ජාතික රෝහලට යන එන දහස් සංඛ්‍යාත මිනිසුන් අතරේ එක තාත්තෙක් රෝහල් බංකුව මත වාඩි වෙලා තවමත් තිරවලින් වට වූ ඇයගේ කාමරය දෙස බලාගෙන ඉන්නවා.   

කවුරු එනකම් ද?   


නෑ. කවුරුවත් එනකම් නෙමෙයි. මාස හතරක් පුරාම යන්ත්‍ර සූත්‍ර ගොඩකට මැදි වෙලා සෑම තැනින්ම බට දාලා අ​ැෙඳ් වැතිරිලා ඉන්න ආදරණීය දියණිය ඇස් දෙක ඇරලා කතා කරනකම්. ඒත් කවදා වෙනකම් ද? ජීවිත කාලයම වුණත් ඒ තාත්තා රෝහලේ මේ බංකුවට වෙලා බලා ගෙන ඉඳිවි. දැන් ඒ තාත්තට ඉතිරි වෙලා තියෙන්නේ පුංචි අහිංසක බලාපොරොත්තුවක් විතරයි. ඒ තමන්ගේ දරුවා ඇඳකට සීමා වෙලා හරි ජීවත් වෙනවා දැකීම පමණයි.   


අැයත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු දා පිපිරුණු බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන යුවතියක්.   
ඇය නීරින් අමලදාස.   


දරුණු අනතුරින් පසු ඇය තවමත් මේ ලෝකේ දකින්නට ඇස් දෙක විවර කරලා නැහැ. සිව් මසක් ගත වුණත් තවමත් ඇය ජීවත් වෙන්නේ රෝහල් ඇඳ මත ජීවිතයක් මරණයත් අතර විශාල සටනක. වෛද්‍යවරුන් ගණනාවක් මේ මොහොත වන තුරුත් ඇයට ජීවත් වන්නට වරම් දෙන්න දරණ කැපවීම විශේෂයෙන් මතක් කළ යුතුමයි.   
ඇය එම පාස්කු ඉරිදා දෙවියන් යැදීමට ආශාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ ජීවිතයට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. තමාගේ සෑම විශේෂ කටයුත්තකදීම එහි යෑම ඇයගේ ජීවිතේ පළමු තැන ලෙස ඇය සැලකුවා. විසිවැනි වියේ පසුවන ඇයගේ ජීවිතේ ඊළඟ බලාපොරොත්තුව වුණේ විවාහයක්. මංගල කාරණාව ද හිතේ දරාගෙන හැමදාම වගේ එදත් දෙවියන් අබියසට ගිය ඇයට අවසානයේ උරුම වුණේ බලාපොරොත්තු නොවූ ඛේදනීය ඉරණමක්. මෙලොව යළි දකින්න වෙර දරන නීරින්ගේ සුව දුක් සොයා අපි පසුගියදා ගියා ඇයගේ ඥාති නිවසට.   


අැය නීරින්ගේ නැන්දණිය වන රධනී මරියසීලි මහත්මියයි.   


“නීරින් කියන්නේ මගේ ළඟම ඥාති දියණියක්. ඇගේ ගම යාපනේ. එයාට තවම 26 යි. අවිවාහකයි. නීරින්ගේ පවුලේ තව සහෝදරයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නම විවාහ වෙලා. අම්මා එයාලව දාලා යනකොට ගොඩක්ම පොඩියි. එදා ඉඳන් නීරින්ලා හැදුණේ වැඩුණේ ආච්චි අම්මා ළඟ. පුංචි කාලේ ඉඳලා නීරින්ලව උස් මහත් කරන්න නීරින්ලගේ තාත්තා ගොඩක් දුක් වින්ඳා.   


නීරින් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් කළා. රස්සාව කරමින් තාත්තා රැක බලා ගත්තේ සැලකුවේ නීරින්. නීරින් දුව මුලින්ම රැකියාව කළේ යාපනේමයි.   
​ෙකාළඹට මාරුවක් ලැබිලා ආවා. පස්සේ නීරින්ගේ ලොකු තාත්තාගෙ ගෙදරත් ජීවත් වුණා.   


