ක්‍රියාදාම චාරිකා

ක්‍රියාදාම සංචාරවලට හොඳම තෝතැන්න නම් දුම්බර වන පියසයි. රක්ෂිත වනාන්තරයක් වූ මෙම ඉසව්ව ලෝක උරුමයක් ද වන බව බොහෝ දෙනා දනිති. අප දුම්බර වනපෙතේ සමස්ත කඳු දිය ඇලි සහ පතන අතරින් සියයට හැත්තෑවකට අධික ප්‍රමාණයක් වෙත ගොස් නරඹා එම අත්දැකීම් ලබා ගත් අපි, මෙවර අපි ගූගල් චන්ද්‍රිකා තාක්ෂණය පීරමින් අලුත් සහ කිසිවෙකුත් පය නොතැබූ කන්දක් සොයනා අතර, අපට ‘‘සුදුගල’’ කන්ද නෙත ගැටුණි. දුම්බර උසම ගොම්බානියා කන්දට අසල්වැසි වන සුදුගල කන්ද මීට පෙර දූවිලි ඇලි දාමයේ ඇල්ලක් මතට ඉතා දුරින් දැක තිබූ කන්දක් විය. 

 
‘‘සුදුගල’’ ගූගල් චන්ද්‍රිකා සේම භූවිෂමතා (Terian) සිතියම් ඔස්සේ ගවේෂණය කරමින් පහසු මාර්ගයක් සොයා ගැනීමට උනන්දු වූයේ කන්ද පිහිටි ආසන්නතම ගම වූ ඇටන්වලට බොහෝ දුරකින් වූ හෙයිනි. නමුත් ලාහුමානාගල ඔස්සේ සුදුගල කන්දට යා හැකි පටු නිම්නයක් ඇති හෙයින් එ් හරහා යමින් අදාළ ඉසව්වට පිවිස හැකි බව අපට වැටහුණි.   


තවද එම නිම්නය යනු තෙල්ගමු ඔය ගලාගෙන එන ඉසව්වේය. ඇටන්වල සිට කි.මී. 12ක් පමණ දුරින් මහ වනය මැද පිහිටි මෙම කන්දේ පිහිටීම හා අවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තවදුරටත් පිරික්සන විට අපගේ නෙත ගැටුණේ පුදුමාකාර දසුනකි. ඇටන්වල ගම්මානයෙන් කි.මී. 10ක් පමණ දුරින් මහ කැලයේ කිරිගල්පොත්ත කන්ද පිටුපස තෙල්ගමු ඔයේ මුල් ජල පෝෂක ඉසව්ව අසල පිහිටි අරුම පුදුම බංගලාවක් ගූගල් චන්ද්‍රිකා සිතියම් (Satellite Maps) මගින් අපි දුටුවෙමු.   


එපමණ ගණ වන පියසක හුදෙකලා වූ මෙම බංගලාව කුමක් දැයි කියා අප අන්තර්ජාලයේ සෙවුම් කළ ද වැඩි විස්තරයක් සොයා ගත නොහැකි විය. ඇටන්වල ග්‍රාමයේ කිසිවකුත් එම ඉසව්වට නොගිය බව පැවසූ අතර, එය කිසිවෙකුට අයත් පුද්ගලික ස්ථානයක් බවට අපට දැන ගැනීමට ලැබිණ. 


කෙසේ නමුත් අපගේ ක්‍රියාදාම චාරිකාව වූයේ සුදුගල කන්දයි. එබැවින් අප සුදුගල කන්ද තරණයට දින වකවානු යොදාගෙන ගමන පිටත් වූයේ කෙසේ හෝ මෙම බංගලාව කුමක් දැයි කියා සොයා බලන අටියෙනි. කොළඹ සිට මහනුවර හරහා මාතලේට පැමිණ රත්තොට මාර්ගයෙන් රිවස්ටන් වෙත ළඟා වන විට වේලාව පාන්දර 5 පමණ විය. තවමත් ඝන මීදුමකින් මාර්ගය වසාගෙන සිටින බැවින් රිය ධාවනයේ දී අපි වඩාත් ප්‍රවේසම් වුණෙමු. හෙමි හිමිහිට පිටවල පතන ද පසු කොට අපි හන්දියකට පැමිණියෙමු. ඉන් දකුණට රත්නින්ද පාරට හරවා රත්නින්දට ළඟා වූයේ ගැමියන් තවමත් සුව නින්දේ පසුවන විටදීය.   


උදෑසන 6 පසු වන විට ඇටන්වල ගම්මානය අසලට පැමිණ අප අසල වූ තේ කඩය විවෘත කරන තුරු හිඳ උණු උණුවෙම ලුණු මිරිස් සමග රසවත් රොටී අනුභව කෙළේ මානිගල ඇතුළු මැස්කිරිගොඩ කපොල්ල අවට පිහිටි කඳු තවමත් මීදුම් සළු පොරවගෙන සුව නින්දේ පසුවන විටදීය.   


ඇටන්වල හා රත්නින්ද යනු සාම්ප්‍රදායික කුඹුරු ගොවිතැනින් හා භවභෝග වගාවෙන් ජීවිතය සරිකර ගන්නා අහිංසක මිනිසුන් සිටිනා ඉසව්වකි. එතරම් ජනාකීර්ණ​ නොවූවත් ගම්මාන ස්වභාව සෞන්දර්යයෙන් සහ ගහකොළවලින් නම් අඩුවක් නොවීය. තෙල්ගමුව ඔය හැඩ කරන වැද්දාපැනි ඇල්ල සහ රත්නින්ද ඇළ මේ අවට ඇති අතර, ජලයෙන් ගම්මානයට අඩුවක් නොවීය. නමුත් දුම්බර වන පෙතේ මහනුවරට අයත් ඉසව්වෙන් නොව මෙම ගම්මාන ආදී මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඉසව් තරමක් වියළි කාලගුණයෙන් බැට කන බව අපි මීට පෙර නාරංගමුව, ලග්ගල ආදී ඉසව්වල සංචාරයේ දී පවා අත්දැක තිබුණි.   


ඇටන්වලට සොඳුරුතම ආභරණය වනුයේ මානිගල කන්දයි. අතීතයේ කතාවලට අනුව සේම යම් කිසි පිළිගත හැකි මතයක් පවතින මානිගල යනු ගොවියන් කාලය බැලීමට උපයෝගී කරගත් කන්දකි. කන්දේ මැද එක් ස්ථානයකට හිරු එළිය පතිත වීමේ රටාව මත උදෑසන, දහවල සහ සවස් යාමය ගැන ගොවියන් දැනගන්නේ ස්වභාවික ක්‍රමවේද මගින්ය.   


මීට වසර ගණනාවකට පෙර අප මානිගල තරණය කළ ආකාරය සිහිපත් වූ අතර, කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යන ඇසිල්ලේ දැවැන්ත කඳු ප්‍රබෝධමත්ව නැගී සිටිනු බව අපි දුටුවෙමු. තවමත් අඳුරු අහස් කුස වුවද කඳු සියල්ල නිදි ගැට හැරදා පරිසරයට විචිත්‍ර සිත්තමක් සේ ඔහුගේ ප්‍රදේශයේ හමා යන දැවැන්ත සුළං ප්‍රවාහය මධ්‍යයේය. 

 


වැද්දාපැනි ඇල්ල ඉතා කුඩා ඇල්ලක් වුවද මීට වසරකට පමණ පෙර මෙහි ජල ස්නානයට පැමිණි පවුලක්ම ක්ෂණික ජල වැඩිවීමකට පත්ව මරණයට පත්වූ බියකරු ස්ථානයකි. කිරිගල්පොත්ත, සුදුගල හා ගොම්බානිය ආදී කඳුවලින් උපදින සිය ගණනක් උල්පත් ජලය රූටා ගෙන විත් නිම්නය ඔස්සේ ගලා යන තෙල්ගමු ඔයට එකතු වන්නේ ඇසිල්ලකිනි.   


එවන් වැසි බර දායක වූ දරුණු ඛේදවාචකයක් වූ එහි අඳුරු මතකය පිළිබඳ ගැමියන් පවා අප සමග බෙදාගන්න හරිත පරිසරය සුන්දරය. වෙල්යාය තවමත් සුන්දරය. තණ උලා කන හරක් රැළ සිටින කුඹුරුයායට ඉහළින් පෙනෙන දැවැන්ත මානිගල කන්ද වඩා අලංකාර විය. මානිගල සහ ලැහුමානාගල ඉසව්වේ මැද පවතින මල්කිරිගොඩ කපොල්ල අතරින් දූවිලි ඇල්ල, වමාරපු ගල යන තුන්රිස්ගල දක්වා දැක ගත හැකිය. තවත් පසෙකින් රිවස්ටන්, ගොන්ගල, පිටවල පතන සහ ලග්ගල, පල්ලෙගම දක්වා විහිදුනු කඳු මිටියාවත් දැක ගැනීමට ලැබුණි.   


ඇටන්වල වෙල්යාය දිගේ තෙල්ගමු ඔයට සමාන්තරව ගමන් ආරම්භ කළ අපි ගූගල් සිතියමේ ලකුණු කළ පරිදි ප්‍රථමයෙන් සුදුගල බංගලාව සොයා යාමට තීරණය කළෙමු. ලඳු කැලය දිගේ තෙල්ගමු ඔයෙන් ජලය ගම්මානවල ගොවිතැනට ගෙන යන කුඩා ඇළ දිගේ ඉදිරියටම අපි ගමන් කළෙමු. එහිදී එක්තරා ස්ථානයක දී අපට තෙල්ගමු ඔය හරහා අනෙක් පසට යාමට සිදුවිය. එතරම් ජල ප්‍රවාහයක් නොවූයෙන් අපි ජලයට බැස අනෙක් පසට ගමන් කළෙමු.   


එහිදී නැවතත් කුඩා වන පියසකට ඇතුළු වී දල වශයෙන් තිබූ අඩි මාර්ගය දිගේ අපි ඉහළට ගමන් කළෙමු. එහිදී නැවතත් අපට ඇළ මාර්ගයක් හමුවූ අතර, එය රත්තින්ද ගමට ගොවිතැන සඳහා ජලය ගෙන යන ඇළ බව අපි දැනගත්තෙමු. ඇළට සමාන්තරව ගමන් ගත් අපිට ඇළේ සො​ෙරාව්ව ආසන්නයේ දී ඉන් එහාට පිවිස තෙල්ගමු ඔයට දකුණු දෙසින් මහ මගට පිවිස ඇතුළු වුණෙමු.   


වනය නිහඬය. ගුප්තය. නමුත් ලේ රසට ඉව වැටුණු කූඩැල්ලන්ට නම් අද කදිම දවසක් බව අපට පෙනුනේ පයිනස් කැලයට ඇතුළු වූ පසුවය. දැවැන්ත පයිනස් ගස් පිරුණු වන ළැහැබ මත කුඩා අඩි පාරක් තිබුණේ අතීතයේ මෙම මාර්ගය ගම්මු පාවිච්චි කළ බැවිණි. මද තෙත බවකින් යුත් පොළව මත කූඩැල්ලන්ට නම් නිවාඩුවක් නොවූයේ සැණින් පාදවල එල්ලී ලේ රස සොයා එන නිසාවෙනි.   


කෙසේ හෝ අඩි පාර අපගේ සිතියමට අනුව වූ හෙයින් අප ද අතිරේක මහන්සියක් නොයොදා මාර්ගයේ ගමන් කෙරුවෙමු. මෙම මාර්ගය එතරම් කඳු නැග්මක් නොවූයේ නිම්නයට සමාන්තරව අප සුදුගල කන්ද පිටුපසට යන හෙයිනි. පයිනස් කැලය අවසන් වීමත් සමග යම් එළිමහන් ස්ථානයකට අපි පිවිසි අතර, මද විවේකයක් ගැනීමට එහිදී අපි අමතක නොකළෙමු. එම නිසාම අපි මදක් නැවතී අවට කඳු වැටි සිතියමට අනුව නිරීක්ෂණය කළෙමු. එහිදී ඈතින් සුදුගල කන්දත් ලාහුමානාගල සහ රත්මැටිය කඳු වැටියත් යාන්තමින් ඇටන්වල සහ මානිගල කන්දත් නිම්නය ඔස්සේ දැක ගත හැකි විය.   


කෙසේ ​හෝ නැවතත් කැලය මැදින් ගමන් ගත් අප හට සංචාරක ජීප් රථ යා හැකි මාර්ගයට සේන්දු වීමට හැකි වුණි. සිතියම අනුව එම මාර්ගය රිවස්ටන් පෙදෙසේ සිට සුදුගල බංගලාවට යන මාර්ගය බව තහවුරු වුණි. පසුව එම මාර්ගයට පිවිස ගමන ආරම්භ කළ අපිට මීටර් කිහිපයක් ගිය පසු නටබුන්ව ගිය ගරා වැටුණු ගොඩනැගිල්ලක් හමුවිය. ඊට මද දුරකින් විශාල නුග ගසක් තිබූ අතර, වසර කීපයකට පෙර අතීතයේ යම් වන්දනාමාන කටයුත්තක් එහි සිදු කර ඇතැයි සිතිය හැකි විය. අතීතයේ මෙම ප්‍රදේශය පුද්ගලික ඉඩම් වූ බැවින් එනසාල් වගාව සඳහා වාඩි ස්ථාන කිහිපයකම සාදා තිබූ බවට සිතිය හැකි විය.   


