IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​බොරු ගොතලා නඩු දාලා පළිගන්න ආයතනයක් කියා ඔප්පු වෙලා ඉවරනේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු   

මාව කවුරුවත්ම තනි කළේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එකවරක් නොවෙයි කීප වරක්ම ආවා මාව බලන්න. මම වෙනුවෙන් කතා කළා. පාර්ලිමේන්තුවේ හඬ නැඟුවා. ආශීර්වාද පූජා තිබ්බා. පල්ලිවල කෝවිල්වල පූජා තිබ්බා මාධ්‍යයෙන් නඩුවේ වාර්තා හොඳට පෙන්නුවා. ඒක මට විශාල හයියක් වුණා. මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳට කෙළෙහිගුණ තියෙන නායකයෙක්. 


කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් රුපියල් 3,82,8596.50ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන මූල්‍ය අක්‍රමිකතාවක් කළ බවට චෝදනා ලැබ කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සිරගෙදර ජීවිතය හා රටේ දේශපාලනය සම්බන්ධයෙන් කළ කතා බහක් මෙසේ සටහන් කරමු.   


ප්‍රශ්නය - ඔබ කෑගල්ල බන්ධනාගාරයේ දවස් 44ක් හිටියා?   


පිළිතුර - ඔව්! දවස් 44ක් හිටියා. යහපාලන ආණ්ඩුව යහපාලන බෝඩ් එකට මුවා වෙලා සැලසුම් සහගතව නිර්මාණශීලීව ඒකාබද්ධ විපක්ෂයට ගොතපු නඩුවලින් එකක් තමයි මාව නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වුණේ.   


ප්‍රශ්නය - සාක්ෂි පරස්පර නිසා ඔබ නිදහස් වුණාද? එහෙම නැත්නම් චෝදනා බොරු නිසා නිදහස් වුණාද?   


පිළිතුර - චෝදනාව සම්පූර්ණයෙන්ම බොරු බව තමයි සාක්ෂිවලින් ඔප්පු වුණේ. ඒ සාක්ෂිවලින් කියවුණේ මේ නඩුව සම්පූර්ණයෙන්ම ඔවුන්ට අවශ්‍ය විදියට කොළ ඉරලා අලුත් කොළ දාලා ටිපෙක්ස් කරලා ගොතපු නඩුවක් කියන එක තමයි සාක්ෂිවලින් ඔප්පු වුණේ.   


ප්‍රශ්නය - ඔබ ඇතුළේ ඉන්න කාලේ එළියේ දේශපාලනය දැනුණේ කෙහොමද?   


පිළිතුර - ඇතුළේ ඉන්නකොට ඇත්ත වශයෙන්ම මට දැනුණ දේ තමයි සිරකරුවෝ සාමාන්‍ය සමාජයේ මිනිස්සු. ඒ සිරකරුවන් පවා කිව්වේ ‘‘සර් පුළුවන් තරම් ඉක්මනට ඡන්දයක් ගන්න. ඡන්ද දවසේ උදේ 10-11 වෙනකොට මිනිස්සු ඡන්දෙ දීලා ඉවර කරයි’’ කියලා. සිරකරුවන් බොහොම සංවේදී අය. සිරකරුවන්ට එහෙම හිතීමෙන්ම පේනවා රට කොතැනද තියෙන්නේ කියලා. සිරකරුවන් හිරගෙදර තියෙන ටීවී වලින් නිවුස් බලනවා. දේශපාලන වැඩසටහන් බලනවා. ඔවුන් පත්තර කියවනවා. රටේ දේශපාලනය ගැන ඔවුන්ට හොඳ දැනීමක් තියෙනවා. පවුල්වල ඥාතීන් ආවම ඔවුන් කතා කරනවා. ගෙවල්වල ඉන්න මිනිසුන්ට දැනෙන ආර්ථික පීඩනය ඔවුන්ටත් දැනෙනවා. ඒ නිසා සිරකරුවෙක් කිව්වේ ‘‘එළියට ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දයක් අරන් දෙන්න, ඉතිරි ටික ජනතාව බලා ගනී’’ කියලයි.   


ප්‍රශ්නය - ඔබ හිටියේ බන්ධනාගාර රෝහලේ?   


පිළිතුර - නෑ. මම කවදාවත් බන්ධනාගාර රෝහලේ හිටියේ නෑ. මම හිටියේ සිර මැදිරියේමයි. මම යනකොට ඒ හිර මැදිරියේ 51 දෙනෙක් හිටියා. ඊට පස්සේ ඒක 45ට අඩු වුණා. ඊට පස්සේ 40ට ආපහු 50ට වැඩි වුණා. මම සිර මැදිරිය තෝරා ගන්න ප්‍රධාන හේතුව තමයි මට කිව්වා ආරක්ෂාව දෙන්න බැහැ ඒ නිසා බන්ධනාගාර රෝහලට යන්න’’ කියලා. ඒත් මම සිරමැදිරියම තෝරා ගත්තා.   


ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම තෝරා ගත්තේ?   


පිළිතුර - මම හිතුවා ඒක පිනක් කියලා.   


ප්‍රශ්නය - පිනක් කියලා?   


පිළිතුර - ඔව්. මම හිරේ දාපු යහපාලන ආණ්ඩුවේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කොමිටිය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහත්තයාට එහෙම ඇත්තටම හොඳට නිදා ගන්න පුළුවන්නේ. නැත්නම් ඒගොල්ලෝ ගෙදර ගිහින් කල්පනා කර කර ඉඳියි ජොනියව හිරේ දැම්මත් ඌ ඉන්නේ රෝහලක ඇඳක කියලා. ඒ නිසා මම හිතුවා ඔවුන් සතුටු කිරීම පිනක් කියලා.   


ප්‍රශ්නය - කෑම බීම?   


පිළිතුර - මන්ත්‍රීවරයකුට කෑම ගෙදරින් ගේන්න පුළුවන්. ඒ ආරක්ෂාව සඳහා. මට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කෑම දුන්නා. මහීපාල හේරත් හිටපු මහ ඇමැතිතුමා, කනක හේරත්, තාරක බාලසූරිය මන්ත්‍රීතුමන්ලා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, අපේ නාගරික හා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් මට කෑම ගෙනාවා. රෑටත් හවස 4ට කලින් අපට කෑම දිස්ත්‍රික්කයෙන් ලැබුණා. කනක හේරත් මන්ත්‍රීතුමාත්, තාරක බාලසූරිය මන්ත්‍රීතුමත් ඒ කටයුතු සංවිධානය කළා.   


ප්‍රශ්නය - ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැද්ද?   


පිළිතුර - ආරක්ෂාව සම්බන්ධයෙන් මට තිබුණ ලොකුම ගැටලුව වුණේ මම ඇතුළට යනකොට කෑගල්ල බන්ධනාගාරයේ අධිකාරි වශයෙන් හිටියේ මගේම පාසලේ සහෝදරයෙක්. ඔහුගේ නම සම්පාය. මම ගිහින් දවස් 2කින් එතුමව මාරු කළා. එතකොට මට අවිශ්වාසයක් ඇති වුණා මට මොනවා හරි කරන්නද හදන්නේ කියලා. ඊට පස්සේ සම්පාය මහත්මයා සුප්‍රීම් උසාවියට ගිහිල්ලා වැරදි ආකාරයේ මාරු කිරීමක් කියලා තහනම් නියෝගයක් අරගෙන එතුමා ආපහු ආවා. ඒ සිරකරුවෝ මට හුඟාක් ආරක්ෂාව දුන්නා.   


ප්‍රශ්නය - එහෙත් කොළඹින් ගිය බන්ධනාගාර නිලධාරින් පිරිසක් ඔබට හිංසා කළා කියලා මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා?   


