ඉතිහාසය

සිංහලයාගේ වංශ කතාව සඳහන් ග්‍රන්ථයක් අප සතුව ඇත. එය මහා වංසයයි. අසල්වැසි ඉන්දියාවටත් නොමැති අපගේ ඉතිහාස මූලාශ්‍රයක් වූ එය මහා විහාර පරම්පරාවේ ඉතිහාස වාර්තාව ලෙසට ද හැඳින්වෙයි. එහෙත් එය සිංහලයාගේ භාෂාව වූ සිංහලෙන් ලියැවුණු ග්‍රන්ථයක් නොවේ. එය පල්ලවයන්ගේ (ද්‍රවිඩයන්ගේ) භාෂාව වූ පාලි බසින් ලියැවුණකි. මෙසේ වුව ද ක්‍රි.ව. 4 වන ශතවර්ෂය වන විටත් අප සතුව සිංහලෙන් ලියන ලද විවිධ විෂයන්ට අද‌ාළ පොත්පත් රාශියක් තිබුණි.   


 ඒවායින් ඉතිහාස විෂය ධාරාවට අයත් සේ සැලකෙන ‘සිංහල අට්ඨ කතා මහාවංස’ ’උත්තර වාසීනං මහාවංස’, ‘පෞරාණට්ඨ කතා’, ‘සීහලට්ඨ කතා’ ආදිය එවැනි ග්‍රන්ථයෝ වෙති. එසේම මහා විහාරයෙහි මුල් කාලීන භික්ෂුන් විසින් ලියන ලද පරිච්ඡේද 37 කින් යුත් සිංහල මහා වංසයක් ද තිබුණි. එහෙත් වර්තමානයේ අප හමුවේ ඇත්තේ කිතුවසින් පස්වන ශත වර්ෂයේදී සම්පාදිත මහාවිහාර මහ වංසයයි.   


 අභයගිරි වාසී මහා බුද්ධරක්ෂිත නම් හිමිනමක් විසින් ක්‍රි.ව. 4 වන ශත වර්ෂයේදී ලියන ලද ‘රාජ වංශ පුස්තකය’ නම් වූ ග්‍රන්ථයක් අභයගිරි විහාරයෙහි තිබී ඇත. එය සිංහල ග්‍රන්ථයකි. එහි සිංහල පිටපතක් මෙන්ම සංස්කෘත පරිවර්තනයක් ද ශ්‍රී විජය එනම් සුමාත්‍රාවේ පලෙම්බැං පුස්තකාලයෙහි තැන්පත්ව ඇතැයි පරණවිතාන මහතා සඳහන් කරයි. මහසෙන් රජතුමා මෙම ග්‍රන්ථයට විශාල අනුග්‍රහයක් දැක්වූ නමුත් මහා විහාර භික්ෂුන් එය මිථ්‍යාදෘෂ්ටික යැයි ප්‍රකාශ කර තම නිකායේ භික්ෂූන්ට එය කියවීම තහනම් කර ඇත.   
 මෙසේම ‘පරම්පරා පුස්තකය’ නමින් ග්‍රන්ථයක් ද මුල් කාලයේ තිබී ඇත. එහි කතුවරයා භද්‍ර තෙරණුවන්ය. උන්වහන්සේ ස්වර්ණපුර (ශ්‍රීවිජය) සංඝනායක හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස හැඳින් වේ. භද්‍ර තෙරණුවන් අධ්‍යාපනය ලබා ඇත්තේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ නායක හිමියන්ගෙනි. මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ දෙවන වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) රාජ්‍ය කාලය තුළදීය.   


එක් එක් රටවල විශිෂ්ට ඓතිහාසික චරිතයන්ගේ වැදගත් ජයග්‍රහණයන් සඳහන් කරමින් රචිත චරිතාපදාන කෘතියක් වූ මෙය රාජවංශ පුස්තකයට වඩා විශාල යැයි පරණවිතාන මහතා සඳහන් කරයි. එසේම මෙහි රාජවංශ පුස්තකයට වඩා තොරතුරු හා විස්තර ඇතුළත් බව ද ඔහු සඳහන් කරයි. පරම්පරා පුස්තකය මෙන්ම රාජවංශ පුස්තකය ද ද්‍රවිඩ රජෙකු වූ මහා පරාක්‍රමබාහු රජ විසින් අභයගිරි විහාරය මර්දනයට ලක්කරන තුරුම එම විහාරයෙහි තිබී ඇත.   


මහා විහාර මහා වංසයෙහි ද්විතීය භාගය හෙවත් චූල වංශයෙහි ප්‍රථම භාගය ලියන ලද්දේ මහා පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයේ දකුණු ඉන්දියාවේ වංග දේශය අසල තාමලිංගමුවෙන් සිරිලකට පැමිණි ධර්මකීර්ති නම් වූ හිමිනමකි. සිංහල දෘඨා වංශය පාලි බසට පෙරළන ලද්දේ උන්වහන්සේ විසිනි. මහ පැරකුම්බාවන් මියගියේ අප්‍රකටවය. ඔහුගේ බිසවගේ සොහොයුරියකගේ පුතකු වූ මදුරප් පෙරුමාල්ගේ ගුරුවරයා වූයේද උන්වහන්සේය. මහා පරාක්‍රමබාහු චරිතය වීර චරිතයක් ලෙස ග්‍රන්ථගත කර ඇති උන්වහන්සේ පැරකුම් රජුගේ විසිවසරක් වූ රාජ්‍ය කාලයේ අවසන් වසර දහතුනක කාලයේදී එම රජුගෙන් විශාල අනුග්‍රහයක් ලබා ඇත.   


මහා වංසයෙහි ද්විතීය භාගයටම ඇතුළත් තවත් පරිච්​ෙඡ්ද කීපයක් (79-101) දක්වා පරිච්ඡේද එනම් චූල වංසයෙහි දෙවැනි කොටස ලියා ඇත්තේ දඹදෙණි යුගයේදීය. දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වයට පත්වූයේ බු.ව. 1779 දීය. (ක්‍රි.ව. 1236) මෙම රජුගේ කාලයේදී එනම් බු.ව. 1800 දී (ක්‍රි.ව. 1257) බුරුමයේ තාමලිංගම් රට සිට මෙරටට ප්‍රථම ධර්මකීර්ති නම් හිමිනමක් ලංකාවට වැඩිසේක.   


 මෙම ධර්මකීර්ති හිමියන් සිංහල වැසියෙකු වූ අතර බුරුමයට ගොස් සිට ආපසු මෙරටට වැඩි හිමිනමකි. උන්වහන්සේ ගණවාසික වංශාභිජාත ශීලවංශාභිමාන ධර්මකීර්ති මාහිමිපාණන් ලෙසට හැඳින් වේ. උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් පළාබත්ගල ආරණ්‍යයෙහි වැඩසිටි සේක.   


බු.ව. 1929 වන විටත් (ක්‍රි.ව. 1386) මහා ස්ථවිර නමක වූ උන්වහන්සේ බු.ව. 1939 (ක්‍රි.ව. 1396) දක්වා එම ආරණ්‍යයෙහි වැඩ සිටි බව සඳහන් වෙයි. උන්වහන්සේ​ ගණවැසි වංශික ප්‍රථම ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්‍ය වූ මහදැලියාමාන වංශික දෙවැනි ධර්මකීර්ති සංඝරාජ හිමියන්ය. මහාවංසයෙහි 79-101 දක්වා පරිච්ඡේද ලියන ලද්දේ උන්වහන්සේ විසිනි. එසේම උන්වහන්සේ වංග දේශයේ සිට පැමිණි ද්‍රවිඩ ජාතික ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්‍ය නමක් නොවේ.   


 මහදැලියාමාන වංශය යනු ලම්භකර්ණ රජ පරපුරේම උප පරපුරකි. මහදැලියාමාන යනු නම්බු නාමයකි. මහාද‌ාඨික මහානාග පරපුර වේ. මකලන්තිස්ස රජුගේ පුත් භාතික අභය රජු රුවන්වැලි මහ සෑය සුවඳ මලින් වසා එහි ස්වර්ණමය මල්මාලා සහ මුතුවලින් හෙබි පබළු දැලකින් සරසා අභය වැවෙන් පොළොව යට සවි කළ නළවලින් ජලය ගමන් කරවා යන්ත්‍රවල උපකාරයෙන් අඩි 270 ක් උසින් පිහිටි චෛත්‍යයේ ධුරච්ඡත්‍රය පටන් චෛත්‍ය මතුපිට ජලය වැගිරවීය. මොහුගේ මලණුවන් වූ ද මකලන්තිස්ස රජුගේ පුත්‍ර වූද ‘මහාද‌ාඨික මහ නාග’ පරපුරය. දෙවැනි ධර්මකීර්ති හිමියන් ද මෙම පරපුරට අයත්ය. භාතික අභය රජුගේ පිළිරුවක් රුවන්වැලි සෑයේ දකුණු දොරටුවේ පිහිටුවා ඇත.   


පුරාණ සිංහලයාගේ සිරිත් විරිත්, ගති ලක්ෂණ සහ පාලන ක්‍රමය වැනි විස්තර ඇතුළත් මහැඟි ග්‍රන්ථයක් වූ ‘සද්ධර්මාලංකාරය’ නම් වූ ග්‍රන්ථය රචනා කරන ලද්දේ ද මෙම දෙවැනි ධර්මකීර්ති සඟරජ හිමියන්ය. පළාබත්ගල ආරණ්‍ය සේනාසනය පිහිටුවන ලද්දේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අගමැති දේව පතිරාජ හෙවත් පතිරාජ දේවයන් විසිනි. පතිරාජ යනු ‘ප්‍රතිරාජ’ යන්නයි. අනුරාධපුරයේ මයුර පිරිවෙනේ මයුරපාද හිමියන් ‘පූජාවලිය’ නම් වූ ග්‍රන්ථය රචනා කරන ලද්දේ ද මෙම පලාබත්ගල ආරණ්‍ය සේනාසනයේ සිටිමින්ය.   
චූල වංසයේ තෘත්‍රීය භාගය ලියන ලද්දේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ නම් වූ වඩුග රජුගේ කාලයේ සිටි බහුශ්‍රැත හිමිනමක වූ තිබ්බොටුවාවේ නම් වූ හිමිනමක විසිනි. උන්වහන්සේ එම යුගයේ උඩරට රාජධානියේ දෙවැනි අදිකාරම් ධුරය දැරූ සමනක්කොඩිගේ ඥ‌ාති සහෝදරයෙකි. මහනුවර යුගය වන විටත් පද්‍යයෙන් ලියැවුණු සිංහල මහා වංස ග්‍රන්ථයක් තිබුණු බව චූල වංසයෙහිම සඳහන් වෙයි.   


 පද්‍යයෙන් ලියැවී තිබූ එම ග්‍රන්ථය ‘පද්‍යපදෙ‌ා්රුවංස’ ලෙස චීන පොත්වල ද සඳහන් වෙයි. වඩුග යුගයේදී මහාවංස ග්‍රන්ථය වෙනස්වීම්වලට මෙන්ම අස්ථානගතවීම්වලට ද භාජනය වූ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. මෙම යුගයේදී වඩුග පිරිස් විසින් සිංහල පොත්පත් ගිනි දෙවියාට පුද කළ ආකාරය සහ වෙනස් කිරීම් සිදුකළ ආකාරය පිළිබඳ පුළුල් විස්තරයක් ‘පට්ටි පුරාණය’ නම් වූ පුස්කොළ පොතක සඳහන් වෙයි.   


‘පට්ටි පුරාණය’ පට්ටි ගොවි කුලය පිළිබඳව ලියා ඇති පුරාණ ග්‍රන්ථයකි. උඩරට ගොවි කුලයට අයත් වාරියපොල උපදිසාපති කොට්ඨාසයේ බමුණාකොටුව තැපැල් ප්‍රදේශයේ පානම නම් ගමේ අතකොට විද‌ානේ හෙවත් ඩිංගිරි බණ්ඩා විසින් පිටපත් කර ඇති පද්‍ය ග්‍රන්ථයක් වූ මෙයින් කියැවෙන්නේ පට්ටි ගොවි කුලයේ පිරිස් බෝධිය සමග ලංකාවට පැමිණි පිරිසක් බවත් ඒ අනුව ඔවුන් ආර්ය වංශිකයින් බවත්ය. පානබොක්කේ මහතාගේ නීති නිඝණ්ඩුවට අනුව ලංකාවේ ගොවි කුලය ඇති වූයේ ගජබා රජු විසින් සොලී දේශයෙන් ​ෙගන ආ 24,000 ක් පිරිසෙන් බවයි.   


 මෙම පට්ටි පුරාණය ග්‍රන්ථයෙන් එම පිරිස් ස්ථානගත කරන ලද ගම් දනව් සහ පවරන ලද රාජකාරි පිළිබඳ විස්තර සපයයි. කෝට්ටේ යුගයේ ලියන ලද බුද්ධරක්ෂිත හිමිගේ ජන වංශයට අනුව සිංහල ගොවි කුලයේ පිරිස් එනම් ආර්ය පිරිස් විසින් ඉටුකරන ලද සමාජ කාර්යයන් විස්තර කෙරේ. එහෙත් වැඩවසම් සමාජ ක්‍රමයක් නොතිබුණු යුගයක මෙම පිරිස් හඳුන්වා ඇත්තේ ශිල්ප ශ්‍රේණින් වශයෙනි. බෝධි වංශයට අනුව මෙම සිංහල ගොවි පිරිස් ඉහළ සමාජ තත්ත්වයක සිටි පිරිසකි.   


 මෙසේ වුව ද දහඅටවැනි ශත වර්ෂයේදී දක්නට ලැබෙන ගොවි කුලය දකුණු ඉන්දීය විවිධ ජන කොටස් සම්මිශ්‍රණය වූ පිරිසකි. මොවුන් පිළිබඳව පුළුල් විස්තරයක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ඊ.ආර්. ලීච් මහතාගේ Aspects of Caste in South India, Ceylon and North West Pakistan ග්‍රන්ථයේ සඳහන් වෙයි. උඩරට ගොවි රදල පෙළ පිළිබඳව පර්යේෂණයක් සිදුකළ මහාචාර්ය ලෝනා දේවරාජ මෙවැන්නන් ප්‍රකාශ කරයි.   


‘දහඅටවැනි ශත වර්ෂයේදී අපට දක්නට ලැබෙන ගොවි කුලය පැරණි කුලවතුන්ගේ දරු මුණුපුරන්ගෙන් පැවතෙන සජානීය පිරිසක් නොවේ. දේශීය හා විදේශීය යන දෙපක්ෂයටම අයත් විවිධ කොටස් එයට සම්මිශ්‍රණය විය.’   


ලෝනා ශ්‍රීමතී දේවරාජ උඩරට රාජධානිය ගොවි රදළ පෙළ හා එහි බලයෙහි පදනම’ පි. 67)   


උඩරට නිලමෛයිකාරවරු හෙවත් නිලමේවරු විසින් සිංහල පොත පත වැනසූ අයුරු පට්ටි පුරාණය ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ මෙසේය.   


නිලමෙලා කියති තුප්පොට්ටිය පටලා   
බැරිවෙලා තිබෙන පොත්පත් ලති ළිපලා   
 හරවලා කියති නම් ගම් පට බැඳලා   
මත්තට වෙන මුළා මම මෙන්න පද කළා’   


මුලදී සිංහලෙන් ලියන ලදුව පසුව ද්‍රවිඩ භික්ෂුවක වූ මහානාම හිමියන් විසින් පාලි බසට පරිවර්තනය කර ඉන්පසු යතිවරයන් විසින් පාලි බසින්ම එකතු කිරීම් කරන ලද සහ මහනුවර යුගයේදී විවිධ සංශෝධනයන්ට බඳුන් වූ මහාවිහාර මහාවංසයට අනුව සිංහලයා පැවතෙන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ විජය සහ ඔහුගේ සත් සියයක් වූ පිරිසෙන්ය.   


 එහෙත් මහාවංස ටීකාවෙහි සඳහන් වන්නේ විජය සහ පිරිස විසමාචාර අදහස් ඇති ස්ත්‍රී දූෂක මංපහරන සැහැසිකම් කරන ලද ද‌ාමරික පිරිසක් විලසටය. එරට සමාජයට පිළිලයක් වූ ඔවුන්ගේ සැහැසිකම් පිළිබඳව මහජනයා රජුට පැමිණිලි කරන ලදුව පියාගේ අවවාද පවා පිළිනොගත් බැවින් මෙම පිරිස එරටින් පිටුවහල් කරන ලදහ.   
වංශ දේශයෙන් පළවාහැරි මොවුන් එරට වෙනත් වරායකින් එරටට ඇතුළුවීමට උත්සාහ කළ ද එහි වැසියන් ද එළවා දමන ලදුව ලංකාවට පැමිණ කුවේණිය නම් වූ දහසය වියැති යක්ෂ ගෝත්‍රික කුමරියක් වංචාකාරී ලෙස විවාහ කරගෙන උපායශීලි සංග්‍රාමයකින් මෙරට රාජ්‍යත්වයට පත් වූ මෙරට ප්‍රථම සිංහල නරවරයා​ විජය ලෙස සඳහන් කරයි.   
විජය සහ පිරිස ලංකාවේ තම්මැන්නා තොටට ගොඩබැස්ස බව මහාවංසය සඳහන් කළ ද සැබැවින්ම ඔවුන් ගොඩබැස ඇත්තේ වර්තමාන පේදුරුතුඩුව පෙදෙසටය. කුවේණියගේ රාජධානිය පිහිටා තිබුණේ එම පෙදෙසේය. එම තොටුපොළ පුරාණයේදී හඳුන්වන ලද්දේ ‘යක්ඩා පටුන’ වශයෙනි. විජයගේ මැර පිරිසෙන් 4 වැඩි දෙනකු අල්ලා සිර කිරීමට කුවේණියගේ ආරක්ෂකයින්ට හැකි වී ඇත. විජය කුමරු පැමිණ,   


 තම පිරිසට ඇගෙන් යම්කිසි අනතුරක් සිදුවන්නට ඇතැයි සැකකොට විජය කුමාරයා වමතින් ඇගේ කේශ කලාපය අල්වා දකුණතින් කඩුව ඔසවා තම භටයන් නොදුනහොත් ඇය මරණ බව කියා තර්ජනය කෙළේය. එවිට ඈ මරණ භයින් තැතිගෙන ඈ විසින් පොකුණ අසළ උමගේක සිරකර තබන ලද පිරිවරුන් සත්සියය පිටතට ගෙන විජය කුමාරයා හට දැක්වූවාය. ඉක්බිති තමන් අත් නොහරින ලෙස විජය කුමාරයාගෙන් දිව්රුම් ගෙන ඈ ඔහුට පාදපරිචාරිකා වූවාය.   


විජය සහ පිරිස ලංකාවට ගොඩබසින ලද්දේ පේදුරුතුඩුවට බව පෘතුගීසි ලේඛකයෙකු වන දියෝගු ද කූතෝ උපුටා දක්වමින් රාජාවලියෙහි සඳහන් කර ඇත. ඒ මෙසේය.   
 ලංකාවේ ඇතුළු පැත්තෙහි වූ ත්‍රික්විලිමලේ සහ ජපතකපකාං නම් තුඩුව අතර පිහිටි ප්‍රෙතුරේ නම් තොටුපළකින් විජය හා පිරිස ගොඩබට බවය. මෙම පාඨයේ සඳහන් ලංකාවේ ඇතුළු පැත්ත යන්නෙන් පෘතුගීසි ලේඛකයන් විසින් අදහස් කෙරුණේ නැගෙනහිර දෙස බවත් ප්‍රෙතුරේ යන පදයට සමාන වන ස්ථානය නම් පේදුරුතුඩුව බවත් ප්‍රෙතුරේ යන්නෙන් පෙරියතුරේ යන ස්ථානය ගත යුතු බවත්, කූතෝගේ ලංකා ඉතිහාසය ඉංග්‍රීසියට පෙරළන ඩොනල්ඩ් පර්ගියුසන් පෙන්වා දෙයි. වැලන්ටයින්ගේ ලංකා ඉතිහාසයෙහි සඳහන් වන්නේ විජය ත්‍රිකුණාමලේ කන්ද අසළින් ගොඩබට බවය. මේ කරුණු අනුව යටත් පිරිසෙයින් රාජාවලිය ඇතුළු එම වාර්තා සම්පාදිත අවධියේ විජය ලංකාවේ නැගෙනහිර වෙරළෙන් ගොඩබට බව පැවසෙන ඉතිහාස සම්ප්‍රද‌ායක් පැවැති බව පෙනේ.’   


(රාජාවලිය - සංස්. ඒ.වී. සුරවීර පි- 49) 

 
මහා විහාර මහා වංසයට අනුව විජය කුමාරයා වනාහි සිංහයෙකුට ද‌ාව උපන් ලාට රටේ සිංහබාහු රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. මොහුගේ පරපුර දකුණු ඉන්දියාවේ වඩුග පරපුරට අයත් වූවන්ය. මොහුගේ ආදිතම පුරුෂයා වඩිග ජනපදයේ වඩිග රජු විය. විජේරාජ කතාවට අනුව වඩිග ජනපදයේ අගනුවර වෙල්ලෝරය විය.   


වෙල්ලුරම් පුරේ   
නිරිඳෙක් එපුර රජ කෙරේ   
අණසක ඇති කෙරේ   
රජුන් සිහබා නිරිදු එපුරේ   


වඩිග රජුගේ බිසව කාලිංගයේ රජුගේ දියණියක වූ මායාවතී කුමරියයි. එහෙත් කාලිංගයේ කුමන රජුගේ දැයි විස්තරයක් නොදක්වයි. මහාවංස කතුවරයාට (තිබ්බොටුවාවේ හිමිට) අවශ්‍යව තිබුණේ ඇය චන්ද්‍ර වංශයට සම්බන්ධ කිරීමටයි. විජය පණ්ඩුවාසදේව පරපුරට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත්තේ මොවුන් උත්තර භාරතයේ සූර්ය වංශයට සම්බන්ධ කිරීමටයි. එහෙත් පල්ලවයන් මෙන්ම ශාක්‍යයන් ද උත්තර භාරතයෙන් දකුණ ඉන්දියාව දෙසට (ආන්ද්‍රා දේශයට) පළවා හරින ලද්දේ උත්තර භාරතයේ සූර්ය වංශිකයින් වූ ආර්යයන් විසිනි. මහාවංස කතාව සැකෙවින් මෙසේය. 

 
සිංහබාහු යනු වඩිග රජු සහ මායාවතී යන දෙදෙනාට ‌ද‌ාව උපන් සුසීමා නම් වූ අතිරූමත් රාජ කුමරියක් සහ තිරිසන් සතෙකු වූ සිංහයෙකු සමඟ සහවාසය නිසා උපන් මිනිසත් රාජ උත්තමයෙකි. මව මිනිස් කාන්තාවක වුව ද පියා දෙපාවෙකු නොවේ. සැබැවින්ම සිව්පාවෙකි. නැතහොත් තිරිසනෙකි. සිංහයා සහ සුසීමා කුමරියට ලැබුණු නිවුන් දරු දෙදෙනා සිංහබාහු සහ සිංහසීවලී විය.   


 තරුණ වියට පත් ඔවුන් සිය මව සමඟ සිංහයාට හොර රහසින් මහ වනයෙන් පැන අවුත් වගු රටේ (වංගි) පිටිසර ගමකට පැමිණියහ. එහිදී රාජ මෙහෙයක යෙදී සිටි වගු රජුගේ බෑණා කෙනෙකු වූ අනුර නම් කුමාරයෙකු හට මොවුන් තිදෙනා මුණ ගැසුණි. කොළ අතු වලින් විලිවසාගෙන සිටි මොවුන් තිදෙනාට අනුර කුමාරයා සළුපිළි මෙන්ම ආහාරපාන ද ලබා දුණි.   


 පුදුමයකි. සළුපිළි මෙන්ම ආහාර පාන ලබා දුන් භාජන ද රන් සළුපිළි සහ රන් බඳුන් බවට පත්විය. මෙයින් වශීකෘත වූ අනුර කුමාර තෙමේ සුසීමා කුමරිය විවාහ කරගත්තේ ඇයගේ නියම උරුමක්කාර සැමියා වූ සිංහයා ජීවත්ව සිටියදීමය. 

 
ගොදුරු සොයා ගිය සිංහයා ආපසු පැමිණි විට දැකගන්නට ලැබුණේ ‘ලෙන් දෙ‌ාර හැරලා ගල්ලෙන බිඳලා’ ඇති බවයි. ගම්බිම් දෙවනත් කරන්නට පටන් ගත්තේ තම බිරියද අන් පුරුෂයෙකු සමග විවාහ වී ඇති බවත් දරු දෙදෙනා ද තමන් අතහැර ඇති බවත් දැන ගැනීමෙන් පසුවය. රටවැසියා රජුට පැමිණිලි කරන ලදින් සිංහයා මැරීමට නිර්භීත පුද්ගලයෙකු සෙවීය. කිසිවෙකු ඉදිරිපත් නොවූයෙන් පිළිවෙළින් රන් දහසක්, දෙදහසක් සහ අවසානයේ රන් තුන්දහසක් දීමට වගු රජු යෝජනා කෙළේය.   


 සිංහබාහු කුමාරයා සිය පියා වූ සිංහයා මැරීමට වගු රජුගෙන් රන් තුන්දහස ලබා ගනී. ඒ අනුව ගුහාව වෙත ගිය හේ දුන්නෙන් විද සිංහයා මරා දැමීය. මැරුණු සිංහයාගේ ලොම් සහිත හිස කඳින් වෙන්කර ගත් සිංහබාහු කුමරු වගු රජු වෙත ගියේය.   


අභාග්‍යයකි. ඒ වන විට වගු රජු මියගොස් සත්වැනි දිනය විය. ඇමැතිවරු කුමරුගේ නිර්භීත ක්‍රියාවට සතුටුව වගු රටේ රජකම ඔහුට පැවරීය. එය පිළිගත් සිංහබාහු කුමරයා තම මෑණියන්ගේ දෙවැනි සැමියා හෙවත් තම බාප්පාට රාජ්‍යය පවරා සිංහසීවලිය ද සමග ලාට දේශය බලා පිටත්විය. එරටට ගොස් එහි වනයේ යොදුන් සියයක වපසරිය ඇති පෙදෙසක් එළිකරවා ගම්දනව් පිහිටුවීය. එය සිංහපුරය විය. තම එක්කුස නිවුන්නු ලෙස උපන් සිංහාසීවලී නම් වූ සිය සොයුරිය විවාහ කරගත් හෙතෙම ලාට රටේ රජු බවට පත්විය. මොවුන් දෙදෙනාට දහසය වතාවකදී නිවුන් දරුවන් දෙදෙනා බැගින් ලැබුණි. ඔවුන් සියල්ලෝම පිරිමි දරුවන් විය. මෙම තිස්දෙදෙනාගෙන් වැඩිමලා විජය විය. ලංකාව අත්පත් කරගත් පින්වත්ත කුමාරයා ඔහු විය. ඒ අනුව   


 සීහංථ නාතීති සීහළෝ   


සීහං ලායතීති සීහළෝ ලෙස ඔවුන්ගේ බසින්ම එනම් පල්ලවයන්ගේ බස වූ පාලියෙන් මහාවංස කතුවරයා ලියා තැබීය. එහි අර්ථය ‘කුමාර තෙම සිංහයා ගත්තේය. එම නිසා කුමාරයා සීහල වූයේය. ඔහු සිංහයෙකු සමාන ළය ඇත්තේය. ඒ හෙයින් සිංහලය වූයේය.’   


උඩරට රාජ්‍යයේ බලයට පත් වූ වඩුගයෝ සහ ඔවුන්ගේ අන්තේවාසිකයෝ උත්සාහ දරා ඇත්තේ සිංහලයාගේ මුතුන්මිත්තා තිරිසනෙකුගෙන් පැවත එන බවත් අල්ලස් ලබාගෙන සිය පියා මරාදමා එක්කුස උපන් සිය සොයුරිය විවාහ කරගත් නරුමෙයකුගෙන් සිංහලයා පැවත එන බවත් හුවා දැක්වීමටය. පෘතුගීසින් විසින් බඩග නමින් ද ලන්දේසීන් විසින් බඩ්ඩෙග (බද්දෙගෙ) නමින්ද හඳුන්වන ලද මෙම වඩුගයෝ සිය රට වූ ආන්ද්‍ර‌ා දේශයේදී තෙලිඟු බස කතා කළ ද ඉන්දියාවේ දකුණට සංක්‍රමණය වී පසුව දෙමළ බසට හුරු වූ පසු එහිදී වඩුක්කන් යන නමින් හඳුන්වන ලදහ.   


 වඩුක්කන් යන්න සිංහලෙන් වඩුග හෝ වඩක්කර් වේ. උත්තර භාරතීය ආර්යන් විසින් දකුණට පැමිණි මෙම පිරිස හඳුන්වන ලද්දේ දස්යුස් යන නමිනි. එනම් ද‌ාසයින් හෙවත් වහලුන් යනුවෙනි. ලන්දේසි නැව්වලින් උඩරටට සංක්‍රමණය වූ මොවුන් උඩරට රාජ්‍යයේ බලය ලබාගත්තේ ද ලන්දේසි හමුද‌ාවල සහායෙනි.   


බොහෝ විට මෙම පිරිස්වලට සිංහල ස්ත්‍රීන් සරණ පාවා නොදුන් අතර සිංහල සමාජයේ ගරුත්වයක් ද මොවුනට නොවීය. මොවුන්ගෙන් සමහරු පිරිහී පැවැති බොදු සසුනට ඇතුළු වී මහණ දම් පිරූහ. මේ වන විට එනම් ක්‍රි.ව. 1729 වන විට ලංකාවේ අවසන් භික්ෂුව ද මරණයට පත්ව සිටි අතර නව නිකාය ගණින්නාන්සේලා බවට පත් විය. ගණින්නාන්සේලාගේ ආගමික කටයුතු වත් පිළිවෙත් හා ශාන්තිකර්ම කටයුතු ආදිය පිළිබඳ මනා විස්තරයක් මහාචාර්ය කොටගම වාචිස්සර හිමියන්ගේ ‘සරණංකර සංඝරාජ සමය’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.   


 උඩරට බලය අල්ලාගත් වඩුගයන් ව්‍යාජ ඉතිහාසයක් ලියන ලද්දේ උඩරට පැවැති මෙවැනි සමාජ පසුබිමක් යටතේය. මොවුහු බුදුදහම ආගමක් බවට පත් කළහ. එය හින්දු සංස්කෘතියට අනුගත කළහ. අවසානයේ සිංහයා ගවයාට බිලිකළහ. මාතලේ ඇඹිල්ල රජමහා විහාර​ෙය් ගවයෙකු විසින් සිංහයා ගිල දමන ආකාරය පිළිබඳ මූර්තියක් නෙළා ඇත. එමගින් එද‌ා සිංහල සංස්කෘතිය හින්දු සංස්කෘතිය විසින් ගිලගත් ආකාරය නිරූපණය වෙයි.   


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ නුවන් ගන්කන්ද මහතා විසින් රචිත ‘අපි නොදන්න සිංහලයෝ’ නම් ග්‍රන්ථයෙහි ද විජය සහ පිරිස පේදුරුතුඩුවට ගොඩබට බවත්, විජය යනු විජයත් නම් වූ අයෙකු බවත් සඳහන් කර ඇත. ඔහු එම මතය ඉදිරිපත් කර ඇත්තේ ද්‍රවිඩ උගතෙකු විසින් කරන ලද ප්‍රකාශයක් ඇසුරිනි. ලංකාවේ උතුරු පෙදෙසේ පදිංචිව සිටි යක්ෂ සහ නාග ආදිවාසී පිරිස්වල අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් වූ ඉයන්කාර් නාගර් මිහිදන් කච්චි (Iyankar anka Nagar Alsorigines Party) සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වූ දේවවිනයාගම් මහතා උතුරේ ඉතිහාසය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි.   


‘කුවේණියගේ රාජධානිය තිබුණේ පේදුරුතුඩුවේ. පේදුරුතුඩුවට ඒ කාලේ නම ‘පරන්දි කච්චෙයි තුරෙයි.’ පරන්දි කච්චෙයි කියන්නෙ ‘උකුසු පිහාටු වලින් හදපු ඇඳුම’ කියන තේරුමයි. ඒ කාලෙ වැදි ගම්වල අගට කච්චෙයි කියන එක එකතු වුණා. ඉස්සර ‘කිලිකච්චෙයි’ කීවෙ කිලිනොච්චියට. ‘ඉයන්කන් කච්චෙයි’ කිව්වේ ඉයන්කච්චියට. ‘යක්ඩා පටුන’ කීවෙ යාපනයට.   


 කුවේණියගේ පේදුරුතුඩුවේ රාජධානියට විජයන් (විජය) කියල කුමාරයෙක් ඉන්දියාවේ ඉඳල ආවා. මේ කුමාරයා ගොඩ බැස්සෙත් පේදුරුතුඩුවටමයි. (අප දන්නා පරිදි තම්මැන්නාවට නොවේ) ඊට පස්සේ මුලින්ම විජයන් කුමාරයා කුවේණිය කසාද බැන්ද‌ා ඒත් පස්සේ වෙන කුමාරිකාවක්ව ඉන්දියාවෙන් ගෙන්න ගෙන කුවේණිව පැන්නුවා. කුවේණිගේ ජනතාව කැලෑ වැදුණා. පස්සේ කාලෙක වැද්දෙ‌ා් වුණේ මේ අය.   


 පස්සෙ කාලෙක දෙමළ අයත් ලංකාව ආක්‍රමණය කරල උතුරු නැගෙනහිර පදිංචි වුණා. සිංහල මිනිස්සු ජීවත්වුණු පළාත්වල හිටිය අය සිංහල වැද්දො වුණා. දෙමළ පළාත්වල ජීවත්වුණු අපි දෙමළ වැද්දෙ‌ා් වුණා. තවත් කාලයක් ගත වෙද්දි දෙමළ මිනිස්සු අපිව මෙහෙකාරයෝ විදිහට සලකන්න පටන් ගත්තා. එහෙම ඉද්දි අපේ යක්ෂ, නාග අනන්‍යතාව ටිකෙන් ටික නැතිවෙලා දෙමළ කුලයක් බවට පත්වුණා. දෙමළ අය අපිට සලකන්නෙ පහළ කුලයක් විදිහට.’ 

 
(නුවන් ගන්කන්ද - අපි නොදන්න ලාංකිකයෝ. ‘උතුරු නැගෙනහිර යක්ෂයෝ සහ නාගයෝ’ පිටු 148-149)   


මහා විහාර මහාවංසයට අනුව විජය සහ පිරිස ලංකාවට පැමිණියේ බුද්ධ පරිනිර්වාණ දිනයේය. බෝධිවංශය සහ රාජරත්නාකරයද එය සනාථ කරයි. එහෙත් රාජාවලිය සඳහන් කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සත්වන දින විජය සහ පිරිස නැව් නංවා යැවූ බවය. අනෙක් අතට මහාවංසය සඳහන් කරන්නේ බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ක්‍රි.පූ. 534 දී බවය. ඓතිහාසික සාධක අනුව මෙය සපුරා වැරදි සහගතය. සිදුහත් කුමරු ගිහිගෙය අතහැර මහාභිනිෂ්ක්‍රමණය සිදුකළේ. ක්‍රි.පූ. 528 දීය. බුදුන් පිරිනිවන් පෑයේ ක්‍රි.පූ. 483 දීය. නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු සෙල්ලිපිය (Ez vol 2-P 197) මෙහි සඳහන් ව්‍යවහාරය අනුව බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පූ. 483 දී සිදු වූ බව දැක්වෙයි. සහස්මල්ල රජුගේ පොළොන්නරු සෙල්ලිපිය මගින්ද ඒ බව සනාථ වෙයි. මෙම රජවරු දෙදෙනාම (සොහොයුරන් දෙදෙනා) ශුද්ධෝදන රජ පරපුරෙන් පැවැතෙන්නේය. පාකිස්ථානයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉෂාන් එච්. නදීම් මහතා බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ක්‍රි.පූ. 483 දී බව ඉතා පැහැදිලිව සඳහන් කරයි. (බෞද්ධ ගන්ධාර්ය පි-17)   


දෙමළෙන් ‘විජයන්’ ලෙසට ද මෙරටදී ‘විජය’ ලෙසට ද සඳහන් මොහු සිය පිරිස සමඟ පේදුරුතුඩුවට ගොඩබැස කුවේණිය විවාහ කරගති. අනතුරුව යක්ෂ ගෝත්‍රිකයින්ගේ මංගල උත්සව අවස්ථාවකදී මත්පැන් පානයෙන් මුසපත්ව සිටි යක්ෂ ගෝත්‍රිකයින් විශාල පිරිසක් ඝාතනය කොට ඔවුන්ගේ කාලසේන නම් වූ යක්ෂ රජු මරා ඔහුගේ රාජාභරණ පැළඳගෙන ‘විජයන්’ රාජ්‍යත්වයට පත් විය. මෙහිදී කුවේණියගේ පාර්ශ්වයේ යුද භටයින්ගෙන් පිරිසක් ද ආක්‍රමණිකයාට සහාය විය.   


 මෙසේ වුවද ආක්‍රමණිකයාට දිගු කලක් රාජ්‍ය බලය පවත්වාගෙන යාමට මෙරට වැසියන් ඉඩ නොදුන්හ. උත්තරට්ඨ වංසකතාව හෙවත් අභයගිරිකයන්ගේ මහාවංසය උපුටා දක්වමින් මැද උයන්ගොඩ විමලකීර්ති හිමියෝ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


 ‘දුම්රක්ගල වැසි යක්ෂයන්ට අධිපති ජුතින්ධර නම් යක්ෂයෙකි. හේ විජය සහ යකුන් අතර ඇති වූ සිරිසවස්තුපුර යුද්ධයේදි මැරුම් කෑවේය. ඔහුගේ චේතියා නම් යකින්න පණ්ඩුකාභය කුමරුට සහාය වූවා විජය පරපුර ලංකාවෙන් ඉවත් කොට යම පුරයෙහි අභිෂේක කළාය. කුවේණිය (කුවණ්නාව) විජයට සහාය වී ස්වකීයන් විනාශ කළාක් මෙනි. උත්තරට්ඨ වංශ කතා නම් ලද අභයගිරිකයන්ගේ මහාවංසයෙහි ජුතින්දරාදීන් පිළිබඳ වැඩි තොරතුරු ප්‍රකාශ වන බව මහාවංස ටීකයෙහි කියන ලදී.   


(මැද උයන්ගොඩ විමලකීර්ති හිමි ලංකා ඉතිහාසය, ඉරිද‌ා සිළුමිණ - 1936 නොවැ. කලාපය)   


අසුරයන් හෙවත් රාක්ෂයින් සහ යක්ෂයින් පැහැදිලි ලෙසම ජනවර්ග දෙකකි. අසුරයින්ගේ භාෂාව තෙලිඟු වන අතර එම භාෂාවේ නිර්මාතෘවරයා රාවණ ලෙසට සැලකේ. එම නිසා රාක්ෂයන් කතා කළ භාෂාව තෙලිඟු හෙවත් ආන්ද්‍රා ලෙසට ද ‘රාවණ තෙලිඟු’ ලෙසට ද ද්‍රවිඩ නිඝණ්ඩුවල සඳහන් වෙයි.   


 මහා භාරත සහ වේද ග්‍රන්ථවලද වීර කාව්‍යවලද අසුරයෝ ඉතා බලවත් පිරිසක් ලෙසට හඳුන්වා ඇත. ආර්යන් ඉන්දියා දේශයට පැමිණීමට පෙර සින්ධු නදී තීරය යටත් කරගෙන සිටි මොවුන් විසින් එහි ඇති කරන ලද ශිෂ්ටාචාරය මොහෙන්දෙ‌ා්ජාරෝ ලෙස හැඳින් වෙයි. මොවුනට අයත්ව තිබූ ඉන්දීය නගර වූයේ ශෞශ, ප්‍රජේ‍්‍යාතිෂ, හිරණ්‍යපුර හා තක්ෂිලා විය. ජරගන්ධ නම් වූ අසුර රජුගේ අගනුවර ගිරිවුප්පුරය විය. බුදුන්ගේ කාලයේ දී එය රජගහනුවර බවට පත් විය. එහි තැනින් තැන ඉදිකර ඇති බලකොටු හා ගල්වැටි ආදිය මෙන්ම ගයා පළාතේ සිට දකුණු මගධයටද ලිච්ඡවි රටේ සිට උතුරු මගධය තෙක් ද විහිදුණු මාර්ග පද්ධති දෙකක නටඹුන් වර්තමානයේදී ද පැහැදිලිව දක්නට ඇත.   


යක්ෂ ගෝත්‍රිකයින්ගේ මුල් වාසභූමි ලෙස සැළකෙන්නේ මධ්‍ය ආසියාවේ කැස්පියන් විල් අවට ප්‍රදේශය සහ කොකේසස් කඳු පාමුල්ය. මේවා අයිරේනිය උස්බිම් ලෙස හැඳින් වේ. එම ප්‍රදේශවල සිට මීඩියාව (මධ්‍ය දේශය) එනම් අසර්බයිජේන් හා කර්මන්ෂාත් අසළ එළාම් හෙවත් ඊළාම් ලෙස හැඳින්වෙන රටෙහි පදිංචි වූ පසු ඔවුහු එළමයිට්වරු ලෙස හඳුන්වන ලදී. දියුණු භාෂාවක් වූ ඔවුන්ගේ භාෂාව එළමයිට් විය. අසුරයින්ගේ බලපෑම් නිසා මොවුන්ට බලවත් හිරිහැර ඇතිවිය. එම නිසා ඔවුන්ගේ භාෂාව ද අහෝසි විය.   


මහාචාර්ය ෆයර් (fyre) සඳහන් කරන පරිදි ක්‍රි.පූ. 1500 දී පමණ අයිරේනීය උස්බිම්වලින් පැමිණි කැසයිට් (Kassite) නම් වූ මනුෂ්‍ය කොට්ඨාසයක් බැබිලෝනියාව යටත් කරගනී. නමුත් පසු කලෙක පැමිණි එළමයිට්වරු (Elamite) නිසා කැසයිට්වරු දුර්වල වූ අතර නැවතත් බැබිලෝනියාව පුනර්ජීවනයට පත්විය.   


 ආචාර්ය චන්ද්‍රබෝහි සඳහන් කරන පරිදි මෙම එළමයිට්වරු ඉන්දියාව මෙන්ම ඉන්දියාවේම සාරවත් කොටසක් වූ ලංකාවට ද පැමිණියහ. ඇසිරියානු අධිරාජ්‍යය බලවත් වීමත් සමඟ එළාම් රට ද අසුරයින් විසින් යටත් කර ගන්නා ලදී. මේ අනුව වසර 450 ක් පුරා පැවැති එම රාජ්‍ය බිඳ වැටුණු අතර එළමයිට්වරුන්ගෙන් කොටසක් අසුරයින් සමඟ එක් වූ අතර බහුතරය ගන්ධාරය හිමාල කඳු පාමුල ගංගා නම් නදී තීරය සහ කාශ්මීරය වැනි පෙදෙස්වලට සංක්‍රමණය වී පසුව මොවුන් ඉන්දියානු ජන වර්ගයන් බවට පත්වූහ.   
මේ අනුව ඉන්දියාවට සහ ලංකාවට ආර්යන් පැමිණීමට පෙර එම රටවල මුල් පදිංචිකාරයින් බවට මෙම පිරිස් පත්විය. එසේම එම රටවලදී මොවුන් යක්ෂ ගෝත්‍රිකයන් ලෙස හඳුන්වන ලදී. පසුව පැමිණි ආර්යන් විසින් මෙම යක්ෂ නාමය මොවුන් හට ව්‍යවහාර කරන ලදී. ආටානාටිය සූත්‍රයෙහි මෙම යක්ෂ ගෝත්‍රිකයින්ගේ නගර ලෙස ආටනාටා, කුසිනාටා, පරකුසිනාටා මෙන්ම තවත් අගනුවරවල් දෙකක් ගැන සඳහන් වෙයි. බුද්ධ කාලයට අයත් මොවුන්ගේ පාසලක දර්ශනයක් ප්‍රසිද්ධ අජන්තා ගුහා අංක එකෙහි සිතුවම් කර ඇත. එහි චිත්‍ර ක්‍රි.ව. 600 පමණ කාලයට අයත් ලෙස සැලකේ.

 

 මහා වංසයට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයින්ගේ නගර ලෙස හුවරට්ඨ (ඌව), මහියංගනය, සිරසවස්තුපුරය, ලංකාපුරය (ලග්ගල) අරිට්ඨ පබ්බත (රිටිගල) දුම්රක්ගල (දිඹුලාගල) සඳහන් කර තිබේ. මාතලේට නුදුරු බම්බාව කුවේණියගේ උපන්ගම විය. ඇගේ පුතෙකු වූ වීරබාහු විසූ ගම වීරබාහු ජනපදය ලෙස සිංහල බෝධි වංශයෙහි සඳහන් වෙයි.   


එල්ටීටීඊ න්‍යායාචාර්වරු ඔවුන් පැවැතෙන්නේ එළාම් රටේ එළාම්වරුන්ගෙන් බව ද එම නිසා අනාගත සිහින රාජ්‍යය ඊළාම් ලෙස ද හඳුන්වන ලදහ. එහෙත් එය සපුරා වැරදිය. උත්තර භාරතයේදී දස්යුස් ලෙස හඳුන්වන ලද අනාර්ය කොටස් දකුණු දෙසට පලවා හරින ලද්​ෙද් ආර්යන් විසිනි.   


