සත්සර   

 

දයාරත්න රණතුංග

 

 

කිරුළපනේ සිට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට දුම්රියෙන් ද බසයෙන් ද පැමිණි දස හැවිරිදි ළමයෙක් සොබා දහමට, ගහ කොළ සතා සිවුපාවන්ට ආදරය කළේය. හීල් හෙවණැල්ලේ කුඹුක් ගහක් යට ඉඳගෙන හමා එන මඳ නල හා මුසු වූ වෙල් යාය දිහා බලා සිටීමට ඔහු ආසා කළේය. හුදෙකලාව ප්‍රිය කළේය. ඔහුගේ මුවට රසවත් සීපදයක් මතක් විය. “කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ” ඒ සංගීතයට රසයට ඔහු ආදරය කළේය. කිරුළපනේ සිට කෝට්ටේට ඒමට දුම්රියටත්, බස් එකටත් ටිකට් ගැනීමට අම්මා දුන් සත දහය පරෙස්සම් කරගෙන ඔහු පයින්ම ගියේ අර සුන්දර, නිර්ව්‍යාජ ගැමි සුවඳ විඳීමටය.   

ඔහුගේ කලා රසය හා අසීමිත සංගීත රසවින්දනයට හේතුවූ තවත් ප්‍රබල හේතුවක් වූයේ තම වැඩිමහල් සොහොයුරු රූපරත්න රණතුංග ගායනයටත්, සිතාර් වාදනයටත් තෝරා ගෙන අධ්‍යාපනය කටයුතුවල නිතරව සිටි නිසාය. මේ සොහොයුරා ගෙදර දිනපතා පැය දෙකක් පමණ ගායනය හා සිතාර් වාදනය අභ්‍යාස කරනු බාල සොහොයුරා බලා සිටියේ නොතිත් ආසාවකිනි. මාස තුනක් පමණ වෙන විට බාල මල්ලීට සංගීත පාඩම් මාලා කටපාඩම් වී තිබුණි. එපමණක් නොවේ. මල්ලී සංගීත විෂයයට දක්වන උනන්දුව නිසා රූපරත්න අයියා හවසට තියෙන සංගීත විද්‍යාලයේ පන්තිවලටද එක්ක ගියේය.   
එම සංගීත පන්තියට පස් හය දෙනෙකුට වඩා නොසිටියේලු. පුංචි ළමයෙක් සංගීත පන්තියේ කෙළවර තිබූ බංකුවක හිඳ ගෙන පාඩම් මාලාව හදාරන හැටි උනන්දුවෙන් බලා සිටිනු දුටු සංගීත ගුරුවරයා වූ විජයරත්න මහතා ඇඟිල්ල දිගු කොට ඔහු තමා අසළට කැඳවා ගත්තේය.   
“පුතා, බලන්න ගීතයක් කියන්න.”   
ළමයා කීවේ තාන අලංකාර සමඟ ගීතයකි.   
විජයරත්න මහතා පුදුමයෙන් බලා සිට තම ආසනයෙන් නැගිට විදුහල්පති ලයනල් එදිරිසිංහ මහතා තම පන්තියට කැඳවා ගෙන ආවේය. ළමයාට යළිත් ඒ ගීතයම ගයන්න නියම කළේය. රූපරත්න අයියාගේ මුහුණේ සතුට දෝර ගොසිනි.   
ළමයාගේ අඩු වයස නොතකා එදිරිසිංහ මහතා ළමයාට මෙසේ කීවේය.   
“පුතා, හෙට ඉඳන් අයියත් එක්ක හැමදාම ඇවිත් ඉගෙන ගන්න.”   
සිසුන්ගේ දක්‍ෂතා හඳුනා වයස, නොතකා මේ කුඩා සිසුවාට නියත විවරණ දුන් උතුම් සංගීත විදුහල්පතිවරු එදා සිටියහ. දක්‍ෂ ශිෂ්‍යයන්ට විනකටිමින් කාලකණ්ණි රසයක් ලබන මැටි විදුහල්පතිවරුන්ට කදිම පාඩමක් එදා එදිරිසිංහ වැනි පිරුණු විදුහල්පතිවරයකු ආදර්ශයෙන්ම දුන්නේය.   
මේ කුඩා දරුවා විදුහල්පතිගේ වචනය ඉටු කරමින් දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට අසීමිත මෙහෙයක් කළ විශිෂ්ට ගායන ශිල්පියකු ගාන්ධර්වයකු වූ ආචාර්ය දයාරත්න රණතුංග ය. ඔහු තම කුඩා අවදිය සිහිපත් කරන්නේ සිහින් සෝබර සිහිනයක් ලෙසය.   
මගේ කුඩා කාලයේ කිරුළපන ග්‍රාමීය ප්‍රදේශයක්. විදුලිය පාරක් තිබුණේ නෑ. හැම පැත්තකම තිබුණේ පාළු සොබාවයක්. ගමේ නිතරම ගම්මඩු, ශාන්ති කර්ම, කංකාරි තිබුණා. මම අයියලා එක්ක ඒවා නිදිමරාගෙන බැලුවා. මගේ කලා රසවින්දනය දියුණු වුණා. බෙර හඬ තුළින් සංගීත රසය ධ්වනිත වුණා. මගේ දෙවෙනි අක්කා වූ සෝමලතා රණතුංග රාගධාරී සංගීතය පිළිබඳ උපාධිය ලබා ගුරුවරියක් හැටියට සේවය කොට අද විශ්‍රාමයෙන් සිටිනවා. මට සිදුවූ සංවේගාත්මක සිද්ධිය මට සංගීත ගැන මුල් පාඩම ඉගැන්වූ මගේ සොහොයුරු රූපරත්න රණතුංග පසුව ගණිත උපාධියක් ලබා ගුරුවරයකු ලෙස කටයුතු කොට නුගේගොඩ සිටියදී හදිසි හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමු ගැනීමයි. ඔහු සංගීතඥයකු කිරීමට මට දුන් ශක්තිය අදත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ පවුලේ වැඩිමලා ප්‍රේමවංශ රණතුංග. භාෂා පරිවර්තකයෙකු වූ ඔහු ගුවන් විදුලියේ නිවේකයෙකු ලෙසත් සේවය කළා. මගේ දෙවැනි අයියා නිමල් රණතුංග ගුරුවරයෙක් ලෙස ආනන්ද ශාස්ත්‍රාලය හා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සේවය කොට හෙල්ප්ඒජ් ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කරනවා. මගේ වැඩිමහල් අක්කා ශ්‍රීමතී රණතුංග විවාහ වුණේ ප්‍රවීණ නිවේදකයකු හා ගීත රචකයකු වූ ගුණරත්න අබේසේකර සමඟය.”   
එක්දාස් නවසිය හතළියේ ඔක්තෝබර් විසිනව වෙනිදා උපත ලැබූ ආරච්චිගේ දයාරත්න රණතුංගගේ පියා චාර්ල්ස් පීටර් පෙරේරා රණතුංග මහතා ලංකාවේ විද්‍යාල කිහිපයක විදුහල්පති ලෙස සේවය කළ අධ්‍යාපනඥයෙකි. මව කොළඹගේ දෝන මැස්ලින් ය. ගුරුවරියක් වන ඇය ගමේ පාසල් දෙකක් වන ඇලන්මැතිනියාරාම හා භද්‍රාවතී දහම් පාසල්වල නිර්මාතෘවරියයි. (Radio Ceylon) ගුවන් විදුලියේ පුරෝගාමියකු වූ ඩී.ඇම්. කොළඹගේ මහතාගේ වැඩිමහල් සොහොයුරියක් වූ ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රථම කාන්තා වැඩ සටහන ඉදිරිපත් කළ කාන්තාව ලෙසද වාර්තා ගත වී ඇත.   
දයාරත්න රණතුංග ගුවන් විදුලියේ සරත් විමලවීරගේ ළමා පිටියට 1949 බැඳී ගැයූ ප්‍රථම ළමා ගීතය වූ “වඳිනා චරණ සුගත ලෝනා” ගීතයේ රචකයා වූයේ පියාය. හින්දි ගීතයකට සිංහල වචන යෙදූ ගීතයක් ඒ.   
වයස දොළොස්වන වියේ ළමයෙකු සංගීත විද්‍යාලයේ මුල්ම ශිෂ්‍යයෙකු වශයෙන් ඇතුළත් කරගත්තා යයි මා කීවොත් ඔබ පිළිගන්නවාද? එයට අවස්ථාව ලැබෙන්නේ එදිරිසිංහ විදුහල්පතිතුමාගේ අනුග්‍රහයෙන්.   
“මගේ ජීවිතයේ සුන්දරම අවධිය 1952 වසරයි. ඒ කාලයේ සංගීත විද්‍යාලය (1953) කොළඹ ඇල්බට් චන්ද්‍රවංකයට ගෙනිහින්. මාත් එක්ක සංගීත පන්තියේ හිටපු කිහිප දෙනෙක් මට මතක් වෙනවා. අමරා කස්තුරිආරච්චි පසුව මගේ දයාබර බිරිඳ වුණා. එල්.කේ.ජේ. වික්‍රමසිංහ (ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහගේ පියා) ජයන්ත ප්‍රේමචන්ද්‍ර (පසුව චිත්‍ර ශිල්පියෙක්), ගාමිණී කස්තුරිආරච්චි (අමරගේ සහෝදරයා), මර්ලින් රුද්‍රිගු (ආචාර්ය නිර්මලා කුමරිගේ මව), ජස්ටින් සිල්වා, ස්ටැන්ලි පෙරේරා (භාරතයේ උස්තාද් අලි අක්බාර් ඛාන්ගේ බෑණා) ධනවතී ඇල්විලගේ, නන්දා වික්‍රමසිංහ, විජය වීරසිංහ, ඩබ්ලිව්.ඒ. වික්‍රමසේන, ගණකධාර මේ පිරිස. ඒ අතරිනුත් වඩා කැපී පෙනුණෙ ෂෙල්ටන් පෙරේරා (පසුව ගායන ශිල්පී, ප්‍රවීණ තබ්ලා වාදක) හා පී.වී. නන්දසිරි (සංගීත් නිපුන්) හා මගේ සොහොයුරු රූපරත්න රණතුංග.   
දයාරත්න රණතුංගට සංගීත විද්‍යාලයේ මෙන්ම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගන්නා කාලයේ සදානුස්මරණීය සිහිවටන ඇත.   
ආනන්ද ශාස්ත්‍රාලය මිශ්‍ර පාඨශාලාවකි. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා මේ පාසලේ නිර්මාතෘය. ගුණසේන ගලප්පත්ති (ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක) හා මහින්ද රණවීර (ප්‍රකට විද්‍යා උපදේශක) ආචාර්ය මණ්ඩලය බැබලවූ ගුරුවරුය. ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන, මනමේ බිසව) ඒ අතර වූවාය. දයාරත්න වටා සමකාලීන සිසු මිතුරියන් රොද බැඳ ගත්හ. වරෙක එය “සම කෝණයේ ත්‍රිකෝණයක් ද විය. ආදරය මෙන් සහෝදරත්වය මේ මිතුදහමට පසුබිමක් විය. පාසල් සමයෙන් පසු එක් මිතුරියක් දයාරත්නට මේ ළඟදී බැංකුවකදී අහම්බෙන් මුණගැසිණි. ඇය විවාහ වී සිටියේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සමඟය. මිතුරිය දයාරත්නට හමුවූ විටම කියා ඇත්තේ “අපි ඉස්කෝලේ යන කාලේ ගත කළේ කොයිතරම් චමත්කාරජනක ජීවිතයක් නේදැයි” කියාය.   
