(හසිත රංග ගුණතිලක)

ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.

තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.

තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.

අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.

ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.

සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.

බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.

රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.

අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.

රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.

රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.

මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?

පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.

ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?

පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.

ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?

පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.

ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?
පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.

ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?

පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.

ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?

පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.

ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?

පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.
ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.

ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?

පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.

ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.