​කොළොම්පුරේ ජීවිතේ   

 

 

මෙරට සිනමා විචාරකයන් හා ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්, කලාකරුවන් සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ අපේ පරපුරේ පාසල් සමයයි. අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා ප්‍රධාන නගරවල ස්ථාපිත කර තිබුණු ඒ සැප පහසු සිනමාශාලාවල පටන් ප්‍රාදේශීය උපප්‍රධාන නගරයන්හි පවත්වාගෙන යනු ලැබූ අවම පහසුකම් සහිත චිත්‍රපට ශාලාවල දිනපතා දර්ශන වාර තුන හතරක් අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන් පිරී ගියේ මේ කියන කාලයේ දීය.   


අපේ ගමට අයත් නගරය වූ ඇල්පිටියේ ද එකල ලෑලි හෝල් දෙකක් තිබුණි.   


සිමෙන්ති හා ගඩොල්වලින් තොරව මුළුමනින්ම ලෑලි උපයෝගී කරගෙන මෙම චිත්‍රපටශාලා තනා තිබිණි. පාසල් යන සන්දියේ දී මව්පියන් සමග වරු ගණන් පෝලිමේ ගතකර චිත්‍රපට නැරඹුවා අද මෙන් මතකය. ඉන්පසුව තනිව කරගැනීමට හැකි කාලයේ දී අම්මාට කනපින්දම් ගසා කෙසේ හෝ අතට මුදලක් ලබාගෙන ෆුට්සයිකලයෙන් ඉගිල්ලී ගොස් චිත්‍රපට නැරඹුවා ද මතකය.   


මේ කියන කාලයේ දී ගැලරි ටිකට් එකක මිල ශත 60කි. දෙවන පන්තිය රු 2.10කි. මේ නිසා මවගෙන් එම මුදල ඉල්ලා ගැනීම ද අපහසු නොවීය. අනුරාධපුර ප්‍රදේශයේ ඉපිද අපරාධකරුවකු ලෙසට මුළු රටේම ආන්දෝලනයට ලක්ව හිරේ දී මරණ දණ්ඩනයට නියම වූ සිරිපාල හෙවත් මරුසිරාගේ ජීවිත කතාව පදනම් කරගෙන සිරිපාල හා රන්මැණිකා නම් වූ චිත්‍රපටය තිරයට පැමිණියේ මේ කියන කාලයේ දීමය. මෙය එකල ආදායම් වාර්තා බිඳහෙලමින් දිවූ සිනමා පටයක් විය. මම ද ඇල්පිටියේ නිව්රේකා සිනමාහලේ උදෑසන 10.30 දර්ශන පෝලිමට එකතු වී දහවල් 2.30 දර්ශනය නැරඹීමි. ඒ තරමට පෝලිම දිගය.   


මෙහි සිරිපාල හා සගයා ප්‍රථමයෙන් අපරාධ ලෝකයට යොමුවන්නේ පික්පොකට් ගැසීම වැනි සුළු සුළු වැරදි ක්‍රියාවලියකිනි. පොකට් ගැසීමට ගුරුහරුකම් ලබාදෙන්නේ පොකට් කල්ලියක් මෙහෙයවමින් එහි නායකයා වශයෙන් ද කටයුතු කරන පුද්ගලයෙකු විසිනි. සිරිපාල හා මිතුරා ඉතා ඉක්මනින්ම ශාස්ත්‍රය ප්‍රගුණ කරන අතර එය ඔප්පු කර පෙන්වන්නේ තම නායකයාගේ පොකට්ටුවට ද විදීමෙනි.  පොකට් ගැසීමේ කලාව අද කාලානුරූපව වෙනස්වී ඇත්තේ නවීන තාක්ෂණයත් සමග නමුත් එවැනි පොකට් කල්ලියක් හා එයට නායකත්වය දෙන පුද්ගලයකු දැන හඳුනාගෙන කතාබහ කිරීමට මට අවස්ථාවක් ලැබුණේ මාහට උපකාර කරන පෙර ලිපියක දී ඔබට හඳුන්වාදුන් මගේ ලංගම බස් කොන්දොස්තර මිතුරා විසිනි. ගමේ ඔහු විසින් කරගෙන යන පලතුරු කඩයට පලතුරු මිලට ගැනීමට කොළඹ එන දිනෙක අපි මුණගැසුණෙමු.   


මම හෙට පිටකොටු එනවා පුළුවන්නම් උදේ 10 ට විතර මුණගැහෙන්න බෝගහ ළඟදී ඔහු මට කෙටි පණිවුඩයක් මගින් දන්වා තිබිණි. නියම කරගත් දින දහවල් 11.30 පමණ වනවිට මිතුරාගේ වැඩ කටයුතු හමාර කරගත් පසුව කළුතරට එන බසයක නැගී පැමිණ රත්මලානේ ගොළුමඩම හන්දියෙන් බැසගතිමු.   


