මීට අවුරුදු තිස් අටකට පෙර ගෙවුණ 1981 ඔක්තෝබර් මාසයේ අග ඉතා වැදගත් දිනයක් විය. එංගලන්තයේ දෙවැනි එළිසබත් රැජන දෙවැනි වරට ලංකාවට පැමිණි දින කිහිපය විය. එය තවත් පැත්තකින් ශ්‍රී ලංකාවේ ‘මැණික්’ පිළිබඳ ඉතිහාසයේ නොමැකෙන සිහිවටන තැබූ අවස්ථාවක් ද වීම එකී වැදගත්කමයි.   


චාල්ස් කුමරු සමග අතිනත ගත් ඩයනා කුමරියට විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ පැලඳි මුදුවේ ඔබ්බවා තිබුණේ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු පරිත්‍යාග කළ ‘නිල් මැණිකක්’ වීමත් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ උරුමයක් ලෙස පසුව ඩයනා කුමරියගේ ලේළිය වූ කේට් කුමරියට උරුම වීම ද සමග මේ ‘නිල් මැණිකේ’ අගය තවතවත් ඉහළ ගියේය.   


‘නිමල් පතිරණ’ යනු මැණික් ලෝකයේ නිතර කතාබහ කෙරුණ නාමයක් විය. ගුවන් ගමන් බලපත්‍ර අසූහතක් අවසන් වෙන තෙක් විදෙස් සංචාරය කළ ඔහු ජාත්‍යන්තර මැණික් වෙළෙන්දෙකු විය. කපා ඔපදමා තිබූ මේ ‘නිල් මැණික’ දෙවැනි එළිසබත් රැජනට පරිත්‍යාග කළේ ඔහුය. අදවෙන විට ඔහුගේ නාමය මැණික් ලෝකයේ කතා නොකරයි. ඒ බුදු දහමේ පැහැදිලි කරන ජීවන යථාර්ථය නිමල් පතිරණ මහතාට ද බලපෑ නිසාවෙන් විය යුතුය. මේ ලිපියේ අරමුණ නිමල් පතිරණ මහතාගේ ජීවිත කතාවට එබී බැලීම නොවන බව සිහිපත් කළ යුතුය.
   


‘මැණික් ලෝකය’ තුළ විවිධ සිදුවීම් බහුලය. වරදාන වරප්‍රසාද, සම්මාන, අගය කිරීම්, නැගී සිටීම්, වැටීම්, ධනවතුන් වීම, ධනවතුන් වී දූප්පතුන් වීම, යටිමඩි ගැහීම්, වංචා, හොරකම්, චණ්ඩිකම්, පරිත්‍යාග, වැනි සංසිද්ධින් බහුල වූ සැබැවින්ම අපූරු කථාවලින් පිරි ලෝකයකි.   
දෙවැනි එළිසබත් රැජන අභිෂේක ලැබූ පසු දෙවැනි වරට ලංකාවට පැමිණියේ 1981 ඔක්තෝබර් 21 දිනය. එකල රාජ්‍ය පාලකයා වූයේ ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයායි.   


1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය මැණික් කර්මාන්තයේ නියැළි සාමාන්‍ය ජනයා වෙනුවෙන් නියාමක මැණික් පතල් ක්‍රමයක් ඇරඹුවේය. රජයේ ඉඩම්, ඇළදොළ ආශ්‍රිතව ඇති මැණික් සම්පත ගොඩ ගෙන රජයට ආදායම් ලබාගැනීම මේ නියාමක මැණික් පතල් ක්‍රමයේ අරමුණ විය. නියාමක මැණික් පතල්වල වැඩි කොටස් හිමිවූයේ මැණික් සංස්ථාවටය. (අද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එදා හැඳින්වූයේ මැණික් සංස්ථාව ලෙසිනි) නියාමක පතල්වල වැඩ කළ අයට කොටස් හිමි විය.   
නියාමක පතල් ඇති ප්‍රදේශයේ අවට පදිංචි මැණික් පතල් වැඩ දන්නා අයට වැඩකිරීමේ අවස්ථාව හිමි විය. ඒ අයට වැටුප් හෝ දීමනා නොලැබුණ අතර හවුල් හිමි විය. මැණික් සංස්ථාවෙන් නිලධාරියෙක් හෝ දෙන්නෙක් මේ එක නියාමක මැණික් පතලක අධීක්‍ෂණ කටයුතු කළේය. හවුල්කාරයෝ වෙනත් පතල්වල මෙන් සෑම රාජකාරියක්ම කළ අතර පතල් මුර කළ යුතු අවස්ථාවල ඒ මුර කටයුතු ද කළහ.   

 

නිල්මැණික ඔබ්බවා තැනූ රාජකීය මුද්ද   

 


මැණික් පතල් කර්මාන්තයේ දී කිසිවෙකුත් විශ්වාස නොකිරීම සාමන්‍ය සිරිතයි. හැමකෙනා දිහාම බලන්නේ යම් සැකයක් තබාගෙනය. මැණික් පතල්වලින් ලැබෙන වටිනා මැණික් ගල් හොරකම් කිරීමේ සිද්ධි අතිමහත්ය. පොලීසි ගානේ ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමක් මෙහිදී සිදුවෙන්නේ ඉතාම අඩුවෙනි.   
මැණික් ගලක් හොරකම්කර ඇති බව සැලවුවොත් එය සොයා ගැනීමට විවිධ පිළියම් මැණික් ලෝකයේ පවතී. මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්නේ නැත. ගොඩ පතල් තට්ටු පතල් ආදී මේ සෑම මැණික් පතල් ක්‍ෂේත්‍රවල ‘ගල් හොරකම්’ කිරීමේ අවදානම තිබේ.   
අපි මුලින් කතා කළ බ්‍රිතාන්‍ය රජ පවුලේ උරුමයක් බවට පත් වූ ලංකාවේ ‘නිල් මැණික’ ගැන එය පරිත්‍යාග කළ ව්‍යාපාරික නිමල් පතිරණ මහතා සඳහන් කර තිබුණේ එය රක්වාන පොතුපිටිය ප්‍රදේශයෙන් හමුවූ එකක් බවටයි.   


බේබිසිඤ්ඤෝ නමැත්තෙකු ප්‍රධානව සිව් දෙනෙක් විසින් 1980 දී නිමල් පතිරණ මහතාගේ රත්නපුර නගරයේ බණ්ඩාරනායක මාවතේ කාර්යාලයට ගෙනා මැණිකක් බව ඔහු පවසා තිබුණි. මේ රළු නිල් මැණිකේ බර කැරට් 3250ක් ව තිබුණි. ඔහු එය මිලදී ගෙන තිබුණේ රුපියල් ලක්‍ෂ හතළිහකයට (මිලියන හතරකට) බව ද පතිරණ මහතා සඳහන් කර තිබුණි. මැණික ගෙනා අයගේ ලංසුව රුපියල් කෝටියක් විය. අසූව දශකයේ ලක්‍ෂ හතළිහක් යනු අද කෝටි ගණනකි.   


නිමල් පතිරණ මහතා මේ නිල් මැණික ගැන එසේ කිව්වද, එය සත්‍ය කතාව නොවන බවට කියන පිරිසක් ද සිටිති. එළිසබත් රැජනට පිරිනැමූ ඒ නිල් මැණික නියාමක පතලකින් ‘හොරකම්’ කළ එකක් බවට එකල කටකතාවක් වරින් වර පැතිර ගියේය. ‘රාජකීය නිල් මැණික’ ගැන මොනවා හෝ කතාවක් මතුවෙද්දී මේ කට කතාවද අළුයට ගිනි සේ මතුවෙයි.   
දශක හතරකට පමණ පෙරවූ මේ කටකතාව ද දැන් වියපත් ය. වත්මන් තරුණ පරපුර ඒ ගැන අවධානයක් යොමු නොකරයි. නමුත් එදා මේ කතාව ගැන අසා දැන සිටි වැඩිහිටියෝ තවමත් ඒ ගැන සිහි කරති.   
මැණික් පතල්වල හම්බවෙන මැණික්ගල් හොරකම් කිරීම් ගැන මුලින් කීවෙමි. ‘රාජකීය නිල් මැණික’ ගැන ඇති නිමල් පතිරණ මහතා නොකියන කතාව සොයා බැලුවෙමි.   


සිද්ධියේ කතානායකයෝ තවමත් ජීවතුන් අතර සිටිති. එදා පොලීසිය ද පැමිණ පරීක්‍ෂණ කළ මේ මැණික් ‘හොරකම’ ගැන ඊට සම්බන්‍ධ කිසිවෙකුත් ප්‍රසිද්ධියේ එය හෙළිදරව් කරන්නට අකමැතිය. කතාව දන්නා අයද නමින් කියන්නට අකමැතිය. හේතුවක් ද ඊට ඇත. මේ සිද්ධිය වූයේ හතළිස් වසරකට පෙරදීය. එදා සිද්ධිය වෙන වකවානුවේ නූපන් පිරිස් මේ පවුල්වල අද විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන බැවින් ඔවුන්ට ද යම් විදියක ‘හොර නාමයක්’ පටබැඳේවි යන බිය අනන්‍යතාව හෙළි නොකිරීමට හේතුවයි.   
කිසිවෙකුට අපහාසයක් හෝ කිසිවෙකු අපහසුවට ලක් කිරීම හෝ මේ ලිපියේ අරමුණ නොවේ. හුදෙක් අතීත සිදුවීමක් සිහි කිරීම සහ ජනතාව තුළ පවතින ඒවා දැන ගැනීමේ රුචිකත්වයට යමක් එකතු කිරීම මෙහි අරමුණයි.   


ඒ නිසා මෙහි පුද්ගල නම් කිසිවක් සඳහන් නොකිරීමට මම වගබලා ගතිමි.   
රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ කුරුවිට රත්නපුර පාර හරහා අමුතාගොඩදී ගලා යන ‘අමුතාගොඩ මහ ඇළ’ කාරණා කිහිපයක් නිසා ප්‍රසිද්ධය.   


ඉන් එකක් 1948 අප්‍රේල් මාසයේ වයිට් හවුස් නම් බ්‍රිතාන්‍ය ජාතික වතු කළමනාකාරවරයෙකු සේවක වැටුප් රැගෙන එද්දී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ද ‘අමුතාගොඩ මහ ඇළ’ මතින් තිබූ පැරැණි පාලම උඩදීය. එකළ ප්‍රසිද්ධ කොල්ලකරුවෙකු වූ පානදුරේ ‘ලෑතර බාස්’ මේ වැරදුණ කොල්ලයේ නායකයා විය. මෙහිදී වයිට් හවුස් මහතා මිය ගියේය. එකළ වයිට් හවුස් කොල්ලය නමින් මේ සිදුවීම රටපුරා ප්‍රසිද්ධ විය.   
අනික් කාරණය නම් දෙවැනි එළිසබත් මහ රැජිනට දුන් නිල් මැණික හමුවූයේ ද ‘අමුතාගොඩ මහ ඇළ’ මැද නියාමක මැණික් පතලකින් යන කතාවය. ඒ අසූව දශකයේ මුල දීය.   


කොළඹ සිටි රත්නපුර දෙසට කුරුවිට, පණුකැරෑපිටිය පසුකර ඉදිරියට යනවිට දකුණු පැත්තේ හමුවන ශාක්‍යසිංහ සමාධි බුදුපිළිමය පිහිටා ඇත්තේ ද ‘අමුතාගොඩ මහ ඇළ’ අසල ය.   


‘අවුරුද්ද හරියටම මතක නෑ. එතකොට යූඇන්පී ආණ්ඩුව තිබුණේ. නියාමක මැණික් පතල් කියලා සංස්ථාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුවේ ඉඩම්වල පතල් කැපුවා. දැන් ඔය ශාක්‍යසිංහ සමාධි බුදුපිළිමයට අඩි දෙසීයක් විතර කුරුවිට පැත්තට වෙන්න තියන පාලම ‘අමුතාගොඩ මහ ඇළ’ හරහා දාලා තියෙන්නේ. රත්නපුර පැත්තට යනකොට පාලමේ දකුණු පැත්තේ ඇළ මැද මේ කියන ආකාරයේ නියාමක පතල් දෙකක් තිබුණා. අමුතාගොඩ ගමේ සහ උතුරු ගලුකාගම කියන ගම් දෙකේ අය තමයි වැඩ කළේ.’   
‘මේ පතල් තට්ටු පහක් විතර ගැඹුරයි. ඒ කියන්නේ අඩි දහයක් විතර ඇති. ඇළ දෙපැත්තේ කුඹුරු තිබුණේ. ඇළ පහළ දෙසට යද්දී වම් පැත්තේ තිබුණේ අමුතාගොඩ ගලකැපියාව දෙණිය කියන කුඹුරු ඉඩම. ඒක අක්කර දහයක් පහළොවක් විතර ලොකු ඉඩමක්. ගමේ කෙනෙකුට අයිතිවෙලා එයාගේ දුවගේ මංගල්ලෙට උකස් කරලා ආටිගල පරම්පරාවට සින්න වූ ඉඩමක්.’   

 

ශාක්‍යසිංහ බුදුපිළිමය, ප්‍රධාන පාර සහ නියාමක පතල තිබු අමුතාගොඩ මහ ඇළ   

 

 


‘දකුණු පැත්තේ තිබුණේ දබරේ ලියැද්ද කියන ඉඩම. ඒක හවුල් කුඹුරක්. ඒකට හැමදාමත් හවුල්කාරයෝ දබර කරගත්තා. මේ ඉඩම් දෙක මැද්දේ තමයි ඔය කියන නියාමක පතල් දෙක තිබුණේ. ඇළේ වතුර පාර වෙන පැත්තකින් හරවලා තට්ටු බැහැලා ඉල්ලම ගන්නවා. ගොඩදාපු ඉල්ලම ගරනකං පතලේ කපන හවුල්කාරයෝ මුර කරනවා.’   
‘නියාමක පතල්වල හම්බවෙන මැණික් ගල් පුද්ගලිකව විකුණන්නේ නෑ. සංස්ථාවෙන් වෙන්දේසි ක්‍රමයට විකුණන්නේ. ඒ හින්දා මැණික් වෙළෙන්දන්ට කේවල් කරලා මැණික්ගල් ගන්න බැරිවුණා. මේ කියන එක නියාමක පතලක ගලක් හොරකම් කළ රාවයක් ගම පුරා පැතිර ගියා. පොලීසියෙනුත් වරින්වර පතලේ වැඩකරපු අය හොයාගෙන ආවා. ඒ අයව අරං ගිහිං දවස් ගණං රඳවාගෙන ප්‍රශ්න කළා.’ අමුතාගොඩ ගමේ වැඩිහිටියෙක් අතීත සිද්ධිය සිහිපත් කළේය.   


වැඩිහිටියන් කියන පරිදි මේ කියන නියාමක පතලේ ලොකු බාසුන්නැගේ සහෝදරයෙක්. නිමල් පතිරණ මහතා ළඟ සේවය කර තිබේ. ගල හොරකම් කළ කෙනා ඔහුගේ සහාය මත නිල් මැණික නිමල් පතිරණ මහතාට විකුණා ඇත. මැණික් ගල හොරකම් කර තිබුණේ ලොකු බාසුන්නැහේ නම් නොවේ. පතලේම වෙනත් කෙනෙකි. ඔවුන් දෙදෙනාම තවම ජීවත් වෙති. එහෙත් මැණික් ගල සඳහා නියම වටිනාකම ඊට ලැබී නැති බව වැඩිහිටියන්ගේ විශ්වාසයයි. නියාමන පතලෙන් මැණික්ගල හොරකම් කළ බව කියන කෙනා අත ඒ කාලේ හැටියට වැඩිපුර මුදල් ගැවසීමත් මත ඔහු එය කරන්නට ඇති බව ගම්මු විශ්වාස කළ බවද අද වැඩිහිටියන් ව සිටින මේ සිද්ධිය දන්නා අයගේ අදහසයි.   
‘ඒ දවස්වල පොලිසිය නිතර දෙවේලේ ඇවිල්ලා ඔය කියන නියාමක පතලේ අයගෙන් ප්‍රශ්න කළා. අවසානයේ දී හෙරකම් කළ බවට සැකකරන කෙනා පතලෙන් ඉවත් කළා. පස්සෙ එයත් නිමල් පතිරණ මහත්තයා ළඟ තමයි වැඩ කළේ.’ වැඩිහිටියා කීවේය.   


මැණික් ව්‍යාපාරයේ දී මැණික් වෙළෙන්දන් විශ්වාසය රකින්නෝ බවට පතල්වල වැඩ කරන අය අතර දැඩි විශ්වාසයක් පවතී. පතලකින් ගලක් හොරකම් කරලා මැණික් මුදලාලි කෙනෙකුට දීලා මේක හොරකම් කළ ගලක්, විශ්වාසය රකින්න කිව්වොත් ඒ අකුරටම කෙරෙනවා.’   
ගමේ වැඩිහිටියන් කියන්නේ නිමල් පතිරණ මහතා ද එදා මේ රහස අකුරටම දේව රහසක් ලෙස රැක්ක බවයි. ඔවුන් එයට උදාහරණ ද පෙන්වයි.   
‘ඔය නිල් මැණික අරගත්ත නිමල් පතිරණ මුදලාලිට එදා රාත්‍රී හීනෙන් කෙනෙක් පෙනිල තියනවා. සමන් දේවාලේ පූජාවක් තියන තුරු මැණික කපන්න එපා, කියලා පෙනුන කෙනා කියලා තියනවා. ඊට පස්සේ සතියක් මස් මාංශවලින් වැළකිලා කිව්ව විදියට පූජාව තියලා තමයි මැණික් ගල කපලා තියෙන්නේ.    
‘කපපු නිල් මැණිකේ සමහර කෑලි විකුණලා ලොකු ලාභයක් අරගෙන තියනවා. මේ සිද්ධියත් එක්ක අපි විශ්වාස කරන්නේ මේ කියන ගල රක්වානේ එකක් නෙවෙයි. මේ අමුතාගොඩ මහ ඇළේ මැද තිබිලා හමුවුණ නිල් මැණික කියලා.’ එම වැඩිහිටියා තවත් පැහැදිලි කළේය.   

 

එළිසබත් රැජන, ජනපති ජේ.ආර්. සහ නිමල් පතිරණ 

 


රැජින ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ මැණික් ප්‍රදර්ශනයක් පවත්වා තිබේ. ඒ 1981 ඔක්තෝබර් මාසයේ 22 හෝ 23 යන දිනවලින් එකකය. ලංකාවේ වටිනා සහ දුර්ලභ මැණික් ගල් එහි ප්‍රදර්ශනයට තබා තිබී ඇත. ප්‍රදර්ශනය දිනයේ උදේ 10.30ට එළිසබත් රැජන ජනපති මන්දිරයට පැමිණ මේ මැණික් ප්‍රදර්ශනය නරඹා ඇත. එහිදී මේ නිල් මැණිකට ඇගේ හිත ඇදී ගොස් එය අතට ගෙන බලා නැවත සවස එන බව පවසා ආපසු ගොස් තිබේ. යළි සවස 04.30ට පමණ නැවත පැමිණ මේ නිල් මැණික අතට ගෙන පරීක්‍ෂාකර තිබේ.   


ඒ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නිමල් පතිරණ මහතා අමතමින් මේ නිල් මැණික රැජනට තෑගි කරන්න කැමති නැද්දැයි කළ විමසුමකින් පසු එය රැජිනට පරිත්‍යාග කර තිබේ. සැප්තැම්බර් මාසයේ මැණිකක් ලෙස නිල් මැණික හඳුන්වනු ලබයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාද උපන්නේ සැප්තැම්බර් මාසයේ නිසා තමන් උපන් මාසයට අයත් මැණිකක් රටට ආ රාජකීය දූතිකාවට පරිත්‍යාග ලෙස දෙන්නට ලැබීම ගැන ජයවර්ධන ජනාධිපතිවරයා සතුටු වෙන්නට ඇත.   


රැජින ආපසු යන්නට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එළිසබත් රැජන වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට නිමල් පතිරණ මහතා ද අමුත්තෙකු ලෙස ආරාධනා ලැබ තිබුණි.   

 


අජිත්ලාල් ශාන්තඋදය