කාලෙන් කාලෙට මිනිසුන් මුළාවට පත්කරන, මිනිසුන් රවටන අරුම පුදුම කතන්දර අප සමාජය තුළ පැතිරී යයි. එහිදී මිනිසුන්ට වාසනාව ගෙන දෙන, ධනය ගෙන දෙන අරුම පුදුම ක්‍රම ද මින් එකකි. සිතූ පැතූ සම්පත් ගෙන දෙන වාලම්පුරි, නරි අඟවල්, නොයෙකුත් රූප, කාසි වර්ග, මල් වර්ග, ගස් වර්ග නොයෙකුත් දෙනාගේ විශ්වාසයන් මත සුබ දේ ලෙස කාලෙන් කාලෙට සලකයි. 


වත්සලා හැඳල ප්‍රදේශයේ තිබෙන විශාල සාප්පු සංකීර්ණයකට ඇතුළු වූයේ උදාවන නව වසරට අලුත් ඇඳුම් පැලඅඳුම් මිලදී ගැනීමටය. නොයෙක් මාදිලියේ ඇඳුම් හා ආයිත්තම්වලින්ද නිවසට අවශ්‍ය කරන බඩුබාහිරාදියෙන්ද එය පිරී ඇත. එය හැඳල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයකි. මහල් කීපයකින් යුක්තය. වත්සලා සාප්පු සංකීර්ණයට ඇතුළු වී ටිකක් ඉදිරියට යන විට එහි ඇතුළුවන දොරටුවට මුහුණලා විශාල පැළයක් දක්නට ලැබිණ. ඇය එය ගණනකට නොගෙන වටපිට බලමින් ඇවිද ගියේ මුලින්ම ගත යුත්තේ කුමක්දැයි නිශ්චිත නොමැතිවය. ඇය මුදල් කවුන්ටරයට පසෙකින් ඇති වීදුරු බඩු තිබෙන තැනට ගොස් ඒවා බලන්නට වූවා. එක්වරම ඇසුණු ශබ්දයකින් ඇය හැරී බැලුවාය. 


“මේ..මේ.. ළමයා කාගෙද.. අයියෝ මොකක්ද ළමයෝ මේ කළේ... තැනකට ආවහම ඉන්න දන්නේ නැද්ද..” එක් කාන්තාවක් අවුරුදු හතක් අටක් පෙනුමැති පොඩි දරුවෙකුගේ බාහුවකින් තදින් අල්ලා සොලවමින් කෑ ගසයි. 


“ඇයි.. ඇයි මිස් මොකක්ද වෙලා තියෙන්නේ.. මගේ දරුවගේ අත අතහරින්න” කියමින් තවත් කාන්තාවක් පැමිණ සාප්පු සංකීර්ණයේ හිමිකාරිය යැයි සිතිය හැකි කාන්තාවගෙන් ඇසුවේ දරුවාගේ අත මුදා ගනිමිනි. 


“මොකක්ද වෙලා තියෙන්නෙ කියලා ඔයාට පේනවනේ.. මෙහෙමද දරුවන්ව හදන්නෙ.. හැමදේම අතපත ගානවා... මේ බලන්න ඔයාගේ පුතා මේ වටින පැළේ කොළයක් කැඩුවා” හිමිකාරිය පැවසුවාය. 


“ඕකට දරුවට රිද්දන්න ඕනැද.. පුංචි දරුවො එහෙම තමයි. ඕක නිකම් ගහක්නෙ.. මිස් නිකන් කෑ ගැහුවේ හරියට වටින දෙයක් කඩලා බිඳලා දැම්මා වගේනේ” දරුවාගේ මව දරුවාගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට මෙන් කතා කළාය. 


“මොකක්.. නිකම් ගහක්.. හිතුවද මේක ලේසි පහසු පැළයක් කියලා. මේ වාසනාව ගෙනෙන පැළයක්. හරිම වටිනවා. අයියෝ මේ ළමයා ඒකත් විනාශ කළානේ” කියමින් දරුවාගේ මවට රවාගෙන සාප්පු සංකීර්ණයේ හිමිකාරිය එතැනින් ඉවත් වූවාය. 


