IMG-LOGO

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා


ප්‍රේමකීර්ති ද අල්විස් අම්මා වෙනුවෙන් ලියූ ‘ ආදරයේ උල්පත වූ අම්මා ’

ගීයක පද රුත

 

ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ‘අම්මා’ යන පදය අර්ථ ගන්වා ඇත්තේ මව, වැඩිමහලු ස්ත්‍රී, පොළෝමහී කාන්තාව, මුදු මණිමේකලාව, සරස්වතිය, සීතාපරමේශ්වරිය, පත්තිනි දේවිය, කිරිඅම්මා, බාලගිරි ආදී වශයෙනි. අම්මා ගැන කවි සීපද ගී කොතෙක් ලියැවී ඇද්ද? ඒ කිසිවෙකින් මව් ගුණ කියා නිම කිරීමට බැරිය.   

මව ගැන ලියූ ප්‍රකට ගේය පද රචකයන්ගේ නිර්මාණාත්මක ගීතවලින් අපේ ගීත සාහිත්‍ය පෝෂණය වී ඇත. ඒ අතරින් වික්ටර් රත්නායකයන් ස්වර නිර්මාණය කොට ගායනා කළ ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ගැන එහි ගේය පද රචකයා ගෙන් මා ඇසූ ප්‍රශ්නයකට වරක් ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.   


“එක් පුද්ගලයකුගේ අති පෞද්ගලික හැඟීමක් පොදුවේ අනිත් පුද්ගලයින් අතරද ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වයට කෙළින්ම බලපාන සැටි අත්හදා බලන්නට මව් ගුණය තරම් තවත් විෂයක් අපට නෑ. අප ජීවිතය ලද්දේ මවගේ ජීවිතයෙන්. අම්මා නොසිටියා නම් මම කොයින්ද?”


ප්‍රේමකීර්ති මේ මව් ගුණ ගීතය ලියන විට චිත්‍රපට 14ක පමණ ගීත ලියා තිබුණ බව මට මතකය. ඒ අතර ඔහු ලියූ දෙව්රම් වෙහෙරේ, නිකං ඉන්න එපා කොහොම කො​හොම හරි ගහපල්ලා බන් පෙත්සම්, මිනි ගෙජ්ජි, බොරු කකුල් කාරයා, එන්ඩ එන්ඩ වාඩිවෙන්න, අම මාදරෙයි මම ආදරෙයි ගීත ජනප්‍රිය වෙමින් තිබුණි.   


මට එදා මතකයට ආවේ අප සමඟ ආනන්දයේ ඉගෙන ගත් ප්‍රේමකීර්ති හමුවීමට ඔහු පදිංචිව සිටි මාලිගාකන්ද පාරේ නිවසට ගිය ගමනක්ය. ප්‍රේමකීර්තිගේ අම්මා තම පුතාට මෙන්ම ඔහුගේ මිත්‍රයන්ට ද ආදරණීය මවක් වූවාය. ඇය පින්බර මාතාවකි.   


හිටි හැටියේම වික්ටර් රත්නායකයන් ගැයූ මව් ගුණ ගීතයක් අපට ගුවන් විදුලියෙන් ඇසුණි. මේ ගීතය මුලින්ම ඇසූදා මා සංවේදී වූයේ කුඩා කලම මගේ අම්මා මිය ගිය නිසාය. එහෙත් සිහිනෙන් ගෑ සුවඳක් සේ ඒ ගීතය මම සිතින් ස්පර්ශ කළෙමි.   


සතියකට පමණ පසු ගුවන් විදුලියේ කොරිඩෝවේදී ප්‍රේමකීර්ති මට හමු විය. මම ගීතය අගය කරමින් ඒ ගැන ඔහුගෙන් විමසීමි.   


“මේ ගීතය මගේ අතින් ලියැවුණේ එක්තරා උණුසුම් අවස්ථාවක. මගේ අම්මා මං ලියන හැම ගීතයක්ම වගේ ගුවන් විදුලියෙන් අහන එක පුරුද්දක් වශයෙන් කළා. ඒ ගීතවලින් ඇය අමුතු වින්දනයක් ලැබුවා. මට මතකයි, එක දවසක් දා අපි ගෙදර කතා කර කර ඉන්න වෙලාවක අම්මා මට මෙහෙම කිව්වා.   


‘‘උඹ බොරු කකුල්කාරයටයි, රූකඩේටයි, අරකටයි, මේකටයි හැම එකකටම සින්දු ලියනවා. ඒත් උඹ මං ගැන තවම සින්දුවක් ලිව්වේ නෑනෙ.’’


