යුද සමයේ ජාතීන් දෙකකට බෙදුණු එකම පවුලේ සොහොයුරන්ගේ කතාව-2

 


පසුගිය සතිය හා සම්බන්ධයි...


යළිත් ගම්බිම් අතැර යෑමට සිදුවෙයි.   


ජාතිවාදී කරදරවලින් මිදීමට වව්නියාවේ දෙමළ බහුතරයක් වෙසෙන පෙදෙසකට ගියද රත්නසාමිලාට එය තවත් කරදර උල්පතක්ම විය. නිවි සැනසිල්ලේ ගෙවි ගිය වසර කිහිපයකට පසු යළිත් මුළු රටම ගිනි ගත්තේය. ඒ 1983 කළු ජුලියටය. කොළඹින් පටන්ගත් දෙමළ සංහාරයේ ප්‍රතිඵල වව්නියාවෙන් දුරින් පිහිටි කූමන්කුලමට ද දැනිණ. ගිනිතැබීම්, තර්ජන ගර්ජන ආදි හිරිහැරද නොඅඩුව තිබුණි. ගම්බිම් අතැර කෙටි කලකට කඳවුරුවල දිවි ගෙවූ රත්නසාමිලා ඇතුළු අය යළිත් ගම්බිම්වලට පැමිණ බිංදුවේ සිටම යළිත් ගොඩ නැගූහ. එහෙත් ඒ අවසන් වරට ද නොවීය.   


රත්නසාමිගේත් රොසලින්ගේත් කැදැල්ලට තවත් දියණියෝ දෙදෙනෙක් එක් වූහ. ඒ මැණිකා හා චන්ද්‍රිකාය. චන්ද්‍රිකාට පස් වසරක් වනවිට පද්මකුමාර් පවුලට එක්විය. ඒ 1990 දීය. ඔහුට මාස කිහිපයක් ගතවනවාත් සමගම රත්නසාමිලාට උදා වූයේ නරකම කාලයකි. එය ගෙවු නරක කාලයන්ට වඩා දරුණු වූද බිහිසුණු වූද ඛේදජනක වූද කාලයක්ම විය. පවුලේ අය තවත් සීසීකඩව වෙන්වන්නට තරම් එය ප්‍රබල විය.   


1990 වනවිට වව්නියාව අවට එල්ටීටීඊ ක්‍රියාකාරකම්වල උච්චතම අවධියක් විය. සාමාන්‍ය වැසියන් අතර සැඟවෙමින් එල්ටිටීඊය හමුදාවට ප්‍රහාර එල්ල කරන ලද අතර හමුදාව ද ප්‍රතිප්‍රහාර එල්ල කරන ලද්දෙන් සිවිල් වැසියෝ පීඩාවට පත් වූහ.   


“එක පැත්තකින් හමුදාව එල්ටිටිඊයට ගහනවා. අනික් පැත්තෙන් එල්ටිටිඊය හමුදාවට ගහනවා. අපි මැදි වෙලා ගියා. මෝටාර් ආටි වැදිල ගෙවල් දොරවල් කුඩු වෙලා යනවා. අපිත් ගෙවල්වල බංකර වගේ හදාගෙන වතුවල ලොකු වළවල් කපාගෙන ඒවට බැහැල හිටියා. ඒත් මිනිස්සුත් එකා දෙන්නා මැරෙනවා අහක ඉදලා. බැරි තැන මිනිස්සු ගම්බිම් අතෑරලා යන්න ගත්තා. අපේ ගමේ අය තමයි අන්තිමට ගියේ. ඒත් මගේ දෙවන නංගිගේ මහත්තයයි තව මස්සිනා කෙනෙකුයි ගෙවල්වල බංකරවලට වෙලා කොහොම හරි හැංගිලා හිටියා. එයාලා දෙන්නා අපි අවුරුදු කීපෙකින් ආපහු එනකම්ම එහෙ හිටියා.”   


දෙපසින්ම සිදුවන ප්‍රහාර හමුවේ අසරණ වූ ගම්වැසියෝ ජීවිත රැකගැනීම වඩා වටිනා නිසා අතට ගතහැකි යමක් පොදි බැඳගෙන තීරණාත්මක ඉරණම් ගමනක් යෑමට සිතා ගම්බිම් අතැර දැමීමට අවසන් තීරණය ගත්හ. ගෙන යා නොහැකි වටිනා බඩු මුට්ටු ඇතැම්හු සැඟවූහ. එක්කෝ අඩු මිලට විකුණුහ. ඒවා ගන්නටම සැදි පැහැදුණු පිරිස් ද ඒ වනවිට සිටි නිසා එය වඩා පහසු විය. ඇතැම්හු ඒ කිසිත් නොකර පලා ගියහ. එසේ පලා යන්නවුන්ගේ අවසන් අරමුණ බටහිර දෙසට යෑමය. ඒ වැඩිමනත්ම යටි අරමුණක් සිත්හි දරාගෙනය. මඩු පල්ලිය ආසන්න අනාථ කඳවුරට යන බව අගවා එතැනින් තලෙයි මන්නාරමට ගොස් බෝට්ටුවෙන් ඉන්දියාවෙන් පලා යෑමටය. එයට ද හේතු කිහිපයක්ම තිබුණි.   
ඇවිළෙමින් පවතින යුද්ධයේ අවසානයක් කවදා වෙතැයි සිතීම පවා උගහටය. වැඩිමනත් මෙහි සිටියේ සිංහල ගම්වල සිට පැමිණි අය නිසා පෙර අත්දැකීම්ද ඔවුන්ට විය. සිංහල ගම්වල සිටියදි වින්දාට වැඩි කරදර මෙහෙදී විඳගන්නට සිදුවූවත් යළිත් එම පෙදෙස්වලට යන්නටද අකමැති වූහ. ඒ අයගෙන් ඇතැමෙක් ආණ්ඩුව විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙහි ගෙනවිත් දැමූ අයය. වරක් දෙවරක් සිදුවූ කරදරවලින් පසු යළිත් ඒවා විඳගන්නට අකමැතිවූ ඔවුහු ඒ පෙදෙස්වලට නැවත යෑමට ද නොසිතූහ.   
අනික් අතට එල්ටීටීඊය සිය සාමාජික ජාලය පුළුල් කරගන්නට තරුණ තරුණියන් හා දරුවන් බඳවා ගැනීම කළ කාලයක්ද විය. එය අන් හැම දේටම වඩා ප්‍රබල බියක් විය. මන්දයත් එය බොහෝවිට කරන ලද්දේ බලහත්කාරයෙන් නිසාය. මේ නිසා යොවුන් වියේ දරුවන් සිටි මව්පියන්ට පවුල් පිටින් ඉන්දියාවට යෑම හෝ දරුවන් පමණක් යැවීම හැර අන් විකල්පයක් නොවීය. අනික් අතට ඉන්දියාවට එසේ ගිය බොහෝ දෙනෙකු ගැන දැන සිටි නිසා එය විස්වාසදායි එහෙත් භයංකරද වූවකි. කිසිදු අතකින් සරණක් නැතිව ගිය නිසා මොවුන් ගම්බිම් අතැර බටහිරට ඇදුණේ ජීවිතයත් මරණයත් අතර අපේක්ෂා පෙරදැරිවය.   


මෙසේ පලා යනවිට පද්මකුමාර් මාස කිහිපයක ළදරුවෙකි. රත්නකුමාර්ට අවුරුදු දහඅටකි. ශාන්තිට 14කි. ශිවකුමාර් 12 හැවිරිදිය. සත් හැවිරිදි මැණිකා ද පස් හැවිරිදි චන්ද්‍රිකා ද සමග රත්නසාමිත් රොසලිනුත් සිය ඉරණම් ගමන පිටත් වූහ. යෑමට පෙර රත්රන් බඩු වලින් කොටසක්ද ද සමග වටිනා පිඟන් බඩු සමග රහසේ තැනක වැළලුවාය. වත්තේ ගේට්ටුවෙන් නික්ම යෑමට පෙර එදෙස රොසලින් හැරී බැලුවාය. දරුවන් සමග කාලයක් දිවි ගෙවූ නිවස ඇය අවසන් වරට දුටු දින ද එය විය.   


මඩු කඳවුර බලා මහා පා ගමනක   


වව්නියාවේ සිට මන්නාරමට කිලෝ මීටර අසූවකි. මඩු කඳවුරට ද ඒ සා දුරක් වූ අතර මහ කැලෑ මැදින් අසීරු වූද දුෂ්කර වූද දීර්ඝ කර පා ගමනක් විය. රොසලින්ලා සමග මඩු බලා ඇදුණ පිරිස පන්දහසක් පමණ විය. විටෙක එල්ටීටීඊය ද හමුදාවද එකිනෙකාට එල්ල කරගත් ප්‍රහාර ද මේ පලා යන්නන්ට ද එල්ල විය. ඒවාට පිරිස් හිස් ලූලූ අත දිව යති. සර්ප දෂ්ටන, උණ යනාදියෙන් සමහරු මිය ගිය අතර සමහරු කම්පනවලින් මිය ගියහ. එසේ මියයන්නන්ට ගෞරවනීය ලෙස අවසන් කටයුතු කිරීමක් එවන් ඝන කැලයක දී අසීරු වූවක් විය. එවිට අතැර දමා හෝ වළ දමා යෑමක් කෙරිණි. 

 
ඔවුන් එලෙස ගිය ගමනේදී විඳි දුක්ගැහැට ගැන අපට කීවේ එදා කැලේ යද්දිත් සිදුවු තුවාල කැළැල් සහිත සිය දෙපය ද පෙන්වමිනි.   


“අපි යුද්ධයෙන් බේරෙන්නයි එහෙට ගියේ. දවල්ට යද්දී හමුදාවෙන් හරි එල්ටීටීඊයෙන් හරි ගහනවා. සමහර වෙලාවට හෙලිකොප්ටරවලින් වෙඩි තියනවා. ඒ හින්දා දවල්ට හැංගිලා ඉදලා රෑටත් ගියා. එතකොට සර්පයෝ කැලෑ සත්තුන්ගේ කරදර නිමක් නැහැ. සෙරප්පු දාගෙන ගියා කියලා. ඒ මහ ඝන කැලෙන් කිසිම ආරක්ෂාවක් නැහැ. එහෙන් ළමයි අඬනවා. මඩු පල්ලියේ යුද්දෙ නෑ කියන එකයි ඒක අනාථ කඳවුරක් කියන එකයි එතනින් හොරෙන් ඉන්දියාවට යන්න පුළුවන් කියන එකයි විතරයි අපි දැනන් හිටියේ. ඒ හින්දමයි මොන දුකක් හරි විඳගෙන අපි ගියේ.‘ ඒ රත්නසාමිගේ හඩය.   


මඩු කඳවුර හා පාලනය   


ඔවුන්ගේ අපේක්ෂාවන් සුන් කරවන දෑ කඳවුර ආසන්න වන විට අසන්නට ලැබිණී. ඒවා කවුරුන් කාට කියන ලද ඒවාදැයි කිසිවෙක් නොදත් මුත් ඒවා අසත්‍ය ද නොවන බව කඳවුරට ගිය අයට කල් නොයාම වැටහිණ. ඇතැම් පලා යන්නන් කඳවුරේ තොරතුරු පිටුපසින් එන නඩවලට කියා ආපසු හැරී තලෙයිමන්නාරම් බලා ගොස් තිබුණි.   
රත්නසාමිගේ කනට ද මෙවන් තොරතුරක් ලැබිණි. ඔවුන් සිතා සිටියේ සාමකාමී කඳවුරකට යන්නටය. දින සති මාස ගණන් නේක පීඩා විඳ ඔවුන් පැමිණ සිටියේ එල්ටීටීඊය පාලනය කරන ලද කඳවුරකටය. එයට ඇතුළු වන සියල්ලන් ලියාපදිංචි විය යුතුය. එසේ ලියාපදිංචි වූවාට පසු කඳවුරෙන් පිට වීම තහනම්ය. යම් අයෙකුට පිටවීමට අවැසි නම් තවත් කෙනෙකු ඇපයට තබා යා යුතුය. ඒ ආපසු එන බවට වූ පොරොන්දුව මතය. ඒවා සෙල්ලම් පොරොන්දු නොවීය. ඇපය තැබිය යුත්තේ ජාතික හැඳුනුම්පත මගිනි. එවක එය තරම් වටිනා තවත් දෙයක් නොවීය. අවුරුදු 18ට වැඩි හැඳුනුම්පත් නැති අයට රටේ යුද කලාපවල ගැවසීම තබා යෑම්ඊම්ද කළ නොහැකි විය. සෑම තැනම පරීක්ෂා කිරීම් බහුලය.   
එම නිසා ඉන්දියාවට පලා යෑමට සිටි බොහෝ අය කඳවුරට යන මග නොයා තව තවත් කැලෑවේ අභ්‍යන්තරයට වැද තලෙයිමන්නාරම බලා ගියහ. එසේ සැඟව නොගිය අය ඇතැම්විට එල්ටීටීඊ සෙබළුන් විසින් අල්ලාගෙන කඳවුරට ගෙනා අවස්ථා ද විය. මෙය කල් තියා දැනගත් අයගෙන් ඉන්දියාවට යෑමට සිටි අය කඳවුරට නොයෑමටත්, ලෙඩුන්, වයස්ගත වූවන් හා ආබාධ සහිත අය කඳවුරට යවා සෙස්සන් රහස් පාරෙන් මන්නාරම් තොටටත් ගියහ.   


රත්නසාමිලා මුලින්ම තීරණය කළ පරිදිම පුතුව ඉන්දියාවට යැවීමට පිටත් කළහ. යළි ලංකාවට ඒමට අදහස් කළහොත් වව්නියාවට නොව වාරියපොළ ඥාතීන් වෙත යන ලෙස උපදෙස්ද දුණි. කුඩා කල වාරියපොළ වෙත ගොස් පැමිණිය ද ඔහුට ගමන්මග මතක තිබුණේ නැත. එ මගද මව්පියන්ගෙන් සවිස්තරව දැනගත් ඔහු සියල්ලන්ගෙන් දුක සේ වෙන්ව ඉන්දියා යන නඩයට එක්විය. ඒ වෙන්වීම වසර ගණනාවකට වග ඔහුටවත් සෙස්සන්ටවත් නිකමටවත් සිතුණෙ නැත.   


ඉන්පසුව සෙස්සන් අනාථ කඳවුර දෙසට ගියහ. කඳවුර කීවාට එය හොඳින් සකසන ලද හෝ පිරිසිදු කරන ලද ඒවා නොවීය. දැවැන්ත ලී වැටකින් කිලෝමීටර ගණනක් ආවරණය කරන ලද එය මහ කැලයේම තවත් කොටසක් විය. අලුතින් එන අය කැලයේ තැනක් තෝරාගෙන රෙදි හෝ ඉටිරෙදි යොදා මඩුවක් ගසා ගත යුතුය. රතුකුරුසය මගින් පාලනය වන බව කීවාට එහි සිටියේ එල්ටීටීඊ සාමාජිකයන්ය. රජයෙන් හෝ වෙනත් සංවිධානවලින් ලැබෙන ආධාර ද කොටින් විසින් බෙදා දෙන ලද්දේ සීමාසහිතවය. එහි සිටි ජනගහනයටත් වඩා ආධාර ලැබුණුමුත් බෙදාදීමේ දී අක්‍රමිකතා තිබුණේ කොටින් විසින් ඒවා සිය සංවිධානය වෙනුවෙන්ද ගබඩා කරගත් හෙයිනි.

   
දරුවන් බිස්කට්, කිරි, තේ ආදිය හෝ රසකැවිලි ඉල්ලා හඬනවිට මව්පියෝ අසරණ වූහ. ඇතැම්හු සිය වියළි සලාකයන් වෙනත් පවුලකට අලෙවි කර මුදල් ලබාගෙන තමන්ට අවැසි දෙයක් ලබා ගත්හ. කොටින්ම කඳවුරු ජීවිතය සුමට හෝ පහසු නොවීය. එහි සිටි වැඩ කළ හැකි සියල්ලන්ම හේන් හෝ ගොවිතැනේ යෙදිය යුතු විය. එසේ නොකිරීම ද දඬුවමට හේතු විය.   


රොසලින් රෝගාතුර වෙයි.   


කඳවුරට ගොස් ටික කලකින් රොසලින්ට යම් අසනීප තත්ත්වයක් උද්ගත විය. එයට ප්‍රතිකාර ලබා ගැනීමට යෑමට දීම පවා එල්ටීටීඊය විසින් දිනෙන් දිනම ප්‍රමාද කළේය. සහන සේවකයන් පැමිණි විටෙක පවා කීව ද ඔවුන්ගේ පිළිතුර වූයේ ද රෝහල් ගතවන ලෙසය. එහෙත් ඒවා ගැන එල්ටීටීඊ පාලකයින් නෑසු කන්ව සිටියහ. නොවිඳිනා වැඳුම් වැදීමෙන් හා බොහෝ වතාවක් පින්සෙන්ඩු වීමෙන් පසුව පසු වව්නියාව රෝහලට යැවු විට කියා තිබුණේ පෙනහලු පිළිකාවක් වැලදී ඇති බවත් ඊට අදාළ ප්‍රතිකාර එම රෝහලේ නොමැති බවත්ය. ඒද රෝග ලක්ෂණ මතු වී මාස කිහිපයකට පසුවය.   


වව්නියාව රෝහලේ දැනුම්දීම මත රොසලින් කුරුණෑගල රෝහලට යෑමට අවසර පැතුවාය. රෝහලින් දැනුම් දුන්නේ හැකි ඉක්මනින් එය කරන ලෙසය. එහෙත් යළි කඳවුරට ආපසු එල්ටීටීඊය සිතු ඉක්මනින් එයට අවසර දුන්නේ නැත. කඳවුරේ බොහෝ කාලයක් සිටි අතර පෙර මෙන්ම රත්නසාමි ද, දරුවෝ ද, ඥාතීන් ද ඇවිටිලි කිරීමෙන් බොහෝ කලකට පසුව අවසරය ලැබිණි.   


රත්නසාමි වහාම බිරිඳව වාරියපොළ ඇරලවන්නට ආවේය. ඔවුන් එහි එනවිට ඉන්දියාවේ ගොස් සිටි පුතුද ඇවිත් සිටියේය. මවගේ අසනීපය ගැනත් කඳවුරේ දිවිය ගැනත් ඇසූ දරුවෝ විස්සෝප වූහ. වැඩිමහලු දරුවන්ට හා ඥාතීන්ට බිරිඳ භාරදුන් රත්නසාමි වහ වහා මඩු බලා පිටත්ව ගියේ කුඩා දරුවන් රැකබලා ගැනීමට ඇති නිසාය.   
කුරුණෑගල රෝහලට ප්‍රතිකාර පිණිස ගිය රොසලින්ව වහාම රෝහල් ගත කෙරිණ. පරීක්ෂණ රැසකින් පසු රෝහල් බලධාරීන් කීවේ පිළිකා  සිරුර පුරා ඔඩු දුවා ඇති බවත්ය. ඒ වනවිට රෝගයට වසරකට වඩා ගතව තිබිණි. සති කිහිපයක් රෝහලේ සිටියත් අනතුරුව නිවසට එවන ලද්දේ ප්‍රතිකාර ඵලදායක නොවන බව පවසමිනි. නිවසට ගොස් ප්‍රතිකාර කරන අතරතුර යළි රෝගය යළි රෝගය උත්සන්න වනවිට වාරියපොළ රෝහලට හෝ කුරුණැගල රෝහලට ඇතුළත් කරමින් මාස කිහිපයක්ම ප්‍රතිකාර කරවන ලද මුත් දිනෙන්දින උත්සන්න වූවා මිස ප්‍රතිඵලයක් නොවීය.   


ටික කලකින් ඇඳෙන් නැගිටීමට පවා නොහැකි වූ ඇය ඔත්පළ වී කතා කරගත කතා කරගත නොහැකි විය. තවත් සතියක දෙකක ඇවැමෙන් ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය. ඒ 1993 ජනවාරි 31 වැනි දිනය. එදින රාත්‍රි මඩු කඳවුර වෙත ටෙලිග්‍රෑමයකින් රත්නසාමි ද ඒ බව දැන ගත්තේය.   


“එදා දවල් මම හේනක් කොටන්න ගිහින් හිටියේ. පද්මකුමාර්වත් එක්කන් ගියා. කඳවුරේ ඉදන් කිලෝ මීටර 15 ක් විතර නැගෙනහිර පැත්තේ හිටියේ. දවල් 12 විතර ට විතර පුතා උඩින් ගිය ප්ලේන් එකක් පෙන්නලා අම්මා අත වනාගන ගියා කියලා කීවා. පස්සේ හේනේ කුරුල්ලො ටික ඉගිලිලා යනව දැකලා අම්මත් ගියා කුරුල්ලොත් ගියා කිය කියා අඩන්න ගත්තා. මට ඒක මතක් වුණා ටෙලිග්‍රෑම් එක දකිද්දින්.”   


මළගමට යෑමට අවසර නොදෙයි.   


බිරිඳ කුරුණෑගල යැවූ පසු එල්ටීටීඊය විසින් රත්නසාමිට ඇය බලන්නට ඉඩ දුන්නේ එක් වරක් පමණි. රත්නසාමිගේ නැගණියක වූ කමලාගේ සැමියා සහන කණ්ඩායමේ බවුසරයක සේවය කළ අතර දින 15කට වරක් ඔහු කොළඹ ගියේය. ඒ යන අතරතුර රොසලින්ගේ සුවදුක් බලා ගොස් එම තොරතුරු මස්සිනාට හා පවුලේ සෙසු ඥාතීන් වෙත දැනුම් දී ඇත. එවන් දිනෙක කොළඹ ගොස් එන ගමනේදී එම නිවසට ගිය ඔහු දුටුවේ රොසලින් මියගොස් එදින අවසන් කටයුතු සිදුවන බවකි. සිදුව ඇති දේ ගැන සිහි එළවාගත් ඔහු වහ වහා කනත්තට ගියද දේහය වළ දමා එන පිරිස් පමණක් ඔහුට හමුවිය. කෙසේ හෝ වළ දැමු සිරුරට අවසන් ගෞරව දක්වා යළි නිවසට ගිය ඔහු සියලු විස්තර දැන ගති. අවසන් කටයුතු සිදු කිරීම දින කිහිපයකින් ප්‍රමාද කරමින් රත්නසාමිලා එනතෙක් බලා සිට ඇත. දේහය කල් තබාගත හැකි උපරිම දිනයේදී අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇත.   
කඳවුරට ගිය වහාම ඥාතීන් හමුවේ මේ බව ඔහු දැනුම් දුනි. එහෙත් මළගම සිදුවු දා පටන් කොටි සංවිධානයේ පාලකයන්ට ඒ ගැන කොතෙක් කීවත් රත්නසාමිලාට අවසර නොලැබීණි. පල්ලියේ පියතුමෙකු මගින්ද දැනුම් දී දින කිහිපයකින් අවසර ලැබිණි. එවිට රොසලින් මිය ගොස් දින 16ක් ගතව තිබුණී. 

 
කඳවුරෙන් යළි කූමන්කුලමට   


අනාථ කඳවුරේ ගෙවු දෙවසරකට පසු රත්නසාමිලාට නිදහස ලැබිණි. යළි ගමට එනවිට සියල්ලම විනාශ වී තිබුණි. මුළු සේසතම අහිමිව තිබුණත් ජීවිත හා ඉඩම් පමණක් රැකී තිබුණි. යළිත් බිංදුවේ සිටම ජීවිතය ඇරඹීමට සියල්ලන්ටම සිදුවිය.   


රත්නසාමිට සෙස්සන්ට වඩා එය වේදනාකාරී හා අභියෝගාත්මක විය. දරුවන්ට වසර දෙකක් තිස්සේ පාසල් ගමන නතර වී ඇත. දරුවන් පස් දෙනෙකු සමග ඔහු මෙලොව තනි වී ඇත. වැඩිමහලු දරුවන් තිදෙනා යහතින් සිටින බව පමණක් ඔහු දනී. දරුවන්ගේ කටයුතු තනිව කරගත යුතු අතර ඉවුම්පිහුම් වැඩ සමග ගොවිතැන ද කරගත යුතුය. පියාගේ තත්ත්වය වටහාගත් ශාන්ති ටික දිනකින් පාසල් ගමන නතර කර ගෙදරදොර වැඩවලට උදව් වන්නට ගත්තාය.   


දරුවන් යළි මුණගැසේ   


ටික කලකට පසු රත්නසාමි දියණියකද සමග පුතුන් බැලීමට වාරියපොළ ගියේය. ඒ යනවිට දෙවන පුතු සිංහල තරුණියක සමග විවාහ වී සිටියේය. අනික් දෙදෙනාද විවාහ වීමට සිටියේ සිංහල තරුණියන් සමගය. එහෙත් ඹවුන්ගේ විවාහයන්ට එඒ පාර්ශ්වයන්ගෙන් බාධා එල්ලවී තිබුණි. ඒ ඔවුන්ගේ දෙමළ ජාතිකත්වය හා වාසගම් හේතුවෙනි. පසු කලෙක පුතුන් තිදෙනාම සිංහල වාසගම් හා නම් යොදාගත් බවත් ඉදහිට තමන් එහෙ ගිය බවද රත්නසාමි හෙළි කළේය.   


“ඉතින් ඒ ආවට පස්සේ පුතාලව බලන්න ගියේ නැද්ද? ඒ ප්‍රශ්නය අපෙනි.   


“මම කීප වරක් ගියා ආවා. දෙවැන්නා කිහිපවරක් මෙහේ ඇවිත් ගියා. ඒත් අනික් අයට එන්න බැරිවුණා. මුරපොළවල් වලින් යන්න දුන්නේ නැහැ. මගට ගිහින් ඇවිත් තිබුණා”   
“එතකොට අනික් ළමයි අයියලව දැක්කෙත් නැද්ද?   


“නෝනගේ තාත්තගේ මළගමට බාල දුවල දෙන්නවයි ශිවකුමාර්වයි නෝනා එක්කන් ගිහින් තිබුණා. ඒ පාර තමයි නංගිලා දෙන්නව අයියල දෙන්නා දැක්කෙත් නංගිල අයියලාව දැක්කෙත්. ශිවකුමාර්ව නම් ඒ දෙන්නා පොඩිකාලෙදී දැකලා තිබුණා. ඒ මම හිතන්නේ 1990 ජනවාරි විතර. අනාථ කඳවුරේ ඉඳන් ආවට පස්සේ දුවලා තුන්දෙනාව මම එහේ යනකොට එක්කන් ගියා වරින්වර. ඒ හින්දා එයාලට අයියලව දැකගන්න හම්බවුණා. ඒ ගිහින් ටික දවසක් ඉදලා ආව නිසා එයාලට සිංහල ටිකක් කතා කරන්න පුළුවන් වුණා. ඒත් දෙවැනියට හැර අනික් දෙන්නටම දෙමළ බැහැ.   


“එතකොට ළමයි හැමෝම එක පාර හමුවුණේම නැද්ද?   


“හම්බවුණා හම්බුණා. ඒකත් හරි අපූරු කතාවක්. යුද්දේ ඉවර වෙලා මම වතාවක් දෙකක් ගිහින් ආවා. ලියුම් යවනවා. කෝල් කරනවා. එච්චරයි. අවුරුදු දෙකකට විතර පස්සේ දවසක් හැන්දෑවේ මට ආරංචියක් ලැබුණා වාරියපොළ දිහා මනුස්සයෙක් නෑයන්ව හොයාගෙන ඇවිත් අතරමංවෙලා ඉන්නවා කියලා. මේ පැත්තේ කාටවත් එහේ නෑයෝ නෑනේ. ඒ පාර මට හිතුණා මේ අපේ කෙනෙක්මයි කියලා පුතාත් අඩගහගෙන ගියා. බලද්දී අපේ නෝනගේ බාල මල්ලි. ගෙදරින් තරහ වෙලා ඇවිත් මාව හොයන් ඇවිත් තිබුණේ. ඒ අවුරුදු කිට්ටුව. පස්සේ වෙසක් පෝය කිට්ටුවෙලා එයාගේ ලොකු දුවත් එක්කන් ආයේ ආවා. සතියක් විතර මෙහේ ඉඳලා ගියා කියමුකෝ. පස්සේ නෑකම් ආයේ අලුත් වුණා..   
එහෙම ගිහින් සති දෙකකට පස්සේ මාත් එහෙ ගියා. සතියක් ගියේ නැහැ. දෙවැනි පුතාගේ ලොකු පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලා කෝල් එකක් ආවා. ගහක් ගලක් වගේ හිටපු කොලුව. මගේ ලොකුම මුනුපුරා. මට ඇඩුණා. මම ඒ ළමයිව පොඩි කාලේ ඉදන් දැක්කේ කිහිප සැරයක් විතරයි. මළගමට මෙහෙන් බස් දෙකක කට්ටිය ගියා.”   
එය අතිශය සංවේදී අවස්ථාවක් විය. ඇතැම් පිරිස් සිය ඥාතියාගේ නුදුටු පුත් වෙනුවෙන් පැමිණ සිටියත් අයියලා තිදෙනාට සිය බාල මල්ලි හා නංගිලා තිදෙනා හමුවන අවස්ථාවක් විය. වසර ගණනාවකින් නුදුටු සොයුරු සොයුරියන් සොයුරකුගේ දරුවෙකුගේ මළගමක් නිසා නැවත හමුවිය. ශෝකජනක අවස්ථාවක් වුව සොයුරු සොයුරියෝ එකිනෙකා වැලඳගෙන සතුටු කඳුළු හෙළුහ. එම අවස්ථාව අහිමි වූයේ පද්මකුමාර්ට පමණි. ඔහු ඒ වනවිට සිටියේ විදේශ රටකය.   


සොයුරු සොයුරියන් එකිනෙකා වැලඳගෙන කතාකරනු දුටු පියාටද දැනුණ සතුට අපමණය. ඔහු ඔවුනොවුන්ගේ අදහස් පරිවර්තනය කරමින් එකිනෙකාට කීවේය. ළය සෙනෙහස දැනුණත් අදහස් ප්‍රකාශනයේදී භාෂා ප්‍රශ්නය තදින්ම දැනිණ. එපමණක් නොව මෙහි නොසිටි පද්මකුමාර් හැර සියලු දෙනාම විවාහ වී මව්පියන්ද වී සිටි බැවින් සිය දරු සම්පත් එකිනෙකාට හඳුන්වාදීම් ද සිදුවිය. මළගමට සහභාගි වී සිටි හිතවතුන්ට ද මෙය කලාතුරකින් දැකගන්නට ලැබෙන දසුනක් නිසා සැමගේම අවධානයද ඒ කෙරේ විය. දින දෙකකින් වව්නියාවේ ඥාතීන් වෙන්ව ගියේ හද පිරි සොවිනි.   


“එතකොට පද්ම කුමාර්ව හමුවුණේ කොහොමද?   


මළගෙදර ඉවර වෙලා මාස කිහිපයකින් විතර අපේ මල්ලි අරුණාගේ ලොකු දුවගේ වෙඩින් එක තිබුණා. ඒකට වාරියපොළ සේරම නෑයන්ට එන්න කියලා ගිහින්ම කීවා. වෙඩින් එකට කලින් දවසේ කට්ටියම එනවා කියලත් කිව්වා. කට්ටිය එන දවසේ මම අපේ පොඩි බෑනාගේ වෑන් එක යවලා එයාලට කිව්වා” වෑන් එකක් එනවා. අසවල් තැන නවත්තලා ඇති. එතනට යන්න කියලා.   


“ඉතිං....එතකොට පද්මකුමාර් ඇවිත් දවස් දෙක තුනක් ඇති..මම එයාට කීවේ වෙඩින් එකට කට්ටියක් එනවා එක්කගෙන එන්න කියල විතරයි. කව්ද කොහෙද කියල කීවෙත් නැහැ. අයියලා වෙඩින් එකට එනවා කියලා කීවෙත් නැහැ. ශිවකුමාර් දැනන් හිටියා අයියල එන්නේ කියලා.. එයාටත් මම කියන්න එපා කීවා.. ආපු අයට කීවෙත් නැහැ බාල මල්ලි ඇවිත් ඉන්නේ කියලා..එයාලටම අඳුනගන්න ඉඩ ඇරියා..   


“එයාලම අඳුනගත්තද ඉතිං.....   