එම කතාවට ඇහුම්කන් දීගෙන සිටි වත්සලාට අසල ඇති වටින පැළේ ගැන ආයතනයේ හිමිකාරියගෙන් විමසීමට සිත්විය. ඇය වහා දරුවාට බැණ වැදුණු කාන්තාවට කිට්ටු වූවාය. “මිස් අර පැළේ ගැන මොනවදෝ කිව්වා නේද.. මට පොඩ්ඩක් ඒ පැළේ ගැන විස්තර කියන්න පුළුවන්ද...” වත්සලා ඇසුවාය. “ඒක ගෙවල්වල, ආයතනවල තිබ්බම ඒ පැළේ තියෙන තැනට කිරි උතුරනවා වගේ තමයි, වාසනාව උදාවෙනවා” සාප්පු සංකීර්ණයේ හිමිකාරිය වත්සලාට පැවසුවාය. 


හැමදේම ලැබෙන්නෙ පැළේ තියෙන වාසනාව නිසා යනුවෙන් එම කාන්තාව කී වදන් වත්සලාගේ සවන පුරා දෝංකාර දුනි. ඇඳුම් රැගෙන නිවසට පැමිණෙන අතරතුරදීත් ඇයට සිහි වූයේ ඒ වදන්ය. නිවසට පැමිණි වත්සලා බොහෝ වේලාවක් කල්පනාවේ නිමග්න වූවාය. එම පැළේ වාසනාව නිසා හැමදේම ලැබෙනවා නම් තවත් ප්‍රමාද ​ෙවන්නේ කුමකටද... අදම එම පැළයක් රැගෙන ආ යුතු බව ඇය අදිටන් කර ගත්තේ ඇය මෙවැනි මිථ්‍යාවන් බොහෝ විශ්වාස කරන නිසාය. 


නිවසට යහපත උදාකරන, සෞභාග්‍ය උදාකරන, වාසනාව ගෙනෙන කාසි වර්ග ද නොයෙක් පැළ වර්ගද වත්සලා මීට පෙර මිලදී ගෙන නිවසේ එක් එක් තැන්වල ස්ථානගත කර තිබුණේ ඇය ඒවා සම්බන්ධයෙන් බොහෝ උනන්දුවක් දක්වන නිසාය. 


වත්සලා නිවසට ආ ඉක්මනට එළියට බැස්සේ තමන්ගේ යෙහෙළියක් මතක් වීමෙනි. ඇයගේ නිවසේ ද මෙවන් පැළයක් තිබෙනු ඇය දැක ඇතත් වත්සලාට ඒ ගැන උනන්දුවක් තිබුණේ නැත. යෙහෙළියගෙන් එම පැළයේ විස්තර අසා ගැනීමටත් එම පැළයක් මිලදී ගත හැකි තැනක් ගැන දැනගැනීමටත් ඇයට අවශ්‍ය විය. 


යෙහෙළියගේ නිවසට ගොඩ වූ වත්සලා සුහද කතා බහක සිටින අතරතුරේදී නිවසේ තැන්පත් කර ඇති පැළය ළඟට ගොස් එය අතගෑවේ බොහෝ සතුටිනි. “අනේ කෙල්ලෙ ඔයා කොහෙන්ද මේ පැළේ ගත්තේ. මටත් එකක් ගන්න ඕනෑ. කීයද මේ පැළේ” එකපෙළට ඇය ප්‍රශ්න කෙරුවාය. මෙය සිතූ පැතූ සම්පත් ලබාදෙන සල්ලි ගස බව යෙහෙළියගෙන් දැනගැනීමට ලැබුණි. එහෙත් එය මිල අධිකය. වත්සලාට මෙම පැළය ගැන තවත් තදින් සිතට කා වැදිණි. 


