(රෝහණ සමරවීර)
කොළඹ වැල්ලවාය මාර්ගයේ උඩවලව 9 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් අලියෙක් වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලියක මගී බස් රථයක ගැටීමෙන්  බරපතල තුවාල ලබා තිබේ. පසුව  උඩවලව වනජීවී නිලධාරින් විසින් අද (25) මහත් පරිශ්‍රමයක් යොදා  තුවාල ලැබූ අලියා උඩවලව ජලාශය පරිශ්‍රයට වෙත රැගෙන යනු ලැබීය. අලියාට ප්‍රතිකාර කරන අතරතුර මිය ගිය බව උඩවලව වනජීවී නිලධාරිහු පැවැසූහ.

එම අනතුරෙන්  බස් රථයේ ගමන් ගමන් කරමින් සිටි මගියෙක්ද  තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් එම තුවාල කරුට බරපතල නොවන බව සෙවනගල පොලිසිය කියයි.

වල් අලියාගේ සිරුරේ ගැටණු බස් රථය බස් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට  පැන අසළ නිවසක වහලයට සු`එ හානි සිදු කරමින් ගෙමිදුලක නතරවී තිබුණි.

අනතුරෙන් පසුව එම අලියා මාර්ගයේ සිට මීටර් 4ක පමණ දුරක් ගමන්කර විදුලි වැටෙන් වනෝද්‍යානයට ඇතුල්වී විදුලි වැට ආසන්නයේ  වැටී සිටි අතර අලියාගේ  ඉදිරිපස දකුණු පාදයට බරපතල ලෙස හානි සිදුවී ඇති අයුරක් දකින්නට ලැබුණි.

මාර්ගයේ සිට අලියා වැටී සිටි ස්ථානයට දක්වා මීටර් 4ක පමණ දුරක තැනින් තැන ලේ වහනය වී තිබුණු අතර අනතුරට පත් බස් රථයේ ඉදිරි පසට දැඩි ලෙස හානිවී තිබුණි.

අනතුර සිදුවූ දින රාත්‍රි 9.30ට පමණ වනෝද්‍යානයේ ආරක්‍ෂිත විදුලි වැට බිඳගෙන ගම්මානය දෙසට යාමට වන අලියා උත්සාහ කරමින් සිටියදී  රත්නපුර දෙස සිට අධික වේගයෙන් වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටි බස් රථයේ අලියා ගැටී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.

අනතුරට පත් අලියා අලින් ප්‍රවාහනය කිරීමට සකසා ඇති කන්ටේනර් රථයකින් උඩවලව ඇත් අතුරු සෙවන වෙත ප්‍රතිකාර සඳහා ගෙන යාමට වනජීවී නිලධාරිහු කටයුතු කළහ. නමුත් අලියාගේ දිවි බේරාගැනීමට නොහැකි විය.

දකුණු පළාත් බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් මත උඩවලව ජාතික වනෝද්‍යානයේ බාරකරු වන ආර්.ජී.ආර්. එස්. රණතුංග මහතාගේ අධීක්‍ෂණය යටතේ ඉදිරි පරීක්‍ෂණ සිදුකෙරේ.