එදා ඇල්බට් චන්ද්‍රවංකයේ පැරණි ගොඩනැගිල්ලේ උඩුමහලේ සංගීත අංශයත්, පහත මහලයේ නැටුම් පන්තියේ පවත්වා ඇත. එදා නැටුම් ඉගෙන ගත් සිසුවියන් සිටියේ ටික දෙනෙක්ලු. තරුණ වියේ සිටි පණීභාරත මහතා ඉතා ශෝභා සම්පන්න දේහයකින් යුතුව නර්තන විලාස, අභිනය මුසු කොට උගන්වන ආකාරය සංගීතය ඉගෙන ගන්නා සිසුන්ට රසඳුනක් විය. දයාරත්න තම මිතුරන් වූ පී.වී. නන්දසිරි, ෂෙල්ටන් පෙරේරා, එල්.කේ.ජේ. වික්‍රමසිංහ ආදීන්ගේ සිත් නර්තනයෙන් කුල්මත් කළ තාරුණ්‍යයෙන් සුපුෂ්පිත නැටුම් ශිල්පීන් තිදෙනෙකුගේ නර්තන බලා බොහෝ විට ශාංගාර රසයෙන් මත්ව බලා සිටියහ. මේ සුරූපියෝ නම් විමලා ගුණරත්න (පසුව මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ බිරිඳ), මාලතී අල්ගම (කලා විශාරද සෝමබන්ධුගේ බිරිඳ, රවිබන්ධු හා මනු බන්දුගේ මව) චිත්‍රා අල්ගම, මේ දෙදෙනාම පණීභාරතයන්ගේ නැඟණියන්ය.   
අතීතය සිහිපත් කරමින් දයාරත්න කීවේ තම මිතුරන් තිදෙනාම ඒකමතිකව කියූ “මචෝ නියම බඩු තුනක්. ගිනි කසේට නටනවා” යන වදනය.එය මේ සුරූපියන්ට අපහාසයට කියූවක් නොවේ. දක්‍ෂතාවට කියූ වදනකි.   
“මම් කෙසේ පවසම් එදා රූ ළඳුන් පෑ රඟ සොබා” කී දයාරත්න Jean Paul Richter කී “චමත්කාරය සීමාවලින් තොර වූ සුන්දර වූ අනන්තයකි” (Romanticism is beauty without bounds the beautiful) වදන සිහිපත් කළේය.   
වයස අවුරුදු 15 දී ගුවන් විදුලි සරළ ගීයක් ගැයූ දයාරත්න රණතුංග ඒ ගීතයේ තනුව නිර්මාණය කළා කීවොත් ඔබ විශ්වාස කරනවාද? එය එසේම සිදුවිය. ලෝකයේ නම් වයස අවුරුදු 4 හා 5 වයස්වල ළමයින් (උදාහරණය බීතෝවන්) සංගීත තනු නිර්මාණය කළ අවස්ථා තිබේ. 1955 වසරේ දයාරත්න ළාබාල සංගීත උපාධිධරයකුව සිටියදී ගුවන් විදුලියේ සරළ ගී පරීක්‍ෂණයෙන් සමත්ව ප්‍රථම ගීය තැටිගත කළේය. ගීතයේ ගේය පද රචකයා වූයේ මර්වින් සේනාරත්නය. දයාරත්නට මේ ගීතයට යුග ගායනයෙන් එක් වූයේ ඔහුගේ වැඩිමහල් එක් සොහොයුරියක් වූ සෝමලතා රණතුංගය. මේ ගීතය 1958 අප්‍රේල් 21 වැනිදා ස්වදේශය හා වෙළෙඳ සේවයේ තැටි ගත වූ බව මර්වින් සේනාරත්න කීවේය.   
මහ රෑ යාමේ මේ ඇල් හේනේ   
තනිවම සීපද කියනු අසා   
වෙහෙස දරාගෙන පාර අසාගෙන   
ආවෙමි තනිවම ඔබව සොයා   
සීපද රාවේ සවනත වැකිලා   
මන්මත් වීල ද ඔබ ආවේ   
මහ රෑ තනියම මේ ලෙස එන්නට   
හොඳ නෑ ඇයි එය නොසිතූවේ   
ඔබ සීපද මට හරි මිහිරී   
මෝරන සෙනෙහස යයි ඉතිරී   
කියන්න සී පද රස කරලා   
අහන්න ඒවා සැනසීලා   
ඔබ කියනව නම් අසා සිටින්නම්   
ඔබේ දෙපා මුල සැතපීලා   
අඳුරයි සුළඟයි අපව වටා   
තනි රකිනවා ආදරය සොයා   
දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ   
නැළවෙමු සුවය පතා   
මේ ගීතයේ මුල එන “කන්ද උඩින් එන කිකිළී” යන සීපද කණ්ඩය පමණක් දයාරත්න විසින් යොදා ගත් බව සේනාරත්න මහතා අපට පවසා තිබුණි.   