නිවසට ගොඩවැදුණු සැමියාට සල්ලි ගස පිළිබඳව වත්සලා කීවේ ඔහුගේ විඩාව ගැනවත් නොතකාය. ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ ජීවත් ​ෙවන මොවුන්ට මෙපමණ කාලයක් ගියද වත්සලාගේ විශ්වාසයන් මත සෞභාග්‍ය උදාකරනවා යනුවෙන් ප්‍රචාරය කෙරෙන බොහෝ දේ නිවසේ තැන්පත් කළද ඇති වූ වාසනාවක් නම් නැත. කෙසේ හෝ සැමියාට කන්නලව් කර මුදල් ඉල්ලා ගත් ඇය පසුදා උදයේම සල්ලි ගස මිලදී ගැනීමට ගියාය. සල්ලි ගස විකුණන පුද්ගලයාගෙන් දැනගැනීමට ලැබුණේ “අතු හතක්” තිබෙන පැළයක් නිවසට සුබ බවයි. ඒ අනුව ඇය අතු හත ඇති සල්ලි ගස ගෙනගොස් නිවසේ තැන්පත් කළාය. 


වත්සලාගේ හිතවතියක නිවසට පැමිණි මොහොතක ඇය වත්සලාගේ නිවසේ තැන්පත් කර ඇති මෙම සල්ලි ගස දුටුවාය. එහෙත් එය ස්ථානගත කර ඇති ස්ථානයේ දෝෂයක් පවතින බවත් එය ඊසාන දිසාවට ස්ථානගත කළ යුතු බවත් ඇය වත්සලාට පෙන්වා දුනි. වත්සලා සල්ලි ගස ඊශාන දිසාවට තැන්පත් කළාය. මේ ආකාරයෙන් නිවසට ගොඩවදින අය මෙම සල්ලි ගස ස්ථානගත කර ඇති තැන සම්බන්ධයෙන් නොයෙකුත් දේ පවසන විට ඒ ආකාරයට තැනින් තැන සල්ලි ගස නිවසේ තැන්පත් කර තැබීමට වත්සලාට සිදුවිය. 
සල්ලි ගස තැන්පත් කර මාස හත අටක් ගත වූවද සිතූ පැතූ සම්පත් ලැබුණේ නැත. සෞභාග්‍යය උදාවූයේ නැත. එහෙත් ආර්ථිකය නම් එන්න එන්නම පහතට වැටුණි. සල්ලි ගස වෙනුවෙන් ඇය බොහෝ මුදල් වියදම් කළාය. සල්ලි ගසේ අතු තුනක් තිබුණොත් මුදල් ලැබෙන බව කෙනෙකු පැවසූ විට ඇය අතු තුනක් තිබෙන සල්ලි ගසක් ගෙන තැන්පත් කළාය. අතු හයක් තිබෙන සල්ලි ගසින් පමණක් සෞභාග්‍ය උදාවෙන බව පැවසූ විට ඇය අතු හයක් තිබෙන සල්ලි ගසක් ගෙන නිවසේ තැන්පත් කළාය. ඒ හැමවිටම මුලින් මිලදී ගත් සල්ලි ගස ඇය ඉවත් කළාය. ඒ සෑම පැළයකටම වැඩීමට අවශ්‍ය නොයෙක් අධික මිල ඇති පොහොර වර්ග ද මිලදී ගැනුණි. වත්සලාට සල්ලි ගසෙන් තොර දෙයක් නැතුවා මෙන් විය. 
වත්සලා නිතරම කල්පනා කරන්නට වූවාය. සැමියා ලබාදෙන මුදල්, සල්ලි ගස වෙනුවෙන් වියදම් කරන ඇයට අත්‍යාවශ්‍ය දෙයක් ගැනීමට මුදල් ඉතිරි නොවීය. නිවසේ විදුලි බිල්, ජල බිල්ද මාස පහ හය නොගෙවා ගොඩගැහුණි. ආර්ථිකය පිරිහී යන්නට මහා කාලයක් ගත වූයේ නැත. එහෙත් ඇය සිතුවේ සල්ලි ගසට තමන්ගෙන් හරිහැටි සාත්තුවක් සිදුනොවන නිසා මෙසේ වන බවයි. ඇය පිස්සියක මෙන් නිවසේ එහාට මෙහාට ඇවිදිමින් කල්පනා කරන්නට වූවාය. නිවසේ පවිත්‍රතා කටයුතුද මගහැරුණි. දරුවන් හෝ සැමියා ගැන සොයා බැලීමටවත් ඇයට වේලාවක් නොතිබූ තරම්ය. ඇය නිතරම සිතුවේ සල්ලි ගස තබා තිබෙන ස්ථානයේ වරදක් හෝ එයට සාත්තු කිරීමේ අඩුවක් තමන් තුළ පවතින බවයි. එම නිසා මෙතරම් කාලයක් ගියද සල්ලි ගසෙන් සිතූ පැතූ සම්පත් නොලැබුණු බව ඇය විශ්වාස කරන්නට වූවාය. 


වත්සලා නිතරම සිටියේ කලකිරුණු ස්වභාවයකිනි. සිතූ පරිදි කිසිවක් ලැබුණේ නැත. සාප්පු සංකීර්ණයේ හිමිකාරියටත් තම යෙහෙළියටත් සල්ලි ගස සිතූ පැතූ සම්පත් දී ඇත. එහෙත් වත්සලාට පමණක් සල්ලි ගසෙන් සිතූ පැතූ කිසිවක් නොලැබෙන්නේ ඇයිදැයි කල්පනා කර ඇයගේ මනස බොහෝ වෙහෙසට පත්විය. ඇය සිටියේ නිතරම අසතුටිනි.
වත්සලාගේ මෙම ක්‍රියාකලාපය එන්න එන්නම වධයක් විය. ඇයට මෙන්ම ඇයගේ නිවසේ අයටද ඇයගේ මෙම ක්‍රියාදාමය පුදුමාකාර වදයක් විය. නිවසේ සමගිය නැතිවිය. ආර්ථිකය එන්න එන්නම පිරිහී ගියේය. එහෙත් වත්සලා ඇයගේ සල්ලි ගසේ බලාපොරොත්තු නම් අත්හරින පාටක් නම් නැත. මෙය ඉවසා දරාගැනීමට බැරිම තැන වත්සලාගේ ක්‍රියාකලාපය ගැන ඇයගේ සැමියා විසින් ඔවුන්ගේ පවුලේ සිටින දැන උගත්කමින් යුක්ත වැඩිහිටියෙකු වන සමරෙ අයියාට පවසන ලදී. විස්තරය හොඳින් අසා සිටි සමරෙ අයියා “ඇයි බං උඹලා ඔච්චර මෝඩද.. ඕක අසාමාන්‍යයිනේ... ඕකට හරිහැටි විසඳුමක් ලබාගන්න විද්‍යාකුලපති මහත්තයාව මුණගැහුණොත් හොඳයි” යනුවෙන් යෝජනා කෙරිණි. 
දිනයක් යොදාගෙන වත්සලාත් ඇයගේ සැමියාත් දරු තිදෙනාත් සමරෙ අයියාද සමඟ ගොස් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුණගැසිණි. 


වත්සලාත් ඇයගේ සැමියාත් සමඟ දිගු වේලාවක් කතා කිරීමෙන් පසු වෙන වෙනම දරුවන් තිදෙනාත් සමරෙ අයියා සමඟත් වෛද්‍යවරයා කතා බහ කළේය. ඉන්පසු ගැටලුවට පිළියම් යෙදීම ඇරඹුනි. 


පළමුව වත්සලාට සංයම අභ්‍යාස ලබාදී මනස සංයමයට පත් කෙරුණි. ඉන්පසු වත්සලාගේ සැමියාටත් දරු තිදෙනාටත් සංයම අභ්‍යාස ලබාදී ඔවුන්ගේ මනස සැහැල්ලු කළේය. ඉන්පසු මාස කීපයක් වත්සලා සඳහා ප්‍රතිකාර ලබාදුනි. මාස එකහමාරක් දෙකක් පමණ ගතවන විට ඇයගේ තිබුණා වූ අධික කෝපය, කලකිරීම, එපාවීම ආදී මානසික පීඩනකාරී ලක්‍ෂණ ඉවත් විය. ඒ වගේම වත්සලාගේ තිබුණා වූ ප්‍රධානතම ලක්‍ෂණ වන මිථ්‍යාවන් පස්සේ දිවීම සම්පූර්ණයෙන්ම නැවතිණි. ගසකට යමෙක් ධනවත් කිරීමට නොහැකි බවත් යමෙක් ධනවත් වීමට නම් නොසැලෙන විශ්වාසයෙන් යුක්තව දැඩි අධිෂ්ඨානයෙන් උත්සාහයෙන් වැඩ කළ යුතු බවත් ඇයගේ මනසට පැහැදිලි විය. 


මිනිසුන් අතරින්ම පහළවෙන අවැඩදායී, හානිකර අදහස් මිථ්‍යා මත හෙවත් මිථ්‍යා විශ්වාස යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ මිථ්‍යා විශ්වාස ගැන සොයා බැලීමේදී ඈත අතීතයේ සිටම ඒවා ලාංකීය ජන සමාජය හා බැඳී පැවතී ඇති බව පෙනේ. එපමණක් නොව විද්‍යාව හා තාක්ෂණය මෙතරම් දියුණුව පවතින යුගයකදී වුව තවමත් නව මිථ්‍යා විශ්වාසකරුවන් කලඑළි බසියි. පැරණි මිථ්‍යා ඇදහිලි ඉවත් කරනවා සේම නව මිථ්‍යා දෘෂ්ටිකයන් හා ඔවුන් පසුපස යන අනුගාමිකයන් බිහිවීමට තිත තැබීමද නියත වශයෙන්ම කළ යුත්තකි. නූතන ශ්‍රී ලාංකීය මිථ්‍යා විශ්වාසවලට කදිම උදාහරණයක් නම් විභාග ළංවන විට කලඑළි බසින මිථ්‍යා අන්ධ භක්තිකයන්ය. ප්‍රසිද්ධ විභාග පමණක් නොව අද ​ෙවනවිට පාසල් වාර විභාග සමත්වීමටද මවුපියන් හා ළමයින් දෙවියන්ට බාර දී තිබීම ඉතා ශෝචනීය තත්ත්වයකි. විභාග සම්බන්ධයෙන් පමණක් නොව විවාහ සබඳතා ඇතිකිරීම්, හැර ගිය අය ගෙන්වීම්, එමෙන්ම පළිගැනීම සඳහාද නම් දරා ඇති ආයතන අප රට තුළ පවතී. සමහර දේශපාලකයින්ද ඡන්දය ළං වූ විට මෙම ස්ථාන කරා ඇදී යාම මගින් රටට සපයන්නේ එතරම් හොඳ උදාහරණයක් නම් නොවේ. සත්තකින්ම අප දන්නා පිරිදි, ලෝ වටා පවතින ජනප්‍රිය මිථ්‍යා මත කිහිපයක් මෙසේය.


බත් දීසියක චීන බත් කූරු (චොප්ස්ටික්ස්) උඩු අතට සිටුවා තැබීම මරණයක් සිදු වන බවට ලකුණක්. හිරු එළිය තිබියදී බකමූණෙක් දැකීම අසුබයි. උත්සවයකදී ඉටිපන්දමක් නිවී යෑමෙන් අදහස් කරන්නේ දුෂ්ට ආත්ම ළඟ සිටින බවයි. කුඩයක් බිම වැටීම එම නිවසේදී මිනී මැරුමක් සිදුවන බව අඟවයි. ඇඳ මත තොප්පියක් තැබීම අසුබයි. සීනු නාද කිරීමෙන් භූතයන්ව පලවාහරින්න පුළුවන්. උපන්දින කේක් එක මත තිබෙන ඉටිපන්දම් සියල්ලම එක විටම නිවා දැමීමට සමත් වුණොත් ඒ අවස්ථාවේදී පතන ඕනෑම දෙයක් ලැබේ. කොස්සක් ඇඳකට හේත්තු කර තැබුවොත් කොස්ස තුළ සිටින දුෂ්ට ආත්මයන්ට පුළුවන් ඇඳට ගුරුකමක් කරන්න. ඔබ ඉදිරිපසින් කළු පූසෙක් පාර හරහා මාරුවීම අසුබයි. ගෑරුප්පුවක් බිම වැට්ටුවොත් පිරිමියෙක් නිවසට පැමිණෙනවා. දොරට මුහුණ ලා අලියෙකුගේ පින්තූරයක් එල්ලුවොත් එයින් වාසනාව අත් වෙනවා. ප්‍රධාන දොරටුවට ඉහළින් අශ්ව ලාඩමක් එල්ලීම වාසනාවන්තයි. නිවසක පිටත බිත්තිය ආවරණය වන සේ ඉත්ත වැල් (ivy) වවනවා නම් එම නිවස දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂා වෙනවා. ඉණිමඟක් යට ඇවිදීම අසුබයි. කැඩපතක් කැඩීම අවුරුදු 7ක් පුරාම අසුබ ඵල ලැබීමට හේතු වෙනවා. ගම්මිරිස් ඉහිරුණොත් හොඳම මිතුරා සමඟ එකඟ නොවීමක් ඇති වෙනවා. ලුණු ඉහිරුණොත් අසුබ ඵල අත් වෙනවා. එහෙත් ඉන් සුළු ප්‍රමාණයක් වම් උරහිසට උඩින් වීසි කර දැමුවොත් එය මඟහරවාගත හැකියි. පැද්දෙන පුටුවකින් නැඟිට යන විට එය දිගටම පැද්දෙන්න ඉඩ දුන්නොත් භූතයන්ට ඇවිත් එහි ඉඳගන්න පුළුවන්. සපත්තු උඩුබැලි අතට හරවා තැබීම අසුභයි. යමෙක් මිය ගිය විට ඔහුගේ ආත්මයට ගෙයින් පිට වී යන්න ගෙයි ජනෙල් ඇර තැබිය යුතුයි ආදී වශයෙනි. 


පොදුවේ බලද්දී බොහෝ මිථ්‍යා විශ්වාසවලට මුල් වී තිබෙන්නේ මළවුන්ගේ ආත්මවලට නැතහොත් ඕනෑම ආකාරයක භූතාත්මයකට ඇති බියයි. සාමාන්‍යයෙන් යම් යම් සිද්ධීන් අර්ථ දක්වන්නේ තර්ජනයක්, අනතුරු ඇඟවීමක් හෝ ආශිර්වාදයක් මගින් භූත ආත්මයන් මනුෂ්‍ය ලොවේ අය සමඟ සම්බන්ධ වීමට දරන වෑයමක් ලෙසද පෙන්වා දිය හැකියි.
සුව කිරීම හා වෙදකම බොහෝදුරට මිථ්‍යා විශ්වාස හා බැඳී තිබේ. නවීන ලෝකයේ බහුතරයකට නවීන බෙහෙත් හේත් ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නැත. බොහෝවිට ඒවා ලබාගැනීමත් දුෂ්කරය. ඒ නිසා මිථ්‍යා විශ්වාස, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර හා භූතවාදය ආධාරයෙන් ලෙඩ සුව කිරීමට හෝ ඒවා වළක්වාගැනීමට ඔවුහු වෑයම් කරති. තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර දන්නා, තමන්ගේ භාෂාව කතා කරන කට්ටඩියෙක් හෝ මායාකාරයෙක් සමඟ කටයුතු කිරීම බටහිර වෙදකම් කරන වෛද්‍යවරයෙක් සමඟ කටයුතු කිරීමට වඩා පහසුයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන. මිථ්‍යා මත දිගින් දිගටම පවත්වාගෙන යනු ලබන්නේ මේ ආකාරයටයි. මේ අනුව, සම්ප්‍රදායානුකූල මිථ්‍යා විශ්වාසයන්ට අනුව ලෙඩ රෝග හා හදිසි අනතුරු සිදු​ෙවන්නේ අහම්බෙන් නොව ආත්ම විෂයෙන් ඇති වන බලපෑම් නිසය. මේ නිසා මිය ගිය මුතුන්මිත්තෙක් යම් දෙයක් ගැන අසතුටින් සිටිනවා යයි කට්ටඩියෙක් කියා සිටින්න පුළුවන. එහෙමත් නැත්නම් එම පුද්ගලයා ලෙඩ වී ඇත්තේ හෝ ඔහුට අනතුරක් සිදු වී ඇත්තේ සතුරු කට්ටඩියෙකුගේ උපකාරයෙන් යමෙක් ඔහුට විරුද්ධව ශාප කර ඇති නිසයි කියා ආත්ම බන්ධනකරුවෙක් අඟවන්න පුළුවන.


ලෝ පුරා විවිධාකාර මිථ්‍යා විශ්වාසයන් පවතී. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නේ එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ප්‍රබන්ධ කථා හා විවිධ තත්ත්වයන් නිසාය. එහෙත් අදෘශ්‍යමාන ආත්ම විෂයේ යම් බලවේගයක් හෝ පුද්ගලයෙක් සතුටු කරන්න අවශ්‍යයි යන විශ්වාසය ඒ සෑම මිථ්‍යා මතයකටම පොදු වූ සාධකයකි. 
අද ​ෙවනවිට වත්සලාගේ නිවසේ සියලුදෙනාම ගැටලු වලින් තොරව සතුටින් ජීවත් වෙති. 


මෙහි විද්‍යාත්මක පසුබිම විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස විස්තර කර දුනි. වත්සලාගේ චරිතය දෙස බලන විට ඇය දැනුමෙන් අඩු සාමාන්‍ය පෙළ දක්වාවත් අධ්‍යාපනයක් නොලද කාන්තාවකි. ඒ නිසාම ඇය මිථ්‍යා විශ්වාස කෙරෙහි මහත් වූ විශ්වාසයක් ඇත්තියකි. ඇයට අහඹු ලෙස සල්ලි ගස ලෙස නැතහොත් Lucky plant, Money plant යන අනුවර්ත නාමවලින් හඳුන්වන ශාකය ගැන දැනගන්නට ලැබිණි. ඉන්පසු ඒ ගැනම සිතමින් ඒ කෙරෙහිම විශ්වාස කරන්නට වූවාය. එහෙත් එයින් හරිහැටි ප්‍රතිඵලයක් නොලැබුණු නිසාවෙන් ඇය දිගින් දිගටම මානසික ආතතියට පත්විණි. අප විසින් මෙහිදී සිදුකළේ ඇයගේ මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමත් නිවසේ අනිත් අයගේ මානසික තත්ත්වය සුව අතට ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම පමණකි. ඔබ සැමට දෙන්නට තිබෙන අවවාදය නම්, ගසකට සිතූ පැතූ සම්පත් ලබාදීම, ධන සම්පත් ලබාදීම ආදී කිසිවක් සිදු කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවය. මෙය පැහැදිලි වශයෙන්ම මිනිසුන්ගේ සිත් තුළ ඇති මිථ්‍යා මතයක් පමණකි. 


සත්‍ය වශයෙන්ම මෙවැනි ගස්, සල්ලි ගස නොව මෝඩයාගේ ගස ලෙස නම් කිරීම වඩාත් උචිතය. මෙවැනි බොරු මිථ්‍යා පසුපස ගොස් තමන්ගේ කාලය, ධනය මනසේ සහනය නැති කර නොගන්නා ලෙස මුළු මහත් සමාජයෙන්ම ඉල්ලා සිටින බව විද්‍යාකුලපති මහතා පවසයි. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත