මාළු බෑම බබීගේ එක් විනෝදාංශයක් විය. ඔහුගේ නියම නම රොමේන් වන අතර ගමේ මිතුරන් ඔහු ඇමතුවේ බබී නමිනි. පාසල් ගොස් නිවසට පැමිණෙන බබී හවස් යාමයේ නිවස ඉදිරිපිට ඇති මහකුඹුර වෙත යන්නේ තම බිලී පිත්තද අතැතිවය. කිතුල් පිත්තත්, තංගුස් පොටත්, කාවයි කට්ටත්, පණු පොල් කට්ටත්, කුඩා පිහිතලයකුත් ඔහුගේ ආම්පන්නවලට අයත් වේ.   


ගැඩවිල් පනුවන් ගෙන නොයෑමට ඔහු පරිස්සම් වේ. තංගුස් පටින් කට්ට ගැට ගැසීම පුරුදුකාරයකුට මිස හැම කෙනාටම කළ නොහැක්කකි. සරුංගලයට සේරුව දැමීමත් ඒ පිළිබඳ ශූරයකු විසින්ම කළ යුත්තකි. තම සොහොයුරියනට හොර රහසේම නිවසේ මුළුතැන්ගෙය පැත්තේ දොරටුවෙන් පිට වී හරස් පාරට ​සේන්දු වී දෙවට පාරට පිවිසෙන බබී මහත් උනන්දුවකින් මේ කටයුත්තේ නිරත වේ. අක්කලා දැනගත්තොත් සවසට නිවසට පැමිණෙන පියාට පැමිණිලි කරන බවත් එවිට හොඳ හැටි වේවැල් කසායෙන් සබ්බුව ලැබෙන බවත් බබී දනී. පොල් කොස් දෙල් පුවක් ගස් අතරින් හෙමින් හෙමින් ගමන් කර වැටකෙයියා, තුන්හිරියා, වෙල්ආත්තා, කදුරු ගස් සහිත කුඹුරට පිවිසෙන බබී ගොරක් ගහක් යට නවතී. ඔහුගේ සුපුරුදු තිප්පොළේ බිම ඇණ තබාගෙන පරිස්සමින් කටුවට පණුවා අමුණා ජපන් පාසිවලින් පිරුණු කුඹුරේ හිස් ඉඩක් බලා නියමිත තැනට තංගුස් පොට අල්ලා එය පතිත කරයි. මාළු බෑමේදී බබීගේ වඩාත් සිත් ගත් අවස්ථාව ලෙස සැලකෙන්නේ ඇම ගිලින මාළුවා එය ඇදගෙන යන විට ඉපිල්ල රඟ දෙන දර්ශනයයි. විටෙක එය දිය යටට ගමන් කරයි. නැවත උඩ පාවේ. නැවත දිය යටට යයි. නැවත උඩ පාවේ. යටම ඉපිල්ල රැඳෙන විට මාළුවා ඇම ගිල ඇතැයි දැනේ. ඊට මීටර් පනහක පමණ දුරින් ඔහුගේ මිතුරකු වූ බුල්ටෝ ද මාළු බායි. බුල්ටෝගේ නියම නම සුනිමල්ය. බුල්ටෝ මාළු බෑමට අතිදක්ෂයකු බව මිතුරෝ දනිති. ඇම ඇදගෙන යන විට ඉපිල්ල බලා නියමිත වේලාවට පිත්ත ගස්සා ගැනීමට ඔහු ශූරය. ඇම අටවා තබා මේ දෙදෙනා බොහෝ විට හමු වී සතුටු සාමීචියේ යෙදෙති.   


“අද ඉස්කෝලේ මාර වැඩක් උණානේ” බබී කියන්නට විය.   
“ඒ මොකක්ද?”   
“අපේ ටීචර්ගේ රුපියල් පනහක් නැති වෙලා.”   
“ඉතින්.”   
ළමයි ඔක්කොම ලොකු සර් ළඟට ගෙනිහිල්ලා ප්‍රිෆෙක්ට් අයියලා ළමයි පරික්ෂා කළා.   
“ඉතින් සල්ලි හම්බ උණාද?”
“නැහැ, ගත්ත කෙනෙක් හොයා ගන්න බැරි වුණා.”   
“හරි පව්නේ.”   
බබී හොරා බව මිතුරන් අතර මතයක් පවතින බව බුල්ටෝට මතක් විය.   
“අන්න අන්න ලූල් පැටව් රංචුවක්” බබී කෑ ගැසුවේය. රතු පැහැති ඉතා කුඩා මසුන් රංචුවක් ජලයේ ගමන් කරති.   
මහ ලූලා ළඟම ඇති.   


විටින් විට පිත්ත අටවා ඇති ස්ථානයට ගොස් දෙදෙනාම පරීක්ෂා කරති. ඉපිල්ල එහාට මෙහාට කීපවරක් සෙලවේ. කුඩා මාළුන් ඇමට කොටන බව එයින් කියා පායි. පිත්ත උස්සා බැලූ බබීට ඇම කා ඇති බව පෙනුණි. නැවත සීරු මාරුවට පණුවකු ඇමිණූ ඔහු ඇම සහිත තංගුස් පොට කුඹුරට විසි කරයි. ඇතැම් දිනක ලූල් පැටියකු, මඩකරියකු, කොරලියකු ඉරටුවක අමුණාගෙන කුස්සිය පැත්තෙන්ම හිමින් සීරුවේ නිවසට ඇතුළු වෙයි.   
කුස්සියේ වැඩ කරන ඩොලී අක්කා ඒ මාළු කූරි කීප දෙනා මිරිස් අතගා පදමට බැද ගනී. අනික් අයට හොර රහසේම බබීගේ බත් පංගුවට ඒවා බෙදනු ලබයි. ලූලා, ජපන් බට්ටා, මඩකරියා, කොරලියා අහිංසක මාළුවන්ය. හුංගා, කාවයියා බිහිසුණු උන්ය. කාවයියා ගොඩට ගත් කල සිරුර පුම්බා කටු විහිදා එහාට මෙහාට දඟලන විට බබීට ඇති වන්නේ ඉමහත් බියකි. තමා බයගුල්ලකු යැයි ඔහු සිතයි.   


“අද නම් වහින්න වගෙයි නේද? බබී.”  
“ඒ වගේ තමයි.”   


වැහි දිනවල මාළුවන් උඩ පැන පැන රඟදැක්වීමට රිසියක් දක්වයි. සවස් වන විට මුළු පරිසරයම අඩ අඳුරෙන් වැසී ගියේය. මඳ සිසිල් සුළඟක් සමගම අහස වලාකුළින් බර වී වැහි පොද වැටෙන්නට විය. ඒ අතර බුල්ටෝ බිලි පිත්තත් ගෙන හනික නිවස වෙත පා නගන බව බබී දුටුවේය. බුල්ටෝ ඉගෙනීමට අදක්ෂ රෝගී මිතුරකු බව බබී දනී.   


අද නම් ලූලකු අල්ලා ගන්න පුළුවන්.   
එසේ සිතූ බබී කටුවට දණ්ඩියකු අමුණා කුඹුරට බැස ඇළ වෙත ගමන් කළේය. ඇළ මැදට දණ්ඩියා විසි කර කිතුල් පිත්ත වැරෙන් ඉවුරේ මඩේ සිටවීය. ආපසු ගොඩට පැමිණ ගොරක් ගස් සෙවණේ ඇන තබා වාඩි ගත්තේය. හැඩි දැඩි කබරයෙක් ගොඩ සිට දිව විත් ජලයට පැන පාසි අතරෙන් නොපෙනී ගියේය. කොරවක්කන් කීප දෙනෙක් වැටකෙයියා ගාලේ සැරිසරති.   


දිනක් බුල්ටෝ උන් පසු පස හඹා ගොස් උන් අල්ලාගෙන ගිය ආකාරය මතක් වේ. අවට පරිසරයේ පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් දක්නට නැත. මීටර් පනහක පමණ නුදුරින් පිහිටා ඇත්තේ බොරු කියන රීටාගේ පැල්පත වන අතර එහිද කිසිවෙකුත් දක්නට නැත. වර්ෂාව ක්‍රමයෙන් ධාරානිපාත වැස්සක් බවට පෙරළුණි. ආත්තා ගස් වේවැල් පඳුරු අතරින් පෙරේතයන්, භූතයන්, හොල්මන් කරන බවක් බබීට හැඟේ. යක්ෂ පරික්ෂාවලදී මිකායෙල් දේවදූතයාගේ යාච්ඤාව කියන්නට යැයි පාසලේදී ටීචර් ඉගැන්නුවා ඔහුට මතක් විය. මෙතෙක් වෙලා ඇසිපිය නොහෙළා බලා සිටි බිලිපිත්ත ඇළට ඇල වෙනවා ඔහුට දිස්විය. ඉපිල්ල ඇදගෙන ගොස් මහ ලූලකු ඇමට අසු වී ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂය. ජබොස් ගා ධාරානිපාත වර්ෂාවෙම කුඹුරට පැන ගත් ඔහු ඇදෙමින් වැටෙමින් දණිපණි ගාගෙන ඇළ කරා පියමං කරන්නට විය. බිලිපිත්ත අතට ගත් ඔහුට දැනුණේ මහත් බරකි. වීරිය ගෙන දෙඅතින් ගත්ත පිත්ත උඩට එසවීය. දිස් වූයේ බිහිසුණු දසුනකි. මහ දියබරියකු ඇමට ඇසු වී ඇඟට වැදී පිටුපසට ගොස් නැවත සිරුරේ දැවටී ඉදිරියට පැද්දී ගියේය. එසැණින්ම විදුලි කෙටීමක් හා පරිසරයම දෙදරුම් දෙමින් හෙණ හඬක් ද පැතිර ගියේය. මුළු සිරුරම කිළිපොළා ගියේය. අකුණක් වැදී මිය යාවි යයි ඔහුට සිතුණි. බිලිපිත්ත ඇළට විසි කර දැමූ බබී හනික වැටි වැටී ගොඩට පැමිණ ඉරටුවේ අමුණා ඇති මාළු කූරි කීප දෙනා සමග එය රැගෙන ගස් අතරින් පසුපසින් හඹා එන හොල්මන් පිරික්සමින් පිදේනි තටුවක් ද පසු කරමින් නිවස කරා දුවන්නට විය.   


“අන්න තාත්තේ අරූ ඇවිල්ලා.”   
බබීගේ පොඩි අක්කාගේ හඬය. ඇය සමග නිතරම ඔහු වෛරයෙන් පසු වේ. නිතරම දෙන්නා අතර රණ්ඩු සරුවල් සිදුවන අතර ඔහු ඇයට පහර දී දිව යයි. අවස්ථාවක් ලද විට ඇය ද සූරා කයි. එක ළඟ හැදෙන අක්කලා මල්ලිලා එහෙම වන්නට ඇතැයි මල්ලිට සිතේ. අක්කා රණ්ඩු කෙක්කකි.   
​කෝ ඒකා ආවද?   


“මේ ඉන්නේ මූ කුස්සියේ දොර මුල්ලේ. හඩු ගඳේ බෑ. හොඳටම තෙමිලා. පණු ගඳේ බෑ.”   
පණු ගඳ දින ගණනක් පවතින බව සත්‍යයකි. පියා හනික පැමිණ පුතාගේ අතින් අල්ලාගෙන නිවස තුළට ඇදගෙන ගියේය. පොඩි අක්කා ටයි පටියක් ගෙන තාත්තට දුණි. එක් කෙළවරකින් දෙඅත් ගැට ගසා නිවසේ උළුවස්සේ කණුවක බැඳ වේවැල ගෙන හොඳ හැටි පුතාට තඩි බෑවේය.   
“හොඳ වැඩේ ඕකා රස්තියාදුවේ යනවාට.”   


බබී ඒ සියල්ල මුරණ්ඩු සිතින් ඉවසා සිටියේය. ලොකු අක්කා පැමිණ බැමි ලිහා ඔහු නිදහස් කළාය. ලොකු අක්කාට මල්ලී වඩාත් ළෙන්ගතුය.   
“ඒකියි තාත්තයි මැරෙනව නම් හොඳයි. රෑට ගෙදරින් පැනල යන්න ඕන” බබීට සිතුණි.   


ඔවුන්ගෙන් පළිගැනීමට සිතු බබී රාත්‍රී ආහාර නොගෙන වේදනාවෙන්ම නින්දට ගියේය.   


ලූල් පැටියයි, මඩකරියයි ඉරටුවත් සමග මිදුලේ එහාට මෙහාට දඟලමින් සිට මිය යන්නට ඇතැයි මහ රෑ බබීට සිහි විය. හෙමින් සීරුවේ නැගිට ගත් බබී පියවර තබමින් ඇඳ විට්ටමේ එල්ලා තිබූ තාත්තාගේ කෝට් සාක්කුවෙන් රුපියල් දහයක් ගෙන නිදා ගත්තේ පළිගැනීමට වෙන මඟක් නොතිබූ නිසාය. 

 

කැනීෂියස් පලිහවඩන