මම ඒ කතාව අහල අම්මට විහිළු කළා මිසක් ඊට පස්සේ ඒ කතාව අමතක වෙලා ගියා. ඔහොම ඉන්න කොට ඊට අවුරුද්දකට විතර පස්සෙ හිටි ගමන් අම්ම අසනීප වුණා. අපි අම්මාව ඉක්මනට රෝහලට ඇතුළත් කළා. වෛද්‍යවරු කිව්වා ඇගේ තත්ත්වය ඉතා බරපතළයි කියලා. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහුණා. ඒ වගේම පියවි සිහිය ද විකල් වුණා. කොටින්ම මා පවා අඳුන ගන්න බැරිව ගියා. මට මේක දරාගන්න බැරිව ගියා. අම්මට හිටිය එකම පුතා මං විතරයි. අම්මා බලන්න රෝහලට යන හැමවිටම මට අම්මා අර කිව්ව ඉල්ලීම මතක් වුණා. සහෝදරියන් එක්ක අපි හිටියේ හැඬූ කඳුළින්. මම ‘ආදරේ උල්පත වූ අම්මා’ ගීතය ලියලා වික්ටර් රත්නායකයන්ට දුන්නේ අම්මා ගැන දැඩි හැඟීම්වලින් පිරුණු දුක්බර හදවතකින්.

   
රත්නෙ මේ ගීතය අපි ඉක්මනට කියමු. අම්මා තවම ඉන්නේ අසාධ්‍ය තත්ත්වයක. මම වික්ටර්ට කිව්වා.   


අම්මා ගැන ලිව්ව ඒ ගීත රචනයයි මේ.   

 

ආදරයේ උල්පත වූ අම්මා  
මා ඔබගේ පුතු වූ  
ඔබ මතු බුදුවන දවසේ  
මා රාහුල කුමරුන් සේ  
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි  
සුළැඟිල්ලේ එල්ලී  

සඳ දිය කොට කිරි වතුරින්  
ඒ දියරෙන් මුව දෝවා  
දිව මතුරක්වන් නැලවිලි ගීයෙන්  
මතකයි මා නැලවූවා  
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී  
ඒ ජීවිතයට කිරි දී පණ දී  
මා දැඩි කළ අම්මා  

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා  
නිදිගන්වා යහන් ගැබේ  
දවසින් දවසට සෙනෙහස ලැබදී  
ගෙනදී දිවියට නව පණ ලැබදී  
මා දැඩි කළ අම්මා  

 

අම්මා ගැන ලියූ මේ ගීතය අහන්න ලැබුණේ නැහැ. අම්මා බොහෝ කාලයක් ගොස් යළි සුවය ලබන තුරු ඒ දිනවල මම වෙනත් ගීත ලියූවත්, මම නොඇසූ ගීතයක් වශයෙනුයි ‘ආදරයේ උල්පත’ ගීය මගේ මතකයේ ජීවත් වුණේ. එදා එය අසන්නට තරම් මානසික ශක්තියක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ අම්මගේ ප්‍රියතම ගීතය වූයේ එයයි. මෙය මගේ අති පෞද්ගලික හැඟීම්වලින් යුක්තව ලියූ ගීතයක්.”  


මේ ගීතයට ලෝකය බිහි කළ අම්මාගේ නැළවිලි ගීය පදනම් කරගත් ස්වර පද්ධතියකින් තනුව නිර්මාණය කිරීමට වික්ටර් රත්නායකයන් සමත් වී ඇත. ඒ ගීතයේ ඇත්තේ පොදු ව්‍යවහාරික ජන නැළවිලි ගී ගොනු කරගත් ස්වර ලතාවක් බව වික්ටර් කියයි. වික්ටර්ගේ නැවුම් මිහිරි ගායනා විලාසයත් හැඟීම් උද්දීපන කටහඬත් නිසා පද මාලාවේ අරුත් බර බව තව තවත් තීව්‍ර වෙයි. එහි අන්තර් වාදන සංගීත ඛණ්ඩ හා ගායනයේ පසුබිම සරසන අත්‍යන්ත නාද සමූහය ද නැළවිලි ගී ආශ්‍රිතව සකස් කර ඇත.  


වික්ටර් පවසන්නේ, මේ ගීතය ලියද්දී තම සමීප හිතවතෙකු වූ ප්‍රේමකීර්තිගේ පුද්ගලික ජීවිතය හොඳින් දැන සිටීම, ඒ දිනවල ඔහුගේ තිබුණ මානසික ස්වභාවය තේරුම් ගැනීම, දෙදෙනා අතර තිබූ දැඩි මිත්‍රත්වය හේතු කොට​ ගීතයේ සාර්ථකත්වයක් ඇතිවූ බවය.

 

 

 

 

 

 

 

 

 

 

ඒ. ඩී. රන්ජිත් කුමාර



අදහස් (1)

ප්‍රේමකීර්ති ද අල්විස් අම්මා වෙනුවෙන් ලියූ ‘ ආදරයේ උල්පත වූ අම්මා ’

ගිහාන් මධුශංක Wednesday, 19 February 2020 07:52 PM

මෙවන් විචාර තව තවත් මතු පරම්පරාවන් වෙත ගෙන යාම මහත් අගනේය. ස්තූතියි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32862 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15466 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10018 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 12 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 177 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 484 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site