 පල්ලවයන් ලෙස හඳුන්වන ලද මෙම පිරිස් අඳුරු වනගත පෙදෙස යන අර්ථ ඇති ආන්ද්‍රා දේශයට පැමිණි පසු ඔවුන් පල්ලවයන් බවට පත් විය. ක්‍රි.ව. 4 න් පසු පල්ලව දේශය ද්‍රවිඩ දේශය බවට පත්විය. පෘතුගීසි ලේඛක බැල්දියස් උපුටා දක්වමින් ​ෙපා්ල් ඊ පීරිස් මහතා මොවුන් ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘පල්ලයින් වශයෙන් හඳුන්වන ජන කොටසක් වේ. මේ අය සමාජයෙන් කොන්කරන ලද ශාප ලත් කොටසක් ලෙස සළකනු ලැබේ. මේ අය ජීවත් වන්නේ වංශවතුනට යාමට නොහැකි වගුරු කුඹුරු බිම්වලය. ඔවුන් සී සෑම සඳහා මී ගවයින් මෙන්ම එළ ගවයින් ද, උපයෝගී කර ගනී. වංශවතුනට මුහුණට මුහුණ දී කතා කිරීමට ඔවුනට වරම් නැත. ඉතා උස් හඬින් කතා කළ විට ඇසෙන මානයේ බොහෝ දුරින් සිට කීමට ඇති දේ කිව යුතුය.   


 මහ මඟ යන විට ද ඔවුන් මහ හඬින් කෑ ගසමින් යන්නේ ඉදිරියෙන් එන වංශවතුනට ඔවුන්ගේ හඬ ඇසී තමන් මාර්ගයේ එන බව දැන්වූ විට මාර්ගයෙන් ඉවතට ගොස් සැඟවී සිටීමට හැකිවන පරිදිය. මෙම මිනිසුන් වශී බන්ධනය කිරීමේ අතිදක්ෂ අය වන අතර සොරකම් කිරීම පිළිබඳව ද නම් දරා සිටියහ. එමෙන්ම අධම විලිලැජ්ජා නැති මිනිසුන් කොටසක් හැටියට ද ප්‍රසිද්ධව සිටියහ.’   


(පෝල් ඊ. පීරිස් ලංකාව පෘතුගීසි යුගය පි- 237)   


සංක්ෂිප්ත දකුණු ඉන්දීය ඉතිහාසය නමැති ග්‍රන්ථය ලියූ රෝලිංසන් මහතා පල්ලවයින් හඳුන්වා ඇත්තේ පල්හොරු වශයෙනි. ආන්ද්‍රා දේශයට පැමිණි පල්ලවයින්ගේ මුල් භාෂාව පාලි විය. එය ප්‍රාකෘතය සමග මිශ්‍ර වූවකි. එම බස ආන්ද්‍රා දේශයේ මුල් වැසියන්ගේ භාෂාව සමඟ මිශ්‍ර වීමෙන් අප්‍රභංශයක් බිහි විය. අසල්වැසි සොළීන් විසින් පල්ලව දේශය යටත් කරගත් පසු මොවුන් දෙමළ බවට පත් විය. හියුං සියෑං නම් භික්ෂුව ඉන්දියාවට පැමිණෙන කාලයේදී පල්ලව දේශය ද්‍රවිඩ දේශය බවට පත් වී තිබූ බව උන්වහන්සේ පවසති.   
 ලන්දේසීන් විසින් සිය නැව්වලින් මෙම ද්‍රවිඩයන් ලංකාවේ උතුරුකරයට වහලුන් ලෙස ගෙන අවුත් දුම්කොළ වගාව සඳහා යෙදවූහ. උතුරේ සිටි නායක් රජවරු මෙන්ම ස්වදේශික පිරිස් වව්නියාව වැනි පෙදෙස්වලට සංක්‍රමණය වූහ. එහෙත් යාපනයේ රජවරු සිංහල පිළිවෙළට රාජ්‍යය ගෙන ගිය බව පැහැදිලි වෙයි. ක්‍රි.ව. 1560 දී පෘතුගීසින් සහ යාපන පාලකයා අතර ඇතිකර ගත් ගිවිසුම ලියා ඇත්තේ සිංහල හා පෘතුගීසි යන භාෂා දෙකෙනි. ලන්දේසීන් විසින් යකඩ දම්වැල් හා යකඩ වළලු දමා උතුරට ගෙන ආ පල්ලවයින් පසු කලකදී විල්ලාහර් යන්න වෙනුවට වෙල්ලාලර් නමින් තමන් හඳුන්වා ගත්හ.   


උඩරටට ලන්දේසින් විසින් ගෙන ආ පල්ලවයින් වඩුගයන් ලෙස හඳුන්වා ගත් අතර රාජ්‍යත්වයට පත්වූ වඩුගයෝ තමන් නායක්කාවරු ලෙසට හඳුන්වා ගත්හ. වඩුගයින් හා ලන්දේසි හමුද‌ා අතින් සිංහල ප්‍රභූවරු විශාල පිරිසක් මරණයට පත් වූහ. උඩුනුවර යටිනුවර ගම් දහඅටක් ගින්නට බිලිවිය. සිංහල සෙන්පතිවරු දෙදහසක් මරා දැමිණ. බොහෝ පිරිස් උඩරට කැලෑ පෙදෙස්වලට පළාගොස් ඒවායේ අප්‍රකට ලෙස පදිංචි වූහ.   


 සිංහල ප්‍රභූවරු පිරිස් වශයෙන් සැඟවී ගොස් කුමන, පානම සහ ලාහුගල වැනි නැගෙනහිර පළාත්වලට ගොස් වැදි ජනයාගේ ද සහාය ලබාගෙන ‘සියඹල ආණ්ඩුව’ නමින් සිංහල පාලනයක් එම පළාත්වල ගෙන ගියහ. 1818 ඉංග්‍රීසි සංහාරය නිසා එම ගම් බිම් විනාශ විය. ජීවිතය බේරාගත් ​බොහෝ වැදි පිරිස් මුස්ලිම් ආගම වැලඳ ගත්හ. වර්තමානයේ ‘මට්ටයෝ’ නමින් හඳුන්වන්නේ එම වැදි ජනයාගෙන් පැවැතෙන්නෝය. සියබල ආණ්ඩුව වර්තමානයේ ‘සියඹලාණ්ඩුව’ ලෙස හැඳින් වේ.   


 ඉන්දියාවේ ආන්ද්‍ර‌ා හෙවත් පල්ලව දේශයේ අන්දනර් නම් න්‍යායාගේ පුතා පුලස්ති වේ. දෙමළ භාෂාවේ නිර්මාතෘවරයා ඔහුය. ඔහුගේ පුතා විජවාන් විය. දෙමළ රාමායණයට අනුව විජවාන්ගේ පුතුන් තිදෙනා රාවණ, කුම්භකර්ණ හා විභීෂණ වේ. විජයන් හෙවත් විජය කුමරුගේ පුතුන් තිදෙනා කරන්, කිරීෂර් සහ කුෂණන් වේ. විජය මරණයට පත් වුව ද මෙම දරු තිදෙනා සමඟ මෙරටට පැමිණි දෙමළ සේනා වසර ගණනාවක් තිස්සේ කළ සටන්වලින් පසු පරාජයට පත් විය. ලංකාවේ රාම රාවණා යුද්ධය ලෙස සඳහන් වන්නේ මෙම සටන බව මගේ අදහසයි.

 



එම්​.කේ. ජයසේන   
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)