ඉඳලා හිටලා අපේ ගෙදරත් ඇවිත් හිටියා. මමත් එයා ගැන ගොඩක් වෙලාවට සොයලා බැලුවා. මොකද මගේ දුවයි නීරිනුයි හොඳම යෙහෙළියෝ. මට තවමත් හීනයක්. නීරින්ට මොකද වුණේ කියන එක. නීරින්ගේ තාත්තට නම් ඒක දරා ගන්න ගොඩක්ම අමාරුයි.   


ඔය නීරින්ගේ පින්තූරයක් තුරුලු කරගෙන පාර දිහා බලාගෙන ඉන්නේ නීරින්ගේ තාත්තා.”   


අප දුටු විගසට මොනවදේ යමක් කියන්නට ඒ තාත්තා උත්සාහ කළා. ඇත්තට ඒ තාත්තා ගොළුයි කියලා දැනුණු මොහොතේ අපේ හදවත් මොහොතකට ගොළු වුණා. කෑ ගහලා කියා ගන්න බැරි වේදනාව ඒ තාත්තාට පිට කරන්න වෙලා තියෙන්නේ කඳුළුවලින් විතරයි.   


“මගේ දූ ඇස් අරින්නේ නෑ. කන්නේ නෑ. කතා කරන්නේ නෑ. එයා ඇස් ඇරලා කතා කරනකම් මමත් නිදා ගන්නේ නැතුව බලාගෙන ඉන්නවා.”   


ඔහු ගොළු බසින් සංඥා කරයි. උපතින්ම කතා කරන්නට නොහැකි වුණත් ඔහුත් දරු සෙනෙහස දෝරේ ගලා ගිය අහිසංක තාත්තෙක්. ඔහුගේ පවුලේ හතරදෙනෙකුම ගොළු ආබාධිත තත්ත්වයේ පසුවෙනවා.   


නීරින්ගේ නැන්දනිය මවක් මෙන් නීරින් ජීවත් කරවන්න දරණ උත්සාහයේ අගය වචනයෙන් කියන්නට බැරි තරම්.   


“නීරින්ගේ තාත්තව පාලනය කරගන්න හරිම අමාරුයි. ඉස්පිරිතාලෙට ගියත් එයා බිම පෙරළි පෙරළි අඬනවා.”   


නීරින් ​ෙකාච්චිකඩේ පල්ලියට ආගමටදහමට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. එයා එදා පාස්කු පූජාවට යනවා කිව්වේ යාළුවෙකුගේ ගෙදර ගිහින්. ඒත් නීරින් එදා පල්ලියට ගිහින් තියෙන්නේ තනියම. මගේ අක්කගේ පුතා කෝල් කරලා කිව්වා නීරින් තවම පල්ලි ගිහින් ඇවිත් නැහැ. පල්ලියට බෝම්බ ගහලා කියලා කියනවා ටිකක් බලන්න කියලා. අපි ඒ වෙලාවේම දුවලා පල්ලියට ගියා. ඒත් හමුදාවේ නිලධාරින් අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ.   


ඊට පස්සේ අපි නීරින්ගේ ​ෆෝන් එකට ගොඩක් කෝල් ගත්තා. ඒත් කතා කළේ නැහැ. ​ෙෆා්න් එකට කතා කළේ නැති නිසා මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා මට දැනුණා. නීරින්ගේ තාත්තා හිටියේ යාපනේ. තාත්තවත් අපි පහුවෙනිදම කොළඹට ගෙන්න ගත්තා. ඉරිදා දවසම ඉස්පිරිතාලවල සෙව්වත් සොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ සඳුදා එළිය වැටුණු වෙලාවේ ඉඳලා මෝචරිවල ගිහින් හෙව්වා. මල්ශාලාවලට ගෙනාපු මරණ බලන්න ගියා. ඒ කිසිම තැනක නීරින්ව සොයා ගන්න බැරි වුණා. බදාදා අපි පොලිසියට දැනුම් දුන්නා. සොයා ගන්න බැහැ කියලා. ඉන්න තැනකින් අපට නීරින්ව සොයා දෙන්න කියලා දෙවියන්ට යාඥා කළා. බ්‍රහස්පතින්දා (25) වැනිදා කෝල් එකක් ආවා. හඳුනගන්න තොරතුරක් නැති කෙනෙක් ඉන්නවා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇවිත් බලන්න කියලා.   


එ් වෙලාවෙම අපි ගියා. ඒත් අඳුර ගන්න බැහැ. මුළු ඇඟම බැන්ඩේජ්වලින් වෙළලා තිබුණේ. මූණ අඳුර ගන්න බැරි තරමට පිච්චිලා හිටියෙ. නීරින්ව මම අඳුර ගත්තේ කකුලේ නියපොතුවලින්. එයාගේ කකුලේ නියපොතු කළු පාටයි. මට ඒක හොඳට මතක තිබුණා. 

 
ඊට පස්සේ ඩොක්ටර් මට කතා කළා. නීරින් දුව ගැන අපට ලොකු විශ්වාසයක් තියා ගන්න එපා කියලා ඩොක්ටර් අපේ හිත හැදුවා. ඒත් ඒක මට නීරින්ගේ තාත්තට කියන්න තරම් ශක්තියක් නැහැ. අදටත් දොස්තර මහත්වරු කියන දේවල් මම නීරින්ගේ තාත්තට කියන්නේ නැහැ. කතා කරන්න බැරි නිසා එයාට දුක දරා ගන්න අමාරුයි”.   
දැන් නීරීන්ගේ අසනීප තත්ත්වය කොහොමද?   


නීරින්ගේ ඔළුවට තමයි ගොඩක්ම තුවාල සිදුවෙලා තියෙන්නේ. වම් පැත්තට තදබල ලෙස හානි වෙලා කියලා වෛද්‍යවරු කියනවා. වෛද්‍යවරු නීරින් දුව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මේ වෙනකොට කරලා තියෙන්නේ. ඒත් දුවට තවම සිහිය නැහැ. ඇස් දෙකවත් අරින්නේ නැහැ. මේ 21 වැනිදට මාස 4ක් වෙනවා. 

 
බෝම්බයෙන් හිසට සිදු වූ බරපතළ හානිය නිසා ඇයගේ හිස් කබලත් තෙමසක් පුරාවට මිනිස් පටක බැංකුවේ අධි ශීතකරණයේ තැන්පත් කරලා තිබුණා.   


මාස තුනකට පස්සේ දුවට හිස් කබල නැවත බද්ධ කළත් එ්ත් ඒක සාර්ථක වුණේ නැහැ කියලා වෛද්‍යවරු කිව්වා. ඔළුවේ රුධිර වහනයක් වෙනවා කියලා ඒකට තව සැත්කමක් කළා. ඊට පස්සේ මට නැවත එන්න කියලා ඩොක්ටර් කිව්වා හිස් කබල නැවත ගලවන්න ඕන එයාගේ හිසට විෂබීජයක් ඇතුළු වෙලා තියෙනවා කියලා. මම එදා නැවත ශල්‍යකර්මයකට අත්සන් කරලා ගෙදර ආවා. ඒත් මම ඒක නීරින්ගේ තාත්තාට කිව්වේ නැහැ. ඒත් ඉස්පිරිතාලේට ගිය වෙලාවේ එ්ක දැනගෙන නීරින්ගේ තාත්තා හරියට කලබල කළා. කතා කරන්න බැරි නිසා ඉස්පිරිතාලේ පුටුවලට ගහ ගහ හයියෙන් කෑ ගහලා ඇඬුවා.   


පස්සේ වෛද්‍යවරු කීප දෙනෙක් ගෙදරටම ඇවිල්ලා නීරින්ගේ තාත්තාගේ ​ෙගාඩාක් හිත හදලා ගියා. උදේටයි දවල්ටයි අනිවාර් යෙන්ම නීරින්ව බලන්න එයාගේ තාත්තා යනවා. ගිහින් මූණ දිහා බලාගෙන ඉඳලා කාමරෙන් යන්න කිව්වම එළියේ බංකුවට වෙලත් දොර දිහා බලාගෙන ඉඳලා එනවා.   


දැන් නම් හිටියට වඩා නීරින් දුව ගොඩක් දුරට සුව අතට හැරිලා තියෙනවා කියලා දැනෙනවා. හිස්කබල ඉවත් කිරීමේ ශල්‍යකර්මයේදී හිස් කබලේ කොටසක් කැඩුණා කියලා ඒ හිස් කබල අයින් කළා. දැන් ප්ලාස්ටික් හිස් කබලක් තැන්පත් කරනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඒකට අවශ්‍ය කරන මුදල මට එදාම බිෂොප් හවුස් එකෙන් පිරි නැමුවා. අවශ්‍ය වෙනකොට ප්ලාස්ටික් හිස්කබල මම අරගෙන දෙනවා.   


එදා බෝම්බෙන් ඇස් දෙකම පිච්චිලා තිබුණා. තවම ඇස් දෙක ඇරියේ නැහැ. වම් ඇස නම් හදන්න බැහැ කියලා කිව්වා. දකුණු ඇහැ නම් හදන්න පුළුවන් කිව්වා. මම ළඟට ගිහින් හැමදාම කතා කරනවා. ඒත් ඇඟිල්ලක්වත් හොලවන්නේ නැහැ. දකුණු කකුලේ අස්ථියක් බිඳිලා තියෙන්නේ. කම්බියක් දාලා කකුලටත් බැන්ඩේජ් එකක් දාලා තියෙන්නේ. අතටයි කකුලටයි දැන් තෙරපි කරනවා.   

 

රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන නීරින්

 

 


දැන් නීරින් දුව ඉන්නේ කෝමා තත්ත්වයේ.   


සමහර විට සදාකාලිකවම මේ විදිහටම ඉන්නත් පුළුවන් කියලා දොස්තරවරු කියනවා. නීරින්ගේ හිසට විතරක් දැනට සැත්කම් හතරක් කරලා තියෙනවා. කොහොම හරි නීරින් දුවව ඇඳෙන් නැගිට්ට ගන්න තමයි අපේ එකම උත්සාහය.   


නීරින්ට එදිනෙදා අවශ්‍ය කරන දේවල් කොහොමද සපුරා ගන්නේ?   


බිෂොප් හවුස් එකෙන් තමයි සියලුම වියදම් හා අවශ්‍ය ද්‍රව්‍ය දෙන්නේ.   


​ෙගාඩක්ම ඕන කරන්නේ පැම්පස් (Pampers) සනීපාරක්ෂක තුවා දවස් තුනකට සැරයක් ඒවා අරන් දෙන්න ඕන. ඕඩික්න්ලෝන් සතියකට දෙකක් විතර පාවිච්චි වෙනවා. ඊට අමතරව සබන්, වෙට් ටිෂු, ඇස්වලට දාන බෙහෙත්, හිසට තබන කොට්ට (ඔළුවෙන් එන ලේ ගෑවුණු ගමන් ඒ කොට්ට අයින් කරනවා ඒවා ආයේ ගන්න බැහැ) අන්දවන්න රෙදි,   
බෙට් ජැකට් හැම සතියෙම එකක් දෙකක් අලුතෙන් ගිහින් දෙන්න ඕන ලේ ගොඩක් ගෑවුණොත් රෙදිත් අයින් කරනවා. ඇඟට ආහාර වර්ග නම් මුකුත් වැටෙන්නේ නැහැ. දියර වර්ගයන් නිතර ​මොනවා හරි දෙනවා. ඒකත් පොඩි ප්‍රමාණයක්. බටයකින් තමයි දියර වර්ගත් ශරීරයට යන්නේ. දැන් නම් මූණේ පිලිස්සුම් තුවාල ගොඩක්ම සුව වෙලා තියෙන්නේ.   
පසුගිය අගෝස්තු 7 වැනිදා නීරින්ගේ 28 වැනි උපන් දිනේ තිබුණා. නීරින්ගේ තාත්තා සහ අපි පල්ලි ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා නීරින්ව කොහොම හරි ගොඩ දාලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලලා ආශිර්වාද කළා. එදා අලුත් ඇඳුමකුත් අරගෙන අපි ගියා බලන්න. අනේ ඒත් එයා කිසිම දෙයක් දන්නේ නැහැ.   


ආණ්ඩුවෙන් දෙන වන්දි මුදල ලැබුණද?   


බිෂොප් හවුස් එකෙන් දීපු මුදලක් විතරයි ලැබුණේ. ආණ්ඩුවෙන් සත පහක්වත් ලැබුණේ නැහැ. බිෂොප් හවුස් එකෙන් දීපු මුදල් නීරින්ගේ ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. ප්‍රතිකාරවලට අවශ්‍ය කරන වෙලාවට ගන්න. ඊට අමතරව යන සියලුම වියදම දෙන්නේ බිෂොප් හවුස් එකෙන්. සෙත්සරණ කාර්ය මණ්ඩලය පුදුම විදිහට නීරින් ගැන සොයලා බලනවා. ඒකට මම අනේකවාරයක් ඒ දරුවන්ට ස්තූති කරනවා. නීරින් විතරක් නෙමෙයි මේ ප්‍රහාරයට මුහුණ දීපු හැම කෙනෙක් ගැනම සොයලා බලන්නේ අවශ්‍ය දේවල් සියල්ලම දෙන්නේ සෙත්සරණ හරහා. ඔවුන්ටත් කළ හැකි සීමාවක් තියෙනවා. ඉදිරියක් ගැන ඇත්තටම තවම අපට හිතාගන්න බැහැ. නීරින්වත් බලාගන්න පුළුවන් ඒත් නීරින්ගේ තාත්තගේ හිත හදන එක හරිම අමාරුයි

 

 


නීරින් වෙනුවෙන් කරන සත්කාරක කටයුතු සහ ඉදිරියේ දී ඇයගේ අවශ්‍යතා වෙනුවෙන් ඔබට දායක විය හැක්කේ කෙසේද යන්න ගැන විමසීමට අප සෙත්සරණ කරිටාස් ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජිත අසිරිනී වෑවිට මහත්මියව එකතු කර ගත්තා.


“නීරින් ඉඳපු විදිහට දැන් ඇයට ලොකු සුවයක් තිබෙනවා. ඉදිරි මාස 6කට ඇයගේ ප්‍රතිකාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සෙත්සරණ ආයතනයෙන් මුදල් දැනට ලබා දීලා තියෙනවා. ඊට අමතරව ශල්‍යකර්මයක් ආවොත් එහි වියදම දරන්නත් අපි මුදල් වෙන් කරලා තියෙනවා. අපි කන්‍යා සොහොයුරියක් පත් කරලා තියෙනවා. ඇය නීර්න්ට අවශ්‍ය සියලුම දේ සොයා බලනවා. දැන් නම් ඇස් දෙක ටික ටික අරිනවා. ඉතින් නීරින්ට උදව් කරන්න කැමති අයෙක් ඉන්නව නම් අපේ සෙත්සරණ හරහා ඇයට උදව් කරන්න හැකියාව තිබෙනවා.” 


දරුවන් ඉන්න තාත්තලාට දරුවන් ගැන දැනෙන වේදනාවම මේ අහිංසක තාත්තටත් දැනෙනවා. ඒත් මේ තාත්තාට ඒ වේදනාව වැඩියි. මොකද මේ තාත්තාට උපතින්ම කතා කරන්න බැරි නිසා. අහිංසක මිනිහගේ දුක වේදනාව දැනෙන්නේ නැති ආත්මාර්ථකාමී පාලකයෝ ඉන්න රටක ජීවත් වෙන්න හුස්ම ටික යදින මේ අහිංසක දරුවන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්න දයානුකම්පිත හදවත් ඇති අය අපට කතාකරන්න පුළුවන්. සෙත්සරණ ආයතනය, අගරදගුරු නිවස 0112688999 දුරකථන අංකයට කතා කරලා වැඩි තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා

 


නදීශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර