IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘

(*** පුෂ්පකුමාර ජයරත්න)

මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයන් ඉකුත් ආණ්ඩුවේ සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පෙරේදා (8) පැවැසීය.

වත්මන් රජය සියලුම ජාතීන් එකතු කර ගනිමින් ඉතාම හොඳ ගමනක් යන බවද ඔහු කීය.

කුරුණෑගල, බ්ලූ ස්කයි හෝටලයේ පෙරේදා (8) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනයට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේද පැවැසීය.

ඉතිහාසයේ පටන් මුස්ලිම් ජනතාව සහ අප අතර තිබෙන්නේ දැඩි සම්බන්ධතාවක්. අපි ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංවිධානය හදලා හැත්තෑ ගණන් වල තමයි මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලෝකයත් එක්ක සටන් කළේ. පලස්තීනය තමන්ගේ නිජ භූමිය ලබා ගන්න කරපු සටනේ සහායට ඉදිරියෙන්ම හිටියේ අප. ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංවිධානය හදලා අපි රට වටේ ගියා. ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවා කළා. මේ සියල්ලම අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරපු දේවල්. මම වරක් ටියුනීසියාවට ගිහිල්ලා පලස්තීනයේ හිටපු නායක යසර් අරපත් හමු වෙලා අපේ සහාය පළ කළා.

අපි මුස්ලිම් ලෝකයත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ එහෙමයි. මගේ ආණ්ඩුවේ කැබිනට් එකේ මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරුම විසි අටක්ම හිටියා.

මුස්ලිම් ජනතාව විකුණාගෙන කාපු මුස්ලිම් නායකයෝ වගේම ඉතාම හොඳ මුස්ලිම් නායකයොත් අපි සමඟ හිටියා. නමුත් අපි දැන් හොඳ ගමනක් යනවා. රට අලුත් ගමනක් යනවා.

එදා අපේ පක්ෂයේ හිටපු ප්‍රධානම නායකයා මුස්ලිම්. එතුමා හැත්තෑවේ අපේ ගමට ඇවිල්ලා මම වෙනුවෙන් මුස්ලිම් ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා මට ජන්දය දෙන්න කියලා ඉල්ලු‍වා. එදා මේ රටේ මුස්ලිම් නායකයෝ කටයුතු කළේ එහෙමයි. මේ රටේ මුස්ලිම් ආගම පස් පාරක් රේඩියෝ එකේ කියන්න අවසර දුන්නේ මම.

අද මේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකම අභාවයට ගිහිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභාවයට යවලා ඉවරයි. අපි පොහොට්ටුව පක්ෂය හැදුවේ අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට දාපු නිසායි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ, බදූර්දීන් මොහොමඩ් මහත්තයලා එකතු වෙලා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඈත් කළාම අපිට දේශපාලනය කරන්න දේශපාලන පක්ෂයක් තියෙන්න ඕනෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදලා අපි මැතිවරණ ජයගන්නකොට පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බයයි. ඒ නිසායි මැතිවරණ කල් දැම්මේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට උදව් කළේ කවුද? මුස්ලිම් නායකයෝ තමයි ඒකට උදව් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිව රනිල් වික්‍රමසිංහට රට ගෙනියන්න මේ අය උදව් කළා. මේකෙන් කාගේ අයිතිවාසිකම්ද නැති වුණේ. ඔබේ අයිතිවාසිකම් තමයි නැති වුණේ. සිංහලද මුස්ලිම්ද දෙමළද නැතිව සියලුම දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති වුණා.

දැන් ජනතාවට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපිට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි ව්‍යවස්ථාව වෙනස් කරන්න. ජනතාව විනාශ කරන මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමයි. මේ ව්‍යස්ථාවේ තියෙන සමහර වගන්ති ජනතාව බෙදන වගන්ති මිසක් ජනතාව එකතු කරන වගන්ති නොවෙයි කියලා මම කියනවා. ඒ නිසා අපිට දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ වගන්ති වෙනස් කරන්න.

ඒ සඳහා මුස්ලිම් ඔබ අපත් සමග එකතු වෙන්න ඕනෑ. අපිත් එක්ක එකතු වෙලා ඉදිරියට යමින් හැමදාමත් අපි කොළ පාට කොළ පාට කිය කියා ඉන්නේ නැතිව කාලය ඇවිල්ලා තියෙනවා වෙනසක් ඇති කර ගන්න. අද මෙතැනට විශාල පිරිසක් ඇවිත් ඉන්නවා. අපි හැමෝම එකට එකතු වෙලා මේ රට හදමු. ජනාධිපති එක පක්ෂයකිනුත් අගමැති අනික් පක්ෂයෙනුත් හදලා වැඩක් නැහැ.

රනිල්ව ගෙනැල්ලා වැඩක් තියෙනවාද? අනික් එක්කෙනා සජිත් ප්‍රේමදාස ගෙනැල්ලා වැඩක් තියෙනවද? ප්‍රේමදාස මහත්තයා දැම්මොත් ඉතින් රෑට රෑට ඇවිල්ලා තමුන්නාන්සේලාගේ ජනේලෙ ඇරගෙන බලාන ඉඳීවි. එහෙම වුණාම ජනේල ලොක් කරගන්නත් වෙයි. ඒකත් ලොකු ප්‍රශ්නයක්. එහෙම කෙනෙක් පත් කරලා වැඩක් තියෙනවද?  කිසිම දර්ශනයක් නැති කිසිම නායකත්වයක් නැති කෙනෙක් බලයට පත් කරලා වැඩක් තියෙනවාද?

අද එයාලට ආණ්ඩුව අල්ලන්න ඕනෑ නැහැ. එයාලා කියන්නේ අපිට සිරිකොත අල්ලන්න ඕනෑ කියලයි. සිරිකොත රනිල්නේ දැන් අල්ලන් ඉන්නේ. සජිත්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි රනිල් එලවලා සිරිකොත අල්ලන එක. එතකොට රටේ ජනතාවගේ ප්‍රශ්නය සිරිකොතද? එයා සටන ලඝු කරලා තියෙනවා සිරිකොතට.

 ඒ අනුව බොහෝම පැහැදිලියි අද මේ අය දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට වැටිලා තියෙන බව. දෙගොල්ල ගහ ගන්නවා. ඒ නිසා දැන් අපිට කරදරයක් නැහැ. මේක නිසා දැන් වෙලා තියෙන්නේ අපේ අය අපිට බනීද කියන එකයි. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අය සමගම ගහ බැණ ගන්න නිසා දැන් අපේ අයට කරන්න දෙයක් නැතිව ඉන්නවා.

ඔබ දන්නවා පසුගිය අවුරුදු පහේම ඔබලාගේ ව්‍යාපාර කඩා වැටුණා. මුළු රටේම ආර්ථිකය කඩා වැටුණා. දැන් ආයෙත් ඇවිල්ලා තියෙන්නේ ඔබේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා කාලයයි. අපිට මේ රටේ ඉන්න සියලුම ජාතීන් සමග එක්ව රට ගොඩ නඟන්න අවශ්‍යයි. ඒ සඳහා මේ පාර පොහොට්ටුවත් සමග එකතු වෙන්න කියලා මුස්ලිම් ඔබ සැමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා.

කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිකාරි ගල්ලැහැපිටියේ පේමරතන හිමි, ජමියතුල් උලමා සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හෆිල් මව්ලවි තුමාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් තස්ලිම්, කුරුණෑගල මුස්ලිම් ව්‍යාපාරික සංගමයේ සභාපති මොහොමඩ් හසාම් යන මහත්වරුද අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.



අදහස් (0)

‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 233 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site