(ඩී.ජී.සුගතපාල සහ ජේ.කේ.එල්. චාමින්ද)
 
පාසල් සිසුවෙකු අපයෝජනය කරන ලද ග්‍රාමසේවක නිලධාරියෙකු අද(27) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ග්‍රාම සේවකවරයෙකි.
 
මෙම ග්‍රාමසේවකවරයා ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ද පවත්වනු ලබන අයෙකි. ඔහුගේ උපකාරක පංතියට පැමිණ ඇති 16 හැවිරිදි මෙම සිසුවා 2018 වසරේ සිට බියට පත්කර දිගින් දිගටම අපයෝජනය කර ඇති බවත් පසුව එය ඉවසාගත නොහැකිව සිසුවා සිය ඥාති පුතෙකුට පැවසීමෙන් පසු මවට දන්වා පොලිසියට පැමිණිලි කර ඇති  බවත් පොලිසිය පවසයි.
 
සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර ග්‍රාම සේවකවරයා අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.