නොගැඹුරුව ගිලා බැස ඇති මුහුදු ප්‍රදේශයක් නිසාය.   


විසිවෙනි සියවස පුරා රාවණ මිත්‍යාවක් ලෙස පිළිගැනුණු අතර අද වන විට ඔහු ඓතිහාසික වී ඇත. විසිඑක්වෙනි සියවසේදී රාවණගේ ලංකාපුරයද රාමායණ කතා පුවතින් ඔබ්බට ගිය ගවේෂණ තුළින් සොයාගත් පුරවරයක් වීමට ඉඩ ඇත.  

 


සාකච්ඡා සටහන
මනෝජ් හර්ෂික මධුෂාන්