එතැන් සිට තුන්රෝදයක පිහිටෙන් අතුරු මාවත් දෙක තුනකින් හැරි හැරී ගිය අපි ගෙවල් පේළි දෙකක් අතර පටු මාවතක කෙළවරේ නතර වූයෙමු. මේක තමයි පොට් එක පැරණි පෙනුමක් සහිත ඉදිරිපස ලැටිස් පටිවලින් ආවරණය කෙරුණු නිවසක් වෙත අත දිගුකළ රත්මලානේ දී අපට එකතු වූ මගේ මිතුරා දැන හඳුනාගෙන සිටි කොණ්ඩය බැඳි තරුණයා පැවසීය. එන්න අප සමග ඉස්තෝප්පුවට ගොඩවූ ඔහු වසා තිබූ පැරණි පන්නයේ දොරට කිසියම් අමුතු තාලයකට තට්ටු කරමින්ම අපට ආරාධනා කළේය.   


සිවිලිමක් නොමැති උස්වහලයේ සිට යට ලීයක සිට පැමිණෙන දිගු වයරයක එල්ලී සිටි පැරණි තාලයේ ටංග්ස්ට්‍රන් විදුලි බුබුලෙන් ඒ වනවිටත් මළානික කහ පැහැ එළියක් නිකුත් කරමින් තිබිණි. ගෙදර කවුරුත් නැතිවද? මගේ මුවින් පිටවූයේ දැල්වී තිබුණු විදුලි බුබුල ඉලක්ක කරගෙනය.   


මෙහි ජීවියෙකු සිටී නම් මහ දවාලේ මෙසේ බල්බ් පත්තුවන්නේ නැත. කොණ්ඩ තරුණයාගේ මුරපද තට්ටුවෙන් පසු මද වේලාවක දී කිරි කිරිස් හඬින් දොර පළු දෙක දෙපසට වී කාන්තා මුහුණක් දර්ශනය විය. ආ උඹද මම බැලුවෙ මේ අවේලාවේ කවුද කියල. අද ජොබ් එකට ගියේ නැති ද මුදලාලි අද උඹට පඩිය දෙන එකක් නැහැ.   
මැඩම් මම වැඩ. මේ වෙලාවෙ බස්වල එච්චර සෙනඟ නෑනේ. මේ දෙන්නව මුදලාලි ළඟට දාලා මම යනවා. ප්‍රශ්න නොකළ නමුදු මැඩම්ගේ විමසිලිමත් දෑස් අප දෙදෙනා අබියස නතර විය.   


මම මේ දෙන්න ගැන මුදලාලිට කියලයි තියෙන්නෙ. ඔව් මට මුදලාලි කිව්ව මේ එක්කෙනෙක් නම් මම මීට කලින් කොහේදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඈ එලෙස කීයේ මා දෙස බලාගෙනය. බොකුටු වරලස පස්සට පීරාගෙන මනා ලෙස ගැට ගසාගෙන හුන් මැඩම් මැදි වයසේ වුවත් එක්වරක් දුටුපසු යළිත් වතාවක් හැරී බලන්නට හිතෙන තරමට රූබරය. අත් නැති බ්ලවුසයට හිරවුණු පිම්බුණු තිසරුත් එළියට ඒගත නොහැකිව වේදනාවෙන් දඟලනවාක් මෙනි. සුදු පැහැ බඩවත වියත් දෙකක් පමණ නිරාවරණය වන අයුරින් රතු පසු බිමේ කොළ පාට පුංචි මල් වැටුණු ලුංගියකින් යටිකය වසාගෙන ආඩම්බරකම පිරුණු මුහුණකින් හා නුරාව හා කපටිකම පිරුණු දෑසින් ආගන්තුක අප විනිවිද යන බැල්මෙන් බලා හිඳින්නීය. එන්න අපි යමු කොණ්ඩයාගේ හඬින් මම පියවි ලොවට ආවෙමි.   


අප ඇතුළු වූ විගසම දොරපළු වැසිණි. දැඩි නිශ්ශබ්දතාවකින් හෙබි විශාල සාලයේ වූ ටොක් ටොක් හඬින් ඇසුණේ මැඩම්ගේ අඩි උස සෙරෙප්පුවල හඬ පමණකි. සාලය මැද ආරුක්කුවක් සේ නැමී ගිය බිත්තිය දෙපස පැරණි හැඩයේ සිමෙන්ති කණු දෙකකි. කණු දෙක මැද හරියේ ප්ලාස්ටික් පෝච්චි මත ඉටි මල් පඳුරු දෙකක අතු පහළට එල්ලා වැටේ. පොළොව පිඟන් ගඩොල්වලින් සරසා ඇත. මට මඩුවන්වෙල වලව්ව සිහියට නැගිණි.   


විශාල කැටයම් විදුලි පහනක් සාලය එළිය කරයි. එයට හරි මැද සුවපහසු සෝෆාවයි. කෑම මේසයත් ඒ වටකොට පුටු පේළියත්, වීදුරු කැබිනෙට්ටුවත් ඊට මදක් එපිටිනි.   
වාඩිවෙලා ඉන්න මුදලාලි දැන් එයි. එසේ කියාගෙනම ඒ විශාල සාලය මැදින් මැඩම් අතුරුදන් විය.   


