ඔබ අප සිටින සමාජය විනිවිද දකින්න

 

සමාජයේ  හරස්කඩක්

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බැහැර කරමින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර වැඩි වැඩියෙන් සොයා යන සමාජ වටපිටාවක ආයුර්වේදයේ ඇතැම් ප්‍රතිකාර ක්‍රම මුදල් ඉපයීමේ මාර්ග බවට පත්කර ගැනීමට ඇතැම් ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති. වඩාත් බහුලව යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමය නම් සම්බාහනයයි. සම්බාහනය මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන නැත්නම් “ස්පා”වල මොනවද කෙරෙන්නේ කියා පහුගිය සතියේ සාකච්ඡා කළෙමු. මෙවර අපේ උත්සාහය පංචකර්ම යොදාගෙන සංචාරක හෝටල් කරන්නේ මොකක්ද යන්න සාකච්ඡා කිරීමටය.   


පංචකර්මයක් කියන්නේ මොකක්ද? අපි පහුගිය වතාවෙත් දළ වශයෙන් ඒ ගැන සාකච්ඡා කළා. ආයුර්වේදයේ පංචකර්මය යොදාගන්නේ කිසියම් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට ලබාදෙන ඖෂධ ශරීරය තුළ හොඳින් ප්‍රතික්‍රියා කිරීමට බාධාකාරී වෙන පරිදි ඇතැම් ඉන්ද්‍රියන් තුළ එකතු වී තිබෙන අපද්‍රව්‍ය, ඖෂධවලට විෂවීමට හේතු වන ඇතැම් ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට, රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන පරිදි සිරුර සකස් කිරීම, මලපහ බැහැර කිරීමේදී සිදුවන බාධා ඉවත් කිරීම ආදිය මගින් සිරුර සකස් කිරීම සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයකි. එය එවැනි ප්‍රතිකාර ක්‍රියාවලියක ආරම්භයක් ලෙස මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද යොදාගත හැකිය.   


පංචකර්මය යොදාගන්නා අරමුණ කුමක් වුවද එහි එක් ප්‍රතිකාර විදියක් අවසන් කිරීමටම අවම වශයෙන් දින පහත් හතත් අතර කාලයක් අවශ්‍ය වේ. පංචකර්මයේ ඇතුළත් ප්‍රතිකාර විධි පහකි. එනම් නස්‍ය නොහොත් නස්න, වමන, විරේචන, වස්ති හා රක්ත මෝක්ෂය. මෙම ප්‍රතිකාර ලබාදීම නිදහස්, හොඳ වාතාශ්‍රයක් සහිත පරිසරයකදී සිදුකළ යුතුය. එනම් පංචකර්ම ප්‍රතිකාර සිදුකරන ස්ථානයට හොඳින් වාතය ඇතුළුවීමට හා පිටවීමට ඉඩ තිබිය යුතුය. ජනෙල් දොරවල් වසා එවැනි ප්‍රතිකාර සිදුනොකළ යුතුය. එසේම පංචකර්මයට ලක්වන තැනැත්තා ඒ එක් එක් ප්‍රතිකාරය සඳහා දින දෙකක හෝ තුනක පූර්ව සුදානමකට ලක්කළ යුතුය. මසාජ් කිරීම හා ස්ටීම් බාත් යන ක්‍රමවේදයන් තිබෙන්නේ මේ පූර්ව සූදානම් කිරීමේ ක්‍රමවේද අතරය. එහෙත් වර්තමානයේ පංචකර්ම හෝ සම්බාහන යන නම භාවිත කරමින් කරන්නේ සම්පූර්ණ ව්‍යාජයකි.   


නස්න කිරීම මගින් ස්වසන පද්ධතියේ කෝටරයේ තැන්පත්ව ඇති අපද්‍රව්‍ය විෂ සහිත දෑ සෙම් සොටු ආකාරයෙන් නහයෙන් හා මුඛයෙන් පිට කිරීමට සැලැස්වීම සිදුකෙරේ. වමනය මගින් සිදුකරන්නේ අමාෂගත විෂ නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසේ තැන්පත්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමය. විරේචනයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටසේ තැන්පත්ව ඇති විෂද්‍රව්‍ය ඉවත් කෙරේ. රක්ත මෝක්ෂණයෙන් රුධිරයේ ඇති විෂ ඉවත් කරනු ලැබේ. මෙය බොහෝ විට සමේ රෝගවලට ප්‍රතිකාර කරනු ලබන අයට සිදුකරන පූර්ව ප්‍රතිකාරයකි.   


මේ සියලු පූර්ව ප්‍රතිකාර ක්‍රම එකම පුද්ගලයාට සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. අවශ්‍ය නම් සියල්ල කරගැනීමේ වරදක්ද නැත. ඇතැම් රෝගවලදී සිදුකිරීමට අවශ්‍යවන්නේ නස්නය හා විරේචනය පමණක් විය හැකිය. නස්න කරන්නේ සෙම් රෝගයට ප්‍රතිකාරයක් ලෙස යැයි ඇතැමුන් තුළ මතයක් තිබේ. එහෙත් නස්නය සිදුකරන්නේ සෙම් රෝගවලින් හෝ වෙනත් රෝගයකින් හෝ පෙළෙන කෙනෙකුට එම රෝගයට ප්‍රතිකාර කිරීමේදී එයට බාධාකරන පරිදි ස්වසන පද්ධතියේ කෝටරයේ තැන්පත්ව ඇති සෙම හෝ වෙනත් අපද්‍රව්‍යයන් ඉවත් කිරීමටය. සෙම රෝගයෙන් පෙළෙන තැනැත්තාටද බොන බෙහෙත් හා වෙනත් අදාළ ප්‍රතිකාර සිදුකරන්නේ නස්නයෙන් පසුවය.   


පංචකර්ම ප්‍රතිකාරය වෙනම මධ්‍යස්ථානයක වෙනම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේදයේ අවසරයක් නැත. එය සිදුකිරීමේ අවසරය තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරෙන ආයුර්වේද මධ්‍යස්ථානයක සිදුකෙරෙන පූර්ව ප්‍රතිකාර ක්‍රමයක් ලෙසය. එහෙත් විදේශිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමයක් ලෙස පංචකර්ම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ඉඩකඩ සංචාරක හෝටල් හෝ සංචාරකයන් ඉලක්ක කරගත් නිවාඩු නිකේතන හා ආයුර්වේද මධ්‍යස්ථානවලට අවසරය ලබාදී තිබේ. ඒ වෛද්‍යවරයෙකුගේ සහය තිබෙන්නේ නම් පමණි.   


ඇතැම් විදේශිකයන් ලංකාවට පැමිණෙන්නේම මේ පංචකර්ම ප්‍රතිකාරය මූලික කරගෙනය. එහෙත් ඔවුන් ඒ ගැන දැනුම්වත්භාවයක් නැති නිසා සමස්තය සඳහා ඔවුන් වෙන් කරගන්නේ සතියක හෝ දින පහක පමණ කාලයකි. නියම ක්‍රමවේදයට ප්‍රතිකාර කරන්නේ නම් එම කාලයෙන් ලබාදිය හැක්කේ පංචකර්මයේ එක් ප්‍රතිකාර ක්‍රමයක් පමණි. අැතැමුන්ට එක් දිනක් තුළ පංචකර්මයේ ප්‍රතිකාර ක්‍රම දෙකක්වත් කරගැනීමේ අවශ්‍යතාව තිබේ. ඒ ඔවුන්ගේ නොදැනුම්වත්කම නිසාය. ඒ බව වටහා දී වඩාත් හොඳම ආකාරයෙන් ප්‍රතිකාර කරනවාට වඩා ඒ විදේශිකයාගෙන් ලබාගත හැකි උපරිම ආදායම ඉපයීමේ උවමනාව අපේ පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන ව්‍යාපාරිකයා තුළ ඇති වේ. නියම ප්‍රතිකාරය නියම ක්‍රමවේදයට සිදුකර රටේ නම බබළවනවා වෙනුවට, තව තවත් විදේශිකයන් ඒ වෙත අද්දවා ගන්නවා වෙනුවට බොහෝ ව්‍යාපාරිකයන් පෙළඹෙන්නේ ලැබෙන සුද්දාගෙන් උපරිම ආදායම ඉපයීමටය. ඒ නිසා ඔවුන් පූර්ව සූදානම් හා පසු ප්‍රතිකාර කිසිවක් සඳහා ඉඩකඩක් වෙන් නොකර එකම දිනයකදී නස්නය හා විරේචනය දෙකම සිදුකරන්නට පවා පෙළඹේ. එයින් ප්‍රතිකාරය ලබාගන්නා විදේශිකයාට තමන්ගේ සිරුර නිරෝගිමත් වූවා යන හැඟීම ඇතිවෙනවා වෙනුවට ඇතැම් විට විරේචනය නිසි පරිදි අවසන් නොකිරීම නිසා නිරන්තරයෙන් වැසිකිළියට යාමේ අවශ්‍යතාවක් ඇති වී ඔහු යොදාගත් සංචාරයම අවුල්සහගත තත්ත්වයකට පත්වීමට ද ඉඩ කඩ තිබේ.   


