IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“

(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)

කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.

සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.

ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කීය.

“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.

අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.
විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා.

 මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.

පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.

නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා.

 අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා.

 ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි.

 එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා.

 මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි.

 ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා.
 නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ.

 එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා.

 රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්.

 තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි.

 සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ.

 කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා.

 එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:
“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා.
 රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි.

 එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා.

 මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා.

 සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.

ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා.

 මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:
“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.

ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.

ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:
“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.
එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.

ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.

දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:
“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:
“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.

අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (3)

“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“

Rata Perata Thursday, 07 November 2019 07:19 AM

හා. තමුන්ගේ පැත්තේ ඉන්න කෙනෙක් කාන්තා කටයුතු ඇමති කරලා, අර තංගල්ලේ නගරාධිපති කාන්තා ආරක්ෂක කරන්න. නිකම් විහිලු කතා කියන්නේ නැතුව ඉන්නවා.

:       0       1

Chanak los angeles Thursday, 07 November 2019 08:29 AM

ඇමරිකා එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ඇමරිකානු පුරවැසිභාවය නිසි ‌ලෙස අත්හැරියේ නම්, එක්සත් ජනපද “ජාතිකත්වය අහිමිවීමේ සහතිකය සමග ඇමරිකානු භාණ්ඩාගාරය විසින් එය අනුමත කරමින් නිකුත් කරන 4079 සහතිකය ඔහු සතුව තිබිය යුතුමය. අපි දන්නවා මොහුට මේක ලැබුනේ නැහැ කියා . මොහු දිනුවත් නඩු පැවරීමකින් පසු ගෙදර යන්න වෙනවා. ඇමරිකාව කිසිම 3 න් වන පාර්ශවයකට කෙනෙකුගේ පුරවැසිබව ගැනීම අහෝසිවීම පිළිබඳව සවිස්තර නොදෙයි. නමුත් රටක අධිකරණය නඩු කටයුත්තකදී ඉල්ලා සිටින විටෙක ලබා දීමට කටයුතු කෙරේ. එවිට ඝෝටට ලංකාවේ නීතියෙන් ද්විත්ව පුරවැසිකම ප්‍රෝඩාවෙන් බේරුනාට ඇමරිකන් නීතියෙන් රිංගලා යන්න නොලැබේ.

:       0       1

Chanak los angeles Thursday, 07 November 2019 04:15 PM

තව කව්රුන් හෝ ලියා දෙන දෙයක් කියවන කෙනෙකුට පුලුවන්ද රාජ්‍ය නායකත්වයක් දරන්න ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1189 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 978 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2167 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site