(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් කිහිපයකට හෙට (11) දිනයේදී තද වැසි සමඟ ප‍්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද, උතුරු සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් පස්වරු 2.00ක් පමණ පසු වැසි හා අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

එම ප‍්‍රදේශයන්හි ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ද ඇතිවිය හැකි බව ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සහ අකුණු පවතින අවස්ථාවලදී අනතුරු වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.