IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“

(වාරණ ආනන්ද ජයකොඩි සහ ගම්පහ තිලකරත්න දිසානායක)

දූෂණයට, වංචාවට එරෙහිව වැට බඳිමින් හොරුන්ට දඬුවම් දිය හැක්කේ තම කඳවුරට පමණක් බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඉකුත්දා (10) පැවැසීය.

රාජපක්ෂ පාලන සමයේ මෙන්ම, හොරු අල්ලන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවෙන් ද රටට පලක් නොවූ බව ඔහු සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ගම්පහ නගරයේදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේ ද කීවේය.

මහින්ද මහත්තයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලගෙන් ඉල්ලනවා සජිත් ප්‍රේමදාස පරදන්න ගෝඨාභයට ඡන්දය දෙන්න කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කඩල දැම්මේ රාජපක්ෂ කල්ලිය නේද? එදා බණ්ඩාරනායක මහත්තයල ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ කල්ලිය නේද?

ඒක තමයි සත්‍ය. අද එක්සත් ජාතික පක්ෂයේ අම්මල තාත්තලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලටත් එකතු වෙන්න පුළුවන් එකම තැන ජාතික  ජනබල වේගයයි.

ඔය අම්මල තාත්තල සහෝදර සහෝදරියො, දූ දරුවෝ කව්රුත් පොදුවේ බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් හොඳ ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමටයි. නමුත් ඔය දුෂ්ට කල්ලි දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. වසර හැත්තෑ එකක පාලනයේදී ඔවුන් එය ඔප්පු කර තිබෙනවා නේද? ඔවුන්ට මේ රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න බැහැ කියල. එහෙම නම් ඔබලා තවදුරටත් මොවුන්ගේ සුරංගනා කතාවලට මුලා වෙනවා ද?

 එක්සත් ජාතික පක්ෂයේ ඔබලා සියලුම දෙනාට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මා විවෘතව ආරාධනා කරනවා මේ රට සැබෑ විදිහට ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමඟ අත්වැල් බැඳගන්න එකතු වෙන්න කියලා.
සමහර අය අපෙන් අහනවා ඔබලාගේ සැලසුම් හොඳයි. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න කව්ද ඉන්නේ කියල. ඔව් අපේ වේදිකාවේ හොරු නැහැ. මෙන්න ඉන්නවා රට ගොඩනගන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ උගත් බුද්ධිමත් පිරිසක්. විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයන් සඳහා වූ විද්‍යාඥයින්, කලාකරුවන් කැපවීමකින් රට ගොඩනැගිය හැකි හොඳ පිරිසක් අපේ වේදිකාවේ ඉන්නවා.

මේ විනාශකාරී මාවතෙන් මේ පුංචි ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා නව පාලකයෙක්, නව පාලනයක් අනිවාර්යෙන්ම බිහිකර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ එන්නේ පළමු අවස්ථාව නොවෙයි. ආසන්නම අවස්ථාව 2015 දී ආවා. එදා තිබුණු පාලනය හොරකම, වංචාව, දූෂණය මූලික කරගෙන රට පාලනය කළා. රට විනාශ කළා.

තමුන්නාන්සේලා හොරකම, වංචාව නැති හොඳ පාලනයක් බලාපොරොත්තුවෙන් එදා 2015 දී නව පාලනයක් ගොඩ නැගුවා. හොරුන්ට දඬුවම් කරයි කියල තමුන්නාන්සේලා හිතුවා. ආර්ථිකය ශක්තිමත් කරයි කියලා. නමුත් ලක්ෂ හැටදෙක හමාරක ජනතාවට දුන් එකම පොරොන්දුවක්වත් මෛත්‍රී රනිල් පාලනය ඉටු කෙරුවේ නැහැ.

මෛත්‍රී රනිල් පාලනය බිඳවට්ටල 2015 දී පරාජය කරපු කට්ටියම නැවත ගේන්න නම් එදා පරාද නොකර ඉන්න තිබුණා. දැන් අපි කුමක්ද කළ යුත්තේ මේ රට විනාශ කරපු ඔය කල්ලි දෙකම එකට තියල පරාජය කරල නව පාලනයක් ඇති කළ යුතුයි.

මේ දුෂ්ඨ පාලකයො රටකට කරන්න පුළුවන් සියලුම විනාශයන් කරල හමාරයි. රට අන්ත දුප්පත් තත්ත්වයට පත්කරල සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කරල රට දුප්පත් කරල. නමුත් පාලකයො පොහොසත් වෙලා. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. නමුත් පාලකයින්ගේ පෞද්ගලික ගිණුම්වල සල්ලි පිරිලා රජයේ සමස්ත ආදායම ණය පොලී වාරිකය ගෙවන්නත් බැහැ. කෝටි දහතුන්දහස් පන්සීයක් පසුගිය අවුරුද්දේ ගන්න වුණා ණය ගෙවන්න.

 මේ අයුරින් විනාශ කරපු රට නැවත ගොඩනගන්න අපි සැවොම එකතුවෙලා හොඳ ආණ්ඩුවක් හදමු. අපිට එක අවස්ථාවක් දෙන්න. හොරකම, වංචාව, දූෂණය නවත්තල මේ රට ගොඩනගන හැටි අපි පෙන්වන්නම්.

රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙකුට මැජික් බලයකින් කරන්න බැහැ. සුරංගනා කතාවලට රැවටෙන්න එපා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා කියන්න වෙනවා.

 දැන් බලන්න දරුවො දැක්ක ගමන් කිරි වීදුරුවක් දෙන්නම් කියනවා. ගැබිනි මාතාවක් දැක්ක ගමන් පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. ගොවියො දැක්ක ගමන් පොහොර දෙන්නම් කියනවා ධීවරයෝ දැක්ක ගමන්  තෙල් දෙන්නම් කියනවා. මේව ඔක්කොම ඉතිහාසය පුරාවට අපේ ජනතාව රවට්ටපු සුරංගනා කතා නේද?

රටක් හදන්න නම් හොඳ අත්තිවාරමක් තිබෙන්න ඕනෑ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගිය හැකියි. නීතියක් නැති රටක් ගොඩනැගිය නොහැකියි. පළමුවෙන්ම අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කළ යුතුයි. අපේ රටේ හොඳ පොලිසියක් තිබෙනවා. ඕනෑම අපරාධයක් අල්ලා ගැනීමට හැකි පොලිසියක් අපිට තිබෙනවා. නමුත් පාලකයින්ගේ මැදිහත්වීම යටතේ සිදුවූ අපරාධ අල්ලගන්න බැරි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය.

දැන් බලන්න පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් මන්ත්‍රීවෙලා හිටියාම විශ්‍රාම වැටුපක් දෙනවා. හිටපු ජනාධිපතිලටත් විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද ලබා දෙනවා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙනවා.

ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිලාගේ සියලු වරප්‍රසාද අහෝසි කරනවා. සියලුම දේශපාලකයින් නීතියට යටත් කරනවා. එහෙම නැතිව මේ රට ගොඩනගන්න බැහැ.

අපේ රට තුළ ඉන්න පුළුවන් ඇමැතිවරු 25 යි. නියෝජ්‍ය ඇමැතිවරු 25 යි. එයට වැඩිය එක්කෙනෙක්වත් පත්කරන්නේ  නැහැ. මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අපි සහතික කරනවා. ජාතීන් අතර සමගිය ගොඩ නගනවා. එය කළ හැක්කේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවකට පමණයි.

මෛත්‍රී මහත්තය ජනාධිපති පුටුවෙන් බැහැල යන්න තියෙන්නේ තව දවස් කිහිපයයි. නමුත් ඔහු රෝයල්පාර්ක් ස්ත්‍රී දූෂකයා, ඝාතකයා නිදහස් කළා නේද? ඔහුගේ ජනාධිපති බලය පාවිච්චි කරලා මොන තරම් හිරිකිත වැඩක් ද කෙරුවේ.

රාජපක්ෂ මේ රට විදේශිකයින්ට වික්කා. රනිල්ලත් මේ රට විදේශිකයින්ට විකුණනවා. දැන්වත් අපි මේ විනාශකාරී ගමන නවත්තමු.

අපි ආපු ගමන් ජනතාවගෙන් කොල්ලකාපු හොරකම් කරපු සියලු ධනය ආපසු භාර දීමට දේශපාලකයන්ට මාස දෙකක් කල් දෙනවා. ඒ අවස්ථාවේදී මහ බැංකුව කොල්ලකාපු මුදල් රනිල් ළඟ තිබෙන මුදලුත් දෙන්න වෙනවා.

 වීරවංශ ඇමැති කාලෙ ලයිට් බිල මාසයට ලක්ෂ විසි එකක්. ඒව ඔක්කොම ජනතාවගෙ මුදල්. අපි ඒවත් අයකර ගන්නවා. දැන් මේ හෙට අනිද්දා යන්න ඉන්න ජනාධිපතිගේ නිවස වෙනුවෙන් කෝටි 800 ක් වටිනා නිවසක් අනුමත කරගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නෝනට ලැජ්ජ නැද්ද වලව් කිහිපයක් තිබියදී ජනතාවගේ මුදල්වලින් කොළඹ සුපිරි ගෙයක ඉන්න.
 අපි දරුවන්ට සැබෑ ළමා කාලයක් නිර්මාණය කරනවා. තරුණ පරපුරට තෘප්තිමත්  අනාගතයක් නිර්මාණය කරනවා. කාන්තාවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් ඒ වගේම ලක්ෂ 14 වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් හා පොදු ප්‍රවාහන සේවයේ මගීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වැඩසටහන් නිර්මාණය කරනවා. ඔවුන්ට ආත්මගරුත්වයක් සහිතව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවා.

අද බලන්න පොදු ප්‍රවාහන සේවයන් තුළදී සියයට අනූවක් කාන්තාවන්ට කවර හෝ ලිංගික අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා. අපි මේවා වහා නැවැත්විය යුතු වෙනවා.

 සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කළ හැක්කේත් අපට පමණයි. මේ දුෂ්ට පාලකයින් වසර 71 ක් තිස්සේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමග අත්වැල් බැඳගන්නා මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

නොවැම්බර් 16 වැනිදා රටේ අනාගතය වෙනුවෙන් ජාතික ජනබලවේගය සමග බුද්ධිමත්ව තීරණයක් ගන්නා මෙන් මම ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය වසන්තා සුබසිංහ, යහපාලන උදෙසා වූ පෙරමුණේ නජා මොහොමඞ් හා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික දිනුක සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම කතා කළහ.

මේ අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 259 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 746 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site