“නැත්තන්..ලෙයට ලේ අදුනගන්න පුළුවන් කියනවනේ... වීරකුමාරුයි, ප්‍රේමකුමාරුයි වෑන් එක ගාවට එද්දිම සැක හිතලා මේ පද්මකුමාර්ම තමයි කියලා..අනික් අයටත් ශිවකුමාර් වගේ කෙනක් කියල විතරයි දැනිල තියෙන්නේ..මගේ කව්රුහරි නෑයෙක් කියල හිතිලා..   


ඒත් අර දෙන්නාට ඒක හොඳටම දැනිලා..රත්නසාමි අප්පාද කියලා ළඟටම ගිහින් අහලා..කොල්ලත් ඔළුව වනලා. ඒ පාර ටවුම කියල බලන්නෙත් නැතිව දෙන්නාම මල්ලිව බදාගෙන..ඒ දෙන්නා දන්න දෙමළෙන් අපි අන්නා අන්නා කියලා..එයාලගේ ළමයි ඉස්කොලෙන් දෙමළ ඉගෙන ගෙන තිබ්බ හින්දා ලොකු අයියයි පොඩි අයියයි කියලා දෙමළෙන් කියලා තියෙනවා..එයාට සිංහල කොහෙත්ම බැහැ. ඒ පාර එයත් අයියලව බදාගෙන තියෙනවා..   


පද්මකුමාර් අයියල තුන් දෙනාගෙන් දැකල තිබ්බේ දෙවැනියා විතරයි. ඒත් එයාට අවුරුදු 10ක්වත් නැති කාලේ..එයින් පස්සේ දැක්කෙම නැහැ. අනික් දෙන්නව කවදාවත් දැකල තිබ්බේ නැහැ..එදා තමයි දැක්කේ..   


ඊට පස්සේ මුනුපුරාගේ තුන්මාසේ දානෙට මම එයාව එහේ එක්කන් ගියාම දෙවැනියව දැක්කා..ඒත් අර වගේ තමයි දෙන්න බදාගෙන ඇඬුවා..‘‘   


රත්නසාමිගේ දරුවන් එලෙස හමුවූවත් රත්නසාමිට එයට වඩා බලාපොරෙත්තුවක් තිබෙන බව අපට කීවේ අපව සිය නැගණියන්ගේ නිවෙස්වලට කැඳවාගෙන යද්දිය.   
“දරුවෝ අටදෙනාම එක්ක මටවත් නෝනටවත් එක දවසක්වත් එක වහලක් යට ජීවත් වෙන්න බැරි වුණා. අට දෙනාම එක්ක එක දවසක් එකම තැනක හිටියනම් ඒ පද්මකුමාර්ගේ වෙඩින් එක දවසේ විතරයි..ඒත් මම ආසයි එහෙම නැතිව සාමාන්‍ය විදියට දරුවෝ මුනුපුරෝ සේරම එක්ක එක දවසක් හරි ගෙවන්න.. ඒත් කෝ ඒකට අවස්ථාවක්..කව්රුහරි එක්කෙනෙක් අඩු වෙනවාමයි.. අපි මොන කරුමයකට අහුවුණා ද දන්නෙත් නැහැ අපිට මෙහෙම වෙන්න..   


ඒ පිය සෙනෙහසක දැල්වෙන බලාපොරොත්තුවකි. එය ඉටු කිරීම දරුවන්ගේ වගකීමකි.   


අප පෙරදී කීවාක් මෙන්ම මෙම පවුලේ මෙන්ම රත්නසාමිගේ මව්පියන්ද රොසලින්ගේ මව්පියන්ද ඇගේ සොයුරියද සිංහල දෙමළ මිශ්‍ර විවාහයන් කරගත් අයවලුන්ය. රත්නසාමිගේ දරුවෝ පමණක් දැන් සිංහල දෙමළ ලෙස හා බෞද්ධ හින්දු බෙදී වෙන්ව සිටින. රත්නසාමිගේ දරුවන්ගෙන් වැඩිමහලු තිදෙනා තමන් තුරුණු වියේදී හා බාල කාලයේදී විදි ප්‍රශ්න දරුවන්ට නොදීමට නම් හා වාසගම් වෙනස් කරගෙන තිබේ. උතුරේ ජීවත් වූවෝ සිය දෙමළ අනන්‍යතාව රැකගෙන ජීවත් වෙති.   


 එකම රටක ජාතීන් දෙකක ආගම් දෙකක අය විදියට එකම පවුලේ අයට වෙන්වන්නට සිදුවුණේ ඇයි? ඉතිහාසය විසින් දිනෙක සිදු කරන ලද වරදක් නිසාය. යුද්ධය හමාරව දස වසරක් ගතව ඇතත් එම වරද අපට තවමත් නිවැරැදි කරගෙන තිබේද? ඒ ප්‍රශ්නය අපි ඔබෙන් අසමු.   

 


සටහන හා සේයාරූ පුෂ්පා වීරසේකර