දඩබ්ම

 

 

අපේ රටේ දරුණු ගණයේ අපරාධකරුවන්ගෙන් විශාල පිරිසක් සිටින්නේ මෙරට නොව විදේශගතව ය. ඔවුන් ඒ රටවල දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හෝ ප්‍රමාණවත් නීති සම්පාදනය කරගැනීමටවත් ලංකා ආණ්ඩුව සමත්ව නැත. එය ජනතාවගේ අවාසනාවකි. පාතාලයන් සමග අපරාධකරුවන් සමග සමීප ගනුදෙනු පවත්වාගෙන යන පාලකයින්ට නම් නීතියේ මේ හිඩැස තමන්ගේ මෙන්ම තම හිතවතාගේ බේරුමට රැකගත යුතු වාසනාවකි.   


අහඹු ලෙස ඩුබායි හිදී මධුෂ්, කංජිපානි ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට පත් නොවන්නට, ඔවුන් පිළිබඳව මෙරට මාධ්‍ය දිගින් දිගටම කතා බහ නොකරන්නට, එය ආන්දෝලනාත්මක පුවතක් නොවන්නටත් අදටත් මධුෂ් එරට පොලිසියෙන් නිදහස්ව ඩුබායිහිම සිටින්නට ඉඩ තිබුණි. සමයන් ඝාතනය ඇතුළු මෙරට අපරාධ රැසකට වගකිව යුතු අංගොඩ ලොක්කා හා ලඩියා ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් වූ පසුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් සීතල උත්සාහය දකින විට හැඟෙන්නේ ද එයම පමණි. අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්වීම ද මාධ්‍ය තුළ එතරම් ලොකු සංවාදයක් මතු නොකළ නිසා එ් සිදුවීම ජනතා මතකයෙන් නිකම්ම මැකී යන්නට හැර පාලකයෝ බලා සිටියහ.   


 බ්ලූමැන්ඩල් සංඛ සම්බන්ධ පුවත ද එලෙසමය. ඔහු ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්වූයේ පසුගිය මාර්තු මාසයේ දීය. එහෙත් මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට වගකිව යුතු සංඛව ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුවට කිසිදු උනන්දුවක් තිබුණේ නැත. මධුෂ් ලංකාවට ගෙන්වා ගන්නා දිනය ගැන ප්‍රශ්න කළ මාධ්‍ය පවා සංඛ ගැන එලෙස කතා කළේ නැත. සංඛ දිවිහිමියෙන් සේවය කර පත් කරගත් ඇමැතිවරු ඉන්න ආණ්ඩුවක් ඔහුව ඉන්දියාවෙන් උදර්පනය කර ලංකාවට ගෙන්වා ගැනීමට උනන්දුවක් දක්වාවි යැයි බලාපොරොත්තු වීමම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමටත් වඩා මෝඩකමකි.   
ඒ නිසා සංඛ ලංකාවට ගෙන්වා ගත්තේ නැත. ඒ වෙනුවට සංඛ ඉන්දියාවේ පුනරුත්ථාපන කඳවුරකට යොමුකර ඇතැයි මෙරට ජනතාවට බේගලයක් ඇදබෑවේය. සංඛ පුනරුත්ථාපනය කරන්න ඉන්දියාවට ඇති උවමනාව කුමක් ද? කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න කළේ ද නැත. ඉන්පසුව තවත් බේගලයක් ඇදබෑවේය. ඒ පුනරුත්ථාපනයේ සිටි සංඛ එතනින් පලාගොස් ඇති බවය.   


මේ බේගල් සියල්ල අසමින් සිනාසෙමින් සංඛ විටින් විට බෝට්ටු මගින් ලංකාවට ආවේය. ලංකාවෙන් ඉන්දියාවට ගියේය. මීට මාස කීපයකට පෙර සංඛ කුඩු පොඩ්ඩිට තර්ජනය කළ බවට ද පැමිණිලි ඉදිරිපත්ව තිබිණ. ලංකාවේ ඔබමොබ සැරි සැරූ සංඛව අත්අඩංගුවට ගන්නට පොලිසියට නොහැකි වූයේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි. මේ අතර වරෙන්තු නිකුත්ව තිබූ සංඛ පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් විය. ඒ සම්බන්ධයෙන් ද පොලිසිය රටට කීවේ බොරුවකි.   
“සංඛ ඊයේ තමයි බෝට්ටුවකින් ලංකාවට ඇවිත් තියෙන්නේ.” එහෙත් සංඛ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියේම ඇතැම් අංශවල නිලධාරීන්ගෙන්ම ලැබෙන තොරතුරු අනුව සංඛ ඒ වන විටත් ලංකාවට පැමිණ මාසයකට වැඩි කාලයක් ගතවී තිබිණ. පොලිසියට නොහැකි වූයේ ඔහු සිටින තැනක් නිශ්චය කර ගැනීමටය. ඇතැම් විට ඔහු සිටින තැනක් නිශ්චය වුවද එය දේශපාලනඥයෙකුගේ අනුදැනුම ඇතිව රැකවරණයේ සිටි තැනක් වන්නට ද හැකිය. කෙසේ වුවද දැන් සංඛ සිටින්නේ රිමාන්ඩ් භාරයේය. සංඛගේ කෙරුවාවල් තවත් ටික කලකට සීමා වනු ඇත.   


සංඛලාගේ වැඩ සීමා වන විට ඔහුගේ විරුද්ධවාදී කල්ලියේ කුඩු රොෂාන්ලාගේ වැඩ ද සීමා වී තිබේ. ඒ ඔහුව ද තවත් හත් දෙනෙක් සමග පසුගිය සැප්තැම්බර් 05 වෙනිදා අත්අඩංගුවට පත්වීම නිසාය. මේ අත්අඩංගුවට පත් පිරිස සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු ද සිටි බව පොලිසිය පැවසීය. ඔහු කළ අපරාධයක් සම්බන්ධයෙන් වාර්තා නොවුණ ද කුඩු රොෂාන්ලා සමග සමීප ගනුදෙනු පවත්වා ඇති බව වසන් කළ නොහැකිය.   
කුඩු රොෂාන් යනු කවරෙක් ද? අප මේ ලිපි පෙළ ආරම්භයේ දී එක් ලිපියක ඔහු ගැන යම් දුරකට පැහැදිලි කර ඇත. නැවත මතක් කරගන්නේ නම් කුඩු රොෂාන් යනු මෝදර සමිට්පුර පදිංචි තුප්පහි ආරච්චිගේ ලලිත් රුවන් නොහොත් කුඩු සුමිත්ගේ පුතා වන තුප්පහි ආරච්චිගේ ප්‍රසාද් රුවන් ය. රුවන් කුඩු රොෂාන් වුණේ කොහොමද? ඔහු පාතාලයේ මැරයෙකු වුණේ කොහොමද?   


අපි මීට පෙර කීවා සේම කුඩු රොෂාන්ගේ පියා කුඩු සුමිත් ය. කුඩු සුමිත් සමිට් පුර හිටපු කුඩු රජා ය. කාරියප්පෙරුමගේ නුවන් සංජීව පෙරේරා නොහොත් චූටි උක්කුං සහ කුඩු සුමිත් එකට වැඩ කළ එකට කුඩු ජාවාරමේ යෙදුණ පිරිසකි. කුඩු පාතාලයේ කිරුළ තම තමන් සතු කරගැනීමේ සටන නිසා මේ දෙන්නා ද වෙන්ව දෙමටගොඩ චමින්දට හා බ්ලූමැන්ඩල් සංඛට වැඩ කරන්න පටන් ගත්හ. ඉන් කලකට පසු සංඛලාගේ ගෝලයෙකු වූ චුටි උක්කුංගේ කල්ලිය සුමිත්ගේ පුතා ප්‍රසාද් රුවන් (ඔහුට ගමේ අය ඇමතුවේ රොෂාන් ලෙසය) බලා සිටියදීම සුමිත්ව කපා කොටා ඝාතනය කළහ. රොෂාන්ව ද කපා කොටා තුවාල සිදුකළහ. කඩුපහර කාගෙනම පලාගිය නිසා රොෂාන්ගේ ජීවිතය බේරුණ ද ඔහුට දුවන්නට නොහැකි වූයේ නම් එදිනම ඔහු ද මිය යන්නට ඉඩ තිබිණ.   
එහෙත් ගල් සම්පත් මැදිහත්ව රොෂාන් රෝහල් ගත කළ නිසා එදින ඔහුගේ ජීවිතය බේරුණි. එදා තමන්ගේ ජීවිතය බේරාගත් රොෂාන් ආපසු නිවසට පැමිණියේ පියාගේ සියලු ව්‍යාපාර තමන්ගේ භාරයට ගෙන ඉදිරියට කරගෙන යන බවට අදිටන් කරගනිමිනි. ඒ අනුව ඔහු මාළු වෙළෙඳාම වගේම කුඩු ජාවාරමටත් අත ගැසුවේය. පියාට සේම ඔහුට ද චමින්දලාගේ පාර්ශ්වයෙන් කුඩු ලැබිණ.   


සුමිත් නැතිවූ පසු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බලවතා තමන් යැයි සිතමින් චූටි උක්කුං රොෂාන්ව අවුස්සමින් ඔවුන්ට බලපෑමක් වන පරිදි ඔබමොබ සැරිසරන්ට විය. රොෂාන්ලාගේ නිවස ආසන්නයටම වේගයෙන් යතුරුපැදිවලින් ගොස් රවුමක් කරකවා හරවා ගන්නා ඔහු අනෙකෙකුට පවසන්නේ ‘දැන් ඉතිං මෙහේ ලොක්කෝ දෙන්නෙක් නෑ. එකයි ඉන්නේ ඒ මං තමයි’ යනාදී ලෙසය. සුමිත්ගේ ඝාතනයට අත්අඩංගුවට ගැනීමට නියමිත වූ චූටි උක්කං සැඟව සිටිය ද විටින් විට පැමිණ මෙවැනි කෝචොත් පාරක් දැමීමට අමතක නොකළේය. පසුව චූටි උක්කුං අත්අඩංගුවට පත්වීම නිසා රොෂාන්ගේ සැලැස්ම ටික කලකට කල් දැමීමට සිදුවිය.   
ඒ අනුව ඔහුට 2016 ඔක්තෝබර් 23 දක්වා ඒ කාලය දීර්ඝ විය. ඇප මත නිදහස්ව ගමට පැමිණි චූටි උක්කුං යළිත් පෙර පරිදිම රොෂාන්ලාට රිදවමින් හැසිරෙන්නට විය. මෙය ඉවසා නොසිටි රොෂාන් පළිගැනීම සැලසුම් කළේය. මට්ටක්කුලිය වික්‍රමපුර ක්‍රීඩාංගණයට දිනපතා චූටි උක්කුං සෙල්ලම් කරන්නට එන බව රොෂාන් දැන සිටියේය. සෙල්ලම් කර ආපසු යන හැමවිටම චූටි උක්කුං තමන්ගේ නිවසට යාමට තිබූ ළඟම පාර මගහැර රොෂාන්ලාගේ නිවස අසලින් ගමන් කරන දිගු මාර්ගයෙන් සිය හයිබ්‍රිඩ් මෝටර් රථය පැදවූයේ රොෂාන්ලා අවුස්සන යම් වදනක් දෙකක් පවසා යන්නට තිබූ කැමැත්ත නිසාය. ඔහු යන්නේ ද තනියෙන් නොව තමන්ගේ මිතුරු කැල ද සමගය. තවත් ත්‍රිරෝද රථ දෙකක් හෝ තුනක් ද ඔහු පසුපස ගමන් කිරීම සාමාන්‍ය ක්‍රමය වී තිබිණ.   


 සෙල්ලම් කර ආපසු යන අවස්ථාවේ ඔහුගේ ජීවිතය ඩැහැගැනීමට රොෂාන් සැලසුම් කළේය. මේ සඳහා ඔහුට ද සැලකිය යුතු පිරිසක් අවශ්‍ය විය. ඔහුගේ පිරිස අට දෙනෙකි. ප්‍රහාරයෙන් පසුව පලායාමට ත්‍රී රෝද රථ දෙකක් ද ඔහු සූද‌ානම් කර ගත්තේය.   
 සෙල්ලම් කර අවසන්ව චූටි උක්කුං ක්‍රීඩාංගණයෙන් පිට වූ බවට රොෂාන්ට පණිවුඩය ලැබිණ. ඒ අනුව උක්කුං එන මග හරස් කරන්නට රොෂාන්ලා ඇතුළු පිරිස පාරට බැස්සහ. උක්කුංගේ පිටුපසින් ආ ත්‍රිරෝද රථවලට ද උක්කුංගේ රථයට ද වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ලකෙරිණ. වැඩිපුරම වෙඩි වැදුණේ උක්කුංගේ රථයටය. ප්‍රහාරයෙන් පසු පිරිස පලාගියහ.   
 එතැනට රැස්වූ උක්කුංගේ ඥ‌ාතීන් වෙඩි වැදී තිබූ රථයෙන්ම තුවාලකරුවන් රැගෙන කොළඹ ජාතික රෝහලට රැගෙන ගියත් සිව්දෙනෙක් සුළු මොහොතකින් මියගිය අතර තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු කෙරිණ. මෙහිදී මිය ගියේ කාරියප්පෙරුමගේ නුවන් සංජීව නොහොත් චූටි උක්කුං හා ඔහුගේ සගයන් වූ මොහොමඩ් හුසේන් මොහොමඩ් නසාර්, අල්පිට පහළගේ දොස් ප්‍රසාද් චතුරංග, කපුගම ගීගනගේ දෙනුවන් චතුරංග යන සිව් දෙනාය.   


මේ ඝාතනය සම්බන්ධයෙන් රොෂාන්ලා සොයා පොලිසිය පීරන්නට වූ අතර ඔවුහු රත්නපුරයට පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා විය. ඔවුන් මුලින්ම ගොස් තිබුණේ පුවක්පිටිය ප්‍රදේශයේ කපුමහතෙකුගේ නිවසටය. එම නිවසට ත්‍රි රෝද රථ දෙකකින් ගිය පිරිස වෙඩි තැබීමට භාවිත කළ ටී 56 ගිනි අවිය එම නිවසේ සඟවා පිස්තෝල දෙක පමණක් රැගෙන කපුමහතාට අයත් ත්‍රීරෝද රථයකින් හා කුලියට ගත් ත්‍රීරෝද රථයකින් වැලිවේරියට ගමන් කර තිබේ. ඒ රොෂාන්ගේ ආච්චි අම්මාගේ ගෙදරටය. තමන්ට මළ ගෙදරක යාමට අවශ්‍ය බව පවසා වෑන් රථයක් සොයාදෙන ලෙස රොෂාන් ආච්චි අම්මාට පවසා තිබේ. එසේ සොයාගත් වෑන් රථයෙන් ඔවුන් රත්නපුරයේ රොෂාන්ගේ ඥ‌ාතියෙකුගේ නිවසට ගොස් ඇති බවට ද පොලිසියට තොරතුරු වාර්තා වී තිබිණ.   


 ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රත්නපුරයේ දී කුඩු රොෂාන් ඇතුළු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඝාතනයට සහය දුන් දේවාලයක කපු මහතකු හා ඔහුගේ පුතා අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන්ට ආයුධ සපයා තිබුණේ දෙමටගොඩ චමින්ද විසින් බවට රොෂාන් පවසා තිබිණ. චූටි උක්කුං ඝාතනය කිරීමට තමන්ට අවශ්‍ය බවට කළ දැනුම් දීම අනුව පිස්තෝල දෙක හා ටී පනස්හය ගිනි අවිය චමින්ද සැපයූ බව රොෂාන් පවසා තිබේ. ටී 56 ගිනි අවිය කපු මහතාගේ නිවසේ තබා තිබූ අතර පිස්තෝල දෙක දෙමටගොඩ දී තවත් පුද්ගලයෙක් විසින් ලබාදුන් බව ද රොෂාන්ගේ ප්‍රකාශවල තිබූ බව පොලිසිය පැවසීය.   


 මේ වන විට ද චමින්ද සිටියේ මරණ දණ්ඩනයට නියම වීය. එසේ සිටි දෙමටගොඩ චමින්ද රොෂාන්ලා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූයේ කෙසේද? ඝාතන සැලසුම් සකස් කළේ කෙසේ ද? රොෂාන්ලා අත්අඩංගුවට ගන්නවා සේම මේ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් මුදලට යටත්ව ඒවාට උදව් කරන නිලධාරින් සම්බන්ධයෙන් ද සොයා බැලීම වටින්නේය.   

 


මුදිතා දයානන්ද