පරණ පාටයි නේද? ඔව් මේක පුංචි ගේ වුණාට සුද්දගෙ කාලෙ අපේ සිංහල වංශක්කාරයෙක් හදපු එකක්. සාලයේ මැද හරියෙන් ඇරඹුණු ඒ කටහඬ අප අසලටම විත් නැවතුණේය. සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසීගත් උස පුද්ගලයෙකු අප අසල සිටගෙන සිටී. හොඳින් තෙල් තැවරූ කළු එකදු සුදු කෙස් ගසක් දක්නට නොමැති කොණ්ඩය මනා ලෙස පැත්තට පීරා තිබේ. ඝන කළු රාමු සහිත උපැස් යුවළ මොහුට එක්තරා ආකාරයක ගාම්භීර පෙනුමක් ලබාදී ඇත. දුටු වහාම අප අතර ඉඳගෙන සිටි කොණ්ඩයා සුටුස් ගා පුටුවෙන් නැගිට දෙඅත් පසුපසට කරගෙන පසෙකට විය. අප දෙදෙනා ඉඳගෙනම ඔහු දෙස බලා සිට නැගිටීමට සැරසුණෙමු.   


ඉන්න ඉන්න අතින් සන් කළ හෙතෙම අප ඉදිරියේ සෝෆාවේ ඉඳගන්නා ගමන්ම හිටගෙන සිටින කොණ්ඩයා දෙසට සැර බැල්මක් හෙළීය.   
රාජු දැන් උඹ පලයං. රස්සාවට පරක්කු වෙනවනේ.   


ඕකේ මුදලාලි අනතුරුව සාලයේ පසුපසට හැරී කරුණා ඔය බොන්න මොනවහරි ගේන්න යනුවෙන් හඬ නගා අප දෙස බැලීය.   


සාමාන්‍යයෙන් මම අමුත්තො මුණගැහෙන්න කැමති ජාතියෙ කෙනෙක් නෙමෙයි. මගේ පිරිස හැර පිට කවුරුවත් මේ දොරෙන් ඇතුළට ගන්නෙත් නැහැ. ඒත් රාජු මගේ පැරණිම දක්ෂම ගෝලයන්ගෙන් එකෙක්. මේ හමුවීමෙන් මට කිසිම ආකාරයක අනර්ථයක් සිද්ධවෙන්නෙ නෑ කියල ඌ සහතික වුණා. මගේ කොන්දේසි ඌ ඔයාලට කියන්න ඇතිනේ. ඒ අනුව මාවත් මගෙ කණ්ඩායමවත් මේ තැනවත් හෙළිදරව් නොකරන තැනට වැඩ කරන එක ඔයාලගෙ අනාගතයට හොඳයි. මට වංචා කළොත් බොහොම ඉක්මනින් ඒකට වන්දි ගෙවන්න වෙයි.   


අනිත් එක මේක සම්මුඛ සාකච්ඡාවක් නෙමෙයි. සුහද කතාබහක් විතරයි. මේ දෙන්නගෙන් පත්තර කාරය ඔහේ නේද? ඔහු ඒක මා විනිවිද යන තාලයේ බැල්මක් හෙළීය.   
ඔව් ඒත් කොහොමද මට වාක්‍යය සම්පූර්ණ කර ගැනීමට ඉඩ නොදුන් ඔහු මහා සාලය දෙදරා යන ලෙසින් සිනාසුණි. 

 
අඳුරගත්තෙ කොහොමද කියලනේ අහන්නෙ. ඔය හොර මූණෙන් කපටිකම උතුරන ඇස් දෙකෙන්. ඒ ඇතිනේ හරි දැන් අපි යමු කන්තෝරු කාමරේට. අපි මේ දැවැන්ත පුද්ගලයා පසුපස වැටුණෙමු. සාලයේ දකුණු පසින් උඩට වැටුණු ලී තරප්පුපෙළ තරණය කළ අප උඩු මහලේ තවත් විශාල කාමරයකට පිවිසුණෙමු.   


නිවසේ පිවිසුම් දොරටුවේ පටන් දිස් වූ ‘‘පැරණිකමට’’ සාක්ෂි දෙන දෙයකට මේ තුළ වුණේ බිත්ති හා ජනෙල් කවුළුවලට උඩින් තිබූ කොන්ක්‍රීට් කොටු රටාව පමණි. අනෙක් සියලු දෑ නවීන පන්නයටය. කුටිය මැද විශාල කළුවර මේසය අසල එයටම සරිලන කැටයම් පුටුවකි. මේසය මත වයර් සහිත දුරකථන 4කි. කුටිය කොටස් දෙකකට බෙදී තිබුණේ ඇලුමිනියම් හා වීදුරුවලින් නවීන පන්නයටය. මෙම කොටස් දෙකම වායු සමනයෙන් යුතුය. වීදුරු අවරණ කොටසේ එක පෙළට තිබූ මේස මත ඩෙස්ක් ටොප් පරිගණක 5කි.

 


 මතු සම්බන්ධයි...  


තිලක් පුෂ්පකුමාර