මේ ගීතයේ තනුව දේශීය හා ගැමි ලක්‍ෂණ හා රාගධාරී සංගීතයේ එන ශුද්ධ කල්‍යාණි රාගය අනුව නිර්මාණය කළ කාලය වෙන විට දයාරත්න සංගීත ලෝකයේ දැන සිටි දැවැන්තයන් වූයේ සුනිල් සාන්තයන් හා ආනන්ද සමරකෝන්ය. සමරකෝන් පදිංචිව සිටියේ ආනන්ද ශාස්ත්‍රාලය සමීපයේ තිබූ පාගොඩ පාරේ ය. දයාරත්න ඔහු හමුවීමට ගොස් තමා විසින් නිර්මාණය කළ මේ ගීතය ගයා පෙන්වා ඇත.   
“පුතා! උඹත් මා අනුගමනය කරමින් ගීත හදන බව පෙනෙනවා. ගීතය සාර්ථකයි.”   
එය දයාරත්නගේ ඉදිරි ගමනට ආශිර්වාදයක් විය.   
1959 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් (අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) B.S.C. (විද්‍යාවේදී) උපාධියක් ලබා ගත් දයාරත්න 1960 වසරේ ලක්නව් සංගීත විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලැබූ ඔහු ශ්‍රී ලංකා ටයර් සංස්ථාවේ රබර් රසායනාගාර පර්යේෂක තනතුර දරා එතැනින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අධ්‍යක්‍ෂ (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි) අංශයේ කටයුතු කළ අතර බී.එස්.සී. (ලන්ඩන්), බී. මියුසුස් (ලක්නව්), පී.එච්.ඩී. (කැන්ස්ටේට්) උපාධිධාරියෙකි. ඔහුගේ බිරිඳ මහාචාර්ය අමරා රණතුංග ප්‍රවීණ ගායිකාවකි. ඇය 2018 ඔක්තෝබර් 15 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තාය.   
දයාරත්න ජය සිරිමා බෝධියට දැක්වූ අසීමිත ගෞරවය ගැන අසා තිබූ චිත්‍රානන්ද අබේසේකර අපූරු ගීතයක් ලියා දුන්නේය. මෙහි තනුව රෝහිත වීජේසූරිය හා තමා විසින් නිර්මාණය කළ බව දයාරත්න පැවසීය.   
“ජය සිරිමා බෝධී   
රන්වැලි සෑ ආදී   
මිහින්තලය ඉසුරුමුණිය   
අවුකන සිරිමා හිමේ   
රන් රන් ගිරි දඹුළු ගලේ   
සරණයි නිදහසට හෙළේ”   
පාසල් ජීවිතයේ හැමටම පොදු අනුවේදනීය පෙම් පුවතක් සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින් දයාරත්නට ලියා දුන්නේ “දයා, ඔන්න අපි ඔක්කොමගේම යොවුන් ප්‍රේමය ගැන පොදු සින්දුවක් ලිව්වා” කියමිනි. දයාරත්න අමුතු ගීත තනුවක් නිර්මාණය කර ගැයුවේය.   
“සමකෝණී ත්‍රිකෝණයකි   
ඔබත් මාත් ඇයත් තිදෙන   
ඔබ එක මුල්ලක හිටියා   
ඇය තව මුල්ලක හිටියා   
නෙත් සතරක පහස ලබා   
මම මේ මුල්ලේ සිටියා”   
ආචාර්ය අජන්තා රණසිංහ විසින් ආචාර්ය දයාරත්න රණතුංගට ලියූ ප්‍රේම ගීත අතිශයින්ම ජනප්‍රිය විය. යොවුන් වියේ ආදරයේ අපූර්ව බැඳීම මේ ගීතවලට තේමා විය. “ආදරය වඩාත් ලස්සන කඳුළින් නැහැවුණු විටයි” බටහිර කවියකු කී වදන මේ ගීතවලින් මොනවට පිළිබිඹු වේ.   
දුරස් වන්නට මේ ලෙසින්   
ඇයි ද අප හමුවුනේ   
දුරස් වෙන්නට මේ ලෙසින්   
මොටද අප ඉපදුනේ   
අත්වැල් බැඳගෙන මංමාවත් දිග   
ඔහේ ඇවිද ගිය කාලය මතකද   
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්   
ඔබ හිනැහුන ඒ කාලය මතකද   
අජන්තා විසින්ම ලියූ මේ ගීතයද අහංකාර කෙල්ලකට ලියූ දයාරත්න ගැයූ තවත් ගීයකි.   
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ   
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ   
පුළුලු උකුළ සිහිනිඟ - සුඟ   
සුනිල උපුල දිග- නෙතු යුග   
සඳෙස් කවක උපමාවක් යොදලා   
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා   
දයාරත්නයන් විසින් තනුව නිර්මාණය කොට ගැයූ මේ ගීත ඔබේ මතකයෙන් බැහැර නොවෙනු ඇති. “සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් - කාලය කවුළු දොරින් මිය යනවා” (ගීත රචක - සුනිල් සරත් පෙරේරා), උදුම්බරා මනාලියේ - රුවින් උතුම් කුමාරියේ - උදුම්බරා” (ගීත රචනය - උපාලි ධනවල විතාන සම තනු නිර්මාණය සරත් දසනායක, සරසවියේදී හෙට විතරයි හමුවන්නේ - කිම ද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ (ගීත රචනය - සිරි සමන් විජේතුංග), මංගල මධු සමය පතා කුල ගෙට ආ රූපිකාව - පාළු ලොවක තනිකරදා දියඹට යනවා” (ගීත රචනය උපාලි ධනවල විතාන/ සම තනු නිර්මාණය සරත් ද අල්විස්).   
සංගීත විද්‍යාලයේදී දයාරත්නයන් පිළිබඳ සිත් ඇති කර ගත් ඇය වූයේ අමරා කස්තුරි ආරච්චි නම් විශිෂ්ට ගායන ශිල්පිනිය හා වාද්‍ය ශිල්පිනියයි. ඇය හා විවාහ වූ දයාරත්නයන් ඇය සඳහා අපූරු ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණය කර දුන්නේය. “සැළලිණියෝ උඹ දන්නෙ නෑ - පෙම් හිතක පෙම් සුවේ හඳුනන්නෙ නෑ” (ගීත රචනය - අජන්තා රණසිංහ), සමාධි බුදු සිසිලේ ගලා එන අමා දහම් ගඟුලේ - සමාධි බුදු සිසිලේ” (ගීත රචනය - සුනිල් සරත් පෙරේරා) මල් පිපිලා.... ජීවිත උයනේ මල් පිපිලා (ගීත රචනය - චන්ද්‍රසේන රන්ගේ).   
ආචාර්ය දයාරත්න රණතුංග ග්‍රන්ථ කිහිපයක්ම ලියා ඇත. “මහායන සංගීතය” සංගීත විමර්ශන, Sangeetha, පොලිනීසියානු සංගීතය හා නර්තනය (මහාචාර්ය අමරා රණතුංග සමඟ), පොලිනීසියාවේ නාදෝත්පාදක භාණ්ඩ, සුවිසල් සත්සර, සල්මල්, MUSIC - MIND - THERAPY - SANGEETHA, මේ අතර ප්‍රධානය. ඔහු තම ජීවිතේ අමතක නොවන අවස්ථා කිහිපයක් මතක් කළේය.   
ගුවන් විදුලි මැදිරියක් තුළදී මගේ ජීවිතයේ ඇතිවුණු අමතක නොවන රසවත් සිද්ධියක් මට මතක් වෙනවා. මැදිරියක් තුළ මගේ ශාස්ත්‍රීය ගායනයක් පැවැත්වෙද්දී යාබද පාලක මැදිරියේ ආසනයක අසුන්ගෙන සිටියේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් අපගේ ගුරුතුමායි. මා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි ශිෂ්‍යයකු නිසා එතුමාට මගේ තිබුණෙ ගෞරවයක්. එතුමා එදා මැදිරියේ සිටියේ මගේ වැඩසටහනින් පසුව එතුමාගේ “සිතිවිලි” වැඩසටහන ඉදිරිපත් කිරීමටය. මගේ ගායනය අවසන් වූ වහාම මම එතුමා ළඟට ගොස් ආචාර කර කතා කළා.   
“දයා, කොහොමද ඔය තරම් ස්වර ගයන්නේ මතකයෙන්. ප්‍රස්ථාර පිටපතක්වත් නොබලා.”   
මම එයට පිළිතුරු දුන් පසු මට එතුමා මෙසේ පැවසුවේය. “ස්වාංතඃ සුඛාය”   
“දයා දන්නවද මගේ සියලු වැඩ අවසන් කළාට පසුව නින්දට යන්නට පෙර භාවනා කරනවා. ඒ භාවනාවට පසුබිමින් මට ශ්‍රවණය වෙන සේ බටනළා වාදන තැටියක් වාදනය කරනවා. ඒ භාරතයේ සංගීතවේදී චව්රාසියාගේ බටනළා වාදනයක්. අදිකාරම් මහතාගේ ශාස්ත්‍රීය සංගීත රසඥතාව මා මැන ගත්තේ එදාය.   
දැන් මම වඩාත් උනන්දුව දක්වන්නෙත්, පර්යේෂණ කරන්නෙත් සංගීත භාවනාව හා මානසික ප්‍රබෝධය ගැන. මම සංගීත චිකිත්සාව නැතහොත් Music - Mind - Therapy ගැන පොත පත ලියනවා. මම කලක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයේ එම විෂය ගැන පර්​ෙ‌ය්ෂණ කරන විට ඒ අසළ තිබූ පට්නි කියන ආරෝග්‍යශාලාවට නිතර ගියා. ලස්සන වට පිටාවක එය පිහිටා තිබුණේය. රෝහලේ හැම රෝගියෙකුගේම ඇඳ අසළ ටී.වී. එකකුත්, රේඩියෝ එකකුත් තිබුණා. තමන්ට කැමති එකක් තෝරා ගන්න. එහි එක රෝගියෙක් එක්ක කතා කළාම ඔහු කිව්වා “මම ලෝක යුද්ධ කාලේ ලංකාවේ හිටියා” කියලා. ඔහු වයසට ගිය එහෙත් ප්‍රතාපවත් පුද්ගලයෙක්. ලංකාවේ කිව්වම එයා මට ළෙන්ගතු වුණා. ඔහු හොඳ රසිකයෙක්. චිත්‍ර අඳිනවා. බටහිර සිම්පනි සංගීතයත් අහල රසවිඳින බව කිව්වා. දවසක් මම එයාව බලන්න යනකොට මහ කලබලයක්. තමාගේ පිඟන් කෝප්ප බිඳලා යකා නටනවා. මම ඔහුව සනසලා සන්සුන් කළා. බැලින්නම් ඔහුගේ රේඩියෝ එකෙන් “බ්රිජ් ඔන් ද රිවර් ක්වායි” චිත්‍රපටයේ කර්නල් භූගිගේ මාච් එක සහිත (තේමා ගීතය) අහල සිතින් යුද්ධ බිමට ගිහිල්ලා. එය කැමති නෑ අයෙත් රණබිමට යන්න. හිත කැලඹෙනවා. පස්සේ එයා සන්සුන් වී තැන්පත් වුණා. වේග රිද්මයේ සංගීතයෙනුත් වරෙක කෙනෙකුගේ මානසිකව කැලඹෙනවා. එයා කැමති සිම්පනි ඔකෙස්ට්‍රා වාදන අහන්න.   
තවත් ඔය විදිහටම රෝද පුටුවකින් ආපු මහලු රෝගී කාන්තාවක් මම දැක්කා. එදා රෝහලේ පුංචි සංගීත ප්‍රසංගයක්. තරුණියෝ කිහිපදෙනෙක් ගී ගායනවා. මානසික ව්‍යාධියකින් පසුවූ මේ රෝගී කාන්තාව හරිම සතුටින් හිටියේ. වරක් අර තරුණියෝ පැරණි ප්‍රේම ගීතයක් ගැයුවා. මෙන්න අර රෝගී කාන්තාව රෝද පුටුවෙන් නැගිටලා ඒ තරුණියෝ එක්ක ඒ ගීතය ගයන්නත්, නටන්න ගත්ත. රෝහලේ කාර්ය මණ්ඩලයටත් පුදුමයි. ඇවිද ගන්න බැරිව හිටිය මේ නෝනා ඇවිදින්න පටන් ගත්තා. එයා තරුණ කාලේ කැමති ප්‍රේම ගීතය අහල එයාගේ මනස වෙනස් වුණා. සංගීතයෙන් කොපමණ මානසික සතුටක් ප්‍රබෝධයක් දෙන්න පුළුවන්ද?” ආචාර්ය දයාරත්න පැවසුවේය.   
ආචාර්ය දයාරත්න සංගීත භාවනාව හා මානසික ප්‍රබෝධය ගැන පර්​ෙ‌ය්ෂණ කරන බව දැන ගත් යුවළක් ඔහු සොයා පැමිණ ඇත.   
“මගේ නෝනා නිතරම කියනවා මට ජීවත් වෙලා වැඩක් නැහැ මැරෙන්න ඕනෑ කියලා. ඔබතුමා මගේ බිරිඳගෙන් මේ ගැන අහන්න මම අර පැත්තට වෙලා ඉන්නම්.”   
දයාරත්නයන් කාරුණිකව ඇය විමසුවේය.   
“මට කිසිම ආසාවක් නැහැ. මගේ මහත්තයා මට හරිම ආදරෙයි. ඒත් මට කිසිම දේකින් සැනසුමක් නැහැ. මට මැරෙන්නමයි හිත.’   
“මැරෙන්න ඉස්සරවෙලා රසවිඳින්න ඉගෙන ගන්න. සින්දු රසවිඳිනවාද?”   
නැහැ මට ඒවාට උනන්දුවක් නෑ.”   
“මම කිව්වට මේ සී.ඩී. එකේ ගීත අහල සතියකින් මාව හම්බවෙන්න.”   
දයාරත්නයන් දුන්නේ තමා හා අමරා ශාස්ත්‍රීය රාග ආශ්‍රයෙන් ගැයූ ගීත තැටියකි. සතියකින් නැවත ඇය පැමිණ ඇත්තේ “දැන් මගේ සිත ප්‍රබෝධමත්. මම මහත්තයාට කියලා අමරදේව සර්ගේ සී.ඩී. එකකුත් ගෙන්වා ගත්තා කිව්වා.” ඇය කීවාය.   
“දැන් මැරෙන්න කැමතිද?”   
“නැහැ නැහැ.”   
මේ ආකාරයෙන් උසස් රසවින්දනයක් සහිත භාවපූර්ණ ගීත ඇසීමෙන් කෙනෙකුගේ මානසික ප්‍රබෝධය, අසහනය, ආතතිය නැති කිරීමට අවශ්‍ය සංගීත භාවනාව ගැන පොත පත ලියමින් ආචාර්ය දයාරත්න රණතුංගයෝ කිරුළපන ඩී.ඇම්. කොළඹගේ මාවතේ නිවසේ විවේකීව ගත කරයි.   
දයාරත්න හා අමරා රණතුංග යුවළට පුතුන් දෙදෙනෙකු හා දියණියක සිටී. ලොකු පුතා සාරංග ඉතාලියේ පදිංචිව සිටී. නන්දිත රණතුංග නුගේගොඩ සරසවි පොත් හලේ කළමනාකරුවෙකු ලෙසද දුව රූපශිඛා රණතුංග බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ සංගීත උපදේශිකාව වන අතර බෙනාරිස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත චිකිත්සාව පිළිබඳ බාහිර කථිකාචාරිනිය ලෙස සේවය කරන්නීය.   
ඒ.ඩී. රන්ජිත් කුමාර