ඉන්පසු අපි අවතීර්ණ වූයේ මාර්ගයේ තණකොළ බොහෝ වැවුණු තෙත් ගතියකින් යුත් පෙදෙසකටය. මෙම ඉසව්වේ කූඩැල්ලන් සිටියේ මිලියන ගණනිනි. එම නිසාම හනි හනිකට ගමනේ යෙදුණු අපි නැවතත් පයිනස් වනයක් පසු කරමින් බංගලාව පෙනෙන මානයේ සැරිසරන්නට වීමු. වම් පසින් නිසොල්මනේ සිටින සුදුගල කන්ද තිබූ අතර, ගොම්බානියා ආශ්‍රිත පෙදෙස ඝන මීදුමකින් වැසී තිබුණි.   


පඩි කිහිපයක් නැගගත් අප ළඟා වූයේ අතීතයේ එනසාල් වියලීමට සහ සකස් කිරීමට ගත් කුඩා කර්මාන්තශාලාවක් වැනි ස්ථානයකටයි. එය ගරාවැටී ගිය ගොඩනැගිල්ලක් වූ අතර, එහි දොර ජනෙල් සියල්ල කැඩී විනාශ වී අබලන්ව තිබුණි. එහි වූ පැරණි යන්ත්‍ර අප දුටු අතර, එම ස්ථානය අතීතයේ ප්‍රබල ලෙස එනසාල් සම්බන්ධ කටයුතුවලට භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි විය.   


පසුව අප දුටුවේ අතිශය සුන්දර බංගලාවකි. පොළොවෙන් අඩි එක හමාරක් පමණ ඉහළ කණු මත සාදා තිබූ එම බංගලාව සැබවින්ම පිහිටා තිබුණේ හොම්බානිය සහ කිරිගල්පොත්ත කඳු පිටුපස තෙල්ගමු ඔයේ මුල් ජල පෝෂක ඉසව්ව තුළය. පිටු පස පිහිටියේ දැවැන්ත පයිනස් කැලයකි. කුඩා ගෙවත්තක් වූ අතර එහි අසුන් ගැනීමට බංකු සහ සරල ක්‍රීඩා කටයුතු කිරීමට ස්ථාන විය. කුඩා පොකුණක් වූ අතර කොඩි රඳවන කණු ද එහි විය.   
අප සොයා ගත් කරුණු අනුව මෙම ස්ථානය හිටපු ගුවන් හමුදාපති කෙනෙකුට අයත් විය. චන්ද්‍රිකා රූපවාහිනී සේම විදුලියට රැහැන් ද ඇද ඇති මෙම බංගලාව වීදුරු ජනෙල් බංගලාවක් විය. අනවසරයෙන් ඇතුළු වීම නුසුදුසු වූයෙන් වැඩිදුර බංගලාව පිළිබඳ අප පිරික්සන්නට ගියේ නැත. මන්ද අපට අවශ්‍ය වූයේ මේ ඉදිරිපස තෙල්ගමු ඔයෙන් එහා පෙදෙසේ පිහිටි සුදුගල කන්ද තරණය කිරීමයි. එම නිසාම දුම්බර වනයේ දුෂ්කරතම ඉසව්වක පිහිටි සුදුගල බංගලාවෙන් සමුගෙන අපි තෙල්ගමු ඔයට පැමිණියෙමු. පසුව එගොඩ වූ අප ගූගල් සිතියම අනුසාරයෙන් කඳු මුදුන සොයා දරුණු කඳු නැගීමක නිරත වුණෙමු.   


මෙම මාර්ගය භාවිත කරන්නන් වූ හෙයින් ලිස්සන සුළු හා අවදානම් ස්ථානවලින් පිරුණු මෙම කන්ද නැගීම පහසු නොවීය. සපත්තු ඇතුළට සහ කමිස තුළටත් පස් විසිවෙන දුෂ්කර ඉසව්ව තුළ සිටි කූඩැල්ලන් තවත් අපට වැඩ වැඩි කළෝය. ක්‍රම ක්‍රමයෙන් සුදුගල කන්ද නගින්නට වූ අතර එහිදී මුහුදු මට්ටමේ සිට මීටර් 1300 කට වඩා ඉහළ යන විට වන තුරු ගොමුව අතින් හරිත වන පියස මැද හුදෙකලා වූ සුදුගල බංගලාව සහ ඒ අසල වූ ගරා වැටුණු ගොඩනැගිල්ල අපට දැක ගැනීමට හැකි වුණි. ඉතාමත් දුෂ්කර ගමනික් පසු අප සුදුගල කන්ද මුදුනට ළඟා වූ අතර එහිදී වෙලාව සවස 4 ට ළංව තිබුණි. මේ වන විට අප සුදුගල බංගලාව වෙත ගිය අඩි මාර්ගයෙන් කිලෝ මීටර් ගණනක් දුරින් සිටි අතර නැවත ආ මගේම පල්ලම් බැසීම කළ නොහැකි විය. එම නිසා අප මුදු​නේ සිට තෙල්ගමුඔය ගලන නිම්නයට යාමට වෙනත් මඟක් තෝරා ගත්තේ යන වන පියස තුළින් තවත් නිම්නයකට වැටී ගමන් කළ හැකි බව සිතියම පවා පෙන්වූ හෙයිනි. විටෙක නාය ගිය ස්ථානයක් දිගේ අංශක 70ක පමණ බෑවුම අත් පා සතරෙම වාරු ඇතිව බැස ගත්තෙමු. නොඉඳුල් වන පියසේ අසිරි සිරිය ද බලමින් හෝරාවකට පමණ පසු අප මෙම කන්දේ නිම්නය දිගේ ගලන ජල පහරකට සේන්දු වුණෙමු. පටු වතුර පාර දිගේ අපි පල්ලම් බසින්නට වීමු.   


අප නැවත බැසීමේදී තෝරා ගත් මාර්ගය දුරින් වැඩි අතර දුෂ්කර බවින් තවත් වැඩිය. කෙසේ හෝ සවස 6 පසුවන විටත් අපට කිලෝ මීටරයකට ආසන්න දුරක් තෙල්ගමු ඔයට යාමට තිබුණි. එතැන් සිට තවත් කිලෝ මීටර් 12ක දුරක් ගෙවා ඇටන්වල ගම්මානයට යා යුතුව තිබුණු බව ද හිත් කොනක තිබුණි.   


එක් අවස්ථාවක ගඟ දිගේ බසින විට දකුණු පසින් විශාල ගෝනෙකු අප සිටි ස්ථානයට කඩා පාත් වූ අතර අප දැක බියට පත් වූ උෟ ගස් දෙබලක සිරව නැවත වැටී ඉදිරියෙන් ගිය සගයන් දෙදෙනා සමීපයට ලිස්සා ගොස් නැවතත් නැගිට වනයට පිවිස දුව ගියේ ත්‍රසජනක චිත්‍රපටියක සිද්ධියක් මෙන් මොහොතකට අපව ද තුෂ්නිම්භූත කරමිනි. කෙසේ නමුත් රාත්‍රි 8 වන විට තෙල්ගමු ඔය අසලට පැමිණ තවත් මීටර 200ක කන්දක් නැග සුදුගල බංගලාවට යන අඩි මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ අපි ඇටන්වල ගම දෙසට හැරී ගමන් කළෙමු. රාත්‍රී වූ බැවින් සියල්ලෝම දුරකථනයෙන් පහන් එළි දල්වා ඒ පිහිටෙන් හනිකට ගම බලා ඇදෙන විට ඉදිරියෙන් ගිය මාගේ එක් පියවරක් තැබීමට සුදානම් වුවද සර්පයකු පාර හරහා ඉතාමත් සංයමයෙන් සංසුන්ව යනු දුටුවේ පූර්ව වාසනාවකට මෙනි. මන්දයත් හදිසියෙන් ඌ දෂ්ට කළා නම් මිය යන්නේ ලංකාවේ උග්‍ර විෂ සර්පයන් පස්දෙනාගෙන් කෙනෙකු වු මුදු කරවලා ගේ දෂ්‍ටනයකින් ලෙසය. කෙසේ හෝ බොහෝ දුෂ්කරතා මැද රාත්‍රී 12 වන විට අප ඇටන්වල ගමට ළඟා වූයේ කාලය ජය ගනිමිනි. ගමනාන්තය සාර්ථකව අවසන් කළ පිරිසක් මෙහි අප එනතුරු ගැමියන් දෙදෙනකු මඟ බලා සිටියහ. ඒ ඔවුන් හට විස්තර කියා ගමන පිටත් වූ බැවිනි. කෙසේ හෝ දුම්බර වනයේ ඝන වන පෙතක සැඟවුණු සුදුගල බංගලාව හිටපු ගුවන් හමුදාපති තුමෙකුට අයත් බවට විස්තරයක් සොයා ගත් අතර එම ගුප්ත බංගලාවේ මතකය යළිත් ආවර්ජනය කරමින් අපි නිවෙස් බලා පිටත් වුණෙමු.   

 

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු