පරපුරක උරුමය

 

පරිවර්තනසූරී සිරිල් සී. පෙරේරාගේ පුතු කුමාර පෙරේරා සමඟ කළ කතාබහක්

 

 

 

විශ්ව සාහිත්‍යයේ අනගි මිණි මුතු ගෙන මෙරට සාහිත්‍යය බැබළ වූ පුරෝගාමී නිර්මාණකරුවා යැයි සිරිල් සී. පෙරේරා සම්භාවනාවට පාත්‍ර වූ වාර අපමණය.   
‘යුද්ධය හා සාමය’ කෘතිය පමණක් වුව ඔහුගෙන් පරිවර්තන සාහිත්‍යයට සිදු වූ සේවාව හඳුනා ගැනීමට හොඳටම ප්‍රමාණවත්. එපමණක් නොව ‘මහල්ලා සහ මුහුද, පෙරලූ නැවුම් පස, වෘකයන් අතර නග්නව, මළ මිනිස්සු, ගැඹුරු මුහුද වැනි පරිවර්තන ග්‍රන්ථ ​ඔස්සේ ද සිරිල් සිල්වෙස්ටර් පෙරේරා පාඨක හදවත් තුළ සදානුස්මරණීය වෙනවා.   
මේ මහා සාහිත්‍යධරයාගේ තරම තවදුරටත් කියනවා නම් ඔහු මියයනවිට රටවල් 21කට අයත් ලේඛකයන් 115 දෙනකුගේ නිර්මාණ සිංහල බසට හරවා තිබෙනවා. මහා නවකතා පහක් ඇතුළු නවකතා දහ අටක්, කෙටිකතා එකසිය හැත්තෑ දෙකක්, වේදිකා නාට්‍ය තුනක්, කෙටි ළමා නට්‍ය දහ අටක්, ළමා කතා විසි දෙකක් සහ උපමා කතා දහතුනක් ඊට අයත් වෙනවා.   


කළුබෝවිල සිරිල් සී. පෙරේරා නමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පියවර තැබූ ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකි. එකල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ඉංජිනේරු අංශයේ සේවය කළ ඔහුට ‘කොළඹ ක්‍රමය’ වැඩසටහන යටතේ ශිෂ්‍යත්වයක් ලැබී ඕස්ට්‍රේලියාවට යන්නට සිදු වුණා. එහිදී හමු වූ නිලධාරීන් ‘උඹට ඕන නම් අපේ රටේ පදිංචි ​වෙයන්’ කීවත් ඔහු ඒ අවස්ථාව අතහැර දමා නැවත ලංකාවට පැමිණි බව සඳහන් කොට තිබෙනවා. බැරිවෙලාවත් එදා ඔහු එහි නැවතුනා නම් සිරිල් සී. පෙරේරා කෙනෙක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ හමු නොවන්නටත් හොඳටම ඉඩ තිබුණා.   


කළුබෝවිල රත්නාවලී පාරේ සිරි නිවසේ දර්ශනීය ගෙවත්ත පෙනෙන පරිදි ආලින්දයේ තැබූ හාන්සි පුටුව ඔහුගේ ලියන ‘මේසය’ වුණා. ඒ හාන්සි පුටුවට බරදී පුටු ඇන්ද මත හෝ දෙකකුල මත හෝ කුඩා ලෑල්ලක් තබාගෙන ලීවීම ඔහුට වඩාත් හුරුපුරුදු විදිහ බව ඔහුගේ වැඩිමහල් දියණි අනෝජා කියනවා.   


‘‘ලියන මේසයට වඩා තාත්තා හරි කැමතියි හාන්සි පුටුවට වෙලා ලියන්න. ඒ ලිවීමට තාත්තාටම විශේෂ ඉරියව්වක් තියෙනවා. විශ්‍රාම ගියාට පස්සේ හුඟාක් පොත් ලිව්වේ එහෙම. අපි පුංචි කාලේ නම් තාත්තගෙ ලියන මේසේ වටේ අපිවත් වාඩි කරගෙන එයා ලියන ගමන් අපිට පාඩම් කියලා දෙනවා. ඉස්කෝලෙ පොත් අරන් එන්න කියලා. ඉංග්‍රීසි, සිංහල, ගණිතය එහෙම කියලා දෙනවා. මල්ලි තමා ළඟින්ම තියා ගන්නෙ’’.   


අනෝජා අක්කගෙ ඇස් දෙක ඒ මල්ලි වෙත යොමු වුණා. ඔහු කුමාර පෙරේරා. ඒ පුංචිම කාලේ විතරක් නෙවෙයි ජීවිත කාලය පුරා තාත්තා ළඟින්ම සිටි හොඳම යාළුවා ඔහු.   
‘‘තාත්තා අසනීප වුණාට පස්සේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාව පවා දාලා ඇවිත් මල්ලි තාත්තාව බලා ගත්තා. තාත්තාගෙ ළඟින්ම ඉඳන් සියලු ඕන එපාකම් බැලුවේ මල්ලි තමයි’’. අක්කලා දෙන්න මල්ලී ගැන ලෙන්ගතු බස් කියාපානවා.   


‘‘මං පුංචිම කාලේ සමහර දවසට තාත්තා දවස පුරාම ලියල, ලියල, ලියල රෑ වෙනකොට කරන්නෙ අපි තුන් දෙනාට එන්න කියලා කතන්දර කියල දෙන එක. නිකම්ම කතන්දර නෙවේ. එ්වාට චිත්‍රත් ඇඳලා කතාව පෙන්වමින් තමා කියලා දෙන්නේ. ඒ ව​ගේ කතා චිත්‍රත් එක්කම ගොඩක් එකතු කරල අපි පොත් වගේ හදලා තිබුණා. ඒවා අපේ ළමයින්ටත් කියවන්න දුන්නා.   


ඒ කාලේ තාත්තා අපිත් එක්ක කෝච්චියෙන් යනවා ඈත දුර පළාත්වල ඇවිදින්න. යාපනේ එහෙමත් අපිව එක්ක ගියා. ඒ ගිහින් ඇවිත් ඉස්සෙල්ලාම කරන්නේ ඒ ඒ තැන් ගැන චිත්‍ර අඳින එක. දැක්ක දේ ඒ විදිහටම අඳින්න තාත්තාට පුළුවන්. තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව අද වෙනකොට කවුරුත් වැඩිය දන්නේ නෑ.’’ මඳ සිනාවක් මුවට නගාගනිමින් කුමාර කිව්වා.   


‘‘මට මතකයි ඉස්සර තාත්තා චිත්‍ර ඇඳලා එක එක්කෙනාට තෑගි දෙනවා. එන්.එම්. පෙරේරා, විවියන් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා වගේ අයත් තාත්තා ඇසුරු කළා. ඒගොල්ලෝ මේ ගෙදරට ඇවිත් චිත්‍ර අරන් යනවා. මුල් කාලේ තාත්තාගෙ පොත්වල පිටකවර ඇන්දෙත් තාත්තාමයි. මුද්‍රණයෙන් මුද්‍රණයට කවර අඳිනවා. පස්සේ කාලෙක අපේ දුවල පුතාලට කියලත් පොත් කවරවලට චිත්‍ර ඇන්දෙව්වා. නැත්නම් හිටපු ගමන් කියනවා ඉස්කෝලේ චිත්‍ර පොත ගේන්න කියලා. හොඳ චිත්‍රයක් තිබුණොත් ‘හා මේක හොඳයි මගේ පොතේ කවරෙට’ කියලා තෝරා ගන්නවා. ඒ වගේ චිත්‍රවලින් කළ පොත් කවර කිහිපයක් තියෙනවා. ඒක සමහර විට ළමයි දිරි ගන්වන්න වගේම ළමයින්ට පොත් ගැන කැමැත්තක් ඇති කරන්න කළ දෙයක් වෙන්නත් පුළුවන් කියලා දැන් හිතෙනවා’’. කුමාරගෙ පොඩි අක්කා ඉන්දුත් අපට අදහසක් එකතු කළා.   


‘‘ඇයි පුතේ අර බලන්නකො මේ ගේ බිත්ති පුරාම චිත්‍ර. ඔය එළියෙ බිත්තියේ තියෙන්නෙත් එයාගෙ චිත්‍ර. තෙල් සායම් දිය සායම්වලින් හරිහරියට අඳිනවා. අර පුස්තකාල කාමරේ බලන්න සිවිලිමේත් චිත්‍ර. මේ ළමයින්ගෙ වෙඩින් ඇල්බම්, උපන් දින ඇල්බම් එහෙමත් චිත්‍රවලින් හැඩ වැඩ දාලා එයා තමා හැදුවේ’’. ඒ කතා කළේ සිරිල් සී. පෙරේරා මහත්මිය. වයෝවෘද්ධ නමුත් ඇගේ මතකය තවමත් නිරවුල්.


‘‘ලියන අතරෙ ඒ දවස්වල සමහර වෙලාවට එයා මට කියනවා ඔළුව අතගාන්න කියලා. හුඟාක් රෑ වෙනකන් ලියනවානෙ. කිරිබත් කන්න කැමතියි පැණිපොල් එක්ක. හැබැයි නිතරම දවල් වෙලාවට ගෙදර නෑ. රස්සාවට ගිය කාලෙ වගේම විශ්‍රාම ගත්තට පස්සේත් සමාජ වැඩවලට හරියට එහෙ මෙහෙ ගියා. ලියන්න කාලෙ තිබුණෙ ටිකයි. ඒ හින්දා ගෙදර වැඩ, ළමයින් ගැන ඔක්කොම මං බලා ගත්තා. එයාට බරක් දුන්නේ නෑ’’. කමලා පෙරේරා මහත්මිය කියන්නේ හැබෑම ආඩම්බරයෙන්.   
​‘‘කොයි තරම් ලොකු පොතක් පරිවර්තනයට ගත්තත් තාත්තාට කිසිම කලබලයක් නෑ. ඒ ලේඛකයා ගැන හොයනවා. ඔහුගේ වෙන පොත් පවා කියවනවා. ඒ පොත අදාළව සිදු වූ විචාර, විවේචන සොයා බලනවා, ඊට පසුබිම් වූ කාල වකවානුව ගැන විස්තර ඔය වගේ දැනුම ගොඩක් එකතු කරගෙන තමා තාත්තා පොතක් පරිවර්තනය කරන්නේ.   
ඒ දැනුම සාරාංශ කරලා පො​තේ සංඥාපනයටත් එකතු කරනවා. තාත්තාගෙ හැම පොතකම දීර්ඝ සංඥාපනයක් තියෙනවනෙ. සමහර විට පොතට වඩා එ්ක රසවත්. නැවත මුද්‍රණවලදී ඒ සංඥාපනය පවා නැවත නැවත ලියනවා, තොරතුරු එකතු කරනවා, මොකද පොත පරිවර්තනය කරලා මුද්‍රණය කරලා ඔක්කොම ඉවර වුණාට පස්සේවත් තාත්තා ඒ පොත හිතින් අතහරින්නේ නෑ. තව තවත් අලුත් දේ හොය හොයා සටහන් කරගෙන අලුත් මුද්‍රණයකදී ඒවා එකතු කරනවා. ඒ තමා එයා පාඨකයාට සාධාරණය ඉටු කරන විදිහ. කෘතියේ වුණත් යම් තැනක පරිවර්තනය හිතට මදි වගේ දැනුණොත් ඊළඟ මුද්‍රණයේදී එය නැවත හදනවා. ඡේද පරිච්ඡේද මුළුමනින්ම ආපහු ලියන අවස්ථාත් තියෙනවා.   
විශේෂම දේ තමා තාත්තා පරිවර්තනයට පොතක් තෝරා ගන්නෙ එය මේ රටේ සමාජ පරිසරයට ගැලපෙනවද කියන එක සලකලා. ඒ කාලෙ සමහර ලේඛකයෝ, විද්වත්තු එහෙම ඉංග්‍රීසි පොත් ගෙනත් දෙනවා පරිවර්තනය කරන්න කියලා. ඒවට එක පාරටම හා කියන්නේ නෑ. ‘බලමු අපට ගැලපෙනවද කියලා’ තමා මුලින්ම පොත අතට ගන්නේ. මරදානෙ ගාමිණි හෝල් හංදියේ තියෙන වීදි පොත් කඩ පෙළට යනවා නිතරම. සමහර දවසට මමත් එක්ක යනවා. පොත් තෝරමින් එතැන සෑහෙන වෙලාවක් ගතකරනවා’’. තාත්තාගේ ලේඛන සිරිත කුමාර අපූරුවට විස්තර කළා.   


සිරිල් සී. පෙරේරා රුසියානු සාහිත්‍ය මෙරට පාඨකයන්ට සමීප කළ ප්‍රමුඛ ලේඛකයෙක්. එමෙන්ම ඔහු ඇමෙරිකානු සාහිත්‍යයේ මුදුන් නවකතාවක් වූ අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද, ප්‍රංශ සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයක් වූ ගුස්ටාව් ප්ලෝබෙයාර්ගෙ එමා බෝවාරි සහ ගීද මෝපසාං කෙටි කතා ආදී වශයෙන් ලෝක සාහිත්‍යයේ ප්‍රධාන ධාරාවන් වූ රුසියානු ඇමෙරිකානු හා ප්‍රංශ සාහිත්‍ය රස විඳීමේ වරම සිංහල පාඨකයාට මැනැවින් අත්පත්කර දුන්නා.   
රුසියානු සාහිත්‍යයට තමාට ඇති ඇල්ම සිරිල් සී. වරෙක මෙසේ සඳහන් කොට තිබුණා.   


‘‘පුංචි කාලෙ ඉඳලම මම කියවීමට ආසා කළා. ඉස්කෝලෙ ඉහළ පන්තිවලදී මට තෝල්ස්තෝයිගෙ කෙටි කතා පොතක් කියවන්න ලැබුණා. ඒ කතාවලින් මං දැක්කා අපේ ජන ජීවිතය. අනෙක ඒ කතා තුළ බෞද්ධ දර්ශනයට සමානකම් මම දැක්කා. ඒ අනුව මට හිතුණා මේ කතා ටික පරිවර්තනය කරන්න. මිනිසා ජීවත් වන්නේ කුමකින්ද සහ ‘දුප්පත්කම’ කියන මගේ මුල්ම කෙටිකතා පොත් දෙකට ඇතුළත් වුණේ ඒ කතා ටික. ලොව කොතැනක කලා කෘතියක් වුවත් එය මනුෂ්‍ය වර්ගයාටම අයිතියි. ඒ අයිතිය අපේ පාඨකයින්ටත් ලබා දිය යුතුයි.’’   


‘තාත්තා යුද්ධය හා සාමය’ ලියන කාලෙ ජාත්‍යන්තර ලේඛක සම්මේලනයකට මොස්කව් ගියා. ඒ ගියාම තාත්තාට එහෙන් අවස්ථාව ලබා දුන්නා තෝල්ස්තෝයි ගෙ කෞතුකාගාරය බලන්න යන්න. කෞතුකාගාරය කරල තියෙන්නේ ඔහුගෙ නිවසමයි. එහි ඔහු පරිහරණය කළ බඩු භාණ්ඩ, පොත්පත්, ලියන මේසය, පුටුව, පෑන, ඔහුගේ ඇඳුම් පැළඳුම්, විවිධ සිතුවම් එහෙම තාත්තාට සියැසින්ම දැකගන්න ලැබුණා. ඒ අසලම තමා තෝල්ස්තෝයි ගෙ සොහොන තියෙන්නෙත්. එතැනත් තාත්තා හුඟාක් වෙලා ගත කළා. ඒ පරිසරය අත්දකින්න ලැබීම ගැන තාත්තා පුදුම සතුටක් ලැබුවා. තෝල්ස්තෝයි නිවසේ තිබූ එකම විදේශීය ලේඛකයාගේ ඡායාරූපය චාල්ස් ඩිකන්ස්ගෙ. ඔහුත් තාත්තා ප්‍රිය කළ ලේඛකයෙක්.   


මම එතකොට රුසියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක්. විශ්වවිද්‍යාලයේ මුල් වසරෙ රුසියන් භාෂාව උගන්වනවා. ඊට අදාළව ඒ රටේ වැදගත් ස්‍ථාන සංස්කෘතික වටිනාකම් ගැන පෙන්වන්න එක්ක යනවා. ඒ නිසා තාත්තාට කලින් වරක් මම ඒ කෞතුකාගාරය දැකලා තිබුණා. ඒත් තාත්තා යනකොට මාවත් එක්ක යන්න අවසර අරන් තිබුණා. මටත් එ්ක හරි විශේෂ දෙයක් වුණා. මගේ ඇස් ඉදිරිපිට තාත්තා මේ දේවල් දැකගත්ත එක.   


අනික එතැන තෝල්ස්තෝයි ගෙ පුටුව, මේසේ එහෙම කිසිම දෙයක් නරඹන අයට අල්ලන්නවත් දෙන්නෙ නැහැ. එ්ත් තාත්තා එක්ක ගිය නිලධාරියා කිව්ව ‘ඔබට අවසර තියෙනවා. ටිකක් මේ පුටුවේ වාඩිවෙලා බලන්න’ කියලා. මේ ගමන ගැන ලියනකොට තාත්තා කියලා තියෙනවා ඒ දේවල් දැකීම නිසා යුද්ධය හා සාමය නව කතාවේ අන්තර්ගතය පිළිබඳ වඩා පුළුල් හැඟීමක් ඇතිකර ගන්න පුළුවන් වුණා’ කියලා.’’ ඒ විස්තරය කිව්වේ සිරිල් සීගෙ දෙවැනි දුව ඉන්දු.   


‘‘තෝල්ස්තෝයිට යුද්ධය හා සාමය ලියන්න අවුරුදු නවයක් ගියා​ කියලා තමා පොත්වල සඳහන් වෙන්නේ. තාත්තාත් ඒක පරිවර්තනය කරන්න අවුරුදු හතක් විතර කාලය ගත කරලා තියෙනවා. පරිවර්තනය පටන් ගෙන තාත්තා ඒ ගැන හිත හිතා හිටියලු මේ තරම් ලොකු පොතක් මුද්‍රණය කරන්න ප්‍රකාශකයෙක් හොයා ගන්න බැරිවෙයි කියලා. 150 වැනි තෝල්ස්තෝයි සමරු උත්සවයට තාත්තා දේශනයක් කරලා තියෙනවා. ඒකෙදී යුද්ධය හා සාමය ගැන වැඩිපුර කතා කරන්න ඇති. ඒක ඉවරවෙලා එනකොට කේ. ජයතිලක මහත්තයා ඇහුවලු,   


‘යුද්ධය හා සාමය පරිවර්තනය නොකරන්නෙ ඇයි’.
 ‘එච්චර ලොකු පොතක් කවුද ගහන්නේ....?’  


‘හා ඒක මං බලා ගන්නම්. අද ඉඳලම පටන් ගන්න එහෙනම්’ කව්වාලු.   


ඒ විශ්වාසයට තමා යුද්ධය හා සාමය පොත පරිවර්තනය කරලා තියෙන්නෙ. කාණ්ඩ දහයක් හැටියට ජයතිලක මහත්තයාගෙ ප්‍රදීප ප්‍රකාශකයො ඒ මහා පොත ප්‍රකාශයට පත් කළේ. තවත් එකක් ඒ කාලේ මතයක් තිබුණලු යුද්ධය හා සාමය කාටවත් පරිවර්තනය කරන්න බෑ කියලා. ඒකට අභියෝගයක් හැටියටත් මේක කළා කියලා තමා තාත්තා කියන්නේ.   


එමාබෝවාරි පොත විශ්වවිද්‍යාලයට නිර්දේශ පොතක් හැටියටත් තිබුණා. දැනටත් ජර්මන් ජාතික බෲනෝ අපිට්ස්ගේ වෘක්කයන් අතර නග්නව වගේ පොත් ගැන නිතර අහන පාඨකයෝ ඉන්නවා. තාත්තා ඉංග්‍රීසි පොත් සිංහලයට විතරක් නෙවෙයි. සිංහල පොත් ඉංග්‍රීසියටත් පරිවර්තනය කරලා තියෙනවා. ගුණසේන විතාන මහත්තයාගේ කෙටිකතා පොතක් එහෙම ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඉංග්‍රීසියෙන් ලියන සිංහල ලේඛිකාවක් වූ පුන්‍යකාන්ති විජේනායකගෙ ගිරය, ආතර් සී. ක්ලාක්ගේ ගැඹුරු මුහුද එහෙමත් සිංහලට පරිවර්තනය කළා.   


තාත්තා පරිවර්තනයක් කරන කොට අපැහැදිලි තැනක් එහෙම තිබුණොත් ඒ වෙලාවෙ නැගිටලා ශබ්ද කෝෂ බලන්නෙ නෑ. ඒ කොටස එතැන ඉංග්‍රීසියෙන්ම ලියාගෙන දිගටම පරිවර්තනය කරගෙන යනවා. ඒ වැඩේ නැවැත්තුව වෙලාවක අර කොටසට අදාළ පැහැදිලි විස්තර හොයා ගන්නවා. මොකද මගදී අවධානය බිඳෙන එක බාධාවක් නිසා’’.   
කුමාර පෙරේරා තාත්තාගෙ වග විස්තර කට පාඩමින් වගේ කියනවා. 

 
පරිවර්තනයේදී මුල් ලේඛකයාටත් පාඨකයාටත් දෙපැත්තටම සාධාරණය ඉටුවෙන්න ඕන කියන එක සිරිල් සී. පෙරේරා නිතර පවසා තිබෙනවා. පරිවර්තනය කියන්නේ භාෂා දෙකක් අතර ඉසියුම් ගනුදෙනුවක්. ඒ නිසා පරිවර්තකයාට එම භාෂා දෙක පිළිබඳව හසල දැනුමක් තිබීම අත්‍යවශ්‍ය සාධකයක්. එසේ වුවත් සිරිල් සී.ට කුඩා කල සිංහල අප්‍රිය විෂයයක්ලු. ඔහුගේ මව වේවැලක් ළඟ තබාගෙන සිංහල ඉගැන්වීම නිසා එය තවත් එපා වුණා කියා ඔහු පවසනවා.   


‘‘මෙහෙමයි අපේ තාත්තා මුලින්ම ගිහින් තියෙන්නෙ රත්තනපිටියෙ ගමේ ඉස්කෝලේට. ඊට පස්සේ සීයාට ඕන වුණාලු තාත්තට ඉංග්‍රීසි උගන්වන්න. සීයාත් ඉංග්‍රීසි උගතෙක්. ඒ හින්දා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට තාත්තා බාර දුන්නලු. එතන ඉන්නකොට තාත්තට වයස අවුරුදු දොළහක් විතර වෙද්දි සීයා නැති වුණා හදිසියෙ. ඒ වෙලාවෙ සීයාගෙ මල්ලි කෙනෙක් ඒ කියන්නෙ තාත්තාගෙ බාප්පා ඇවිත් ඔය ක්‍රිස්තියානි ඉස්කෝලෙ ඉන්න ඕන නෑ කියලා තාත්තාව එක්ක ගියාලු වැල්ලවත්තේ ශ්‍රී වෛශාඛ්‍ය විද්‍යාලයට. එතැන පාලක මණ්ඩලය සභාපතිත් ඔහු. ඒ, බාප්පා කුමාරතුංග මුණිදාස, ඩබ්.ඒ. සිල්වා, ජයන්ත වීරසේකර වගේ විද්වතුන් ළඟින් ඇසුරු කළ කෙනෙක්. එයා කුමාරතුංගයන්ගේ පොත්පත් ප්‍රකාශයට පත් කරලත් තියෙනවාලු.   


ඔය වගේ පිරිස නිතරම ඒ බාප්පාගෙ ගෙදරට එකතු වෙලා සාහිත්‍ය, ඉතිහාසය, පොත්පත් ගැන සාකච්ඡා, වාද විවාද කරනවාලු. තාත්තාත් කාමරේ ඉඳන් මේවා අහගෙන ඉන්නකොට හිතෙනවලු මේ මිනිස්සු දන්න දේවල් කියලා. එතකොට ඔන්න ආයෙත් සිංහල ගැන උනන්දුව ඇතිවෙලා කුමරතුංග පොත්පත් හොය හොයා කියෙව්වාලු.   
ඊළඟට තාත්තා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ගිහින්. එතැන විදුහල්පති ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා නිසා භාෂාව වගේම දේශාභිමානි හැඟීම් මතු වන පරිසරයක් එහි තිබුණා. එහිදී සිදත් සඟරාව කට පාඩම් කිරීම නිසා සිංහල භාෂාව ගැන පුළුල් දැනුමක් ලැබුවා කියනවා. එහිදී තාත්තාට කුමරතුංග මුණිදාසයන්ගේ දේශනයක් අහන්න ලැබීමත් දිරියක් වුණාලු.   


ඒ වගේම තාත්තාට පරිවර්තනය ගැන උනන්දුවක් ඇති වෙන්න තාත්තාගේ ලොකු අක්කගෙ බලපෑම ලැබුණා කියනවා. තාත්තා ඒ ගැන ලියනවා මෙහෙම.’’   


‘‘ඇතැම් දවසක තාත්තා එනතෙක් කතන්දරයක් කීම අපේ ලොකු අක්කගේ සිරිතය. අම්මාගෙන් ගම කතා අසන අපට අක්කගෙන් අසන්නට ලැබුණේ අෑ විසින් කියවන ලද ඉංග්‍රීසි පොතක තිබෙන කතාවකි. නුගේගොඩ ශාන්ත ජෝන් කාන්තා විද්‍යාලයෙහි උගත් අක්කා බොහෝ ඉංග්‍රීසි පොත පත කියවා තිබිණි. අක්කා කී ඉංග්‍රීසි කතාන්තර අපේ පැරණි ගම කතාවලට වඩා මගේ සිත් ගත් අතර ඒවා පසු කාලෙක පොත් කියවීමටත් කතා කීමටත් මා තුළ ආශාවක් ඇති කළේය. තාත්තා එන බව දකින අපට කතාන්දර කීම අමතක වෙයි. වත්තට ඇතුළු වන කඩුල්ල ළඟට වහා දිව යන අපි තාත්තාගේ අතේ තිබෙන පාර්සල් ආදිය උස්සාගෙන ඔහු පසුපසින් එන්නෙමු. ඉංග්‍රීසි කියවන්නට තරම් දැනුමක් ලැබූ පසු එදා රෑ අක්කා අතරමග නතර කළ මගේ සිත් ගත් චාල්ස් ඩිකන්ස් ගේ ‘එ ක්‍රිස්මස් කැරොල්’ නමැති කතාව කියවන්නට වෑයම් කළෙමි.’’   


ඒ අනුව තමා තාත්තා මුල් කාලෙම ‘නත්තල් ගීතය’ නමින් එය පරිවර්තනය කර තිබෙන්නේ.   


ළමා කතා, ළමා නාට්‍ය මහ ගොඩක් තාත්තා පරිවර්තනය කරලා තියෙනවා. සමහර ඒවා යොවුන් කතා. චාමලී, ෂේන්, නිලෝදකය වගේ පොත් ළමයින් වෙනුවෙන් කළ ඒවා. තාත්තාගෙ ළමා කතා පරිවර්තන ඒ කාලෙ නිතරම පත්තරවල පළ වුණා.   


මුලින්ම තාත්තාගෙ කෙටි කතා පරිවර්තන පළවී තිබෙන්නේ හේමපාල මුණිදාස මහතාගේ සිංහල බලය පුවත් පතේ. කෙටි කතාවක් ලියාගෙන ගියාම හේමපාල මුණිදාස මහතා ඒ වෙලාවෙම කියවා වැරදි නිවැරදි කර මේ සතියේ නොව ඊළඟ සතියේ පළ කරන බව කිව්වලු. ඒ වගේම කියූ දිනම එය පළ වුණාලු. එදා සිට එයට දිගටම කෙටි කතා පරිවර්තනය කර යැවූ බව කියනවා.   


තාත්තා පුංචිම කාලෙ බොරලැස්ගමුව හන්දියට නිතරම එන කවි පොත්කාරයන් දෙදෙනාගෙන් කවි අහන්න යන්න හරි කැමතිලු. අම්මාගෙන් සත දහයක් ඉල්ලාගෙන ගිහින් ඒ කවි පොත් අරන් ඇවිත් අක්කලාට දීලා කියවා ගන්නවා. ඒ වගේ සාහිත්‍ය රසයට තාත්තා ඉබේම ඇදිල ගිහින් තියෙනවා.’’ කුමාර නිදර්ශන සහිතව අපට තොරතුරු ඉදිරිපත් කරනවා.   


ඔන්න ලොකු අක්කත් අායෙත් ලොකු කතාවක් කියන්න වගේ.  


‘තාත්තා ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නාට්‍යයේ රඟපෑවා කියලත් කියනවා. තවත් විනෝදාංශයක් තිබුණා. ඡායාරූප ගැනීම, චිත්‍ර අඳිනව වගේම ඒකටත් තාත්තා හරි දක්ෂයි. පළමුවැනි නිදහස් උත්සවයේ තාත්තා ගත් ඡායාරූප ඇල්බම් එකක් තවමත් තියෙනවා. කවුරුත් කියලා නෙවෙයි, බලන්න ගිහින් අරගෙන. යන යන තැන ඡායාරූප ගන්න එකත් කළා. ගෘහ නිර්මාණ ශිල්පියෙක් හැටියට හුඟාක් කලාකාරයන්ට එහෙම නිවාස සැලසුම් ඇඳලා දුන්නා. ජයවිලාල් විලේගොඩ, දයා නෙල්ලම්පිටිය වගේ අයගේ ගෙවල් තාත්තා ඇන්දා මට මතකයි. කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ බුදු මැදුර තාත්තාගේ නිර්මාණයක්. මේ අපේ ගෙදරත් දකින අයට හරි වෙනසක් තියෙනවා. තාත්තා වත්තේ ගස්වල අත්තක්වත් කපන්න දෙන්නේ නෑ. ගස් වැල්වලට හරිම ආදරෙයි.   


අපේ තාත්තා ගෙදර ඔහේ නිකං කතා කරකර ඉන්න කෙනෙක් නෙවෙයි. මල්ලි එක්ක තමා ටිකක් වැඩිපුර කතා කරන්නෙ. අපි එක්ක වුණත් කතාව ටිකයි. අවශ්‍ය දේ කතා කරනවා. පස්සේ කාලෙක අපට පොත්වල සෝදුපත් බලන්න දෙනවා. මං හිතන්නේ අපි යුද්ධය හා සාමයෙත් සෝදු පත් බැලුවා’’. ඇය අනෝජා.   


‘‘අපට හොඳටම මතක කාලේ තාත්තා හුඟාක්ම සතුටු වුණේ ධර්මසිරි බණ්ඩාරනායකට මකරාක්ෂයා හා ධවල භීෂණ නාට්‍ය දෙක පරිවර්තනය කළ එක ගැන. ඒ නාට්‍ය කණ්ඩායමත් එක්ක දිගින් දිගටම පුහුණුවීම් අවස්ථාවලට පවා ගියා. මකරාක්ෂයා මංගල දර්ශනය දවසේ රෑ අපේ ගෙදර වත්තේ තමා ඒගොල්ලන්ගේ ජය පැන් සාදය තිබ්බේ.   
කේමදාස මාස්ටර්, වින්සන්ට් සේරසිංහ, රමණී බර්තොලමියුස්, ධර්මසිරි බණ්ඩාරනායක තව මහා ගොඩක් සෙනග රෑ දෙගොඩ යාමේ වෙනකල් මෙහෙ. තාත්තාත් හරියට සතුටු වුණා.   


ෂෝන් පෝල් සාත්‍රේගේ ධවල භීෂණ ලියන තාත්තා කිව්වේ ‘වදින්න ඕන තැනකට මමත් ගලක් ගැහුවා කියන සතුට මට ලැබුණා’ කියලා. ඒ වගේ ඒ නාට්‍ය දෙක පරිවර්තනයෙන් ලොකු ආශ්වාදයක් ලැබුවා.   


ඒ ඇරෙන්න තාත්තා ගමේ හරියට සමාජ සේවය කළා. ඒ රැස්වීම් එහෙමත් අපේ වත්තෙ නිතර තියෙනවා. අපේ අම්මා තමා ඒවාට සංග්‍රහ සත්කාර කරන්නෙ. කී දෙනෙක් ආවත් අම්මා හරි සතුටෙන් උයලා කන්න බොන්න දුන්නා. ගුණසේන විතාන, කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර, බොබී ජී. බොතේජු, ඒ.වී. සුරවීර වගේ අය අපේ තාත්තාගේ යාළුවෝ. ඒ අයත් අපේ අම්මගේ සහයෝගය ගැන හරියට අගේ කළා. තාත්තා ඉන්න කාලේ යුද්ධය හා සාමය අලුත් මුද්‍රණයට පිදුම ලිව්වෙ අම්මාට. ‘මා ප්‍රිය කමලාට’ එච්චරයි.   
පොත ගෙදර ගෙනත් අම්මට දීලා කියනවා. ‘හොඳට බලන්න මෙන්න මේක ලියලා තියෙන්නෙ ඔයාට...’. කියලා. මට කතා කරලා කිව්වා ‘කුමාර මෙන්න මේක අම්මාට පෙන්නන්න’ කියලා. තාත්තාට හිතෙන්න ඇති අම්මා කළේ ලොකු උපකාරයක් නිසා මේක තමා හොඳම ස්තුතිය කියලා’. කුමාරගෙ මතක උල්පත එන්න එන්නම උතුරා යනවා.   
සිරිල් සී. පෙරේරා කෘතිවලට ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු රට රටවලින් පවා ලැබුණු සම්මාන ත්‍යාග මහ ගොඩක් ඔහුගේ පුස්තකාලයේ සුරැකිව තිබෙන අයුරු අප දුටුවා.   

 

 


‘‘ඇත්තටම ඉස්සර අපේ ගෙදරට දෙතුන් දෙනෙක් ආවොත් ඉඳගන්න තැනක් දෙන්න විනාඩි පහක් දහයක් යනවා. මොකද පුටු, මේස, කනප්පු සේරම පොත්වලින් වැහිලා. පාඨකයො, ලේඛකයෝ නිතර එනවා. එතකොට තාත්තා අපට කතා කරලා කියනවා ‘මේ පොත් ටික පැත්තකින් තියන්න’ කියලා. ඒ මිනිස්සු ගියාම ආයෙත් අර පොත් ඒ ඒ තැන්වලටම යනවා. තාත්තා යන යන තැනින් කියවන්න ගෙනෙන ඉතිහාසය, බුද්ධාගම වගේ පොත් තමා එහෙම ගොඩගැහෙන්නේ.   


තාත්තා රැකියාව කරන කාලේ රෝහල් ගොඩනැගිලි සැලසුම් කරන්න රටේ හැම පළාතෙම වගේ ගියා. හිතුනම මටත් කියනවා යමු කියලා. ඒ වගේ කටුනායක ගුවන් තොටුපළේ ගොඩනැගිල්ලක් හදන තැනටත් මාව එක්ක ගියා මතකයි.   


තාත්තාගෙ ලිවීමට ආදර්ශ පාඨයක් තිබුණා. ‘ගොඩක් කියවලා, ටිකක් ලියනවා’ කියලා. එහෙම නම් යුද්ධය හා සාමය පිටු 2,540කුත්, කරමසෝ සහෝදරයෝ පිටු 1,182කුත් ලියන්න තාත්තා කොතරම් කියවන්න ඇද්ද කියලා හිතාගන්නවත් පුළුවන්ද?   


ඒ වගේම තවත් හොඳ ලස්සන කතාවක් කියනවා. පොතක් පරිවර්තනය කරලා ඉවර වුණාම හිර ගෙදරක ලැගලා එළියට ආවා වගේ සනීපයක් දැනෙනවා කියලා. වැඩේ කොතරම් බරපතළ ද කියලා අපට දැනෙන්නේ එතකොට. එ්ත් තාත්තා බොහොම සරලව සැහැල්ලුවෙන් ජීවත් වුණා. මම මේ තරම් කෙනෙක් කියලා හැඟීමක්වත් තාත්තාට තිබුණේ නෑ. තාත්තා ගැන වැඩිපුර කියනවාට ලියනවාට එහෙම කැමති වුණේම නෑ’’. කුමාර පෙ​රේරා ආයාසයෙන් හිත හිරකර ගත් බව අප දුටුවා.  

 


පුෂ්පා ඉලංගන්තිලක   
ඡායාරූප - චානුක කුලසේකර