(හර්ෂණ තුෂාර සිල්වා) 
 
දූෂණය තුරන් කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඉකුත්දා (07) පැවසිය. 
 
පසුගිය වසර තුනේ ශ්‍රී ලංකාවේ ආසියානු කලාපයේ රටවල අත්දැකීම සලකා බැලීමේදී එය හොඳින් පෙනී යන බවත් මහාචාර්යවරයා කීය. 
 
හොරු නැති ආණ්ඩුවක් යථාර්ථයක් ද? යන ප්‍රශ්නය ඇතිව දියුණු පුරවැසි සමාජයක් උදෙසා යන්න තේමාව කරගනිමින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සමුළුවකදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා එසේ පැවසීය. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට සහභාගි විය. 
 
මහාචාර්ය උයන්ගොඩ මහතා මෙසේද පැවසීය. 
ලංකාවේ දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණය එකිනෙක සමග අත්වැල් බැඳගෙන එකිනෙක ඇතුළට කෙතරම් දුරට කිඳාබැස තිබෙනවාද කියන එක තමයි හොරු නැති ආණුවක්, යථාර්ථයක් ද යන්න සාකච්ඡා කිරීමේදී අප ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය. 
 
පසුගිය කාලයේ ලංකාවේ සිදු වූ දේවල් බලන කොට අපට පෙනෙනවා ලංකාවේ අලුත් ව්‍යාපාරික පන්තියක් බිහි වෙලා සිටින බව. එම ව්‍යාපාරික පන්තියේ සුවිශේෂී ලක්ෂණ තිබෙනවා. ඒක පැරණි ව්‍යාපාරික ක්‍රමවලට වඩා වෙනස්. ඒ අය හිතනවා ඒගොල්ලන්ගේ කැමැති අපේක්ෂකයන් ජනාධිපති විය යුතුයි කියලා. ඒගොල්ලෝ තෝරා ගන්න අපේක්ෂකයන් අගමැති විය යුතුයි. කැබිනට් මණ්ඩලයට යා යුතුයි කියලා. 
 
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී අරගලයක යෙදෙන දේශපාලන සිවිල් සමාජ බලවේගයට අරගල කළ යුතු විශාලම දෙයක් තමයි නව ව්‍යාපාරික පන්තියේ කාර්යභාරය. පර්පචුවෙල් ටේ‍රෂරීස් සහ මහ බැංකු සිදුවීමට අදාළ වාර්තාවලින් මා ඉගෙන ගත් ප්‍රධානම පාඩමක් එය. මා හිතනවා ඔබ සියලු දෙනාත් ඒ පිළිබඳ ගැඹුරින් සිතයි කියලා. 
 
දූෂණයට විරුද්ධ අරගලය අප හිතනවට වඩා අතිශයින් බරපතළයි. අතිශයින්ම අභියෝගාත්මකයි. එම බරපතළ භාවය, අභියෝගාත්මක භාවය තියුණු කරන ප්‍රධාන සාධකය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ දූෂණය සහ අල්ලසේ කාර්යය භාර්ය. එය හොඳින්ම තහවුරු වන්නේ මැතිවරණ අවස්ථාවලදී දූෂණය හා අල්ලස විසින් ඉටු කරන කාර්ය භාරයේදීයි. 
 
මේ පිළිබඳ තොරතුරු අපි හැමෝම දන්නවා. නමුත් අපි ඒ ගැන කතා කරනවා විතරයි. අපි කවදාවත් පැමිණිලි කරන්නේ නැහැ. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ අංගයක් බවට පත් වී තිබෙනවා. 
 
පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුළ දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙකට පෝෂණය වෙමින් එකිනෙක මත රඳා පවතින තත්ත්වය ප්‍රශ්න කරන්නේ නැතිව ඊළඟ මැතිවරණයේදී මේ දූෂණ විරෝධී සටන් පාඨය අපි පාවිච්චි කරන්නේ කෙසේද කියන එක කතා කිරීමෙන් පමණක් වැඩැක් නැහැ. එය මගේ ප්‍රධානතම පණිවුඩවලින් එකක්.
 
අපි සියලුදෙනා පිළිගත යුතුයි දූෂණ විරෝධය ප්‍රජාතන්ත්‍රවාදය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරගලය සමග එකිනෙක සම්බන්ධව තිබෙන බව. ප්‍රජාතන්ත්‍රවාදය යනු දූෂණ විරෝධය ඉලක්කයක් කර ගත යුතු ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. ඒ දෙක අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලය අන්න අර ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමේ අරගලයක් බවට පත්ව තිබෙනවා. 
 
ඊළඟ ජනාධිපතිවරණයකදී දූෂණ විරෝධය සටන් පාඨයක් කර ගන්නවාට වඩා ඈතට යන ව්‍යායාමයක අපි සියලු දෙනාටම යෙදෙන්නට වෙනවා. 
 
හොරු නැති ආණ්ඩුවක් යනු යථාර්ථයක් නොවේ. සිහිනයක් කියලා කියන්නේ ප්‍රතිෂේධාත්මක අරමුණකින් නොවේ. ලංකාවේ අද දේශපාලන න්‍යාය පත්‍රයේ තිබෙන ප්‍රශ්නයේ කේන්ද්‍රය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ ඉදිරියට ගෙන යාමේ කර්තව්‍යයි. ඒ සමග අනිවාර්යයෙන්ම කේන්ද්‍රීය ලෙස බැඳිලා තිබෙනවා දූෂණ විරෝධී අරගලය. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ආරක්ෂා කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අරගලයත්, දූෂණ විරෝධී අරගලයත් එකිනෙකට සම්බන්ධ කරන දේශපාලන ව්‍යාපෘතියක් ගැන සිතන කොට අපට සිතන්නට වෙනවා. ඊළඟ මැතිවරණයෙන් ඉදිරියට ගිය ඉදිරි දර්ශනයක් ගැන. 
 
මම හිතන්නේ හොරු නැති ආණ්ඩුවක් යථාර්ථයක් කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී අන්න එවැනි දීර්ඝකාලීන දේශපාලන ඉදිරි දර්ශනයක් පිළිබඳ අපට සිතන්න වෙනවා.
 
හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා මෙසේ පැවසීය.
 
රාජ්‍ය විගණනය ස්වාධීන ආයතනයක් වීමේ අවශ්‍යතාව ප්‍රධාන කාරණයක්. හේතුව රාජ්‍ය විගණනයට අවශ්‍යයි ශක්තිමත් ශ්‍රම බළකායක්. ඒ මොකද දැනට සියයට අනූ නවයක් ඉන්නේ ගිණුම් පාදක වෙච්චි නිලධාරින්. ඇත්ත වශයෙන්ම මේ වාගේ සේවාවන්ට විශාල වශයෙන් තාක්ෂණික  ශක්තිය ඕනෑ. අද රටේ දරුණු අපරාධ කරන්නේ තාක්ෂණය භාවිතා කරගෙනයි.
 
 විගණන පනතෙන් රාජ්‍ය විගණනයේ ස්වාධීනත්වය සහ ශක්තිය වර්ධනය කෙරෙනවා. මේ ශක්තිය මේ පනතින් ලබාදීම සමඟ රාජ්‍ය විගණනයට විශාල කාර්ය බාරයක් තිබෙනවා. පසුගිය කාලයේ නොයෙක් කතා තිබුණා. මෙච්චර දූෂණ සිද්ධ වුණා මෙච්චර වංචා සිදුවුණා කියලා. හැබැයි මේවා ගැන එක එක්කෙනා යම් අදහස් දෙනකොට පුළුවන්කමක් තිබුණේ නැහැ රාජ්‍ය විගණනයට කියන්න මේකේ යථාර්ථය මේකයි මේවා අපි පරික්‍ෂා කළා, මෙන්න මේකයි අපේ වාර්තාව කියලා. 
 
ජනතාවට ස්වාධීන පරීක්‍ෂණ වාර්තාවක් තිබෙනවා ඕනෑම කාරණයක් පිළිබඳව. හැබැයි එහෙම කරන්න මේ රාජ්‍ය විගණනයට අවශ්‍ය කරන ශිල්පීය දැනුම හෝ තාක්‍ෂණික ශක්තිය හෝ මුල්‍යමය ශක්තිය හෝ ශ්‍රම ශක්තිය තිබුණේ නැහැ. මම හිතනවා මේ පනතත් සමඟ එම ශක්තිය ලැබෙයි කියලා. ඒ නිසා මම  ප්‍රාර්ථනා කරනවා මේ පනත සම්මත කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ පනතින් බලාපොරොත්තු වන ශක්තිය ස්වාධීනත්වය රාජ්‍ය විගණනයට සැබෑ ලෙසම නොලැබුණොතින්. මම හිතනවා මේ වගේ ශක්තීන් අවශ්‍යයි ස්වාධීන ආයතන සියල්ලටම.
මේ සියලු කාරණාවල සැබෑ බලධරයා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන  ව්‍යවස්ථාවේ සඳහන් කරන ජනතා පරමාධිපත්‍ය. එනම් සාමාන්‍ය පුද්ගලයා ආණ්ඩුවේ  යම් යම්  දෝෂ තිබෙනවානම් ඒ සඳහා කළ හැකි ප්‍රධානම දේ තමයි සිවිල් සංවිධාන වෙනුවෙන් හඬ නැගීම. මේ අවස්ථාවේ වඩාත්  වැදගත් වෙන්නේ ඉදිරිය නිවැරදි කරගන්නේ  කොහොමද කියන එක. ඉදිරි මැතිවරණවලදී වැදගත් වන්නේ ජනතා පරිමාධිපත්‍ය. ජනතාව බුද්ධිමත්ව සංවිධානය වුනේ නැත්නම් ලංකාව පුරාම අපිට පුළුවන්කම  තියෙන්නේ ඕනෑ ජනතාව අවදි කරන්න. ඒ වගේම අවපාලනය එපා කියන පණිවිඩය ජනතාවට දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. 
 
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා-
 
අප ප්‍රශ්න නගනවානේ, අයි මේ තල්මසුන් අල්ලන්නේ නැත්තේ, හාල්මැස්සෝ අල්ලන්නේ කියලා. ඔය තල්මසුන් අල්ලන්නේ මොනවගේ නඩුවලදීද? අල්ලස් නඩුවලදී. තල්මසුන් අල්ලන නඩුවල සාක්‍ෂිකාරයෝ වෙන්නේ කවුද? තල්මසුන්. එහෙම තල්මසුන් අල්ලන නඩුවල ලේසියෙන් තල්මස් සාක්ෂිකාරයකු අපි ළඟට එන්නේ නැහැ.
 
 සමහර විදේශිකයන්ට තියෙනවා ලංකාව ගැන ලොකු කැක්කුමක්. ඒ හින්දා තමයි ඔය දැවැන්තම නඩුවෙදි අපිට උදව් කරන්න ආවේ විදේශ ආයෝජකයන්. ලංකාවේ ඉහළ සුපිරි පැලැන්තියේ ආයෝජකයන් අපිට කියයිද එන්න මම ඔබත් එක්ක අත්වැල් බැඳගන්නම්, යමු වැටලීම් කිරීමට කියලා. අපි පැය 24ම සැදී පැහැදී ඉන්නේ. එහෙම කිසි කෙනෙක් නැහැ.
 
අනිත් පැත්තෙන් හාල්මැස්සො. හාල්මැස්සන්ගේ නඩුවල කවුද සාක්‍ෂිකාරයෝ. ගැමියෙක් නේද?  ඒ ගැමියට මේ අවසර පත්‍රය ගත්තේ තැත්නම් ජීවිතයක් නැහැ. ඊටත් වඩා ඔහුට තිබෙන ක්ෂේරුකාව,  නිසා තමයි අපි ළඟට  ඇවිල්ලා පැමිණිලි කරන්නේ. මතක තබාගන්න ඔය රාජ්‍ය සේවයේ පුංචි පුංචි හාල්මැස්සෝ කරන සියලු අක්‍රමිකතා එකතු කළොත් මොකද වෙන්නේ, මිලියන් ගණනක් වෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කිව්වා වාගේ මට ඕනෑ සමතල පිට්ටනියක්. එහිදී මහා පරිමාණ වංචා දූෂණ වගේම සුළු පරිමාණ ඒවත් එක සමානව සලකන්න ඕනෑ.
ඒ වගේම තමයි එදා 1994 අල්ලස් පනත හදද්දී හිතුවේ නැහැ පුද්ගලික අංශයත් මේ අල්ලස, දූෂණයට වගකියන්න ඕන කියලා. නමුත් ලී ක්වාන් යූ කිව්වේ පුද්ගලික අංශය තමයි ඒ රටේ ආර්ථිකයේ එන්ජිම. ඒ නිසා ඔවුනුත් අල්ලසට වගකියන්න ඕනෑ කියලා තීරණය කළා. මේ සියල්ල දෙස බලද්දී අපේ රටේ නීති අවුරුදු  23කින් යාවත්කාලීන වෙලා නැහැ. එක වචනයකින් අල්ලස් නීති හෝ අල්ලස් කොමිසම් සභාවේ නිති සංශෝධනය වෙලා නැහැ. වත්කම් නීතිය, අද ඔබතුමාලා සමච්චලයෙන් බලන කවදද හැදුවේ. 1988 දී. දැන් මොකද කළේ. ජනාධිපතිතුමාට කියලා අනුමැතිය දීලා තිබෙනවා මෙම සංශෝධනය කරන්න. ඒවා සංශෝධනය කරන්න එක් කට්ටියකට විතරක් බැහැ. ජනතාවගේ අදහස් ගත යුතුයි.
 
විශේෂයෙන්ම අල්ලස් පනත සංශෝධනය කිරීම සඳහා ලෝකයේ සිටින හොඳම විශේෂඥයන් ගෙනල්ලා සාකච්ඡා කළ යුතුයි. අපේ රටේ තවමත් ජනාධිපතිවරයා වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න බැඳිලා නැහැ. අග්‍රාණ්ඩුකාරවරු බැඳිලා නැහැ. පළාත් සභා මන්ත්‍රීවරු බැඳිලා නැහැ. විශේෂයෙන් මහජන නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩලය  වත්කම් බැරකම් දෙන්න බැඳිලා නැහැ. අපි මේවා සංශෝධනය කරනවා. අපි යෝජනා කරන්නේ ඔන් ලයින් ක්‍රමයටවත් දෙන්න. විශේෂයෙන් වත්කම් වැඩි වුණොත් එහෙම අවුරුද්දක් ඇතුළතදි සති දෙකක් ඇතුළත එය ඔන් ලයින්  ක්‍රමයට දිය යුතුයි. ඒවගේම තමයි රාජ්‍ය සේවයෙන් සමුගන්නකොට වත්කම්, බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕනෑ. 
 
එහෙම නම් මේ ගමන යනව නම් අපි මොනවද මෙතෙක් කල් ලබාගත් ජයග්‍රහණ. ඔබතුමන්ලා දන්නවා ද ගිය අවුරුද්දේ විත්තිකරුවන් 57 දෙනෙක් පැමිණිලි මෙහෙයවලා වරදකරුවන් කළා. ඉතිහාසයේ මෙය වාර්තාවක්. ඉතිහාසයේ කවදාවත් මේ රටේ විත්තිකාරයෝ 10, 15 කට වඩා වරදකරුවන් කරලා නැහැ. මේ අවුරුද්දේ මේ වෙනකොට 47 දෙනෙක් විත්තිකරුවෝ, වරදකරුවෝ කරලා තියෙනවා. ඔබතුමන්ලා කියයි ඔය අතරින් බොහෝ අය හාල්මැස්සෝ නේද? කියලා, හාල් මැස්සන්ගෙයි, තල්මසුන්ගෙයි වෙනස මම තමුන්නාන්සේලාට කලින් කිව්වා.
අපි යන්නේ මහා ලොකු ගමනක්. ඒ ගමනට අපි අත්තිවාරමක් හදන්න ඕනෑ. පදනමක් හදන්න ඕනෑ.
 
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා:- රුපියල් මිලියනයක් ගත්ත පුද්ගලයෙක් ගැන මීට මාසයකට ඉස්සෙල්ලා කිව්ව වෙලාවේ රට තුළ ඇති වු තිගැස්ම මිලියන 5ක් ගත් පුද්ගලයා පිළිබඳ ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට අනාවරණය වනවිට ඇතිවුණා ද කියන කාරණාව ඔබගේ හෘද සාක්ෂියෙන් අහන්න. මේක සාමාන්‍යකරණය වෙමින් පවතින බව ඔබටම වටහාගන්න පුළුවන් වෙයි.
 
මේ තත්ත්වය යටතේ සිවිල් සමාජයේ භූමිකාව කුමක්ද? අපට සිවිල් සමාජය කියන කාරණය, බලපෑම් කණ්ඩායම් කියන කාරණය නැවත අර්ථ ගන්වා ගැනීමට ගොඩනගන්නට මුල ඉඳන් පටන් ගන්න තැනකට මේ ක්‍රියාකාරකම්වලට අපි පිවිසිලා තිබෙනවා. සිවිල් ක්‍රියාකාරිත්වය මේ දූෂණයට, වංචාවට අක්‍රමිකතාවයට එරෙහි සටන එක්කෝ අතහැර දමලා තිබෙනවා. එක්කෝ අමතක කරලා තියෙනවා. එහෙම නැත්නම් නොතකා හැර තිබෙනවා. එයට හේතුව අද එදා 2015 ජනවාරි 08 වෙනිදා වෙනකොට හිටපු කණ්ඩායම එක්කෝ එක දේශපාලන කඳවුරකට නැත්නම් එතනින් එහා දේශපාලන කඳවුරකට එකතු වෙලා ඔවුන්ගේ සමාජ භුමිකාව අමතක කරමින් තිබීම කියලයි මට හිතෙන්නේ. මේ තත්ත්වය ජය ගන්නේ නැත්නම් නීති හදන්නේ නැත්නම් අපේ විමර්ශන ක්‍රියාවලිය දිරිගන්වන කටයුතු සිදු කරන්නේ නැත්නම් අපිට ආකල්පමය වෙනසක් ඇති කරන්න හැකියාව නොලැබෙනවා නම් මා විශ්වාස කරන්නේ නැහැ කවදාවත් අපට හොරු නැති ආණ්ඩුවක් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා.