IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇඟිලි සලකුණු හෙළිකරන ජීවන තොරතුරු

 

 

අත්ලක පිහිටි රේඛාවන් පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම අත්ල පුරාමත්, ඇඟිලිවලත් ඇති ඉතා සියුම් රේඛා මෝස්තර තුළින් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. විශේෂයෙන් ඇඟිලි තුඩුවල එවැනි විවිධ මෝස්තර රටා පිහිටයි.   


සමහර ඒවා රැලි ආකාරයෙනුත් තවත් ඒවා ආරුක්කු, ත්‍රිකෝණ, හක්ගෙඩි වමට, දකුණට කැරකුණ ආකාරයෙනුත් පිහිටිය හැක. ඔබේ අත ඇඟිලි දිගහැර පරීක්ෂාකාරීව බැලුවොත් එම ජීවන රටා පැහැදිලිව දැකිය හැකිය. මෙම ජීවන රටාවල් නිර්මාණය වන්නේ පසුගිය ලිපිවලින් දැක්වූ රේඛාවලින් නොව කෙස් ගස් වැනි සියුම් කෙඳිවලිනි. මෙහි ඇති රූප සටහන පරීක්ෂා කිරීමෙන් ජීවන රටා කියන්නේ මොනවාද ඔබට පැහැදිලි වනු ඇත.   


දරුවෙකු මව් කුස පිළිසිඳ ගෙන සති 18කට පසුව ඔහුගේ හෝ ඇයගේ අත්වල මෙන්ම පතුල්වල ද මේවා නිර්මාණය වන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. එසේ පිහිටන මෙම ජීවන රටා මව් කුසින් බිහිවී මියයන තෙක්ම වෙනස් නොවී පවතියි. මෙම සියුම් රේඛා කැපීම්, කෙටීම්, තැලීම් වැනි සිද්ධීන් නිසා ජීවන රටා කෙඳිවල ස්වභාවය වෙනස් වූවත් ඒවායේ රටාව හෙවත් මෝස්තරය කෙනෙකු මියයන තුරාම වෙනස් නොවේ. එක සමාන ජීවන රටා ඇති දෙදෙනෙක් සොයාගත නොහැක.   


කෙනෙකුගේ පෞද්ගලිකත්වය ජීවන රටාවන් තුළ සටහන් වී ඇත්තේ ඒ තරමටම සූක්ෂම ලෙසටයි. අපරාධකාරයින්, සොරුන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ එම නිසාය. දොස්තර ප්‍රැන්සිස් ගැල්ටන් විසින් සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු ක්‍රමය මේ වනවිට අද මුළු ලොව පුරාම අධිකරණයන් මඟින් පිළිගත් අපරාධ මාධ්‍යයක් වී ඇත්තේ ඒවායෙහි ඇති පෞද්ගලිකත්වය නිසාම බව ඔබට ද පැහැදිලි වනු ඇත.   


හස්ත රේඛා විද්‍යාව අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු ප්‍රකාශ කිරීමට ජීවන රටා උපයෝගී කරගත හැකිවාක් මෙන්ම ඇඟිලි සලකුණු ක්‍රමය යටතේ අපරාධකාරයන් කොටුකර ගැනීමට ද ජීවන රටා මහෝපකාරී වෙයි. ජීවන රටාවල පිහිටීම තුළින් හෙළිකර ගත හැකි තොරතුරු මොනවාදැයි දැන් අපි බලමු.   


අංක 01 පළමු රූපසටහන දෙස බලන්න. දක්ෂිණ වෘත්තාකාර සුලි රටාවල සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. දක්ෂිණ වෘත්තාකාර සුළි රටා යයි හඳුන්වන්නේ දකුණු පැත්තට කරකැවී ගිය සුළිවලටයි. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මහපට ඇඟිල්ලේ එම රටාව ඇත්නම් ඔහු හෝ ඇයට කොතැනකට ගියත් නායකත්වය හිමි වෙයි. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල බොහෝවිට මෙවැනි සුළි රටා පිහිටිය හැක. දබර ඇඟිල්ලේ දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවක් ඇති පුද්ගලයා ආත්මාර්ථකාමී අයෙක් ලෙස හඳුනාගත හැක. බාධක කම්කටොලු නොතකා ඉදිරියට යන මොවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කර ගනී. දේශපාලනඥයන්ගේ අත්වල මෙම සුළි රටා පිහිටා තිබෙනු දැකගත හැක.   
මැද ඇඟිල්ලේ පිහිටි දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවන් ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීම් වේ. මෙම ලකුණ ඇති අය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන අතර හැමවිටම දුක හා අනිත්‍යය පිළිබඳව මෙනෙහි කරයි.   


සුළැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර රටාවෙන් කපටි, වංචාකාරී පුද්ගලයෙක් හඳුන්වා දෙයි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතුවලින් බොහෝවිට දියුණු විය හැක. ඇඟිලි දහයේම එවැනි සුළි රටාවන් පිහිටීම මහාභාග්‍යමත් ලක්ෂණයකි. අප භාග්‍යමත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් එවන් මහා මංගල ලක්ෂණයන් විද්‍යාමාන වූ බැව් පැරණි පොත්වල සඳහන් වේ.   


අංක 2 වාම වෘත්තාකාර සුළි රටා ලෙස හඳුන්වන්නේ වමට කරකැවී ගිය සුළි රටාවලටයි. මෙම සුළි රටා පෙර සඳහන් කළ දකුණට කරකැවී ගිය සුළි රටා තරම් බලවත් නොවේ. මහපට ඇඟිල්ලේ එම රටාවන් ඇත්නම් එම අය ව්‍යාපාරිකයන් වශයෙන් විශාල දියුණුවක් ලබයි.   


දබර ඇඟිල්ලේ එවැනි සුළි රටාව ඇත්නම් හේ බොහෝ තණ්හාධික අයෙක් වෙයි. ඕනෑම කරදරයකට මුහුණදිය හැකි විදියේ චරිත ලක්ෂණ ඇති අයගේ අත්වල මැද ඇඟිල්ලේ වාම වෘත්තාකාර සුළි රටාවන් පිහිටයි. මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වුණත් දිළිඳු ජීවිතයක් ගත කරන අයගේ අත්වල වෙද ඇඟිල්ලේ එවැනි සුළි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක්ද නැති නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුළඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුළි රටාවෙන් හඳුනාගත හැකිය.   


අංක 3 හක්ගෙඩි රටාවක සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. එය හරියට හක්ගෙඩියක් සේ දිස්වෙයි. එම සුළි රටාව ඇඟිලිවල හෝ අත්ලේ පිහිටියේ නම් හෝ බොහෝ ගරු බුහුමන් ලබන අයෙක් වෙයි. දස අතේම පැතිරුණ කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයින් ලෙස හැඳින්විය හැක. යාන වාහන හිමිකර ගැනීමේ වාසනාව ද හිමි ඔවුන් හට අතවැසියෝ ද අඩුවක් නැත. 

 
යම් ස්ත්‍රියකගේ මහපට ඇඟිල්ලේ මෙවැනි ලක්ෂණයක් පිහිටියේ නම් ඇය රාජ්‍ය අංශයේ ඉහළම පදවියක් දරන්නීය. ගුරු ඇඟිල්ලේ නම් රටක හෝ පළාතක අධිපතිනිය වන්නීය. ශනි හෙවත් මැද ඇඟිල්ලේ එම ලක්ෂණය පිහිටියේ නම් පිරිවර ජනතාවගේ ප්‍රසාදයට පත්වෙන අතර බුධ ඇඟිල්ලේ පිහිටියේ නම් ගුප්ත ශාස්ත්‍රය දත් පඬි රුවනක් වන බව පැරණි ඍෂිවරු සඳහන් කර ඇත.   


එමෙන්ම කාගේ හෝ අතක ඇඟිලි දහයේම හක්ගෙඩි රටා පිහිටා ඇත්නම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් ද වෙයි.   


අංක 4 ත්‍රිකෝණ රටාවන් හොඳ පිහිටීමක් වේ. පර්යේෂණ මඟින් අලුත් අලුත් නිර්මාණයන් සොයා ගැනීමේ දක්ෂයන් වන එවැනි අයට විචක්ෂණ බුද්ධි බලයක් ඇත. හස්ත රේඛා විද්‍යාව, ජ්‍යොතිෂය, රසායන විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි වැඩි දක්ෂතාවක් පෙන්වන ඔවුන් එවැනි දේවලින් ලෝකපූජිත වීමට තරම් හේතු වේ.   


අංක 5 ආරුක්කුවක ආකාරයට පිහිටා ඇති හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට මෙම ලක්ෂණය පිහිටයි. ස්ව උත්සාහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් ගතිගුණ ඇති අයගේ ඇඟිලි තුඩුවල මෙම ආරුක්කු ආකාර හැඩයට ලක්ෂණ පිහිටයි. මොවුන් බොහෝවිට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකිවීම කැපී පෙනෙන දුර්වලකමකි. පරිසරයට ආදරය කරන ඔවුන් සියලු සතුනට කරුණාව දක්වති.   


අංක 6 පඬුරේඛා පුඩු රේඛාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධානෝපායන මාර්ගවලින් දියුණුවට පත්වෙන අයගේ ඇඟිලිවල හා අත්වල මෙවැනි රටා පිහිටයි. රැකියාවක් කරන අයෙකුගේ අත්වල මෙවැනි රටාවන් ඇත්නම් ඔහු හෝ අැය රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් උපයයි. මෙම පුඩු රේඛාවන් සමග හක්ගෙඩි රේඛා හා සුළිරේඛා ඇඟිලිවල සමබරව පිහිටා ඇත්නම් උපයන ධනය දනට, පිනට වැය කරයි. මහා මන්දිරවල ජීවත්වීමට හිමිකම් ලබන ඔවුන් පරිසරයට ද ආදරය කරන්නෝය.  


අංක 7 රැලි රටාවක සාමාන්‍ය පිහිටීම එම රූපසටහනින් හඳුනා ගන්න. එවැනි රටා ඇති අය බොහෝවිට අලස ගතියක් පෙන්වයි. කතාවට දක්ෂ සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු ඔවුන් අනුන්ගේ දක්ෂකම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්නෝ වෙති.   

 


හිඹුටානේ පියතිලක ද අල්විස්   
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට)   
මුල්ලේරියාව නව නගරය.  



අදහස් (0)

ඇඟිලි සලකුණු හෙළිකරන ජීවන තොරතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site