පංචකර්මයේ සෑම ප්‍රතිකාරයකින් පසුවම අදාළ පැය ගණනාවක් පසුකරන තෙක් සුළං වැදීම, වෙහෙසී වැඩ කිරීම, අධික සූර්ය රශ්මියට ලක්වීම, සීතල, වැස්සට තෙමීම, ස්නානය, ඇතැම් ආහාර වර්ග අනුභවය සුදුසු නොවේ. එසේ වුවද අපේ රටේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පංචකර්ම ප්‍රතිකාර සිදුකරන බහුතරයක් මධ්‍යස්ථානවල මෙම උපදේශයන් හා ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරනවා ද යන ප්‍රශ්නයක් තිබේ. එබැවින් පංචකර්ම ප්‍රතිකාර ලබා පිටව යන විදේශිකයා ඇතැම් විට යළි අපේ රටට එන්න තිබෙන ආසාව පවා නැතිකරගෙන, අපේ ආයුර්වේද ප්‍රතිකාරය ගැන වැරදි සහගත අදහස් ඇති කරගෙන, ඇතැම් විට අපේ රටට දොස් පවරමින් පිටව යන අවස්ථා ද තිබේ. සමහර විට ඔවුන් තමන්ගේ හිතවතෙකු වුවද යළි අපේ රටට පැමිණීමට ඉඩ නොතබනු ඇත.   


මෙය මෙරට සංචාරක කර්මාන්තය පැත්තෙන් සිතන විට හොඳ ප්‍රවණතාවක් නොවේ. අද අපේ රටේ වෙරළාශ්‍රිතව බිහි වී තිබෙන පංචකර්ම ‘කඩ’ නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වී තිබේ. අද සංචාරකයන් බහුලවම පැමිණෙන කොළඹ නගරය ආසන්නයේ පවතින කොල්ලුපිටිය, බම්බලපිටිය, ගල්කිස්ස මෙන්ම අනෙක් පැත්තෙන් වත්තල, මීගමුව වැනි ප්‍රදේශවලද පවත්වාගෙන යනු ලබන පංචකර්ම ප්‍රතිකාර සිදුකරන ආයුර්වේද මධ්‍යස්ථාන අති බහුතරයක නියම ප්‍රතිකාර ක්‍රමය සිදුනොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අදහස වී තිබේ.   


මෙය රටක් ලෙස අපට බලපාන ආකාරය, අපේ සංචාරක කර්මාන්තයට හා එයින් ඔබ්බට යමින් අපේ රටේ ආර්ථිකයට බලපාන ආකාරය ගැන සිතා ආයුර්වේද දෙපාර්තමේන්තුව වැරදි ලෙස ප්‍රතිකාර ලබාදෙන ස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තම බල ප්‍රදේශය තුළ නිසි ක්‍රමවේදයන්ට පටහැණිව පවත්වාගෙන යන පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වසාදැමීමට පවා මේ වනවිට තීරණයකට එළඹ තිබේ.   


සාමාන්‍යයෙන් පංචකර්ම හෝ සම්බාහන මධ්‍යස්ථානයන් ආරම්භ කරන්නෙක් පළමුව තමන්ගේ ආයතනය ආරම්භ කරනු ලබන ප්‍රදේශය අයත්වන පළාත් පාලන ආයතනයෙන් (නගර සභාව, මහනගර සභාව හෝ ප්‍රාදේශීය සභාව) වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතුය. එහිදී ඔවුන් එය සිදුකරන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්වය. ඉන්පසු අදාළ පුද්ගලයා එහි ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගත යුතුය. එහිදී ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව එම ව්‍යාපාර නාමය ලබා දේ. ඒ සියල්ලෙන් පසුව මෙම ආයතනයට ලියාපදිංචිය ලබාගැනීම සිදුකළ යුතුව තිබෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශයෙනි.   


එහෙත් මේ වෙනවිට බස්නාහිර පළාතේ ආරම්භ කර තිබෙන අතිබහුතරයක් පංචකර්ම මධ්‍යස්ථාන එම ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැත. කෙටියෙන් කියන්නේ නම් ඒවාට ලියාපදිංචියක් ලබාගෙන නැත. කොළඹ මහනගර සභා බලප්‍රදේශයට අයත් කොල්ලුපිටිය, බම්බලපිටිය ආශ්‍රිත ප්‍රදේශවල ආරම්භ කර තිබෙන පංචකර්ම මධ්‍යස්ථාන තම ආයතනයේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර නැති බව කොළඹ මහනගර සභාව කියා සිටී. එලෙස ලියාපදිංචි නොවූ ‘ස්පා’ සහ පංචකර්ම මධ්‍යස්ථාන කොළඹ නගර සභා බලසීමාවේ වෙරළතීරයේ පමණක් දළ වශයෙන් තුන්සීයක පමණ ප්‍රමාණයක් ඇතැයි අනුමාන කෙරේ.   