පිළිතුර - ඔව්! කොළඹින් 25ක කණ්ඩායමක් ලොකු බස් එකක එවලා තිබුණා අපි හිටපු සිර මැදිරිය පරික්ෂා කරන්න. මම එදා පාර්ලිමේන්තු ගිහින් එන ගමන් එදා සිකුරාදා දවසක් හින්දා විනාඩි 15ක් 20ක් පරක්කු වුණා. ඒ විනාඩි 15-20 පරක්කු වෙනකොට ඔවුන් ඇතුළු වෙලා ඉවරයි. මම යනකොටත් ඔවුන් සිර මැදිරිය පරික්ෂා කරනවා. ඔවුන් පරීක්ෂාවට ලක් කෙරුවේ මම නිදා ගන්න තැනයි. මගේ සභාපතිතුමා නිදාගන්න තැනයි මගේ සම්බන්ධීකරණ ලේකම්තුමා නිදාගන්න තැනයි තමයි. මේ නඩුවේ සාක්ෂි යන විදිය බැලුවම හුඟාක් අය කිව්වේ මේකේ නඩුවක් නැහැ කියලා. නීති විශාරදයින් අපිව එහෙම දැනුම්වත් කළා. ඉතින් එදා මම සිර මැදිරියේ හිටියානම් බන්ධනාගාරයෙන්ම දඬුවම් කරලා මට වෙනත් දඬුවමක් දෙන්න තිබුණා. මේ ආණ්ඩුව එහෙම තමයි කටයුතු කළේ. මාව එහෙම පීඩනයකට ලක් කළා. ඒකට අපි නිර්භීතව මුහුණ දුන්නා. එදත් මුහුණ දුන්නා. අදත් හිටගන්නවා. හෙටත් හෙමෙමම තමයි. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක හිට ගන්නවා කිව්වම ඇමැතිකම් දෙන්න කතා කළා. ඒවා ප්‍රතික්ෂේප කළාම අපිට හිර ගේ පෙන්නුවා. අපි ඒක බාර ගත්තා.   


ප්‍රශ්නය - එෆ්.සී.අයි.ඩී. එකට විරුද්ධව නඩු දානවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා?   


පිළිතුර - අපි එදා ඉඳලම පිළිගන්න දෙයක් තමයි ඒ වගේම නීති විශාරදයෝ කියන්නෙත් මේක නීති විරෝධී ආයතනයක් කියලයි. මේ ගැන උගත් නීතිඥ මණ්ඩලයක් ඉහළ අධිකරණයට ගිහින් අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒකේ තාම තීන්දුව ඇවිත් නෑ. නඩුව අහල ඉවරයි. තීන්දුව එනතුරු අපි බලාගෙන ඉන්නවා.   


ප්‍රශ්නය - එෆ්.සී.අයි.ඩී. එක පිහිටෙව්වේ පහුගිය ආණ්ඩුවේ හොරකම් වංචා දූෂණ හොයන්නයි? ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය ඒකට විරුද්ධ වීම ස්වාභාවිකයි?   


පිළිතුර - ඉතින් මගේ නඩුවම උදාහරණයක්නේ. බොරු ගොතලා නඩු දාලා පළිගන්නා ආයතනයක් කියලා ඔප්පු වෙලා ඉවරයිනේ. මේක එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක්. මේකට තෝරාගෙන තියෙන නිලධාරීන් ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි අනුර කුමාර දිසානායකටයි අවශ්‍ය අය. ඒ නිසා ඒකේ වෙන දේවල් හැම දෙයක්ම ඒ දෙන්නා අතට පත්වෙනවා. අනුර කුමාරට යනවා වෙනම. රනිල්ටත් එහෙමයි. ඒ ගොල්ලෝ සුවිශේෂිව තෝරා ගත්ත තමන්ගේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් තමයි මේකට දාලා තියෙන්නේ. මේක එෆ්.සී.අයි.ඩී. නොවෙයි. මේක සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක්. සිරිකොත පොලිස්පති තමයි පූජිත් ජයසුන්දර. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයක් නියෝජනය කරමින් පොලිස්පති ධුරයට පත් වුණේ මෙයා තමයි. ඒ නිසා තමයි නීතිය නවන හැටි එයා රූපවාහිනී තිර ඉදිරිපිට එළිපිටම කතා කරන්නේ.   


ප්‍රශ්නය - ඔබලා චෝදනා කරනවා නීතිය නවනවා කියලා. නමුත් ඔබම කියන පරිදි ඔබට සාධාරණය ඉටු වුණේ අධිකරණයෙන්?   


පිළිතුර - අධිකරණයනේ අපිට පිහිටට ඉන්නේ. ඒ අධිකරණයටනේ රන්ජන් රාමනායක ගහන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට තමයි එක්සත් ජාතික පක්ෂය පට්ට යන්න ගහන්නේ. අලුතෙන් අධිකරණ පිහිටුවනවා. අවුරුදු 20-30 පැරැණි මිනීමැරුම් නඩු තව තවත් යට යනවා. දේශපාලන වශයෙන් විනාශ කළ යුතු චරිත හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගොතපු නඩු දාලා ගහන්න පටන් අරගෙන අපිට යහපාලනය ගැන පොඩ්ඩක් හරි විශ්වාස කරන්න තිබුණා අර මිනීමැරුම් නඩුත් මේ වගේම උද්යෝගයෙන් අහනවා නම්. ඒත් අපිට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. අපිට අධිකරණයටනේ යන්න තියෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවත් මේ දඩයමට හවුල්. එෆ්.සී.අයි.ඩීය. පොලිසිය කියන පදයට නටන තැනක් බවට නීතිපති දෙපාර්තමේන්තුව පත් වෙලා. නීතිපති දෙපාර්තමේන්තුව විනාශයි. ඒකේ තිබුණ ගෞරවය නැති වෙලා ඉවරයි.   


ප්‍රශ්නය - ඔබේ තීන්දුවත් එක්ක ආණ්ඩුවට තර්කයක් ගොඩනගන්න පුළුවන් ‘අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේ නොවෙයි. අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ’ කියලා?   


පිළිතුර - එහෙම කියන්න පුළුවන්. හැබැයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ආණ්ඩුවට හරි ලේසියි එහෙම කියන්න. ආණ්ඩුවට කියන්න පුළුවන් අධිකරණය ස්වාධීනයි කියලා. ඔව් අපිත් පිළිගන්නවා අධිකරණය ස්වාධීනයි කියලා.   


ප්‍රශ්නය - ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගහන්නේ නැද්ද? එහෙම නැත්නම් අධිකරණය ඒවාට නැමෙන්නේ නැද්ද?   


පිළිතුර - ඒක රන්ජන් රාමනායකගෙන් තමයි අහන්න ඕන.   


ප්‍රශ්නය - ඔබ ඇතුළේ ඉන්න කාලේ ‘ජනබලය කොළඹට’ වගේ උද්ඝෝෂණ කෙරුණා. මොකද හිතුණේ‍?   


පිළිතුර - අැත්ත වශයෙන්ම ඒ උද්ඝෝෂණයට දවස් 2-3ක් තියෙනකොට තමයි මාව ඇතුළට දැම්මේ.   


ප්‍රශ්නය - ඔබ ඇතුළේ ඉන්න කාලේ බාරකාර ආණ්‍ඩුවක් ගැනත් කියැවුණා?   


පිළිතුර - බාරකාර ආණ්ඩුවක් අවශ්‍ය ඇයි? ඇයි ඒවා ගැන මිනිස්සු කතා වෙන්නේ? එහෙම කතාබහක් ඇති වෙලා තියෙන්නේ ආණ්ඩුව ඒ තරමටම මිනිස්සුන්ට එපා වෙලා නිසයි. බාරකාර ආණ්ඩුවක් හදලා ඉක්මනට මැතිවරණයකට යන්න පුළුවන් නම් ඒක තමයි හොඳම.   


ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර - මේකේ නිල විපක්ෂයත් ආණ්ඩුවෙනේ ඉන්නේ. සම්බන්ධන් ඉන්නේ ආණ්ඩුවේ. අනුර කුමාර ඉන්නේ ආණ්‍ඩුවේ. අනුර කුමාර සම්බන්ධන් හදපු ජනාධිපතිතමයි 2015 ජනවාරි 8 පත් වුණේ. අනුර කුමාර මහත්තයලා වැඩ කළේත් අරලියගහ මන්දිරයේ ඉඳගෙන. මේ එෆ්.සී.අයි.ඩී. එකට බොහොම නිර්මාණශීලීව නඩු හදන ස්ථානයේ නායකත්වය ගත්තේ රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර හා මලික් සමරවික්‍රමයි. මේ එකම ආණ්ඩුවේ කට්ටියක් තමයි විපක්ෂය කියලා වෙනම ඉන්නේ. මේක බොහොම භයංකාර තත්ත්වයක් රටට. නිල විපක්ෂයත් ආණ්ඩුව නියෝජනය කරන්නේ. ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය කරන්නේ අපි. නිල විපක්ෂයට ලැබිලා තියෙන වෙලාව බලන්න. පාර්ලිමේන්තුවේ හොඳම ක්‍රියාශීලි මන්ත්‍රීවරයා වෙනවා අනුර කුමාර මහත්තයා. ඇයි පැය එකහමාරක් විතර දවසකට කතා කරනවා. මන්ත්‍රීවරු පැය දෙකයි ඉන්නේ. අපේ ඉන්නවා මන්ත්‍රීවරු 69ක්. නමුත් ලැබෙන වෙලාව බලන්න විනාඩි 3යි 5යි කතා කරන්න ලැබෙන්නේ අපේ මන්ත්‍රී කෙනෙකුට. මේකේ භයංකාරකම තමයි එතැන. නිල වශයෙන් පිළිගත්ත විපක්ෂය හා ආණ්ඩුවෙ දෙගොල්ලොම එක්කෙනෙක්. එහෙම තත්ත්වයක් තිබියදී බාරකාර ආණ්ඩුවක් හදලා මහ මැතිවරණයකට යන එක තමයි වඩාත්ම හොඳ. මේ විකෘති කරපු රට විනාශ කරපු රට හදන්න වෙන්නේ එහෙම තමයි. විකෘති ව්‍යවස්ථාවක් තියෙන්නේ. අගමැතිව එළවන්න බැරි ව්‍යවස්ථාවක්. අවුරුදු හතරාමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි ව්‍යවස්ථාවක්. මේවා විකෘතියිනේ. රටේ සියලුම දේවල් විකුණලා. ජාතික ආරක්ෂාව විනාශ කරන්නත් ඕනම අපරාධයක් කරලත් අවුරුදු හතරාමාරක් ඉන්න පුළුවන් ඔප්පුවක් බවට ව්‍යවස්ථාව පත් කළා. ‘උඹලා ඕනෑ දෙයක් කරපල්ලා. මහ බැංකුව හොරකම් කර පල්ලා, කොමිස් ගහපල්ලා. මිනිස්සු හිරේ දාපල්ලා, ආර්ථිකය විනාශ කරපල්ලා’ උඹලට අවුරුදු හතරාමාරක් නිල වශයෙන් ලැබෙනවා කියන පණිවිඩය තමයි මේ ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්නේ. ඒ නිසා එහෙම තත්ත්වයක් තිබිය දී වඩා හොඳ ඒකාබද්ධ විපක්ෂයේත් ප්‍රශ්න තියෙනවා කියන වෙලාවක භය නැතිව ඡන්දයකට යන්න. එහෙම යන්නේ නැත්නම් බාරකාර හරි මෙනවා හරි ආණ්ඩුවක් හදලා මැතිවරණයකට අපි යමු.   


ප්‍රශ්නය - එහෙම බාරකාර ආණ්ඩුවක් හැදුවත් හදන්න වෙන්නේ ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන්?  


පිළිතුර - අපි කැමති වුණත් නැතත් මේ වෙලාවේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ. එතුමාටත් නිශ්චිත කාලයක් තියෙනවා. මේ දවස් තුන්සිය ගාණනේ තියෙන්නේ. එතුමත් හිතනවා නම් මේ යන ක්‍රමය තුළ වෙනසක් අවශ්‍යයි කියලා ඒක කවුරුවත් ගැටලුවක් කරගන්න අවශ්‍ය නෑනේ. එතුමත් පහුවෙලා හරි ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන ජනතාවගෙන් පත්වෙච්ච නායකයෙක් හැටියට රටේ මිනිසුන්ට දෙනවානම් අවස්ථාවක් මේ විකෘති වෙච්ච පාලනය තුළ වඩාත්ම හොඳ ඉක්මනින් ඡන්දයකට යන එක කියලා, ඒක හොඳයිනේ.  


ප්‍රශ්නය - ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබේ අපේක්ෂකයා කවුද?  


පිළිතුර - ඒකට ජනාධිපතිවරණය එන්න එපැයි. කවුද දැන්ම ඒවා ගැන කතා කරන්නේ.  


ප්‍රශ්නය - මන්ත්‍රී වෙල්ගම නම් කියනවා අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා?  


පිළිතුර - ඒ මහත්තයා ඒ හිතන හැටි වෙන්නැතිනේ.  


ප්‍රශ්නය - ඔහු කියනවා මහින්ද මහත්තයාට බැරිනම් ජ්‍යෙෂ්ඨත්වය අනුව දිනේෂ්ට හෝ වාසුට දෙන්න ඕනෑ කියලා.  


පිළිතුර - එහෙම කියන්න පුළුවන්. ඒවා කතා කරන්න ඕනෑ ඡන්දයක් ආවම.  


ප්‍රශ්නය - ඉදිරි අවුරුද්ද ඒකාබද්ධ විපක්ෂයට තීරණාත්මකයි?  


පිළිතුර - ඒකාබද්ධ විපක්ෂයට ගෙවෙන හැම දවසක්ම තීරණාත්මකයි. හේතුව පළිගන්න ද්වේෂ සහගතව වැඩ කරන, තමන්ට ඕනෑ කරන පොලිස්පති කෙනෙක්ව පත් කරගන්න, තමන්ට ඕනෑ මර්දනකාරී ආයතන පත් කරගෙන, තමන්ට ඕනෑ විදියට නීතිපති දෙපාර්තමේන්තුව හසුරවමින්, තමන්ට ඕන දේ කරමින්, රටේ ජාතික සම්පත් විකුණමින්, රටට ආදරය කරන මිනිස්සු හිරේ දමමින්, මහා සංඝරත්නය, රණවිරුවෝ, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයන් හිරේ දමමින් යන මේ ආණ්ඩුව ගෙවන හැම තත්ත්පරයක්ම රටට තීරණාත්මකයි.  


ප්‍රශ්නය - තාජුඩීන් ඝාතනයත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයත්, එක්නැලිගොඩ අතුරුදන් කරපු අය එල්ලුම් ගස් යවනවා කියලා ඇමැති රාජිත සේනාරත්න කිව්වා?  


පිළිතුර - රාජිත සේනාරත්න මහත්තයා ගොඩාක් දඬුවම් දුන්නනේ. මහින්ද මහත්තයගේ බිලියන 18 ඇහින් දැක්ක කෙනෙක්නේ රාජිත සේනාරත්න මහත්තයා. රාජිත මහත්තයා කියන ඒවයේ වටිනාකම මොකක්ද? ඔහු මේ කතා කරන්නේ ද්වේෂ සහගතවද? ඔහු කර තිබෙන හැම හොරකමක්ම නිසා අලුත් ආණ්ඩුවක් යටතේ ඔහුට හිරේ යන්න වෙයිද දන්නේ නැහැනේ. ඒකට බය වෙලා කියවනවා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා ඔය වගේ වාචාල කතා කියන දෙතුන් දෙනෙක් අපි දැක්කා. ඔය වාචාල කටවල්වලට පෙබරවාරි 10 වැනිදා මිනිස්සු පාඩමක් ඉගැන්නුවා. රාජිත මහත්තයාගේ ආසනයේ මිනිස්සු එතැනදී ඉදිරියෙන්ම හිටියා.  


ප්‍රශ්නය - ඇතුළේ ඉන්නකොට ඔබට දේශපාලන මිතුරන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සතුටුදායකද?  


පිළිතුර - ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. මාව හිරේ දාලා තියෙද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා, ඒකාබද්ධ විපක්ෂයේ නායකයා, අපේ මන්ත්‍රී කණ්ඩායම, තරුණ මන්ත්‍රී කණ්ඩායම, ප්‍රාදේශීය සභාවල, නගර සභාවල, පළාත් සභාවල නියෝජියන්, මහා සංඝරත්නය, නීතිඥයෝ මේ හැම කෙනෙක්ම මට ලබාදුන් ශක්තිය සමනළ කන්දටත් වඩා උඩින් මට දැනුණා. මම කවදාවත් ඒක අමතක කරන්නේ නෑ. මාව කවුරුවත්ම තනි කළේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එකවරක් නොවෙයි කීප වරක්ම ආවා මාව බලන්න. මම වෙනුවෙන් කතා කළා. පාර්ලිමේන්තුවේ හඬ නැඟුවා. ආශීර්වාද පූජා තිබ්බා. පල්ලිවල කෝවිල්වල පූජා තිබ්බා මාධ්‍යයෙන් නඩුවේ වාර්තා හොඳට පෙන්නුවා. ඒක මට විශාල හයියක් වුණා. මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳට කෙළෙහිගුණ තියෙන නායකයෙක්. ජනවාරි 8 පැරදුණාම එදා ඉඳලා එතුමා එක්ක හිටගත්ත කෙනෙක් මම. ඇමැතිකම් දෙද්දී, ඇමැතිකම් දෙන්න ආරාධනා කළාම මාත් එක්ක ගිය මගේ යාළුවා ඉන්දික බණ්ඩාරනායක ඇමැතිකම් අරගත්තම නතර නොවිච්ච පුද්ගලයෙක් මම. මම කිව්වා හිර ගෙවල් සීයක් පෙන්නුවත් එල්ලුම්ගහ පෙන්නුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත වරක් මේ රටේ රාජ්‍ය නායකයා කිරීමේ සටනේ මම ඉන්නවා. නඩු දැම්මා, බොරු නඩු දැම්මා, වද දුන්නා. ඒත් අපි සටන අතහරින්නේ නෑ. මට ශක්තිය දුන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ජනතාවට මම කියනවා අපි මේ ආණ්ඩුව වට්ටනවා. රාජ්‍ය බලය නැවත වරක් රට පාලනය කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම අතට ගන්නවා. ඒ ගන්නේ ජනතාවගේ ආශිර්වාදයෙන්. ඒක කාටවත් නතර කරන්න බෑ. ඒක නියතයි, ඒකාන්තයි.  

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   



අදහස් (0)

​බොරු ගොතලා නඩු දාලා පළිගන්න ආයතනයක් කියා ඔප්පු වෙලා ඉවරනේ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 194 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1186 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site