IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්

(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගයේ වගකීම භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) බීආර්සී පිටියේදී පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැුලියේදීය. 127 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එහි නායකයින් පෙරටුකරගත්  මැයි දින පෙළපාළිය පෙරේදා (01) දෙහිවල එස්. ද එස්. ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ කර හැව්ලොක්ටවුන්හි බී. ආර්.සී. පිටිය දක්වා ගමන් කළ අතර එහිදී රැලියක් පැවැත්වීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.

අද අපි එකසිය විසිහත්වෙනි මැයි දිනය මේ පිටියේ සමරන අවස්ථාවේ තවත් රැලියක් තිබෙනවා බොරැල්ල කැම්බල් පිටියේ. මේ අයට අඩුම තරමින් කම්කරුවා ගැන කතා කරන්නවත් අයිතියක් තිබෙනවාද? රනිල් වික‍්‍රමසිංහ කියන්නේ රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කරපු නායකයා. ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදුකළ නායකයා. ඒ වගේම ඔහු මේ රටේ වටිනා සම්පත් විදේශීය සමාගම්වලට කොටස්කර අලෙවි කරන ආයතනයක නැත්නම් දේපළ වෙළඳාම් සමාගමක හිමිකරුවෙක් නැත්නම් බ්‍රෝකර්වරයෙක් වගෙයි. ඔහුට මොකක්ද තියෙන අයිතිය මැයි දිනය සමරන්න?

තවත් කෙනෙක් මහා අභිමානවත් කතාත් කියමින් ගෝල්ෆේස්වල මැයි දිනය සමරනවා. අපි මහින්ද මහත්තයාට කියනවා මේක ඔබට අයිති කාර්යයක් නෙවෙයි. මොකද ඔබත් කළේ දැන් මේ ආණ්ඩුව කරන දේවලමයි. ඔබ එය වේදිකාවේ ඉන්න ගමන් වම්පැත්තට හැරිලා බලන්න, අක්කර හයසීයක් මූද ගොඩකරලා තමන්ගේ ව්‍යාපෘතියක් කරගන්න කියලා චීන සමාගමකට දුන්නේ කවුද? දකුණු පැත්තට හැරිලා බලන්න. යුද හමුදා රෝහලත්, හමුදා මූලස්ථානයත් තිබුණ අක්කර විස්සක් ෂැංගිලා හෝටලයට වික්කේ කවුද කියලා මතක් කරගන්න. ඊපීඑෆ් අරමුදල හොරාකන්න වැඩළවෙළක් හැදුව විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න පනත් ගෙනවා. මේවාට එරෙහිවුණ සටන් කළ තරුණයින් වෙඩි කියලා ඝාතනය කළා. බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු ජනතාවට හමුදාව, පොලිසිය ගෙන්වා වෙඩි කියලා මර්දනය කළා. එහෙම කරපු ඔයාට පුළුවන්ද මහින්ද මහත්තයෝ මැයි දිනයක් සමරන්න. තවත් මැයි දිනයක් තිබෙනවා ගැටඹේ. ඒක ගැට අඹයක් තරම්වත් කතා කරන්න වටින එකක් නෙවෙයි.

සුද්දා මේ රට දාලා ගියපුදා සිට එක්සත් ජාතික පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වනවිට මේ පක්ෂ දෙකම එකතු වෙලාත් මේ රට අරන් ගිහින් තියෙන්නේ කොතැනටද? මේ රටේ අභිමානය, ප්‍රෞඪත්වය නැතිකරලා දුප්පත්, නිහීන, හිඟාකන රටක් බවට පත් කරලා. මෙතෙක් තිබුණේ පාලකයන් වෙනුවෙන් වූ පාලනයක්. අපේ ඡුන්දයෙන් බලයට පත්වන පාලකයින් අපි වෙනුවෙන් නෙවෙයි කටයුතු කළේ. ඔවුන් මේ රට පාලනය කරපුදා සිට කරපු දේවල්වල ප‍්‍රතිඵල අපි කියනකොට පිළිගන්න අකමැතිවුණ අය අද කෙඳිරි ගගා තමන්ගේ වාර්තාවලින් ඒ කතාවම පිළිගන්නවා.

පහුගිය දවසක මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ වාර්තාවෙන් කියනවා මේ රට ක‍්‍රමයෙන් ලෝකයට ණය වුණේ කොහොමද කියලා. අපිව මහා ණය කන්දක හිර කරලා ගොඩඑන්න බැරි තත්ත්වයට පත්කරලා තියෙන්නේ කොහොමද කියලා. මාසයක් වැඩකරලා වැටුප ගන්නකොට ඒකෙනුත් බද්දක් ගන්න ජාතියේ විවිධාකාරයෙන් ජනතාවට වැට් ගහලා උපයාගන්න මුදල අද ණය පොලී වාරිකයක් ගෙවා ගන්නවත් බෑ කියලා ඒ වාර්තාවෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි දෙදාස්විස්ස වෙනකොට මේ රට මොනම ණයක්වත් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්විය හැකියි කියන අනතුර පෙන්වනවා. එහෙම තිබියදීත් මේ අය නැවත නැවතත් කරන්නේ මොකක්ද? ලෝකය පුරා ගිහින් රාජ්‍ය නායකයින් හමුවෙලා ණය ඉල්ලීමයි කරන්නේ. ජනාධිපති ජපන් ගිහින් රාජ්‍ය නායකයින් සමග කෑම කාලා උදම් ඇනුවා. ඒ කෑම කන ගමන් මොනවද කළේ? කීයක්වත් දෙන්න බැරිද කියලා හිඟපු එකයි කළේ. අලූත් අවුරුද්දේ ජනාධිපතිගේ සුබපැතුම් පණිවුඩය අස්සේ මොනවද කිව්වේ? වොෂිංටනයෙන් ලැබෙන ආරංචි සුබයි කිව්වා. මොනවද ආරංචි. කීයක් හරි දෙන්නම් කියලා කියන එකයි. අපේ රටේ හිඟන්නෝ වැරහැලි ඇඳගෙන කුණු පෙරාගෙන හිඟාකනකොට අපේ නායකයෝ ටයිකෝට් දාලා ඉංග‍්‍රීසියෙන් හිඟා කනවා. දෙකේ කිසිම වෙනසක් නැහැ.

මේ පාලකයින් අපේ රටේ පරිසරයත් විනාශ කළා. අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවේ තැන්නේ. ඒ කඳුකරයේ වැව් හදන්න තාක්ෂණය ඔවුන්ට නැති නිසා නෙවෙයි. එයින් සිදුවිය හැකි පරිසර හානිය ඔවුන් දැන සිටි නිසා. ඒත් අපේ පාලකයින්ට ඒවා අදාළ නැහැ. ඒනිසා උමා ඔය වැනි ව්‍යාපෘති ගෙනත් මේ පරිසරය විනාශ කරලා රටේ ජනතාව එයින්ද පීඩාවට පත් කළා. හැම තැනම කසළ කඳු. ඒවා නාය ගිහිල්ලත් ජනතාව පීඩාවට පත්වෙනවා. අපේ ස්වාභාවික ඇළදොළ අද හිඳී ගිහින්. ඒ විතරක් නෙවෙයි අපිට ස්වභාවිකව උරුමවුණ සම්පත් හා අපේ පැරැන්නන් ඉතිරි කළ සම්පත් මේ පාලකයින් වරින් වර විකුණනවා. ත‍්‍රිකුණාමලය වරාය හා තෙල් ටැංකි ටික විකුණන්න හදනවා. මේක නවත්වන්න අපේ වෘත්තීය සමිති අරගල කළා. ඒක ජයගත්තා. නමුත් ධනපති පාලකයන් තමන්ගේ උත්සාහය එතනින් නවත්වන්නේ නැහැ. ඒ නිසා කම්කරු පංතියට තමන්ගේ සටන් නවත්වන්නත් බැහැ. වගකීම අවසන් කියලා අහක බලාගෙන ඉන්නත් බැහැ. තවදුරටත් මේ  පාලකයින්ට මේ විනාශය කරන්න ඉඩඇරලා ඉන්න අපිට බැහැ.

ඒ සඳහා කම්කරු බලවේගය පෙළගැසිය යුතුයි. අපේ දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි. නමුත් අද අපේ රටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? මේ මුදල් අමාත්‍යාංශය නිකුත්කරපු වාර්තාවට අනුවම අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකයි දශම අටයි. ආසියාවේ රටවල් අතරින් අඩුවෙන්ම අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ අපි. අපි අද කප් ගහපු දේවලූත් තිබෙනවා. ඒ තමයි සියදිවි නසා ගන්නන්ගෙන් වැඩිම රට විදිහට. අපේ අධ්‍යාපනය අපිට හුරු කරලා නැහැ අභියෝගවලට මුහුන දෙන්න. ජයග‍්‍රහන ලබන්න විතරයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා විභාග ප‍්‍රතිඵල අඩුවුණත් සිය දිවි නසා ගන්නවා.

ඒ වගේම තමයි සෞඛ්‍යයත්, ආසියාවේ අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වෙන් කරලා තියෙන්නේ අපි. ඒ නිසා ඩෙංගු හා විවිධ වෛරස් රෝගවලින් මේ දවස්වල ජනතාව විශාල පීඩාවකට පත්වෙලා. රෝහල් උණරෝගීන්ගෙන් උතුරනවා. නමුත් අපේ රටේ පාලකයින් අගමැතිගේ සිට මැතිඇමතිවරු වෙනුවෙන් මේ රටේ ජනතා මුදල් යොදවන ආකාරයේ නම් කිසිම අඩුවක් නැහැ. අගමැතිට ගන්න එක වාහනයකට ලක්ෂ තුන්දාස් පන්සීයයි. හෙළිකොප්ටරයක් ගන්නවා වගේයි. හැබැයි මේ අය කාර්වල යන්නේ නැහැ. වැඩිපුරම යන්නේ හෙළිකොප්ටර්වල. මොකට  මේ තරම් වියදම් කරලා වාහන ගන්නවාද අපි දන්නේ නැහැ. ඇමතිවරුත් එහෙමයි. සමහර ඇමතිවරුන්ගේ කාර්වලට ලක්ෂ දෙසීයයි.

හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඇවිත් දින පනහෙන් හොරකම පටන්ගත්තා. මහබැංකු බැඳුම්කර වංචාව නිසා අද අපේ රටේ ජනතාවට අලූත්බරක් එකතුවෙලා. අනෙක් අයගේ වංචා ගැන කතා කරන මේ ආණ්ඩුවේ ඇතැමුන් මේ හොරකම් ගැන කෙඳිරිල්ලක්වත් නගන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ කොහොමද? පොල් ගාලා තෙල් හින්ඳාම අතුරු ඵලයක් හැටියට තෙල්කා ලැබෙනවා වගේ වැඩක් තමයි ඒකත්. එහෙම ඇවිල්ලාවත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණය තියන්නේ නැතිව කල්දානවා.

අපිට වගකීමක් තිබෙනවා මේ රටේ අභිමානය නැවත ගොඩනගන්න. මේ රටේ ප්‍රෞඪත්වය නැවත ගොඩනගන්න. සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලයට එන්න බැහැ කියලා. නමුත් අපි දන්නවා දේශපාලනයේ වෙනස්කම් සිදුවන්නේ එක දෙක තුුන ආදී විදිහට අනුක‍්‍රමිකව නෙවෙයි. එහෙම වුණා නම් අද මෛතී‍්‍රපාල මහතා ජනාධිපති වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න වෙන්නෙත් නැහැ. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ පිමි වශයෙන්. ඒ පිමි ඇතිවනවිට ඊට මුහුණ දෙන්න අපි සූදානම්ද කියලා බල බලා ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි සූදානම් විය යුතුයි ඒ  ඕනම අවස්ථාවකට මුහුණ දීලා අපේ අතට ඒ කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ පීඩිත ජනතාවගේ පක්ෂය අතට බලය ලබාගන්න. දැන් මේ නිමාවෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයයි. මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගය උදාකර ගැනීමට ඒ සඳහා වන අරගලයට නායකත්වය දෙන්න පෙරට එන ලෙස අපි සියලූ කම්කරුවන්ගෙන් පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

වසර හැත්තෑවක් මේ රට ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක තනි තනිව හා එකට එක්ව පාලනය කරලා තමන්ගේ අසමත්කම පෙන්වලා අවසන්. ඔවුන් පෙන්වා දී තිබෙනවා තවදුරටත් මේ රට සංවර්ධනය කරන්න අඟලක්වත් ඉදිරියට ගෙනියන්න තමන්ට නොහැකි බව. මේ රටේ ජනතාව තුළ අලූත් දේශපාලනයක අවශ්‍යතාවයක් මතුවෙමින් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් සහිත ජනතාවක් තමයි අද මෙතනට එක්වී සිටින්නේ. ඒ ජනතාවට නායකත්වය දෙන්න අපි සූදානම්.

අද වැඩකරන ජනතාවගේ, සැබෑ කම්කරුවාගේ මැයි දිනය අපි මෙතන මේ විදිහට සමරද්දී තවත් රැස්වීම් කීපයක් පෙළපාලි කීපයක් රටේ තැනින් තැන තිබෙනවා. ඒවායේ ඉන්නේ බීලා නටන පිරිසක් මිසක් කම්කරු දිනය සමරන්න ආ අය නෙවෙයි. සමහරු ඇවිත් තියෙන්නේ ටි‍්‍රප් යන්න. දළදාව වඳින්න, මල්වත්ත බලන්න වගේ දේවල්වලට. නමුත් මෙතන එවැනි අරමුණු සහිතව ආපු කිසිම කෙනෙක් නෑ. මේ සියලූ දෙනාගේ අවශ්‍යතාව කම්කරුවාගේ දිනය සැමරීමයි. කම්කරුවාගේ අයිතීන් දිනාගත හැකි සමාජයක් බිහිකරගැනීම සඳහා සටන් කිරීමයි.

අද අපිට මේ ධනපති දේශපාලකයින්ගෙන් රට වගේම මැයි දිනයත් බේරගන්න සිදුවී තිබෙනවා. දැන් මේක කම්කරුවාගේ දිනය නෙවෙයි. එක එක පක්ෂවල තවත් රැුස්වීමක් බවට පත්වෙලා. මේ මැයි වේදිකාවල තියෙන්නේ කම්කරුවාගේ පාට හෝ ලකුණ නෙවෙයි. සමහරු අද මේ මැයි දිනයේ ලකුණ අත බවට පත් කරගෙන. තවත් අයගේ ලකුණ අලියා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂය දෙකට කඩාගෙන සමගි මැයි රැලියක් කරනවා. අපුරු සමගියක්. ජාති ආගම් භේදවලින් තොරව සියලූ ජනතාව ඒකරාශි කරගත් කම්කරු පංතිය එක මිටකට ඒකරාශි කරගැනීමට හැකියාව ඇති එකම කම්කරු දිනය නිවැරදිව සමරන එකම බලවේගය එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. අපි තනිවම නෙවෙයි මේ මැයි දිනය සමරන්නේ ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල සහයෝගයත් අද මේ වේදිකාවේ නියෝජනය වෙනවා.

ධනපති ක‍්‍රමය අද වනවිට කොයි තරම් දුරට කඩාවැටිලාද කියනවා නම් ධනපති ලෝකයේ ලොක්කා වන ඇමරිකාවත් විශාල ආර්ථික අර්බුදයක ගිලිලයි ඉන්නේ. ඔවුන්  ඕක සමනය කර ගන්න හදන්නේ වෙනත් රටවලට බලපෑම් කරලයි. උතුරු කොරියාවට, කියුබාවට බලපෑම් කරන්නේ මේ නිසයි. ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබියදී අපේ ධනපති රටවල් කඩාවැටීම ගැන අහන්නත් දෙයක්ද? ඒ නිසා දැන් කම්කරු ව්‍යාපාරයට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ ක‍්‍රමය පෙරළා දමන්න. ඒ සඳහා ලෝක කම්කරු ව්‍යාපාරය සංවිධානය කළ යුතුව තිබෙනවා. අපි මේ උත්සාහ කරන්නේ එහි අපේ කොටස ඉටු කරන්නයි.

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණ වෙලාවේ දැනුනේ ඒ කුණුගොඬේ ගඳ නෙවෙයි, මේ ධනපති පාලනය කුණුවී හමන ගඳ. කසළ ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න හැකි වුණත් මේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න බැහැ. දැන් අපිට තිබෙන්නේ මේ ධනපති කසළ කන්ද වළදමා ඒ මත සමාජවාදය රෝපණය කිරීමයි. ධනපති පාලකයන් දුර්වල වෙන්න වෙන්න ඔවුන් තමන්ට එරෙහි සියලූ බලවේග වෙත මර්දනය කැඳවනවා. ඒ නිසා මර්දනය ගෙන එන ආණ්ඩුවකින් පෙන්වන්නේ ඔවුන්ගේ ශක්තිය නෙවෙයි, දුර්වල කමයි.

මේ ආණ්ඩුවත් ඒ වගේ දුර්වලයි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩුවක් හදලා කිව්වා මේක තමයි ශක්තිමත්ම ආණ්ඩුව කියලා. දැන් මොකදවෙලා තියෙන්නේ? ආණ්ඩුව පැරලයිස් වෙලා. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. අත්දෙකම කරන දේ මොළය දන්නේ නැහැ. මොළයට  ඕන දේ අත පය කරන්නේ නැහැ. හරියට අගමැති කරන දේ ජනාධිපති දන්නේ නෑ. ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, මේ දෙන්නාම කරන දේ කැබිනට්ටුව දන්නේ නෑ වගේ තමයි.

ඛලන් හිටපු කට්ටියත් එහෙම තමයි. තව අවුරුදු දෙකක් තියෙද්දී අපි එපා කියද්දී වසර දෙකකට පෙර මැතිවරණය තිබ්බා. අපි කිව්වා මේක කරන්න එපා, කළොත් අපි ඔබ ගෙදර යවනවා කියලා. ඒ වගේම එයා ගෙදර ගියා. දැන් ආයෙම ඇවිත් අද හෙට ආණ්ඩු පෙරළනවා කියලා කියනවා. මේ අයට තමන්ගේ පාක්ෂිකයන් තියාගන්න පුළුවන් වෙන්නේ බලය අද හෙටම ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරයි. ඒ නිසා හෙට ආණ්ඩුව පෙරළනවා. අනිද්දා පෙරළනවා. තව මාස දෙකකින් පෙරළනවා වගේ කතා කිව්වා. තවම ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෝරක හතක යන්න ලෑස්තියි කියපු උපවාස වංශ මාස තුනක් රිමාන්ඞ් කළාම අඬන්න ගත්තා. වාහන අවභාවිතා කර මේ විදිහට අත්අඩංගුවට පත් වූ මේ අය එළියට එන්න තමන්ගේ දුවවත් අවභාවිතා කළා.

අපිට අහිමිවන්න කිසිවක් නෑ. ධනපති පංතිය අපිට කිසිවක් ඉතිරි කරලා නැහැ. ඒත් අපිට දිනාගන්න ලෝකයක් තිබෙනවා. අපි සටන් කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් පෙරට එන්න. සටන් කරන්න. අපි සූදානම් ඒ සටන්වලට නායකත්වය දීලා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම යුතුකම ඉටුකරන්න.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා

අපි මේ සමරන්නේ එකසිය විසිහත්වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි. අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙතන මැයි දින රැලිය පවත්වද්දී කැම්බල් පිටියේ කොළපාට රැස්වීමක් පැවැත්වෙනවා. ඒක මැයි රැලියක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් විතරයි. වැඩකරන ජනතාවගේ පාට රතු පාට. කම්කරු දිනය සමරන පාට රතු පාට. වැඩකරන ජනතාවගේ ලකුණ දැකැත්තයි මිටියයි. ඒ නිසා ඒ පාට හා ලකුණු හැර වෙනත් විවිධ ලකුණුවලින් විවිධ පාටවලින් අද දවසේ පැවැත්වෙන රැස්වීම් කිසිවක් මැයි දින රැලි නෙවෙයි. පක්ෂ රැස්වීම් විතරයි. අපි මෙතන අපේ පක්ෂයේ ලකුණ ප‍්‍රදර්ශනය කර නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව නියෝජනය කරන සැබෑ මැයි රැලිය අද පැවැත්වෙන්නේ මේ බී. ආර්. සී. පිටියේයි.

අද අපේ වෘත්තීය සමිති මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාවලට එරෙහිව සටනට බැහැලා තිබෙනවා. පහුගිය දවසක තෙල් සංස්ථාවේ සේවකයින් සාර්ථක වැඩවර්ජනයක් දියත් කළා. එක තෙල් බිංදුවක් තෙල් සංස්ථාවෙන් පිටට ගියේ නැහැ. ඔවුන් අරගල කළේ තමන්ගේ වෘත්තීය අයිතියක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සම්පතක් වූ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි රැුකගන්නයි. ආණ්ඩුව මේසටන හමුවේ දණගැහුවා. සටන ජයගත්තා. දැන් ආණ්ඩුවේ ලොක්කෝ වෙව්ලලා ඉන්නේ. ඒ නිසා සටන් මර්දනය කරන්න ක‍්‍රම හොයනවා. සරත් ෆොන්සේකාට ති‍්‍රවිධ හමුදාවේ වගකීම ගන්න කියලා කිව්වේ නිකම් නෙවෙයි. ඒක විහිලූවක් කියලා සමහර ඇමැතිවරු කිව්වා. ඒත් මේක විහිලූවක් නෙවෙයි, මුට්ටිය දාලා බැලීමක්. සමාජ කථිකාවක් විරෝධයක් ඇති නොවුණා නම් හිමීට මේ වඬේ කරනවා. දැන් ආණ්ඩුවට මේ තියන මර්දන නීති, අණපතත් මදිවෙලා.

අපි ආණ්ඩුවට එක දෙයක් මතක් කළ යුතුයි. ලෝක ඉතිහාසයේ කොතැනකදීවත් අපිට සමාජ අරගල මර්දනය කරලා ජයගත් රාජ්‍යයන් හමුවන්නේ නැහැ. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩිතිබ්බා. ඊපීඑෆ් අරමුදල රැකගන්න සටන් කරපු කම්කරුවන්ට වෙඩි තියලා රොෂේන් චානක ඝාතනය කළා. හලාවත ධීවර සටන්වලට වෙඩිතියලා ධීවරයෙක් ඝාතනය කළා. එහෙම කරලා මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා දිනුවද? නෑ. ඒගොල්ලෝ පරාදයි. සටන් මර්දනය කරලා වීරයින් වෙන්න කාටවත් බැහැ. ඒ නිසා අපි සරත් ෆොන්සේකාට කියනවා මහත්තයෝ පුළුවන් නම් ඔයාගේ වගකීම් භාර අරන් එන්න සටන් මර්දනය කරන්න. එහෙම ආවොත් ඔයාට වෙනදේ ඔයාවත් දන්නේ නැතිවෙයි. ලෝකයේ තිබෙන විශාලතම හමුදාව තමයි කම්කරු හමුදාව. ඒකට නායකත්වය දෙන්නේ අපි. පුළුවන්නම් මේ හමුදාව පරාජය කරලා බලන්න.

ඉදිරියේදී තවත් සටන් කීපයක් සූදානමින් තිබෙනවා. සයිටම්වලට එරෙහි සටන තවමත් අවසන් නැහැ. ඒ වගේම මේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමට එරෙහි සටන් තව ඉදිරියට එන්න තිබෙනවා. සයිටම් ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව අවංක උත්සාහයක් ගන්නා බවක් පේන්නේ නැහැ. ඒ නිසා මැයි 3-0-5 කාලය අතරතුර දැවැන්ත වැඩවර්ජනයක් කැඳවන්න සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාවට ජයග‍්‍රහණය හිමිකරදෙන සමාජයක් ගොඩනැගීමෙන් මෙහා මේ සටන් අවසන් වන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දෙමළ භාෂාවෙන් රැුලිය අමතනු ලැබිණ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික අබේලාර්ඩෝ රපායල්, ගී‍්‍රසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කොන්ස්තන්තිනෝ පපාදකිස්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් පක්ෂයේ මධ්‍යම කාරක සභික වී. රාම් මොහාන්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් බ්ලොක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ජී. දේවරාජන්, මහා බි‍්‍රතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සාම්මි ඊබ‍්‍රහිම් ඇතුළු ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල නියෝජිතයන් හත් දෙනෙක් මෙහිදී මැයි දින සුබපැතුම් එක් කළහ.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායක නායිකාවන් රැසක් මෙම රැලියේ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර පක්ෂ සාමාජිකයන්ගෙන් බීආර්සී සිටිය අතුරු සිදුරු නැතිව වැසීගොස් තිබිණ. එසේම එම පිටිය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේද විශාල පිරිසක් රැඳී සිටියහ.



අදහස් (2)

වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්

dingirala Friday, 02 June 2017 01:31 AM

ඔබ කියන දේවල් බොහොමයක් ඇත්ත . ඒවුනාට රට ගොඩ නගන්න ඔබල ගෙනෙන්න හදන සැලසුම් යල් පැනගිය ලෝකයේ බොහෝ රටවල ජනතාව ප්‍රතික්ෂේප කල අන්තවාදී දේවල්. ලෝකයේ වෙනස් වන තත්ත්ව වලට ඔබලාගේ සිද්ධාන්ත දැන් ගැලපෙන්නේ නැහැ. එක සමාජවාදයේ වරදක් නෙවෙයි. ඔබල ගතික යථාර්ථයන්ට අනුව ප්‍රයෝගිකත්වය අදට ගැලපෙන අයුරින් සකසා ගන්න අසමත් බව ඔබලාගේ මෑත ක්‍රියා කාරකම් වලින් මනාව පෙනුන. SAITM ප්‍රශ්නයේදී ඔබලා හැසුරුන ආකාරය එයට හොඳම නිදසුනක්. සමාජවාදය ප්‍රයෝගිකව (අඩුපාඩු සහිතව හෝ) අත්හදා බැලු චීනය, රුසියාව, වැනි රටවල් පවා අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් ඔවුන් මුලින් ගත් තීරණ දැන් වෙනස් කර ඇති බව ඔබලා අමතක කර ඇත. නිදහස් අධ්‍යාපනය රකින මුවාවෙන් අවස්ථාවාදී ඊර්ෂ්යවාදී කුහක සහ අතිශයින්ම දුෂ්ට අධ්‍යාපන ප්‍රතිපත්තියක් කරපින්නාගත් GMOA එක වැනි ආයතන තමා ඔබලා ආරක්ෂා කරන්න හදන්නේ.

:       0       801

victor Wednesday, 28 June 2017 07:28 AM

අනුර කුමාර මහත්තයෝ ඒ ගොල්ලෝ ඒකට කැමතිද කියල අහල බැලුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 189 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site