 කොළඹ මහනගර සභාවේ කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා මෙසේ පැවසීය.   


 “වසර ගණනාවක් තිස්සේ කොළඹ ආරම්භ කර තිබෙන ව්‍යාපාර රැසක් නගර සභාවේ ලියාපදිංචි වී නැහැ. ඒක අද ඊයේ නෙවෙයි. දැන් වසර හත අටක් තිස්සේ සිදුවී තිබෙන දෙයක්. මේක අපේ ආදායම්වලටද තදින් බලපානවා. ඒ නිසා අපි මේ සියලු ආයතන අපේ සභාවේ ලියාපදිංචි කරගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා”.   


 කොළඹ නාගරික කොමසාරිස් පවසන පරිදි මේ වසර හත අටක් තිස්සේ කොළඹ මහනගර සභා බලසීමාව තුළ අලුතෙන් ආරම්භ කර තිබෙන බහුතරයක් ආයතන නගරසභාවේ ලියාපදිංචි වී නැත්නම් ඒවාට අනෙක් ආයතනවල අවසරයන් ද ලබාගැනීමට නොහැකිය. එසේ නම් මේවා නීතිවිරෝධී ආයතන වනු ඇත. නීතිවිරෝධී ආයතන පවත්වාගෙන යන්නේ නම් ඒවාට අදාළ ආයතන සේම පොලිසියත් ක්‍රියාත්මක විය යුතුව ඇත. එහෙත් මේ පංචකර්ම හෝ ‘ස්පා’ සම්බන්ධයෙන් පොලිසිය එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම ඉටුකරමින් තමන්ට ලැබුණ පෙත්සම් හා ලියාපදිංචිය අලුත් කරගැනීමට යොමුකරන ලද අයැදුම්පත් සම්බන්ධයෙන් නිරීක්ෂණය කර අදාළ ප්‍රමිතීන්ගෙන් යුක්ත නොවන ආයතනවලට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර අදාළ පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ. එහෙත් මේ දක්වා අදාළ ආයතන පොලිසිය හා එක්ව එයට අදාළව ක්‍රියාත්මක වන වේගය ඉතාමත් මන්දගාමීය.   
 කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යනු ලබන ආයතන අතරින් 27ක් සුදුසු නොවන බවට නිර්දේශ කර ආයුර්වේද දෙපාර්තමේන්තුව අදාළ ආයතන වෙත දැනුම් දී තිබේ. එහෙත් එම දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඒ අතරින් මේ වනවිට වසා තිබෙන්නේ එක් ආයතනයක් පමණි.   


බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මිය මේ ආයතන සම්බන්ධයෙන් හා පංචකර්මය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.   


 “ඇත්තටම අපි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ආයුර්වේද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. පංචකර්මය කියන්නේ වෙනම පවත්වාගෙන යා හැකි ප්‍රතිකාර ක්‍රමයක් නොවන නමුත් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට එහි අවශ්‍යතාවයේ වැදගත්කම සලකා ආයුර්වේදයක් නොවන තැනක පංචකර්ම මධ්‍යස්ථානයක් අදාළ සුදුසු වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයක් සිටීනම් අනුමත කරනවා. එහෙත් බොහොමයක් ස්ථාන මේ ලියාපදිංචියවත් අරන් නැහැ. ඒ වගේම ඔවුන් නියම ලෙස ප්‍රතිකාරය කරන්නෙත් නැහැ. සමහර තැන්වල පංචකර්මය කියලා කරන්නේ සම්බාහනය. එවැනි බොහොමයක් තැන්වලත් සම්බාහනය කියලා සිදුකරන්නේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීම. ඒ නිසා අපි පහුගිය කාලයේ බොහෝ ක්ෂේත්‍රවලින් ආ විරෝධතා ද සැලකිල්ලට ගනිමින් මේ ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒවායේ අනුමැතිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇතැම් ඒවා වසා දැමිය යුතු බවට නිර්දේශ කර අදාළ ආයතනවලට දැනුම් දී තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මකවන්නේ අඩු වේගයකින් බව අපටත් දැනෙනවා. මේ ආයතන නිසා විදේශිකයන් අපේ රට ගැන නරක හැඟීමක් ඇති කරගැනීම රටක් හැටියට වගේම අපේ සංචාරක කර්මාන්තය පැත්තෙන් සලකා බැලූවද ඉතාමත් අනිටු ප්‍රතිඵල ඇති කරනවා”.   

 


මුදිතා දයානන්ද