මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති 
මහින්ද දේශප්‍රිය  

  • වගකීම් හරිහැටි ඉටු කරපු දේශපාලන නායකයෝ හිටියා නම් අපේ රට අද මෙහෙම මේ තත්ත්වයෙන් තියෙයිද?  
  • විශ්‍රාම ගත්තු ගමන් කෙළින්ම අම්බලන්ගොඩ  

 

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඉරිදා ලංකාදීපය සමඟ කළ සාකච්ඡාවකි මේ.  

අමාරුම ඡන්දයත් ඉවර වුණා විතරයි. තාම ගිමන් අරිනවද?  


ගිමන් අරින්න අවස්ථාවක් නෑ තාම. මොකද තව වැඩ ඉවර නෑ. තාම පක්ෂ කීපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් අපිට දැනුම් දීලා නෑ. ඡන්ද පැමිණිලි ගැන බලන්න ඕනෑ. තවත් සුමානයක් විතර යනකම් වැඩේ ඉවරෙටම ඉවර නෑ.  


ඉතිහාසයේ පැවැති මැතිවරණ එක්ක ගත්තම දුෂ්කරතා රැසකට මුහුණ දීපු මැතිවරණයක් මේක. මැතිවරණය පැවැත්වුණු විදිහ පිළිබඳව ඔබ තෘප්තිමත්ද? 

 
සීයට සීයක් තෘප්තිමත් නැතත් අපි අපේ උපරිමයෙන් කළා කියන හැඟීම තියෙනවා. ඒත් බැරිවුණු දේවල් ගැන කනගාටුවක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳපු ඇතැම් අයට ඡන්දය දෙන්න අවස්ථාව අහිමි වුණා. ගෙවල්වල නිරෝධායනය වුණු අයටත් අපහසුකම් ඇතිවුණා. මේ ගැන අපි ගොඩක් සාකච්ඡා කළා. මැතිවරණ කොමිසම විදිහට අපි හැම විටම උත්සාහ කරන්නේ සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්න. ඒකට අපි උපරිම කැප වෙනවා. ඒත් ප්‍රායෝගික ගැටලු එක්ක ඒවා සීමා වෙනවා. ඒ ගැන අසතුටක් තියෙනවා.  


මේ මැතිවරණයේ දකින්න ලැබුණු විශේෂත්වය තමයි පාලන කොරෝනා තත්ත්වයක් යටතේ එය පැවැත්වීම. ඒ ගැන ගත්තු පියවර සාර්ථකද?  


අපේ පැත්තෙන් ගත්ත පියවර සාර්ථකයි. ඡන්ද පොළ තුළ ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසියාකාරව ක්‍රියාත්මක කරන්න අපිට හැකිවුණා. ගෙදරටත් වඩා ඡන්දපොළ ආරක්ෂිතයි කියලා අපි සහතික කළේ‍ ඒ නිසයි. ඒ සඳහා අමතර කැප කිරීමක් අපිට කරන්න සිද්ධ වුණා. අත සෝදන සැන්ටයිසර් බෝතලේ ඉඳලා හරියටම ඒ දේවල් අඩු නැතුව හැම ඡන්දපොළකම ක්‍රියාත්මක වුණා. ඒත් අපේ දේශපාලකයො ඒ ගැන දක්වපු උනන්දුව ගැන නම් තියෙන්නේ කනගාටුවක්.  


ඇයි ඒ?


ඇයි ඒ කියලා අහන්නේ දන්නෙ නැද්ද ඒගොල්ලො රැස්වීම් පවත්වපු විදිහ. ඒ අය නිරෝධායන නීති ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඡන්ද රැස්වීම් පවත්වන්න කියලා නියම වෙලා තිබුණු නිර්දේශ කවුද සැලකුවෙ. ඒ කිසි දෙයක් ගැන වගේ වගක් නැතුව ඔහේ රැස්වීම් පැවැත්වූවා. මීටරේ දුර තියාගත්තද ඒ අය? අපි කොච්චර අකුරට ඒවා ක්‍රියාත්මක කෙරුවත් දේශපාලන නායකයෝ ඒ ගැන නොසැලකිලිමත්ව තමයි කටයුතු කළේ.  


ඡන්ද පොළ තුළ කොරෝනාවට වැට බැඳලා කියලා සහතිකද?  


ඒක බලන්න වෙන්නේ තව සුමානයක් දෙකක් ගියාම නේද? ඊළඟ සතිය දෙක තුළ සමාජයෙන් කොරෝනා රෝගියෙක් හමුවුණේ නැත්නම් සතුටු වෙන්න පුළුවන්. අපි විශ්වාස කරනවා එහෙම තත්ත්වයක් ඇති නොවේවි කියලා. ඒත් ඔය රැස්වීම්වලට ගිය අය ගැන අපිට සහතික වෙන්න බෑ.  


දේශපාලන නායකයෝ ඇයි ඒ ක්‍රමවේදවලට අනුකූලව කටයුතු නොකළේ? ඒ අයගේ අතේ නේද කොරෝනා මර්දන වගකීම තියෙන්නේ?  


වගකීම් හරිහැටි ඉටු කරපු දේශපාලන නායකයො හිටිය නම් අපේ රට අද මෙහෙම මේ තත්ත්වයෙන් තියෙයිද? ඒ වගකීම් විරහිත දේශපාලන නායකයො යන පාරේම තමයි ඔවුන්ගෙ අනුගාමිකයොත් යන්නේ. ඉතින් කොහොමද රටක් ඉස්සරහට යන්නේ?  


ජනතාවට පාර කියන්නේ මේ වගේ නොසැලකිලිමත් නායකයො නම් තවත් මොනවා කතා කරන්නද?  


මේ මැතිවරණයේ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි ප්‍රමාණයක්. ඇයි එහෙම වුණේ ඔබ හිතන ආකාරයට?  


ඒක සලකා බැලිය යුතු කාරණයක්. අපි දියුණුයි කියලා හිතුවට තාමත් ඡන්දදායකයෝ ඉන්නේ ඡන්දය පිළිබඳ අඩු සාක්ෂරතාවක. ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද පත්‍රිකා දිහා බැලුවම ඡන්දදායකයෝ ඡන්දය දීම පිළිබඳව දක්වන සැලකිල්ල ගැන අවබෝධ කර ගන්න පුළුවන්. ඇතැම් දේශපාලනඥයො ඡන්දදායකයින්ට කොයිතරම් දේවල් දෙනවා කියලා සුරංගනා කතා කිව්වත් හරියට ඡන්ද දෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්නෙ නැහැ. අපි පුළුවන්තරම් මේක පැහැදිලි කළා. අඩුම තරමේ මාධ්‍ය මේ සඳහා ඉඩක් වෙන් කළාද? ඡන්ද අපේක්ෂකයින්ගෙ දැන්වීම් ටික පළ කළා මිසක්. තමන්ගෙ වියදමෙන් මොන පත්තරේද මොන ටෙලි විෂන් එකද මොන රේඩියෝ චැනල් එකද නිවැරදිව ඡන්දෙ දෙන්නෙ මෙහෙමයි කියලා ඡන්ද දායකයින් දැනුවත් කරන්න ඉඩක් වෙන් කළේ?  


ඡන්දදායකයින්ගෙන්‍ යම් ප්‍රතිශතයක් තමන් තමන් තෝරගන්න පක්ෂයට අපේක්ෂකයින්ට ඡන්දය දෙන හැටි නිවැරදිව අවබෝධ කරගෙන නෑ. ඒ අතරේ තවත් පැහැදිලි පිරිසක් ඉන්නවා ඡන්දය කටුගාන. ඒ අය තමයි මේ ගැන කලකිරීමෙන් ඉන්න පිරිස. රටක මේ තරම් පිරිසක් ඡන්දය ගැන කලකිරීමෙන් ඡන්දය ප්‍රතික්ෂේප කරන එක එතරම් හොඳ ලක්ෂණයක් නෙවෙයි. අපි මොන තරම් මේ ගැන දැනුවත් කිරීම් කළත් තාමත් සමහරු ඒ ගැන නොසැලකිලිමත්. ඡන්දය පිළිබඳව සාක්ෂරතාව මීට වඩා දියුණු තැනක තිබිය යුතුයි කියන එක තමයි අපේ කල්පනාව.  


ඡන්දය පිළිබඳව චෝදනා නැද්ද?  


මොකද නැත්තේ? පැමිණිලි තියෙනවා. ඒත් වෙනදට සාපේක්ෂව ඒ ප්‍රමාණය සැලකියයුතු මට්ටමක අඩුවීමක් තියෙනවා. අපි සතුටුයි අතක් පයක් නොකැඩී මේක මේ මට්ටමෙන් තියා ගන්න පුළුවන්වීම ගැන. වෙනද වගේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීමකුත් නෑ. සුළු සිදුවීම් කීපයක් තමයි තිබුණේ. මොකද මීට වඩා ​කෝලාහල වෙනවනේ!  


ප්‍රතිඵල නිකුත් කිරීම හිතපු විදිහට කරගන්න පුළුවන් වුණාද?  


නැතුව අපි කියපු වෙලාවට හරියට අපි ප්‍රතිඵල දුන්නා. ඒක කිසි ප්‍රමාදයක් වුණේ නෑ. අපේ කාර්ය මණ්ඩලය ඒ සඳහා කැපකිරීමෙන් කටයුතු කළා. ප්‍රතිඵල නිකුත්වීම පිළිබඳ වෙනද එන චෝදනා මේ වතාවෙ නෑ. කිසිදු ප්‍රමාදයක් කරන්න සිද්ධ වුණේ නෑ.  


ඔබ ඔබේ විශ්‍රාම යෑමත් ප්‍රකාශයට පත් කළා.  


ඔව්. ඉතින් කවද හිටියත් යන්න එපායැ. කොහොමත් නොවැම්බර්වල තමයි යන්න තියෙන්නේ. මම තවදුරටත් ඉන්න බලාපොරොත්තුවක් නෑ. යන්න ඕන කාලෙ යන්න ඕනෑ. නැත්නම් දේශපාලකයො වගේ වෙනවා. ඉන්න කියලා ඉල්ලීම් තියෙද්දි ගියාම තමයි අගේ තියෙන්නේ.  


විශ්‍රාම යන්නේ සතුටින්ද? රාජකාරි දිවිය ගැන තෘප්තිමත්ද?  


ඕනෑම කෙනෙක් විශ්‍රාම යද්දි හිතනවා අනේ මට තව වැඩ කරන්න තිබුණා නේද කියලා. තෘප්තිමත්වීමක් නෑ. ඒත් කරපු රාජකාරි ගැන සතුටුයි. කරන්න බැරි වෙච්ච දේවල් ගැන කනගාටුවක් තියෙනවා. ඒත් විශ්‍රාම යන්නෙ සතුටින්.  


ආතතියක් නැද්ද?  


මම ඕනෑ දෙයක් සැහැල්ලුවෙන් ගත්ත කෙනෙක්. මම කිසි දෙයක් ආතතියෙන් කරන්නේ නෑ. ඕනෑම පීඩනයක් යටතේ රාජකාරි කළත් ඒකෙ හිසරදයක් කරගෙන නෑ. එහෙම වුණානම් මේ වගේ රාජකාරියක් කරන්න බෑ.  


විශ්‍රාම ගිහින් මොකද කරන්න ඉන්නෙ? විශ්‍රාම දිවිය සැලසුම් කරලද තියෙන්නේ?  


රාජකාරි ජීවිතයේදී කරන්න බැරිවෙච්ච ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. මට රාජකාරි ජීවිතයේදී අතපසු වෙච්ච දේවල් වගේම රාජකාරි ජීවිතය ඇතුළෙ සීමානම් පැනවිලා තිබුණු දේවල් වුණත් හිතේ හැටියට කරන්න පුළුවන්. විශේෂයෙන් මගේ මතකයත්, දේශපාලන වශයෙන් මගේ අදහස් ප්‍රකාශ කරන්න රාජකාරිමය වශයෙන් යම් යම් සීමාවලට යටත් වෙලානෙ හිටියෙ. විශ්‍රාම ගියාට පස්සේ ඒවා නෑ.  


විශේෂ කටයුත්තක් එහෙම නැද්ද සැලසුම් කරපු?  


මගේ තාත්තගේ යාළුවන්ගේ දරුවො කීපදෙනෙක් එක්ක එකතුවෙලා තාත්තා ගැන යම්කිසි දෙයක් කරන්න අදහසක් තියෙනවා. තාත්තා එක්ක දේශපාලනය කරපු යාළුවො ගොඩක් හිටියා. අද ඒ අය නෑ. ඒ අයගෙ දරුවො ඉන්නව මගේ යාළුවො. අපි එකතුවෙලා ඒ වගේ දෙයක් කරන්න පොඩි අදහසක් තියෙනවා. ඒක සාම්ප්‍රදායික සැමරුමක් නොවෙයි. අපේ තාත්තලා දේශපාලනය කළේ හරි අමුතු තාලෙකටනේ. අද දේශපාලනයට වඩා වෙනස්. මම ඒවා පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා. සුනන්දත් මමත් ​දේශපාලනය ගෙදරින්ම දැකපු අය.  


විශ්‍රාම ගත්තට පස්සෙ ඉන්නෙ කොළඹමද අම්බලන්ගොඩ ද?  


අම්මෝ...... විශ්‍රාම ගත්ත ගමන් කෙළින්ම අම්බලන්ගොඩ. මට අම්බලන්ගොඩ එක්ක තියෙන්නේ අතඅරින්න බැරි බැඳීමක්. මට කොළඹට වඩා අම්බලන්ගොඩ ඉද්දි වැඩ තියේවි. මොකද කොළඹ ඉන්නේ රාජකාරිමය වශයෙන් අඳුනගත්ත යාළුවො සහ ෆේස්බුක් යාළුවොනේ. ඒත් ගමේ ඉන්නේ පොඩි කාලේ ඇළේ දොළේ පැන්න යාළුවො. මම කොහොමත් විශ්‍රාම අරගෙන අම්බලන්ගොඩ ගියාම දැනට වඩා වැඩ තියේවි. කොහොමත් ගමේ දියුණුවට මොනව හරි කරන්න අදහසක් තියෙනවා.  


විශ්‍රාම ගැනීම ගැන පවුලේ අයගෙ අදහස කොයි වගේද?  


ඒ කට්ටිය කැමතියි අද වුණත් රිටයර්වෙලා ගෙදර එනව නම් ඒ තරම් කැමැත්තෙන් ඉන්නෙ ඒගොල්ලො මගේ විශ්‍රාම ගැනීම ගැන.  


එතකොට ගෙදර දොරේ වැඩපල කරන්නත් වෙයි?  


නෝනට පොල් ගාලා දෙනවා වගේ වැඩ කරන්න වෙන්නේ නෑ. කොහොමත් පොඩි කාලෙත් අපි ගෙවල්වල ඉඳපු අය නෙවෙයිනේ. ඉස්කෝලේ ගිහින් හවස ක්‍රීඩාවලට ඉඳලා එන්නෙ රෑ වෙලා. බත් කාලා නිදා ගන්න එකනෙ. ඊට පස්සෙ කරන්නේ. හැබැයි රෑ කෑම කද්දි පවුලෙ කට්ටිය එකට එකතු වෙනවා. කතා බහ කරන දෙයක් ඒ වෙලාවෙ තමයි. නැත්නම් අපි අල්ලගන්න හම්බවෙන්නෙ නෑ. ඒක නිසා විශ්‍රාම ගත්ත කියලා ගෙදරටවෙලා ඉන්න වෙන එකක් නෑ.  


ඔබ බොහොම සමාජශීලී චරිතයක් විදිහට අගනුවර විවිධ උත්සව අවස්ථාවලදි අපට හමුවෙනවා. විශ්‍රාමයත් එක්ක ඔබ අගනුවර එවැනි අවස්ථාවලදි අපිට හමුවෙන එකක් නැද්ද?  


මොකද නැත්තෙ? විශේෂයෙන් ඔය පොත් එළි දැක්වීම් වගේ උත්සවවලටනේ මම යන්නෙ එන්නේ. ඒවට එන එක ප්‍රශ්නයක් නෑ. හයිවේ එකෙන් බස් එකේ නැග්ගම පැයෙන් කොළඹ. කොහොමටත් මම බස් එකේ කෝච්චියේ යන්න කැමැති කෙනෙක්. මගෙ රාජකාරි ජීවිතේ පුද්ගලික ගමන්වලටත් එක්ක කියලා වාහනයක් ලැබුණෙ මෑත කාලෙනේ. දරුවො දෙන්නටම වාහන තියෙන නිසා මට ඕනෑ ගමනක් බිමනක් යන එන එක ලොකු ප්‍රශ්නයක් නෑ. නැතත් දන්න කියන මිත්‍රයෙකුට කිව්වම ත්‍රීවිලර් එකක් අරගෙන එන්න කියලා රට වටේම වුණත් රවුමක් ගහන්න පුළුවන්. ඒක නිසා මාව කොළඹදි නොදකින්නම ලැබේවි කියලා බය වෙන්න එපා.  


ඔබ සමාජ මාධ්‍ය ඇතුළෙ ඉතාම ජනප්‍රිය චරිතයක්. පසුගිය ටිකේ ෆේස්බුක් එකෙන් අතුරුදන්වෙලා හිටියෙ ඇයි?  


හරිම වදයක්නෙ වුණේ. මගේ මිතුරු ඉන්න අයයි නැති අයයි හැම කෙනාම ඡන්දය ගැන මොකක් හරි දාද්දි මාව ටැග් කරන්න ගත්තා. ඒකට උත්තර දෙන්න මම පුරුදු වුණා. සමහර දවසට රෑ වෙනකම් මම සමහර පෝස්ට්වලට උත්තර ලියනවා. මේක මටම කරදරයක් වුණා. ගෙදර අයත් කිව්වා ටිකක් ඒකෙන් අයින්වෙලා ඉන්න කියලා. ඒක නිසා තමයි මම ෆේස්බුක් එක ඩිඇක්ටිවේට් කරලා දැම්මේ. දැන් ආපහු මම ෆේස්බුක් එකේ ඇක්ටිව්. ඒත් ඉස්සර වගේ හැම එකටම උත්තර දෙන්න යන්නේ නෑ.  


ඔබේ ජීවිත කතාව ලියන්න මිත්‍රයෙක් සූදානමින් ඉන්නවා නේද?  


ඔව්. ඒ මිත්‍රයා දැන් මාත් එක්ක තරහවෙලා ඉන්නේ ඒ වැඩේ පහු කරනවා කියලා. දැන් ඒකට වෙලාව තියෙනවා. “මා විසින් මෙසේ කියන ලදි” කියලා තමයි ඒ කතාව යන්නේ.  


ඔබට දේශපාලනයට එන්නත් ඇරයුම් තියෙනවනේ?  


අපොයි ඔව්. ඒත් ඒ ගැන මගේ අදහසක් නෑ. හැත්තෑවකටත් කිට්ටුවෙලා දේශපාලනයට එනවා කියන්නේ විහිළුවක් වෙයි කියලා මට හිතෙන්නේ. විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු දෙකක් විතර යනකම් ක්‍රියාකාරී දේශපාලනයට එන්න පුළුවන් කමක් නෑ. ඉතින් හැට හතෙන් දේශපාලනයට ඇවිත් මොනවා කරන්නද? බුදුන්ගෙ වයස වෙනකම් ජීවත් වුණත් තව අවුරුදු පහළොවකට වැඩිය නෑනේ. ඔය කාලේ මොකට ද රටට විහිළුවක් වෙන්නේ.

 

 

පිළිසඳර
ප්‍රියන්ත කොඩිප්පිලි