(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)

හම්බෙගමුව වැව අතුළු කුඩා වැව් 34 කට වාරි ජලය ලබාගන්නා වේලිඔය සහ කාල්කන් ඔය හමුවන ස්ථානයේ මීට වසර පහලොවකට පෙර තැනූ අමුණේ වැලි සොරොව්ව වසා දමා එහි එකතුවන වැලි පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ගොවි සංවිධාන , වැලි ගොඩදමන්නන්, වැලි ප්‍රවාහනය කරන්නන් සහ සිවිල් සංවිධාන එක්ව අද (20) වේලිඔය දී විරෝධතාවයක නිරත වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික සමාගමකට යන්ත්‍රාණුසාරයෙන් අමුණේ වැලි ගොඩදැමීමට ඉඩදී ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.

මේ නිසා අමුණේ බැම්ම කැඩී යනු ඇතැයි විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ. එසේම හම්බෙගමුව වැව ඇතුලු වැව් තිස් හතරකට වාරි ජලය ගෙන යන වාරි ඇලේ රොන් මඩ සහ රොඩු ගලා යාමෙන් එම ඇල ප්‍රයෝජනයට ගන්නා වැසියන්ට පානීය ජලය සහ නෑමට ගන්නා ජලය අපිරිසිදුව ඇති බවද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

අමුණට පහළින් පිහිටි වේලිඔය පහළ දෙපස පදිංචි ස්වයං රැකියා ලෙස වැලි ගොඩදැමීම කරන නීත්‍යුනුකූල බලපත්‍ර හිමියන්ට අමුණේ වැලි සොරොව්ව විවෘත නොකිරීම නිසා වැලි හිඟවීමත්,  යන්ත්‍රානුසාර ගොඩදමන වැලිවලින් පිටකරන රොන් මඩ වේලිඔයට බැහැර කිරීමෙන් වේලිඔයෙන් පානීය ජලය සහ දියනෑමට ගන්නා වැසියන්ට අපිරිසිදු ජලය ගලා එන බවද ඔවුහු කීහ.

විරෝධතාවට එක්වූ කොටවෙහෙර ලගිනගල ශ්‍රී පුලිනතලාරාමාධිපති නෙල්ලිවල සුමේධාලංකා හිමියෝ මෙසේ පැවසූහ.

      ‘‘මොනරාගල වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයාගේ තීරණයක් අනුවයි මේ ගම්වැසියන් පහළොස් දහසක් විතර විශාල අසීරුතාවකට පත්වෙලා ඉන්නේ. කාල්කන් ඔයයි , වේලිඔයයි හමුවන තැන හරස්කරලා හම්බෙගමුව වැවට ජලය ගෙනියන්න අමුණේ වේල්ල තැනුවේ 2005 දී.

ඒකෙ වැලි සොරොව්වක් වෙනම තියනවා. මේ අමුණ ජලය රැස්කරන අමුණක් නෙවෙයි. ඉස්සර හිටිය වාරිමාර්ග ඉංජිනේරු මහත්තයා වරින්වර මේ අමුණේ වැලි සොරොව්ව අරිනවා. එතකොට අමුණේ එකතු වෙලා ගියන වැලි වතුරත් එක්ක වේලි ඔයට ගලා යනවා.

වේලිඔයේ නිත්‍යානුකූල වැලි බතලපත්‍ර ගත්ත 70 දෙනෙක් පමණ ඒ වැලි ගොඩදාලා ජීවත් වෙනවා. ඒ වැලි ප්‍රවාහනය කරලා තව පිරිසක් ජීවත් වෙනවා. මේ තත්ත්වය නිසා විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වෙලා තියනවා. වේලිඔයේ වතුර නැති නිසා වතුර රැඳුන තැන්වල මදුරුවෝ පිරිලා සෞඛ්‍ය ප්‍රශ්නත් තියනවා.

වැලි ගොඩදැමීමට ගිවිසුම් ගත සමාගමට කොන්දේසි කඩලා වැලි ගොඩදාන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉඩ දිලා තියනවා. අමුණේ ඉදලා මිටර් 350 ක් ඉහළින් මීටර් 150ක් අතර දුරක් තමයි යන්ත්‍රානුසාරයෙන් වැලි ගොඩදාන්න ඒ සමාගමට අවසර දීලා තියෙන්නේ. නමුත් දැන් ඒ කොන්දේසිය තුට්ටුවකට මායිම් නොකර අමුණෙ බැම්ම අද්දරම යන්ත්‍රාන්සාරයෙන් වැලි ගොඩදානවා. ඒ ගොඩදාන වැලි මිශ්‍ර ජලයේ තියන රොන් මඩ වේලිඔයට පිටකිරීමෙන් වේළිඔයේ ජලය ලබාගන්නා දහස් ගණනක් ගැටලුවට පත්වෙලා.

අමුණේ වැලි ගොඩදාන විට ජලය අපිරිසිදු වන නිසා රොඩු සහ රොන් මඩ මිශ්‍ර ජලය තමයි වාරි ඇල දිගේ යන්නේ. එතකොට වාරි ඇල ප්‍රයෝජනයට ගන්න හැකියාවක් නෑ. ඊට අමතරව වාරි ඇලෙන් පෝෂණය වන වැව් 34 ක් රොන්මඩ වලින් පිරිලා යනවා.

මේ තත්ත්වය අපිට ඇතිවුණේ අවුරුදු තුන හතරක ඉඳලා. මේ අවනඩුව, හිටපු ජනාධිපතිතුමාට, වත්මන් ජනධිපති තුමාට, අගමැතිතුමාට, වාරිමාර්ග ඇමතිවරයාට, පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හැම දෙනාටම ලිඛිතව දැනුම් දීලා තියනවා. කලින් කළා වගේ මේ වැලි සොරොව්ව වරින්වර විවෘත කරලා අමුණේ පිරෙන වැලි වේලිඔයට මුදා හරින්න කියලා තමයි  අපි ඉල්ලන්නේ‘‘. නෙල්ලිවල සුමේධාලංකා හිමියෝ පැවසූහ.

ගොවි සංවිධාන 34 ක එකමුතුවෙන් යුතු ඒකාබදධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්.එම්. කරුණාදාස මහතා මෙසේ පැවසීය.

      ‘‘මේ ගැටලුව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේම ජනතාවට බලපානවා. මේ පෞද්ගලික සමාගම දිනකට වැලි කියුම් 350ක් 400ක් විතර අමුණෙන් යන්ත්‍රාණුසාරයෙන් ගොඩදානවා. ඒ ගොඩදාන වැලි ගෙනයන ටිපර් එන්නේ අපේ ගොවීන්ගේ කුඹුරුවලට ජලය ලබාගන්නා වාරි මාර්ග ඉවුරුවල තියන පස් පාරවල් වලින්. පාර දෙපැත්තේ ගෙවල්වලට දූවිලි ගිහිං ඉන්න බෑ. ඊට අමතරව වාරි මාර්ග පද්ධතියත් ඉක්මනින් අබලන් වෙනවා. වැලි ගොඩදාපු අයගේ ස්වයං රැකියා අහිමි වෙලා. ඊට වඩා අමුණත් අවදානමේ.

ඊට වඩා මේ යත්‍රානුසාරයෙන් වැලිගොඩදාන කටයුත්ත නිසා වල්අලි ගම්වැදීමත් වැඩිවෙලා. ඒකත් සමාජ ප්‍රශ්නයක්. උඩවළව ජාතික උද්‍යානයේ ඉන්න අලි බෝහගපට්ටිය අලි මංකඩ හරහා කාල්කන් ඔය පැත්තෙන් කොස්ලන්ද පැත්තට ගමන් කරන පාර පිහිටලා තියෙන්නේ අමුණේ වැලි ගොඩදාන සමාගමේ සමහර ගොඩනැගිලි ඉදිකරලා තියෙන්නේ හරියෙන්.

අලින්ගේ ගමන් මාර්ගය අවහිර වෙලා. ඊට පස්සේ අලි ගම හරහා යන්න එන්න පටන් අරං. ගමට වදින අලි වැසියන්ගේ භවභෝග විනාශ කරනවා.

ලගිනගල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සහ වැලි ප්‍රවාහන සංගමයේ සාමාජික එම්.එම්. මහින්ද මහතා මෙසේ පැවසීය.

නෙලුයාය, වේලිඔය, වැලිපත, ගල්හිරාමංකඩ, කෝන්ගහ මංකඩ, දම්වැල්ඕඩය ආදී වූ ප්‍රදේශ ගණනාවක ජනතාවක් මේ පෞද්ගලික සමාගම විසින් වේලිඔය සහ කාල්කන් ඔය හමුවන තැන අමුණෙ වැලි ගොඩ දැමීමෙන් හානියට සහ පීඩාවට මෙන්ම ආදායම් මාර්ග නැතුව පීඩාවට පත්වෙලා.

අපි ඉල්ලන්නේ අමුණේ වැලි සොරොව්ව කලින් වගේ වරින් වර විවෘත කරන්න කියලා. එතකොට මේ ගැටලු නැති වෙලා යයි. මේක නැති ප්‍රශනයක් ඇති කරගත්තේ. 2005 ඉඳලා අවුරුදු දහයක් දොළහක් කිසි ගැටලුවක් තිබුණේ නෑ. අමුණේ වැලි ගොඩදාන්න පෞද්ගලික සමාගමකට දුන්නට පස්සේ මේ ගැටලු ආවේ. ඒ හින්දා විසඳුමත් අමාරු නෑ. කලින් වගේ අමුණෙ වැලි සොරෙව්ව වරින්වර විවෘත කළා නම් වැඬේ ඉවරයි.