(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අනුරාධපුරය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු මෙහෙයුම් අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

නිවසක දේපලවලට අලාභ හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර ඔහුට විරුද්ධ චෝදනා නගා ඇති පැමිණිලිකරු සමඟ සමතයකට පත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසමින් මෙම මුදල් ඉල්ලා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.

සැකකාර කොස්තාපල්වරු දෙදෙනා එම මුදල අනුරාධපුර ප්‍රදේශයේදී වග උත්තරකරුගෙන් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.